රිදුණු තටු පිරිමදිමි – 23

ඉරණම්කාරයෙකු පිළිබඳ සංකල්පයක් ලෝකයේ බොහෝ ජන සමාජයන් හි පවතී. මනුෂ්‍යයෙකු උපදින්නේ සම්පූර්ණ මිනිසෙකු ලෙස නොව මිනිස් අර්ධයක් ලෙස ය යන්න එහි මූලික අදහසයි. ඒ මිනිස් අර්ධය හා සෑම අතින් ම සමපාත වන්නා වූ මිනිස් අර්ධයක් ලොව වෙනත් තැනක බිහි වී හෝ බිහි වීමට නියමිත ව පවතිනු ඇත. ඒ ජීවිත ද්විත්වය ම පරිපූර්ණ වනුයේ උනුන් හමු වූ විට ය!

ඉරණම්කරු හෙවත් සෝල් මේට් සංකල්පය ලෝකය බිහි වූ දා සිට ම විවිධ අඩු වැඩි වීම් සමග පැවතියකි. මේ ඉරණම්කරු හැඳින ගැනීම ගැන විවිධාකාර අදහස් ද මිනිසුන් අතර වේ. ඇතැම් විට ඉන් පෙර කිසි දා ක නො දැක නො දැන සිටි අය පවා සිය ප්‍රථම මුණගැසීමෙන් ම ඉරණම් කරුවන් නම් හදවතින් හැඳින ගත හැකිය යන්න විශ්වාසයකි. ප්‍රථම දර්ශනයෙන් ම ඇතැමුන් හදවතින් පෙමින් බැඳෙන්නේ ඒ සසර පුරුද්දට අනුව ය.

එදා බාලිකාවේ රංග ශාලාවේ වේදිකාව මධ්‍යයේ සන්තුෂී සිරිවර්ධන සුදෝ සුදු සේද ඇඳුමින් සැරසී අබරණින් සමලංකෘත ව සුදු පියුමක් මත හිඳ වීණාව වයමින් සරස්වතී දේවතාව ලෙස රංගනයෙහි යෙදෙනු දුටු ප්‍රථම මොහොතේ අංජන නීලවතුර ගේ හද බිත් දෙදරා කම්පනය වූයේ ය. ඔහු ට හුරුපුරුදු හැඟීමක් දැනිණ. මේ භවයේ ඇය දුටුවේ ප්‍රථම වතාවට වී ද මීට පෙර සසරේ කොහේ හෝ ඇය හමු වී ඇතැයි ඔහු ට සිතුණා නොවේ. නමුත් කොහේදී හෝ ඇය දැක පුරුදු බවක් දැනිණ. 

ඉන් පසු වරක් හෝ නොදැක ම ඇගෙන් ප්‍රතික්ෂේප වීමෙන් පස්සේ ඔහු ජීවිතය දිග පිය තැබුවේ කොතැනක හෝ යළි ඇය දැකීමේ බලාපොරොත්තුවෙනි. නමුත් නිරන්තර පපුවේ ඇමිනුණ කටුවක් තිබිණ. ආත්මය පුරවා ලූ හිස් කමක් තිබිණ. සමහර විට ඒ හිස් හැඟීම කුමක් දැයි අංජන පවා නො දැන සිටියේ ය. නමුත් අඩුවක් තිබිණ. ඇය යළි හමු වෙතැයි තිබූ සියල් බලාපොරොත්තු අත් හැර දැමීමෙන් පස්සේ ද කිසි දා සපුරා ලිය නො හැකි යම් අඩුවක් ඔහු අත්වින්දේ ය. යමක් අත්හැරී ගිය බවට ශෝකාකූල සීරීමක් නිරන්තර ඇතුළාන්තයේ විය. ඒ අසම්පූර්ණ බව සිය අනිත් අර්ධය ඔහු ළඟ නොවීම නිසා දැනුණා වූ අඩුවකි. 

 තමන් වෙනුවෙන් උපන්, තමන් සම්පූර්ණ මිනිසෙකු කළ හැකි පුද්ගලයා හමු වීම මිනිසෙකුට සිය දිවිය තුළ ලද හැකි සුවිශාල ම භාග්‍යය වන්නේ ය. එසේ හමු නොවූ මිනිසෙකු සිය දිවිය නිමා කරනු ඇත්තේ සම්පූර්ණයෙන් ජීවත් නොවූ අසම්පූර්ණ මිනිසෙකු ලෙස ය. 

මෙතෙක් ඔහු ඒ අසම්පූණ බව අත් විඳි බව මේ වෙලාවේ අංජන ට මෙනෙහි කළ හැකි විය. මොනවා තිබුණත් යම් දෙයක් අඩුවා සේ දැනුණ, විටෙක ඔහුට ම ඔහු එපා කළ හැඟීමේ මූලය මේ දැන් ඔහු හැඳින ගත්තේ ය. පපුවේ ඇනී තිබූ කටුව හෑරෙමින් පෑරෙමින් පුරුදු සන්තාපයක් ඇතිරී ය. ඒ අතරින් වුව ඔහු ගේ ඇස් දිළිසුණේ ය. අපිළිවෙලට රැවුල් කොට වැවුණ නිකට හා කම්මුල් සුරතේ ඇඟිලි වලින් අල්ලා ගෙන, වැළමිට හතරැස් කුඩා මේසය මත තබා ගෙන හිරු මඬලක් සේ ඈ මත පායා ඇති ඒ ඇස් වල කාන්තියෙන් ඈ දියව යනු ඇතැයි සන්තුෂී ට සිතුණ තරමි. ඔහු ගේ බැල්ම ගැහැනු හිතක් දුර ඈත ගමනක් කැටිව ගොස් අතරමං කළ හැකි විදිහේ උන්මාදනීය පිරිමි බැල්මකි. ඇයට යළිත් අතරමං වීමක් ගැන සිතිය නො හැකි ය. කාලයකට කලින් වූ අතරමං වීමකින් ආපසු එන්නට මග සොයා ගන්නට වසර විසි ගණනක් ගත විය! 

සන්තුෂී ගේ පපුවේ පිරුණු හුස්ම සුසුමක් ව පිට නොකර හිර කර ගන්නට තරම් ඇය දිරි වඩා ගත්තා ය.

“ආ…මට දෙයක් අහන්න තියනවනෙ”

පපුව පැළෙන්නට තරම් පිරි වේදනාත්මක බව අතරින් ඇය නැගී ආවේ දිය දෙබෑ කර ගෙන හදිසියේ මතු වෙනා හංසියක් සේ ප්‍රබෝධවත් ව ය. ඒ සිනහවේ එළියෙන් ඔහු ගේ දෑස් අඳ නොවුණා පුදුම ය.

“සරස්වතී දේවතාව එක්ක තියන සම්බන්දෙ මොකද්ද…”

“ආ…”

ඔහු අගක් මුලක් සිතා ගත නොහී විපිළිසර ව හිඳියදී සන්තුෂී දෝරෙ ගලා යන ලෙස සිනහ වූවා ය. එය හරියට පක්ෂීන් සිය ගණනක් එක වර තටු ගසා අහසට පැන නැගීම වාගේ උත්කර්ෂයකි. අංජන මේ අරුම පුදුම ස්ත්‍රිය තුළ තව තවත් අතරමං වූයේ ය. කැමැත්තෙන් අතරමං වූයේ ය. 

“මොකටද ගෙදර සරස්වතී ස්ටැචියු එකක්  තියං ඒක දිහා බලං ඉන්නෙ…”

ඇය අංජන ගේ දෑසින් ඔහු ගේ ඇතුළාන්තයට රිංගා යන්නට හැදුවා ය. ඔහු ගේ මුවට සිනහවක් නැගිණි. එය වූ කලී වයස අවුරුදු දහ අටක දඩබ්බර කොලුවෙකු ගේ සිනහවකි. තත්පර කිහිපයකට සන්තුෂී හිතට එකඟව ඒ සිනාවට වසඟ වී සිටියා ය.

“ඇයි…සරස්වතී පිළිමයක් ගෙදර තියා ගන්න බැරිද…”

එය ආදරණීය අභියෝගයකි. සන්තුෂී ඒ ඔස්සේ දුර දිග යන්නට දෙවරක් සිතුවේ නැත.

“නෑ නෑ පුළුවන්. ඒත් ඉතින් මං දන්න විදිහට සරස්වතී කියන්නෙ සංගීතයට කලාවට ප්‍රඥාවට විද්‍යාවට අධිපති දෙවඟන. ඔබ තුමා කලාකාරයෙක් කියලද කියන්න යන්නෙ…”

“මංතුමා මහා ප්‍රාඥයෙක් වෙන්න බැරිකමක් නෑනෙ…සරස්වතී ප්‍රඥාවට අධිපති දෙවඟන නං මගේ මන්දිරේ වැඩ ඉන්නම ඕනෙ”

ඒ තරම් නිදහස් හැඟීමකින් සන්තුෂී ට මීට පෙර සිනහ වෙන්නට හැකි වී ඇත්නම් ඒ තප්ති ළඟදී පමණකි. පිරිමියෙකු අසල නම් ඒ වාගේ සැහැල්ලුවක් දැනී ම නැත. කල්ප කිසි දා ක සැහැල්ලු පුරුෂයෙකු නොවූයේ ය. විවාහයෙන් කල් ගත වෙත්දී ඔහු ට ඇය එක්ක සිනහ වීම යනු නොකළ යුතු බරපතල වරදක් සේ ම වූයේ ය. එසේ වත්දී සන්තුෂී ට ඔහු හා සිනහ වෙන්නට අමතක ව ගියේ ය. සිනහව ඇගෙන් ඈතකට ගියේ ය.

නමුත් මේ වාගේ පිරිමියෙකු සමග සාමයෙන් වසන්නට බැරි තරමට වින්දි ට වන හේතුව සන්තුෂී ට සිතා ගත නො හැකි ය. එක අතකට  සියල්ල සාපේක්ෂ වේ. උනුන්ට සාපේක්ෂ වේ. තම තමන්ගේ කෝණ වලින් අනුන් දෙස බලා තීරණ වලට එළඹිය නො හැකි ය.

“එසේය දේවයන් වහන්ස…මගේ වචන ඉල්ලා අස් කර ගමි”

ඒ සිනහව නිමාවකට පත් වූයේ මේසය මතට බොජුන් පැමිණි පසුව ය.

“ඒක නෙවේ. ඔයා හිතං ඉන්න විදිහ වැරදියි”

කෑම කන ගමන් විහිළු තහළු වලින් ඈත් ව සන්තුෂී මාතෘකාවට එළඹියා ය. අංජන ගේ කුඩා වූ ඇස් වල ප්‍රශ්නාර්ථය විය.

“කෙල්ල ඔයාට හරිම ආදරෙයි”

සිනහවක් මුව මත ඇඳුණාට අංජන ගේ ඇස් පත්ලේ වූයේ නිදන්ගත වේදනාවකි.

“ඇයි දුව මොනාද කිව්වෙ…”

“වචන දහයක් කතා කළොත් ඒකෙන් පහක්ම තාත්ති”

“බොරු කියන්නෙපා”

“ප්‍රොමිස් යූ. ඒක එහෙම තමයි අංජන. ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ පළවෙනි වීරය තාත්තා. පළවෙනි ආදරේත් තාත්තා. ඒ වගේම පළවෙනි වියෝගයත් හුඟක් ගෑනු ළමයින්ට තාත්තා. මේක එයාටත් එහෙම ශොක් එකක්. එයා හිතනවනෙ….එයා ලොකු ළමයෙක්නෙ අනේ…අම්ම කියන දේවල් ඇයි එයා පිළි නොගන්නෙ..පිළි ගන්නව. ඉතිං අම්ම කියද්දි ඔයා වැරදි කරපු කෙනෙක් කියල…එයාට ඒක පිළිනොගෙන ඉන්න හේතුවක් නෑ. මගෙ තාත්ත නැති වුණ වෙලාවෙ මාත් මැරුණා අංජන. දුවෙකුට තාත්තෙක් එහෙමයි දැනෙන්නෙ. තාත්ත නැති වුණාට පස්සෙ ජීවිතේම කළුවර වුණා වගේ දැනෙන්න ගන්නව. පහන් පත්තු කරන්න පොරොන්දු වෙච්ච මිනිස්සු හිටියට…තාත්ත නැති කළුවර නිවන්න කාටවත් බෑ. ඒක තමයි ඇත්ත. සදෙව්මාට ඔයා එක පාරට නැති වෙලා ගිය එක දැනෙන්නෙත් එහෙම. එයාගෙ ජීවිතේ පුරාම ඉන්නෙ ඔයා. කොණ්ඩෙ කපන ටිකට එයා තාත්ති ගැන කොච්චර දේවල් මට කිව්වද…මං ඔයාව දන්නව කියල දැනගෙන නෙවේනෙ…ඉස්සර මාත් එහෙමයි. අපේ තාත්ත කියන වචන දෙක නොකියවෙන තැනක් නෑ. ගේ ඇතුළෙදිත් එහෙම කියද්දි අම්ම කියනව හරි හරි ඔයාලගෙ තාත්ත තමයි මගෙ නෙවේනෙ කියල. එච්චර එයා ආදරේ කරන ඔයා වැරදියි කියල එයාගෙ අම්මම කියනකොට කෙල්ල ශොක් වෙනව. අම්ම නිකං එහෙම කියනව කියල හිතන්න එයාට ඕන නෑ. එයා අම්මව පිළිගන්නව. ඒත් එයාට ඔයාව ඕන. ඔයත් එක්ක එක ගෙදරක ඉන්න ඕන. ගෙදරයි තාත්තියි කියන්නෙ එයාගෙ ලෝකෙ ලස්සනම මතක. ඒත් එයා අසරණ වෙලා ඉන්නෙ. ගිලිල ඉන්නෙ. ගිලිච්ච තැනින් ගොඩඑගන්න බැරුව ඉන්නෙ. එයාට හෙමීට උදව් කරන්නයි ඕනෙ. එක පාරටම ඒක කරන්න බෑ”

අංජන ගේ ඇස් වල තෙතමනයක් විය. හැඟුමන් ප්‍රකෝටි ගණනක් ඒ පිරිමි පපුව ඇතුළේ සුළි සුළං ඇති කළේ ය. එක ම එක වතාවකට මේ අපූරු සෞන්දර්යාත්මක ගැහැනියව  සිය පපුවට තදින් තුරුලු කර ගන්නට ඔහු ට මහා ඕනෑ කමක් දැනිණ. නමුත් හෙතෙම තමන් පාලනය කර ගත්තේ ය. 

“ඔයා ඒක කරනව නේද…”

ඔහු ඇසුවේ බිඳුණ හඬකිනි. ඒ ඇස් වතුර බින්දු දෙකක් ගැවසී ගත් තෘණ පතක් සේ විය. අංජන ගේ අතක් ඉතා තදින් අල්ලා ගැනීමේ උවමනාවක් හදවත පත්ලෙන් ම ඉපිද දිය බුබුලක් සේ ඉහලට එනු සන්තුෂී ට දැනිණ. නමුත් ඕ තමන් පාලනය කර ගත්තා ය.

ඔවුන් දෙදෙනා ම තම තමන් ව අල්ලා ගන්නා ලද්දේ දෑස් වලිනි.

“අයිල් ඩූ මයි වෙරි වෙරි බෙස්ට්”

එය පොරොන්දුවකි. පොරොන්දුවක් කියා නොකියා දුන් පොරොන්දුවකි. ඒ පොරොන්දුව ඇය විසින් දිවි හිමියෙන් රැකෙනු ඇති බව අංජන ට දැනිණ. වචන කතා නොකළාට ඔවුන් අතරේ උනුන් දන්නා භාෂාවක් නිහඬ ව කතා කරමින් තිබිණ.

“සරස්වතී දේවි කියන්නෙ මගෙ ජීවිතෙත් එක්ක බැඳිච්ච මතකයක්. මරණයෙන්වත් කෙළවර නොවී ඊළඟ ආත්මෙට අරං යන්න ඉන්න මතකයක්”

එවර ඔහු ගේ ඇස් අහිංසක, බලාපොරොත්තු සුන් කර ගත් යෞවනයා ගේ වේෂය ගත්තේ ය. සන්තුෂී ට ‘අනේ’ කියා කියවිණ.

“මට හිතෙන විදිහට… ඔයා ආදරේ කරල ඔයාට අයිති නොවුණු ගෑනු ළමයෙක් ගැන මතකයක් එහෙනං”

ඔහු එකඟ වීමට හිස සැළුවේ “හ්ම්” කීවත් එය මහා ඉකි බිඳුමකට පෙරළිය හැකි නිසාවෙනි. සන්තුෂී වතුර වීදුරුව පරිස්සමට ඔහු වෙත ලං කළා ය. වචන වලින් හිතක් සනසන්නට යාම ඇතැම් විට දැළි පිහියකින් කිරි කන්නට යනවා සේ විය හැක. අංජන වතුර උගුරක් බී සිය දිය පොකුණු දෙකක් සරි දෑස් සන්තුෂී මත්තේ නතර කළේ ය.

“අයියෝ…දැන් ලොකු තාත්තෙක් නේද…ඔය පරණ කෙල්ලො හිතේ ඈතකට විසි කරල දාන්න”

ඇය ඇසිල්ලක සිනහවක් ගේන්නට සමත් වූවා ය. නමුත් ගැඹුරු තුවාල වලට ප්ලාස්ටර දැමීම ඵලදායී නොවන බව නිසැක ව දැන සිටියා ය.

“එහෙම කරන්න බැරුව ඇති..ඒ වුණාට ඔයා හොඳ තාත්තෙක් කියල මං දන්නව. දැන් මං එක දේකුත් තේරුං ගත්තා”

“මොකද්ද…”

“ඒ සරස්වතී දේවතාව හිතේ තියං ඔයා වයිෆ් දිහා බලනව ඇති. කෙනෙක් තව කෙනෙක් උඩින් කොහොමවත් සමපාත කරන්න බෑ අංජන. ඒකෙන් ඔයා වෙහෙස වෙන එකයි වයිෆ් දුකට පත් වෙන එකයි විතරයි වෙන්නෙ. ඔයාට අයිති වුණ කෙනා තමයි එයා. එයාව එයා විදිහට දකින්න..එයාගෙන් වෙන කෙනෙක් හොයන්න යන්නෙ නැතුව ආදරේ කරන්න. එතකොට එයත් ඔයා ගැන වැරදියට නොහිතා ලං වෙන්න බලයි”

කෑ ගසා හැඬීමේ ළදරු අවශ්‍යතාවයක් අංජන තුළ දඟයක් කළේ ය. ගැහැනියකට මෙසේ විය හැක්කේ කෙසේ ද? අවුරුදු විසි ගණනක් තිස්සේ ඔහු හදවතේ තියා ගෙන නිධානයක් සේ රැක ගත් ගැහැනිය මේ ය. ඔහු ගේ පිරිමි ආත්මය සංසාරයේ හොයමින් ඇවිදින, පරිපූර්ණත්වය පිණිස අවැසි වන අනිත් මිනිස් අර්ධය මේ ය. හමු වීත් වරක් ඔහු ට ඇය අහිමි විය. යළි හමු වී තියෙන්නේ හිමි කම් කිව නො හැකි ලෙස අහිමි වූවාට පස්සේ ය.

“අංජන…ආදරේ කියන්නෙ හිමි වුණා කියල ලැබෙන දෙයක් නෙවේ. අත්දැකීමෙන් ඒක කියන්නෙ. අයිති වුණා කියල අපි හිතුවට පස්සෙ වුණත් ඇඟිලි අතරෙන් දන්නෙම නැතුව රූටල යන්න පුළුවන් දෙයක්. ඒ වගේම අහිමි වුණා කියල නැති වෙලා යන දේකුත් නෙවේ. ඔයාට එයා ලැබුණෙ නැතත් ඒ ආදරේ නැති වුන්නෑ. ඔයා ළඟ තාමත් ඒක තියනව. ආදරේ එහෙමයි අංජන…ආදරේ ඒ වගෙයි”

ඒ වචන සන්තුෂී ගේ මුවින් පිට වූයේ පපුව සූරා ගෙන ය. උගුර හිර වී හුස්ම ගැනීමේ අපහසුවක් දැනුණ ඉක්බිති ඕ වතුර උගුරක් අසීරුවෙන් ගිල ගත්තා ය. නමුත් නාඬා දරා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles