සඳක් තනියම – 3

0
5981

කොළඹ ගමනට දිනාරා වලව්වේ  සියල්ලන්ගෙන්ම සමුගත්තේ රාත්‍රියේමය. කිසිවෙක් ඇගෙන් යන්නේ කොහිදැයි , ඉන්නේ කොහිදැයි ඇසුවේ නැත.බාප්පා  මුදල් නෝට්ටු දෙකක් අත මිට මෙලවූයේ කිසිවක්ම නොකියමින්ය. 

” උඹලා මේ තනියෙන් භුක්ති විඳින්නේ ඒකිටත් අයිති දේවල්…”

අත්තම්මා එසේ පවසනු දිනාරා ඕනෑතරම් අසා තිබේ.එහෙත් ඒ අයිතිවාසිකම්ගැන ඈ කිසිදිනක  කිසිවක් නොඇසුවාය.

“අම්මේ මට අර උවමනාව මේ උවමනාව තියෙනවා කියලා රුපියල් ඉල්ලුවේ නැති ගෑණියෙක් ඔය.කවදාවත් මගේ මනුස්සයාගේ දේවල් කෝ කියලා ඇහුවේ නෑ…ඒ කෙල්ල හෙව්වේ ආදරේ විතරයි…”

අත්තම්මා අම්මා ගැන එසේ පවසා තිබුණේ වරක් දෙවරක් නොවේ.

” ඔය ළමයගේ අනාගතයක් ගැන ඔය ළමයත් බලාගන්න එපැයි..කොළඹ තියෙනවා ඕනතරම් ළමා  නිවාස.මල්ලිව එහෙම තැනක නතර කරලා ඔය ළමයා රස්සාවකට යන්න..අප්පටත් එපා වෙච්ච දරුවා වෙනුවෙන් ඔය ළමයා මොකට නහිනවද..”

පුංචි අම්මා එසේ පැවසූයේ ඇගේ දෙපා මුල පහත්ව නැගී සිටියදීය..කිසිවක් නොකියා සුපුරුදු මන්දස්මිතය දෙතොලතර රඳවා ගන්නට හැකියාව දුන් ඉවසීමට ඈ එවේලෙහිත් ස්තුතිවන්ත වූවාය.

ඔය ළමයායැයි අමතනවාට  වඩා දුවේ..යැයි පවසද්දී ඒ අකුරු තුල වන සෙනෙහස මහමෙරක් බව දිනාරා දනී . එහෙත් මෙම සුවිසල් නිවසේ ඇයට දුවේ යැයි පැවසුවේ අත්තම්මා පමණි.අනිත් සියල්ලන්ටම ඇය දිනාරාය.. එසේත් නැතිනම් ඔය ළමයාය.. එවදන් දෙකෙන්ම ආමන්ත්‍රනය නොවන කල කේතකීගේ  කෙල්ලය. නැන්දාත් පුංචි අම්මාත් එක්වන තැන්වලදී  ” කාලකණ්නි කෙල්ල , මූසල කෙල්ල ”  යනුවෙනුත්  හැඳින්වූයෙත් ඈය.

ඔවුන්ගේ දරුවන් තිදෙනාම දිනාරා දෙසට  හැරී ‘ හා ‘ කිව්වා පමණි..දිනාරා හා සම වයසේ උන් යුවතිය උන්නේ නිය ආලේපනයක් ගල්වමින්ය..දිගු සුසුමක් මුදාහල යුවතිය ආපසු හැරුනේ පුරුදු රිදුමම දරාගෙනය.

නැන්දා ඒ තරමටවත් කාරුණික නොවූවාය.දිනාරා ඇගේ කාමරයේ දොර අසලට ගොස් දෙතුන් වරක් කතා කරද්දීත් ඇය උන්නේ කාමරය තුළට වී දොර අගුලුලාගෙනය. 

” එයාට මාව පෙන්නන්න බැරි උනේ මං අනාථ නිවාසෙක හැදුන කෙල්ලෙක් නිසා..අත්තම්මා මට ආදරේ උන නිසා.ඒ ඔක්කොටම වඩා ඒ කාටවත් නොවුණු ආත්තම්මගේ රූපේ ඔයාට තිබුණු නිසා..”

දිනාරාට අම්මාගේ වදන් සිහිවූයේ එවේලෙහිය.

මිනිසුන්ට ඒසා අකාරුණික විය හැකිදැයි ඈ සිතුවේ යළිත් තම කාමරයට පැමිණෙන අතරේමය.අම්මාත් සමඟ තේ වත්ත කෙලවරක  වූ කුඩා නිවසේ වාසය කරද්දී ඇය ජීවිතය හැඳින්නාය.. මිනිසුන් ජීවිතය ජීවත් කිරීමට කොපමණ වෙහෙස වනවාදැයි ඈ සමහරදාක කඳු මුදුනෙහි වූ ගල්තලාවට වී නිහඬවම සිතුවාය..අම්මා තමාට ජීවිතය වැරදුනතැන් ගැන ඇයට පහදා දුන්නේ මහා සංයමයක් දරා ගෙනය.ඒ ජීවන පාඩම්තුල අතහරින්නට කියා අංශු මාත්‍රයක යමක් වූයේ නැත.

ඉපදීමත් මරණයත් අතර කාලසීමාව තුළදී මිනිසුන් තම ජීවිතය නම් වූ වේදිකාවේ විවිධ භූමිකාවන්ට පණ පොවනවා යැයි ඇය විශ්වාස කළාය.

මධ්‍යම රාත්‍රියට හෝරාවක් පමණ තිබියදී  දිනාරා සොයා ආ අත්තම්මාගේ දෑතෙහි වූයේ කැටයම් කරන ලද පිත්තල මංජුසාවකි.මේ රාත්‍රිය තමාට සේම ඇයටත් නින්දක් දෑස් මානයට නොඑන දිගු රාත්‍රියක් බව විශ්වාසය.එහෙත් දිනාරා ඒ ගැන කිසිවක් නෑසුවාය.ඕ අත්තම්මාව පිළි ගත්තේ සිනහමුසුවය.

” මට මේ වෙලාවේ දෙන්න තියෙන්නේ මෙච්චරයි සුදු මැණිකේ..”

ඇය එතුළින් පිටතට ගත් පවුම් පහ හයක් බර වූ රන් වළලු දෙකක් දිනාරාගේ දෝත මත තැබුවාය.

” එපා අත්තම්මේ  මං…⁣මං..මේවා දාන් නෑනේ..”

දිනාරාගේ වතේ ආභරණයකට වූයේ දෙකන් පෙති සැරසූ සුදුපැහැ මුතු කරාඹු යුගල පමණි.අම්මාගේ රන් අභරණ කිහිපයක් අල්මාරියේ වුවත් ඈ ඒවා කිසිවිටකත් අල්ලා බැලුවේවත් නැත.

” ඒක මං දන්නවා…ඒ උනාට කමක් නෑ සල්ලි කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්.කොච්චර තිබුණත් මදි වෙන වෙලාවල් තියෙනවා.ඒක හින්දා මේක පරිස්සමට ළඟ තියාගන්න.විකුණලා සල්ලි ගන්න.මම කසාද බැඳලා ඔයාගේ සීයා මාව මේ වලව්වට කැන්දගෙන එන දවසේ මට හම්බ උන  තෑග්ග තමයි මේ.ඇත්තටම මං බලාගෙන හිටියා ඔයාගේ තාත්තා අපිට ගැලපෙන තැනකින් මනමාලියක් කැන්දගෙන එනකල් ..පරම්පරාව යුතුකමක් විදිහට මම මේ තෑග්ග මේ ගෙදර වැඩිමල් පිරිමි දරුවාගේ මනමාලිට දෙන්න ඕනේ..”

“ඒත් අත්තම්මේ මට…”

” ඔයාගේ  අම්මට මේක දෙන්න හිතක් මට එදා තිබුණේ නෑ..ඇත්තටම අම්මා මොනම විදිහකටත් මේ වලව්වේ ලොකු ලේලි වෙන්න ගැලපුනේ නෑ..ඒ කැපකිරීම කරන්නවත් ඒ දරා ගැනීම දරා ගන්නවත් කේතකී දැනන් උන් නෑ..ගෙයක් කියන්නේ මොකක්ද කියලා හැඟීමක් එයාට තිබුණේ නෑ..”

දිගු සුසුමක් මුදාහල මිලීනා ඇඳ මතින් අසුන් ගත්තේ දිනාරාගේ දෑත්  අල්ලාගෙනය.ඒ අනුව දිනාරාත් ඇයට සමීපව  අසුන් ගත්තාය.මඳක් එහාට වන්නට බිම තබා තිබූ පැදුර මත කුඩා සොහොයුරා වූයේ සෙල්ලම් බඩු කිහිපයක් වට කරගෙනය.බඩගිනි වූ වේලාවට මිස කිසිදු වේලාවක ඔහුගෙන් වදයක් නොවූ තරම්ය.බඩ පිරෙන්නට කිරි බෝතලයක් පෙව්වාට පසුව දෙපැයක් පමණ එක සීරුවට නිදා ගන්නා ඔහුට දැන් කාමරය ඔහුගේ රජ දහන සේය.

” ඔයාගේ තාත්තා ඔයාලව දාල ගියාට පස්සේ ඔයාගේ අම්මා මාත් එක්ක මේ වලව්වේ ජීවත් වෙද්දි සිය සැරයක් මං මේ වළලු දෙක අතට අරගෙන ආපහු අල්මාරියට  දාන්න ඇති.මොකක්දෝ අහේතුවකට මට මේ තෑග්ග ඔයාගේ අම්මට දෙන්න බැරුව ගියා. මගේ හිතට පුංචිම හරි සැනසීමක් දැනෙයි අම්ම වෙනුවෙන් ඔයාට මං මේ තෑග්ග දුන්නා කියලා…එපා කියන්න එපා සුදු මැණික.මේක ඔයාගේ අයිතිය..මගේ සැනසීම..”

” අත්තම්මේ…..මගේ ජීවිතේ බැඳීම් තරම් මට වෙන කිසිම දේක වටිනාකමක් තිබුණෙ නෑ.බැඳීම් මට ඒ තරම් වටිනවා කියලා දැනුනේ ඒවයේ සතුට මට නොලැබිච්ච නිසා වෙන්න ඇති..මේ වළලු දෙකෙත් මට තියෙන්නෙ මුදල්  වටිනාකමත් නෙමෙයි. මේ ආදරේ මට ඊට වඩා වටිනවා  අත්තම්මේ ..ඒක හින්දා මං මේ ආදරේ පරිස්සම් කරනවා..අත්තම්මා මං මේ ගතපු තීරණය ගැන මා එක්ක තරහ නෑ නේද…”

දිනාරා එසේ පැවසූයේ මිලිනාගේ වතට වාරුවෙමින්ය.කෑ ගසා හඬන්නට උවමනා වුවත් ඕ එසේ නොකළාය.අත්තම්මා දැන් වයසය.ඇගේ දරා ගැනීමේ සීමාවත් කොතැනක වේදැයි නොදනී..එනිසාම දිනාරා ඇයට හඟවා සිටියේ මේ ගමන තම අසරණකම නිසා නොව තමාගේ අනාගත ශුභ සිද්ධිය උදෙසා යන ගමනක් බවය..

පාන්දර පහයි හතළිහට නුවරින් පිටත් වූ සීඝ්‍රගාමී  දුම්රියට ඇයව ඇරලූයේ අත්තම්මාය.ඒ සඳහා බාප්පාගේ වාහනයත් ඔහුගේ රියදුරුත් ස්ව කැමැත්තෙන්ම ලබා දී තිබණේ බාප්පාය.කොළඹට යනතුරු ඇගේ තනියට පැමිණියේ සංජීවය.

මරදාන දුම්රිය ස්ථානයේ සිට ප්‍රියංකා ඈ එනතුරු මගබලා උන්නාය.. එන අතරමගදීත් ඈ කිහිප වරක්ම දුරකතන ඇමතුම් ලබා දී සොයා බැලුවාය.මවගේ මුවින් ඈ ගැන බොහෝ තොරතුරු අසා තිබුණත් දිනාරා ප්‍රියංකාව දැක තිබුණේ දෙවරක් පමණි.ඒ එක් වරක් අම්මා ඇති දැඩි වූ නිවාසයේ ප්‍රධාන පාළිකාවගේ මළ ගමේදීය . දෙවනවර අම්මාගේ මළගමේදීය. අම්මා තමා සමගත්  අත්තම්මා සමගත් බෙදා ගත නොහී වූ සමහර දුක්ඛ දෝමනස්සයක්  ප්‍රියංකා ආන්ටී  සමඟ බෙදා ගන්නා බව දිනාරා දැන උන්නාය.ඒ දුරකතන ඇමතුම් සමහර දිනක පැය දෙක තුනකි.

ඇයත් අම්මා සමගම ළමා නිවාසයේ ඇති දැඩි වූ අයෙකි. නැන්දාගේ වදන් වලින්ම පවසනවානම් අනාථයෙකි.

එහෙත් ඇය කොළඹට ගොස් තිබුණේ සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා රැකියාව සඳහාය. ජීවිතයේ අසා දැක තිබූ සමහර දේ නිසා ඇය විවාහ වීමට බියෙන් පසු වන බව දිනක් දිනාරා හා  පැවසූයේ අම්මාමය.ඇය හුදකලා ජීවිතයක් ගතකරමින් උන්නාය.

” ප්‍රියංකා ආන්ටි මට නිතරම කිව්වා ඔයාවත් අරගෙන කොළඹ එන්න කියලා.පුළුවන් විදිහකට අපි ජීවත් වෙමු කියලා කිව්වා.මේ තනිකමේ තියෙන දුක දන්නෙ තනිවෙච්ච කෙනෙක්ම විතරයි සුදු මැණිකේ.මං ඒ බව  ඔයාගේ අත්තම්මා එක්ක කිව්වහම ආත්තම්මා  තදින්ම විරුද්ධ උනා මං කොළඹ යනවට.සමහර විට අත්තම්මගේ  හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙන්න ඇති ඔයාගේ තාත්තා ආපහු ඇවිල්ලා අපි පවුලක් විදිහට එකතු වෙයි කියලා…ජීවිතයේ එකම එක පාරක් දුර දිග නොබලා ගතපු හිතුවක්කාර තීරණයක් හින්දා මට මගේ ජීවිතේ  වැරදුනා සුදු මැණිකේ.ආයෙ සැරයක් ඒ වගේ හිතුවක්කාර තීරණයක් අරගෙන මට වගේම ඔයාටත් මේ ලෝකෙ තමන්ගේ කියන්නෙ ඉන්න එකම කෙනා නැති කරගන්න මට උවමනාවක් තිබුණේ නෑ…ඒ නිසා මං ආත්තම්මා කියන දේ අහගෙන හිටියා…”

අම්මා වරෙක තමා සමඟ එසේ පැවසූ  බව දිනාරාට සිහි වූයේත් ඒ හදිසියේමය.තමා ප්‍රියංකා සමග කොළඹ ගියේනම් මේ ලතැවිලි කිසිවක් නොවේය ..යන පසුතැවීම එදා අම්මාගේ සිතෙහි වූවායැයි ඇයට සිතෙන්නේ දැන්ය..

දිනාරාව දුටු හැටියේම ප්‍රියංකා ඉදිරියට ඇවිද ආවේ සුහද සිනහවක් තම මුව මත්තේ තබාගෙනය.තත්පර කිහිපයක් ඇගේ උරයකින්  අල්ලා ඈ දෙස බලා උන් ප්‍රියංකා යුවතිය අත උන්  කුඩා දරුවාව තම දෝතට ගත්තේ ඇයවත් තම දකුණු පසින් වැළඳගන්නා ගමන්ය.

” ඔයාගේ. අම්මා කොහේ හරි ඉඳලා ඔයාගේ දිහා බලාගෙන ඇති.ඒකයි පුතේ ඔයාට වලව් මානසිකත්වයෙන් මිදිලා  තීරණයක් ගන්න පුළුවන් වුණේ..අර අසරණී එහෙම කලානම් අදටත් ජීවත් වෙනවා..”

ප්‍රියංකා එසේ පැවසුවත් දිනාරා ඊට පක්ෂව හෝ විපක්ෂව කිසිත් නොකිව්වාය.වලව් මානසිකත්වයයැයි ඈ දොස් පවරන්නේ අත්තම්මාටය.දුරකතනයෙන් කතා කල දිනකදීත් අත්තම්මා අම්මාව සිය රෑකඩයක් සේ නැටවූවායැයි ඈ දොස් කීවාය.එවරත් දිනාරා කලේ නිහඬ වීමය.මිනිසුන් ගැන තීරණ ගන්නට තමා තවමක් මුහුකුරා ගිය අයෙකු නොවේයැයි ඈ විශ්වාස කළාය.

ප්‍රියංකාට  දිනාරාව බාර කළ සංජීව දුම්රිය ස්ථානයෙන්ම සමුගෙන ගියේ නුවර බසයක නැගීමට පිට කොටුවට යනවායැයි පවසමින්ය.

” මේ පේන දුර පුතේ ඒ උනාට අපි ත්‍රීවිලර් එකක යමු…”

ඇය එසේ පැවසුයේ දුම්රිය ස්ථානය ආසන්නයේම නවතා තිබූ ත්‍රීරෝද රථයක් අසලට ඇවිද යන අතරේය.

” අපි නිදහසේ දවල් වෙලා ඇවිත් අනිත් බෑග්ස් ටික ගමු පුතේ..”

දිනාරා එවරත් ඇයට එකඟව හිස වැනුවාය.නගරය අතිශය කලබලකාරී වී තිබිණ.එකිනෙකාගේ ඇගේ හැපෙමින් දිවයන මිනිස්සුන් බසයකට නගින්නට , ත්‍රී රෝද රථයක් නවතාගන්නට පොර බදන අයුරු ඈ බලා උන්නේ දෑස් විමතියෙන් මහත් කරගෙනය.

උදෑසන වුවත් ගතට දැණුනේ උණුසුමකි..කුමක්දෝ අහේතුවකට කොළඹ කලබලයවත් , පරිසරයවත් ඇගේ සිත් ගත්තේ නැත.බැලූ බැලූ අත වූයේ ගොඩනැඟිලිය.එක දිගට විහිදුණු කඩ පේළියක් මැදින් ඉදිරියට ඇදී ගිය ත්‍රී රෝද රථය නතර වූයේ සුවිසල් නිවාස සංකීර්ණයක් මැදය. එක සමාන හැඩයකින් යුතු වූ මහල් නිවාස ගණනාවක් විය.ඒ සමහරක් මහල්  දෙකේ ඒවාය.සමහරක් තුන හතරක් උස විය…තවත් සමහරක් තට්ටු හත අටක් උස වූ ඒවාය.දිනාරා වටපිට බැලුවේ පුදුමයෙන්ය.

 “මේවට කියන්නේ මාලිගාවත්ත ප්ලැට්ස් කියලා.මගේ ගෙදර තියෙන්නේ දෙවැනි තට්ටුවේ පුතේ. බයවෙන්න එපා..එක පාරට ටිකක් නුහුරුයි කියලා දැනුනට මේවා හරි ආරක්ෂාවයි…අවුරුදු දහ අටක්ම මම තනියම ඉන්නවනේ පුතේ කිසි කෙනෙක්ගෙන් කරදරයක් නෑ..”

ප්‍රියංකා යලිත් එසේ පැවසූයේ දිනාරාට ත්‍රීරෝද රථයෙන් බසින්නට උදව් කරමින්ය.දෙවන මහලේ වූ ඇගේ නිවස ඉතා කුඩා එකකි.එහෙත් එය පිළිවෙලය.කුඩා විසිත්ත කාමරයක්.කාමර දෙකක්,  නාන කාමරයක් හා කුඩා මුළුතැන් ගෙයකින් සමන්විත කුඩා නිවස සැබවින්ම නිහඬ නිස්කලංක එකක් විය.

ප්‍රියංකා සේවය කළේ රජයේ පාසලක ගුරුවරියක ලෙසය. ඇය තමාත් සොහොයුරාත් වෙනුවෙන් වසර දෙකක නිවාඩුවක් ලබා ගත්තේ මින් දින කිහිපයකට ඉහතදීය..සැබවින්ම ඈ තමා වෙනුවෙන් එතරම් කැපකිරීමක් කරාවියැයි දිනාරා සිතුවේ නැත.ඒ ආරංචිය ඇසූ අත්තම්මා පවා කිසිවක් නොකීවාට සැනසුම් සුසුමක් හෙළනු ඈ අසාගෙනය.

තම ජීවිතයට කුමක් සිදුවේදැයි සිතමින් අසරණකමේ පතුලේම ගිලී උන් යුවතියට ප්‍රියංකාව සිහිවූයේ අහඹුවෙනි..තව දුරටත් වලව්වේ රැඳී නොසිට ඉන් පිටවන්නයැයි සිත බල කරද්දී  ක්‍රියා විරහිතව තිබූ අම්මාගේ ජංගම දුරකථනය යළිත් ක්‍රියාත්මක කළ දිනාරා එහි අංක ගබඩාවට  ගොස් ප්‍රියංකාගේ දුරකථන අංකය සොයා ගත්තාය..

තමා කේතකීගේ දියණිය යයි කියූ සැටියේම ඈ දුරකථනය එහා එම සිට කෑ ගැසුවේ සතුටින්ය.ඒ සතුට යුවතියගේ සිතට සතුටේ බලාපොරොත්තුවක් එක් කරන්නට විය.

“අනේ පුතේ මගේ අතින් ලොකු වරදක් උනේ.ඔයාගෙවත්  වලව්වෙවත් නම්බර් එක මට ඉල්ලගෙන එන්න අමතක උනා..අම්මගේ ෆෝන් එකට සිය සැරයක් ගන්න ඇති.ඒත් ඊට පස්සේ ඒක වැඩ කලේම නෑ.කොහොමද පුතේ..කොයි වෙලාවක හරි නිවාඩුවක් දාලා ඔයාලව බලලා යන්න මම වලව්වට එන්නයි හිටියේ…”

වදනක්වත් පවසන්නට ඉඩක් නොදී ඈ පැවසූයේ එක හුස්මටය..කාලයකට පසුව මිතුරියක හමු වූවා සේ සතුටින් දිනාරි අසා උන්නාය.

” ඔයාගේ අම්මා හරි අහිංසකයි පුතේ හරිම අහිංසකයි…එයාට ජීවිතේ වැරදුනේ කොතැනකින්ද කියන්න මම දන්නේ නෑ පුතේ.ඔයාලා ගැන  හෙව්ව බැලුවෙ නෑ කියලා හැමතිස්සෙම මගේ හිත මට වද දුන්නා..මට සමාවෙන්න පුතේ අම්මා නැති වෙලත් මාස හයක් ගෙවිලා යනකම්ම මට ඔයාලා ගැන බලන්න බැරුව කියා…ඒක ලොකු වරදක්.”

” අනේ නැහැ ප්‍රියංකා ආන්ටි..ඒකට කමක් නැහැ…ඇත්තටම මං අද  ආන්ටිට  කතා කළේ උදව්වක් ඉල්ලගන්න.”

” කියන්න මගේ පුතේ ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාට නොකරන්න බැරි දෙයක් මට නෑ..අදටත් අම්මට ඒ වෙච්ච දේවල් මතක් වෙද්දි මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර වේදනාවක්..”

” ආන්ටිට පුළුවන්ද අපිට කොළඹ නතර වෙන්න තැනක් හොයලා දෙන්න මටයි මල්ලිටයි..ලොකු ගාණක් නැති පොඩි තැනක්..ආන්ටි ඉන්න ලඟ පාතකම උනොත් වඩා හොඳයි..”

” කොළඹ නතර වෙන්න වෙන තැනක් මොකටද පුතේ මගේ ගෙදර තියෙනවනේ..ඒත් ඇයි ඔයා එහෙම අහන්නේ..පුතා ඉන්නෙ වලව්වේ නේද..”

” ඔව්  අත්තම්මත් එක්ක..ඒ උනාට මට හිතුනා මගේ ජීවිතේ කොතනකින්හරි පටන් ගන්න ඕනේ කියලා…”

” ඔයාගේ වචන අස්සෙ ඊට වඩා වැඩි දෙයක් තියෙනවා කියලා මං දන්නවා පුතේ..ඔයාගේ අම්මා හැම දෙයක්ම දරාගෙන හිටියට ඔයා දරාගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑ..පුතා කොළඹ එන්න. කොහෙවත් නෙමෙයි මං ළඟට. මගේ ගෙදරට…අපි හෙමිහිට කතා කරමු මොකක්ද උනේ කියලා..පුතා දැන් මේ මොහොතේ ඉඳලා ඒ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න..අම්මයි මමයි අවුරුදු දහ අටක් යනකම්ම එකම කාමරේ එකම ඇඳේ දුකසැප බෙදාගෙන හිටියා.අම්ම ඔයාගේ තාත්තත් එක්ක හොරාට යන්න හදද්දි ඒකට උදව් කළේ මම. අපිට හීනෙකින්වත් නොලැබිච්ච ලස්සන ජීවිතයක් ඔයාගේ අම්මා හොයාගෙන යන්න හදනකොට  වැඩිපුරම සතුටු උනේ මම…අන්තිමේට ඒ හොයාගෙන ගියපු ජීවිතේ ඇතුළේ අම්මට ඉතිරි වුණේ කඳුලකුයි ,,ඔයාවයි විතරයි..එන්න පුතේ අපි පුළුවන් විදිහකට ජීවත් වෙමු..”

අද දිනාරා කොළඹට පැමිණියේ ඒ වදන්  මත සම්පූර්ණ විශ්වාසය තබාය.අදන් පසු මේ ජීවිතය දුකක් වුවත් සතුටක් වුවත් ඈ ඊට මුහුණ දෙන්නට සිත හදා ගත්තාය.

” මං මල්ලිව ඇඳෙන්ම තිබ්බා පුතේ.අපි මේ තේ එක බීල ඉමු.මම බත් ඉව්වා..තව චුට්ටකින් බත් කමු.මල්ලි වෙනුවෙන් කරන්න ඕන දේවල් නම් මට තේරෙන්නේ නෑ පුතේ.හැබැයි ඔයා කියලා දෙන්න මම ඉක්මනට ඉගෙන ගන්නම්.”

තැටිල්ලක තැබූ තේ කෝප්පයකුත් සැන්ඩ්විච්  පෙති කිහිපයකුත් අතැතිව පැමිණි ප්‍රියංකාගේ හඬට දිනාරා තිගැස්සී  ගියාය.ජීවිතයතුල  ගතවූ වසර විස්සක්වන් කෙටි කාලයක් තුළදී මේ ඇගේ තුන්වන නවාතැන්පොළයි.

” අද ඉඳලා මේක ඔයාගේ ගෙදර කියලා හිතන්න..අපි තුන්දෙනාටම ඉඩ කඩ මදි කියලා හිතුනොත් අපි වෙන ගෙදරකට යමු..”

” ප්‍රියංකා ආන්ටී…..”

එවර යුවතිය ඇගේ දෑත් අල්ලාගත්තේ හැඬුම් මුසුවය..මේ කරුණාව, මේ ආදරය පිපාසාවෙන් උන් ඇගේ සිතට උහුලනු බැරි තරම් බර වැඩි එකක් විය.එවන් වූ ආදරයක් අභියස සිතුවිලි හංගා ගැනීමට ඈ දැන උන්නේ නැත.

” මාත් එක්ක ඉන්න ප්‍රියංකා ආන්ටි…මට හරි තනියි  මට හරි දුකයි වෙලාවකට..මට මං ගැන බය හිතෙනවා…මට මගේ මල්ලිව ලොකු කරගන්න ඕනේ ප්‍රියංකා ආන්ටි…අත්තම්මට තව ජීවත් වෙන්න ලොකු කාලයක් නැතිවෙයි..අත්තම්මත් නැති උනාට පස්සේ මට මගේ කියන්න කවුරුත්ම නැති වෙයි..එහෙම හිතත්දී මට පුදුමාකාර අසරණකමක් දැනෙනවා..”

” ගහනවා මම මේ කෙල්ලට දෙකක් ඔය පාර..මගේ කියන්න කාත් කවුරුත් නැති වෙන්නේ කොහොමද මම ඉන්නේ ඔයාට..මටත් දැන් දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ඉන්නවා..”

” අනේ…..”

එවර යුවතිය ඇයව වැළඳ ගත්තේ මහා හඬින් හඬා ගෙනය.මේ කාලයකට පසුව ඇයට ආදරයක් ලැබුණාමය.හිතේ හැටියට හඬන්නට උරහිසක් ලැබුණාමය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here