දාඩිය දැමීමෙන් පමණක් ඇගේ ෆැට් එක දහනය වෙනවද?

දහඩිය දාගෙන වැඩ කරොත් බර අඩු වෙනව කියල ඔබට හිතෙනවද? එහෙමත් නැත්තන් කවුරු හරි කියනව ඇහිල තියෙනවද? ඒක එහෙම නම් මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් තාමත් බර අඩු නොවෙන්නෙ ඇයි කියල ඔබට හිතෙනවද? 

ඔන්න ඒ ගැන කතා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

දහඩිය දානව කියන්නෙ මොකක්ද?

දහඩිය දැමීම කියන්නෙ ශරීර උෂ්ණත්වය පාලනය කරන්න ශරීරය විසින්ම අනුගමනය කරන එක් ස්වභාවික පියවරක් විදිහට හඳුනාගන්න පුළුවන්.

ජලය සහ ලුණු වාෂ්පීකරණය ක්‍රියාවලියක්  මඟින් ශරීරයෙන් බැහැර කර ශරීරය සිසිල් කිරීම මෙහිදී සිදුවෙනවා.

ඒ වගේම මෙහිදී ඔබේ ශරීරයේ තියෙන වතුර වල බරෙන් ඉතාම සුළු ප්‍රමාණයක් අඩු වෙනව වුනත් එය ඉතාම තාවකාලිකව සිදුවෙන අඩුවීමක්. මොකද දහඩිය දැමීමෙන් පසුව ඔබ වතුර හෝ වෙන යම් දෙයක් පානය කරොත් එහෙමත් නැත්තන් ආහාරයට ගත්තොත් ඒ බර නැවත එකතුවීම සිදුවෙන නිසයි. 

දහඩිය දැමීමෙන් කැලරි කොච්චර දහනය වෙනවද? 

දහඩිය වැඩි වශයෙන් පිටවෙන bikram yoga වගේ ව්‍යායාම වර්ග නිසා කැලරි 1000 ක් දක්වා අඩුවෙන බවට මත පළ වුනත් එම මතය පර්‍යේෂකයන් විසින් බැහැර කරනවා.

ඊට හේතුව සමහර පර්‍යේෂණ මඟින් විනාඩි 90 ක් bikram yoga වල නිරත වීමෙන් කාන්තාවක් සාමාන්‍යයෙන් කැලරි 330 කට ආසන්නව සහ පිරිමි පුද්ගලයෙක් කැලරි 460 කට ආසන්න ප්‍රමාණයක් දහනය කරන බව සොයාගෙන ඇති නිසයි.

ඒ වගේම එහිදී පිටවන කැලරි ප්‍රමාණය විනාඩි 90 ක් පැයට සැතපුම් 3.5 ක වේගයෙන් ඇවිදීමට වඩා සමාන වන බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ වගේම එතරම් දහඩිය පිට නොවෙන ව්‍යායාම වලිනුත් කැලරි දහනය කරන්න ඔබට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට පිහිනීම, කුඩා බරක් එසවීම, ශීත කාලයේ ව්‍යායාම වල නිරත වගේ ක්‍රියාකාරකම් හඳුන්වන්න පුළුවන්.

නමුත්, දහඩිය පිටවීම තවමත් ඔබ කොතරම් ත්‍රීව්‍රතාවයෙන් වැඩ කරනවාද යන්න පිළිබඳ අදහසක් ගැනීමේ එක් ක්‍රමයක් විදිහට සළකන්න පුළුවන් බවත් පර්‍යෙෂකයන් සඳහන් කරනවා.

වැඩිපුර දහඩිය දාන්නෙ ඇයි? 

අපි අතරින් සමහරක් දෙනෙක්ට අනිත් පුද්ගලයන්ට වඩා කැපී පෙනෙන මට්ටමකින් වැඩිපුර දහඩිය දමනවා ඔබ දැකල ඇති.

ඔබත් සමහර විට ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති.

ඔබට කොතරම් දහඩිය දමනවාද යන්න තීරණය කරන සාධක කීපයක් තියෙනවා.

ජානමය ලක්ෂණ

පාරිසරික සාධක

වයස 

යෝග්‍යතා මට්ටම

බර

මේ සාධක අතරින් බර සහ යෝග්‍යතා මට්ටම අනුව ඔබ ව්‍යායාම කරන විට පිටවන දහඩිය මට්ටම තීරණය කරන්න බලපානවා. 

වැඩිපුර බර එසවීමට ඔබේ ශරීරයට වැඩි ශක්තියක් අවශ්‍යයි. මෙය ඔබේ සිරුරෙන් වැඩිපුර දහඩිය පිටවීමට බලපෑම් කරන අතර ඔබේ සිරුර සිසිල් කිරීමට වැඩි දහඩියක් පිටකිරීමට සිදුවීම මීට හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඔබේ ශරීරය නියමිත හැඩයට පැවතීම ඉක්මනින් දහඩිය පිටවීමට බලපෑම් කරන බවත් සොයාගෙන තිබෙනවා.

මොකද උෂ්ණත්වය පාලනය කරන විට ශරීරයේ කාර්‍යක්ෂම බව වැඩිවන නිසයි.

කලින්ම දහඩිය දැමීම නිසා ඔබේ සිරුරට ඉක්මණින්ම සිසිල් වීමටත් හැකියාව ලැබෙනවා. මේ නිසා වැඩි වෙලාවක් ව්‍යායාම කිරීමටත් ඔබට හැකියාවක් ලැබීම අමතර වාසියක්.

දහඩිය දැමීමෙන් ලැබෙන වාසි මොනවද?

අපි කලින් සඳහන් කළා වගේම දහඩිය දැමීමේ ප්‍රධානතම ප්‍රතිලාභය විදිහට අපේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ශරීරය සිසිල් කිරීම හඳුන්වන්න පුළුවන්.

ඊට අමතරව,

නීරෝගීමත් සමක් ලැබීම

නිතරම ව්‍යායාම කිරීමෙන් ඔබේ රුධිර පරිවහනය ක්‍රමවත් ක්‍රමවත් වී ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක සංසරණයට සහ එමඟින් සමේ සෛල පෝෂණය කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

දහඩිය දැමීමේ අවාසි තියෙනවද?

විජලනය වීම

දහඩිය දාද්දී ශරීරය විජලනය වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය දහඩිය දැමීම වැඩි කරන්න බලපානවා. ඔබේ දහඩිය සමඟ පිටවෙනව හා සමාන වතුර ප්‍රමාණයක් පානය කරන්න ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

වතුර බොන්න ඔබට පිපාසය දැනෙනකම්ම ඉන්න එපා. ව්‍යායාම කරද්දී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් නිතර නිතර වතුර පානය කරමින් ශරීරයේ තෙතමනය පවත්වා ගන්නත් ශරීරය සජලනය කර තබා ගන්නත් ඔබ සැළකිලිමත් විය යුතුමයි.

වැඩිපුර දහඩිය දැමීමත් සමඟ,

අධික වෙහෙසක් සහ ව්‍යාකූලත්වයක් දැනෙනවා නම්,

ඔබ සිටගෙන සිටින විට ක්ලාන්තය වැනි ගතියක් දැනෙනවා නම් සහ එය විනාඩි කීපයක් දිගටම පවතී නම්,

පැය අටකට වඩා මුත්‍රා පිට නොවී තිබෙනවා නම්,

දුර්වල හෘද ස්පන්දනයක් දැනෙනවා නම්,

වේගවත් හෘද ස්පන්දනයක් දැනෙනවා නම්,

අත පය සෙලවීමට අපහසුවක් හෝ සිහිමද ගතියක් දැනෙනවා නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කළ යුතුමයි.

Hyperhidrosis / හයිපහයිඩ්‍රොසිස් තත්වය

අධිකව දහඩිය දමනවා නම්, ඔබට හයිපහයිඩ්‍රොසිස් නැමති තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

අධිකව දහඩිය දැමීම ඔබේ එදිනෙදා ජීවිතයට බාධාවක් වන තරමට පවතී නම් ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ ගැන උපදෙස් ලබා ගැනීමට ඔබ කටයුතු කළ යුතුමයි.

එසේම හේතුවක් නැතුවම රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීමත් හෝ හදිසියේ අධිකව දහඩිය දැමීම සිදුවෙනවා නම් එයත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගත යුතුම තත්වයක්.

ඊට අමතරව දහඩියත් සමඟ,

ෆැරන්හයිට් අංශක 104 ට හෝ ඊට වැඩි උණ,

පපුවේ වේදනාව,

හුස්ම හිරවීම සහ වේගවත් හෘද ස්පන්දනයක් දකින්න ලැබීමත් අනිවාර්යයෙන්ම සහ හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්වයන් විදිහට හඳුනාගන්න පුළුවන්.

ඉතිං අද ලිපියට අනුව, දහඩිය දැමීම සිදුවූ පමණින් කැලරි දහනය වනවා යැයි සිතීම එතරම් සාර්ථක නැති මතයක් බවට ඔබට වැටහෙන්නට ඇති යැයි අපි විශ්වාස කරනවා.

ඒ නිසා, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, යහපත් සෞඛ්‍ය පුරුදු, දිනකට විනාඩි 30 බැගින් අවම වශයෙන් සතියකට දින පහක් ව්‍යායාම වල නිරත වීමෙන් ප්‍රතිඵලදායක ලෙස අනවශ්‍ය කැලරි අඩුකරගෙන හැඩැති නීරෝගී සිරුරක් ලබාගන්න ඔබටත් පුළුවන්.

මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles