Not Without You – 9

0
6701

මැදියම් රැය ඉක්මවත්චී අපේ පුංචි සාදය හමාර වූයේ ය. මැදියමට ආසන්න වන විට සචින් අයියා ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය.

“හරි හරි ඉවරයි. දැං මං එනව”

ඔහු ගේ ප්‍රතිචාරය අනුව ඒ දෙව්නි අක්කා බව සිතා ගත හැකි වූයෙන් මම ඔංචිල්ලාවෙන් නැගී සිටිමින් මමිතුරියන් දෙස බැලුවෙමි. මගේ හිත තේරුම් ගත්තා සේ ඔවුහු වැටී සිටි තැන් වලින් නැගී සිටින්නට වූහ. ආච්චා ඒ වන විටත් නිදිමතයි කියා ගෙතුළට ගොස් සිටියා ය.

“ලස්සන පැය දෙක තුනක් අපේ ජීවිත වල ඉතුරු කළාට තෑන්ක්ස් සචින්”

මුද්‍රා සමුගැනීමේ දී කීවා ය. සචින් අයියා කතා කෝටියක් ලියැවුණු පුංචි සිනහවක් නගාගෙන “සේම් හියර්” කීවේ ය. අපි රාත්‍රියට සුබ පතාගෙන ගේට්ටුව ළඟ දී දෙපැත්තට වෙන් වීමු. මා ආදිල් ගෙන් සමු ගත්තේ පුංචි බැල්මකින් පමණකි.

නමුත් අපට ඒ දවස එතෙකින් සමාප්ත කරන්නට ඕනෑ නොවුණා සේ ය. මගේ විසල් යහනාවේ වැතිරීගෙන ද අපි ට තවත් කතා කරන්නට දේවල් ඉතිරි වී තිබිණ.

“සචින් පව් කියලත් හිතෙනව. කසාදයක් ඇතුළෙදි ගෑනියෙක් ඔයිට වැඩිය අන්ඩස්ටෑන්ඩින් වෙන්න ඕන අප්ප”

“හැබැයි ඉතිං ඔය කටිංම තමයි අපි කියන්නෙ පිරිමින්ට ගෙදර ගෑනි ඇරුනම අනිත් ඔක්කොම ගෑනු හොඳයි. ගෙදර ගෑනිට කිසි වටිනාකමක් දෙන්නෑ කියල. ඇත්තටම අපි ඔය දෙව්නිගෙ පැත්තෙන් එයාට කියන්න තියන කතාව මොකද්ද කියල හරියට දන්නෑනෙ”

“ඒකත්නං එහෙම තමයි. කසාදෙ කියන්නෙ තේරුං ගන්නයි බැලන්ස් කරගන්නයි මාර අමාරු දෙයක්. කොහොමත් කසාදයක් ඇතුළෙදි මොන දේකටවත් එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න බෑ. එක්කෙනෙක්ගෙන් වරදක් වෙන්නත් අනිත් කෙනා හේතුවක් වෙන්න පුළුවන්. ඒක තේරුං ගන්න අමාරු තරං සංකීර්ණයි අප්ප”

“එක්කෙනෙක්ගෙ වරදක් හේතු නොවී ම වුණත් කසාදයක් ඇතුළෙදි අනිත් කෙනා වැරදි කරන්න පුළුවන් සකී. දැං මං වරදක් කරලද අපේ මනුස්සය වෙන ගෑනු කෙනෙක් තියං ඉන්නවයි කියල මට කෝල්ස් ඇවිත් තියෙන්නෙ… හරියට ගෙදරිං එද්දි ගෙනාව වගේ මං තනියම ළමයෙක් හදනව. ඔය ගැන කතා කරන්න ගියොත් මං වැරදිකාරය. ගෙවල්වල අය කියන්නෙ දෙන්න දෙපැත්තෙ ඉන්නකොට ඔහොම දේවල් වෙන්න පුළුවන් කියල. එතකොට ඒකට මමද වැරදි… එයා එක්ක කතා කළොත් කියන්නෙ මායි ළමයයි හින්ද තමයි එයා මේ කාත් කවුරුත් නැති රටක තනියම දුක් විඳින්නෙ කියල. එතකොට ඒකටත් මමද වැරදි… සමහර දේවල් වලට වැරදිකාරය කවුද කියල හොයන්නත් බැරි තරං සකී. ඔයා තාම බැඳල නැති නිසා මේව ගැන රෆ්ලි හරි අයිඩියා එකක් ගන්න එක හොඳයි. ඇත්තටම කසාදයක් කියන්නෙම වරදක්ද කියල වෙලාවකට මට හිතෙනව. ඒක හරියට… මල් පෝච්චියක හිටෝපු ගහක මුල් ඒ පෝච්චිය පුරාම පැටලිලා වැවිල වගේ… යායට මුල්ඇදපු වරදක්. කොතනින්ද වරද පටන් ගත්තෙ කියල හොයාගන්න බැරි තරමට වරද මුල්දුවල ඉවරයි. වෙන සම්බන්දයක් තියනව කියල මං චෝදනා කළාම එයා කියන්නෙ ඔප්පු කරන්න කියල. ඉතිං කොහොමද මං ඒක කරන්නෙ… ඒකත් මේ වරදෙම කොටසක් කියල හිතාගෙන දැං මං මගෙ පාඩුවෙ ඉන්නව. කසාදෙකදි පිරිමියාගෙ වගකීම පවුල නඩත්තු කරන එක ගෑනිගෙ වගකීම දරුවො හදාගෙන ගෙවල් බලාගෙන ඉන්න එකයි කියල හිතන එක ඇත්තටම ලේසියි. ඉස්සර අපේ සමාජෙ ගොඩක් දුරට තිබිල තියෙන්නෙ එහෙම ක්‍රමයක්නෙ”

“එහෙම නැති කපල්ස් ඕනතරං ඉන්නව සකී. නැත්තං මේ ගෑනි කසාදයක් කරගන්න තවත් බයවෙයි”

“අපෝ ඇති. අපිට නොලැබුණු දේවල් මේ ලෝකෙ නෑ කියල කියන්න බෑ. ඒව අපිට නො ලැබුණා විතරක් වෙන්න ඇති”

කතා කළේ ඔවුන් දෙදෙනා පමණක් තරමි. මම ඔහේ අසාගෙන සිටියෙමි. විවාහයක කෙසේ වී ද පෙම් සබඳකමක කටුක මතකයක් මට ද තිබේ. සම්බන්ධයක් කියන්නේ ම ඉතා අරපරෙස්සමෙන් රැකගත යුතු යමකි. එය වහා බිඳී යන සුළු ය. වහා ගිනි ඇවිළෙන සුළු ය. ඇතැම් විට අප කෙතරම් කැපකිරීම් කරමින් රැකගන්නට උත්සාහ කළ ද එහි ආයු කාලය කෙටි විය හැක. සම්බන්ධයක් තුළ දී උනුන්ට අවංක වෙන්නට හා සම්බන්ධයට අවංක වෙන්නට දෙදෙනා ට ම හැකි නම් බොහෝ අසීරුතා අතරේ වුව ඊට ගමනක් ඇතැයි බලාපොරොත්තු වෙන්නට පිළිවන.

“ආදිල්ට කෙල්ලෙක් ඉන්නව ඇද්ද…”

හදිසියේ ම මුද්‍රා ඇසුවා ය. මගේ ඇස් වහා ඈ වෙත යොමු වී පීහු වෙතට හැරවිණි ද මම ඒවා සන්සුන් ලෙස යළි මා වෙතට ම ගෙන්වා ගතිමි.

“නැති වෙන්නෙ ඇයි…”

ඒ ප්‍රශ්නය මගෙන් ගිළිහුණේ අවඥාවක තානයකිනි.

“එදා කිව්වෙ බැඳල හිටියට කමන්නෑ ඕන්නං තව එක්කෙනෙක් බඳින්න පුළුවන් කියල”

“ආ… පීහු මේ බලනව. මෙයා වචයක් ගානෙ මතක තියං ඉඳල තියෙන්නෙ”

“මතක තියං හිටියෙ නෑ. මතකයි ඉතිං”

මම බොරුවට නෝක්කාඩු වී මූණ හකුළාගතිමි.

“ඒ වුණාට සචින් කිව්වෙ බැඳල නෑ කියල”

“කෙල්ලෙක් නෑ කිව්වෙ නෑ හොඳේ”

“හරි හරි ඉතිං ඒ කොල්ල අපිට මගුල් යෝජනා කළේ නෑනෙ”

එකඟතාවයකට ආවා සේ අප ඊට පස්සේ ආදිල් ගැන කතා කළේ නැත. සමහර වෙලාවට එහෙම වේ. එතෙක් අප තිදෙනා අතරේ හාස්‍යයට හේතුවක් වෙමින් සිටි ආදිල්, දෙවොලේ දෙවියෙකු සේ පූජනීයත්වයට පත් සෙයකි. ඔහු මහලොකු දෙයක් කළේ නැත. කළේ බාබකිව් සෝස් එකක් සාදන එක පමණකි. නමුත් කිසිදු පිරිමියෙකු ගේ හොඳක් නො දකින මුද්‍රා ට පවා ඔහු ‘හොඳ කෙලේලෙකු’ සේ දැනෙන්නට පටන් ගෙන තිබේ.  ආදිල් කිසිදු රඟපෑමක් නො කළ බව මට ඉඳුරා විශ්වාස ය. ඔහු යම් ලෙසකින් හැසිරුණා නම් ඒ ඔහු ගේ ස්වභාවික විදිහයි. සමහර මිනිස්සු එහෙම ඉක්මනින් හදවත් අල්වා ගන්නට සමත් වෙති. විශේෂ කිසිවක් නො කොට, සිනහවෙන් කතාවෙන් පමණක් එහෙම කරන්නට සමත් වෙති.

“සචින්ගෙ ගෑනි මිනිහට තඩිබෑවද දන්නෙත් නෑ”

කොයි මොහොතක හෝ අප නින්දට වැටෙන්නට ඇත්තේ පීහු ගේ ඒ කතාවට සිනහ වෙමිනි. සිනහවට අමතරව බරක් සෙයින් මගේ හිත මත ඒ සිතිවිල්ල පැටවී තිබිණ.

පහන් වී තිබුණේ ඉරිදාට ය. ආච්චා ව පල්ලි කැටිව යන්නට මම ඇයට පොරොන්දු වී සිටියෙමි. මා අවදි වන විටත් මුද්‍රා හා පීහු ද ඇගේ පුතු ද නින්දේ ය. ඔවුන් අවදි කරන්නට මට ලෝබ සිතිණි. එබැවින් පල්ලි යන බවට සටහනක් ලියා මේසය මතින් තබා මම ආච්චා සමග ගියෙමි.

“අපරාදෙ සකීට තිබුණනෙ මට කැබ් එකක් කෝල් කරල දෙන්න”

ආච්චා අවංකව ම පසුතැවුණා ය.

“ඒකට කමක් නෑ ආච්චා. අපි ආපහු එකකලුත් ඔය සමයං දෙක නැගිටින්නෑ”

“අනේ කෙල්ලො දෙන්න හරියට විනෝද වුණා”

ආච්චා ඒ ගැන සතුටෙනි. ඒ ඇගේ ස්වභාවයයි. අනුන් වෙනුවෙන් සතුටු වීමට ඇයට වන ඒ හැකියාව කතෝලික ආගම ආශ්‍රය කිරීමෙන් ලැබුණකැයි මම සිතමි. ආච්චා කතෝලික ලබ්ධිකයෙකු නොවේ. ඇය බෞද්ධ ය. නමුත් සීයා කතෝලිකයෙකි. එහෙමය කියා ඔවුන්ගේ එක දරුවෙකුදු භෞතීස්ම කොට කතෝලික ආගමට ගෙන නැත. සීයා ඊට ඉඩ නොදුන් බව ආච්චා සිහි කරන්නේ නෙත රැඳි කඳුළක් අතරිනි.

“ආගම කියන්නෙ ගෑනුන්ගෙ කරපිටින් ඉස්සරහට ආපු දෙයක්. හැමදාමත් ආගමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ ගෑනු. පිරිමි අපිට ඕවට වෙලාවක්වත් ලොකු ඇදහීමක්වත් නෑ. අනිත් එක ළමයි හැදෙන්නෙ අම්ම එක්කමනෙ. අම්ම කරන දේවල් තමයි ළමයින්ට එයාලගෙ ජීවිතේට ළඟම දේවල් වෙන්නෙ. අම්ම බෞද්ධාගම අදහද්දි මං කතෝලික වුණා කියල ළමයින්ට කතෝලික ආත්මයක් දෙන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඒගොල්ලො කිසිම ආගමකට ඇදහිල්ලකට සමීප නැති මිනිස්සු වෙන එක. එහෙම වෙන්න ඕන නෑ. ළමයි ඔයාගෙ ආගම අදහපුදෙන්. මට පුළුවන් නං බෞද්ධ ගෑනියෙක්ට ආදරේ කරන්න… මට බැරිද බෞද්ධ ළමයින්ට ආදරේ කරන්න…”

සීයා සිය දරුවන් සිය ආගමට හරවා නො ගෙන ඇත්තේ එවන් අදහසක් දරමිනි. ආච්චා කොතෙක් කීව ද ඔහු එක දරුවෙකුටවත් කතෝලික ආගම උගන්වන්නට පෙළඹී නැත. ඇය ගැන ඒ තරම් භක්තිමත් වූ මිනිසා වෙනුවෙන් ඇයට කළ හැකි වී ඇත්තේ ඔහු ගේ අභාවයෙන් පසුව ද ඉඳහිට හෝ පල්ලියට ගොස් සීයා වෙනුවෙන් යාඥා කිරීමයි.

“සීයා පප්ප විශ්වාස කරපු එක ම දේ… කොයි ආගමකින්වත් වරදක් කරන්න උගන්නන්නෑ කියන එක. මගෙ දරුවො මොන ආගමක් නිසා හරි ලෝකෙට යහපතක් කරං ඉන්නයි ඕනෙ කියන එකයි එයාගෙ ප්‍රාර්ථනාව වුණේ. අනේ එයා තව ටිකක් කල් මාත් එක්ක හිටියනං…”

ආච්චා ගේ හඬ බිඳී ගියේ ය. මම එක අතකින් සුක්කානම අල්වාගත් වන අනිත් අතින් ඇගේ අතක් පිරිමැද්දෙමි. බැඳීම් වල ගැඹුරු පත්ල ස්පර්ශ කළ මිනිසුන් වශයෙන් ආච්චලා සිටින්නේ මා, මුද්‍රා හෝ පීහු ට වැඩිය ඉහළිනි. සැබවින් අපට අත පත ගාන්නට හෝ ලැබී තිබෙන්නේ බැඳීම් වල මතුපිට ස්ථරය පමණක් නොවේ ද?

ආසන දෙව්මැදුරෙහි පේළි අසුනක හිඳ ආච්චා යාඥා කළා ය. මම ඔහේ බලා සිටියෙමි. මිනිසුන් වැඳුම් පිදුම් කරනා තැන් වල ස්පර්ශ කළ නො හැකි බලයක් සංසරණය වෙනු දැනේ.  හිත සන්සුන් වූ වෙලාවට විශ්වය සමගින් චිත්ත තරංග වලට ඍජුව ම සම්බන්ධ විය හැකි බැවින් එහෙව් සිතකින් බලාපොරොත්තු වන හෝ ඉල්ලා සිටින දේවල් ලබා දෙන්නට විශ්වය උත්සුක වන බව මා ධනාත්මක චින්තන කෘතියක කියවා තිබේ. දැන් මගේ හිත තිබෙන්නේ සුදු වලාකුළක් වන් සැහැල්ලු තත්වයකයි. නමුත් මට පතන්නට ය කියා යමක් වේද?  ඒ සිතිවිල්ල ම සුසුමක් ව බැහැර වූයේ ය. ඒ තරමට ම මා හිස් වන්නේ ඇයි? ආච්චා හා සීයා වාගේ සමගි සමාදානයෙන් ගෙවුණු පවුල් ද මගේ ම අම්මා හා තාත්තා වාගේ සතුටෙන් සමගියෙන් ජීවත් වූ පවුල් ද ලෝකයෙහි නොවන්නේ ද? හසන්ත වාගේ එක් පිරිමියෙකු නිසා මා එවන් පවුලක් අහිමි කරගත යුතු ද? යම් කිසි දවසක ආච්චා ද ජීවිතයෙන් නික්ම ගිය කලෙක පවුලක් කියා දෙයක් මට තිබේ ද? බිත්ති හතරක් සහිත පරපුරකින් උරුම වූ විශාල නිවසක් හා ජීවිත කාලයක් ජීවත් වන්නට බැංකු ගිණුම් වල මුදල් තිබෙනවා කියන්නේ පවුලක් තුළ ජීවත් වෙනවා වාගේ දෙයක් ද?

නැවතත් සුසුමක් ගිළිහී ගියේ ය. මාව ද ජීවත් ව සිටින තුරාවට ආච්චාව ද රැක බලාගත හැකි පිරිමියෙකුගෙන් සමන්විත පුංචි පවුලක් මට අවැසි නැති ද? ඒ අඩුව සපිරිය හැකි පිරිමියෙකු අපේ ගෙදරට අවැසි නැති ද?  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here