තමන්ව ආදරයෙන් හදාගත් අම්මාව මරපු අනාථ කෙල්ල

ලෝකය රඳා පවතින්නේ දෙමාපියන් සහ දරුවන් අතරේ ඇති බැඳීම් වලින් කියලා මම කිව්වොත්,  ඔබලා අතරින් කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වේවි. තමන්ගේ දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න වෙහෙසෙන දෙමාපියන් වගේම, තමන්ව ලස්සන අනාගතයකට එක්කගෙන ආව දෙමාපියන්ට කලගුණ සලකන දරුවනුත් මේ ලෝකය ලස්සන කරනවා. හැබැයි මේ කියන්න යන කතාව නම්, තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න හිතාගෙන, තමන්ගේ හිතට දැනුන හැඟීම් වලට රැවටිලා තමන්ගේ කැපකරු  අම්මගේ ජීවිතේ අවසන් කරපු දියණියක් ගැන.

මේ කතාව ඇහෙන්නේ ඇමරිකාවේ ඔහියෝ කියන ප්‍රදේශයෙන්. එක දවසක් ඔහියෝ වල ප්‍රාදේශීය පොලිසියට ඇමතුමක් එනවා. ඒ මේගන් කියන ගැහැණු ළමයෙක්ගෙන්. ඇය ඉන්නේ බොහොම කලබලයෙන් බව වටහා ගන්න ඇමතුමට පිළිතුරු දෙන නිළධාරිනිය ඇයව සන්සුන් කරනවා.

” හරි මේගන් … දැන් ඔයා හොඳ හුස්මක් ගන්න … මට කියන්න ඇයි මේ කලබල වෙලා ඉන්නේ කියලා.. මොන දේ වුනත්, ඔයා තනි වෙලා නැහැ .. අපි ඔයා එක්ක ඉන්නවා…”

මේගන් සන්සුන් වෙන්න උත්සාහ කරන ගමන් කතා කලා.

“අනේ .. මට හරිම බයයි … මගේ අක්කා අම්මට පිහියෙන් අනිනවා.. අනේ මම එයාට කොච්චර කිව්වත් එයා නවත්තන්නේ නැහැනේ…. අනේ …”

ඇමතුම ගත්ත නිළධාරිනිය ඉතාම ඉක්මනින් ඔහියෝ පොලිස් නිළධාරින්ව මේ ගැන දැනුවත් කරනව. ඉතා ඉක්මනින් පොලිස් නිළධාරින් මේගන්ගේ නිවසට ළඟා වෙන්නේ, කොහොමම හරි මේගන්ගේ අම්මාගේ ජීවිතය බේරාගන්න උත්සාහ දරන්න. ඔවුන් නිවසට ලඟා වෙනකොටම දකිනවා මේගන් ගෙදර ඉස්සරහ හිටගෙන ඉන්න විදිය. ඇය ඉන්නේ ඉතාම බියෙන් සහ කලබලයෙන් බවත් ඔවුන්ට පේනවා. මේගන් පොලිස් නිළධාරින් දිහාවට දුවගෙන එනවා.

“අනේ .. මගේ අම්මාව බේරගන්න ..අනේ… අම්මා එයාගේ කාමරේ.. අක්කත් එතනමයි …”

මේගන් පොලිස් නිළධාරීන්ට අම්මාගේ කාමරේ පෙන්නන ගමන් කෑ ගහනවා. පොලිසිය ඉතාම ඉක්මනින් මේගන්ගේ අම්මගේ කාමරේ දිහාවට යනවා.

” අපි ඔයාව වට කරලා ඉවරයි සබ්‍රිනා..කරුණාකරලා එලියට එන්න …”

ඒත් එක්කම තත්පර ගානක් යනකොට, සබ්‍රීනා කාමරෙන් එලියට එනවා. ඒ ලේ වැකුණු පිහියකුත් එක්ක. පොලිසිය ඒත් එක්කම විවෘත වුන කාමරයට ඇතුලු වෙලා මේගන් සහ සබ්‍රිනාගේ අම්මා වුන ලීසාගේ තත්වය ගැන විමසිලිමත් වෙනවා.  ඒත් ඒ වෙද්දීත් ලීසා මිය ගිහින් ඉන්නේ.

මේ ගැන පසු විමර්ෂණ වලදී ලීසාගෙ මුලු ශරීරය පුරාම පිහි පාරවල් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් තිබුණා කියලා අනාවරණය කරගන්නවා. ඒ සමහර පිහි පහරවල් ඉතාම අමානුෂික විදියේ පිහි පහරවල් බවත් සොයාගන්නවා. අඟල් පහලොවක විතර පිහියකින් තමන්ගේ අම්මාව මරලා දාන්න සබ්‍රීනාට තිබුන ආවේගය කොයි තරම්ද කියනවා නම්, ඒ පිහිය පොලිස් අත් අඩංගුවට පත් වෙනකොටත් පිහිය නැවිලයි තියෙන්නේ.

ඒ අතරේ අල්මාරියක් ඇතුලේ හැංගිලා හිටිය ලීසාගේ කුඩාම දියණියත් පොලිසිය සොයාගන්නවා. ඇය සහ මේගන් වහාම පොලිස් නිළධාරිනියන් යටතට අරගෙන ඔවුන්ගේ ආරක්ශාව තහවුරු කරනවා.

පොලිසිය ඉන් පස්සේ සබ්‍රීනාගේ මේ උමතු හැසිරීම පස්සේ තියෙන සිදුවීම ගැන හොයාගෙන යනවා. එතකොට පොලිසියට හොයාගන්න ලැබෙනවා සබ්‍රීනා කියන්නේ ලීසා සහ ඇගේ සැමියා වුන කෙවින් විසින් හදාගන්න ගත්ත දියණියක බව. ඒ වගේම මේගන් කියන්නේ ලීසාගේ පෙර විවාහයේ දියණිය බවත් හොයාගන්නවා. ලීසා මියයනකොට අවුරුදු තුනක් වෙලා උන්න හේලි තමයි ලීසා සහ කෙවින්ගේ දියණිය.

සබ්‍රීනාගේ සැබෑ අම්මා සහ තාත්තා සෑහෙන්න තරමින් මත් ද්‍රව්‍ය  වලට ඇබ්බැහි වෙලා ඉඳලා තිබුන අය. ඒ වගේම විවිධ විෂමාචාර ක්‍රියාවන් වලට සිරගත වෙලා උන්න අය.  සබ්‍රීනා ඉපදුනාට පස්සේ සබ්‍රිනාගේ අම්මා ආයෙම සිරගත වෙනවා. සබ්‍රීනාගේ තාත්තා සහ අම්මා අතරේ ඇතිවෙන ප්‍රශ්නයක් නිසා සබ්‍රිනාවත් අරගෙන සබ්‍රිනාගේ තාත්තා වුන මාර්ක්  ඔහුගේ මව ලඟට යනවා.  

එහෙදී සබ්‍රීනාව පහසුවෙන් නිදි කරවගන්න ඇයගේ ආහාර වලට වොඩ්කා එකතු කරන්නත් මේ පුදුම තාත්තා කටයුතු කරලා තියෙනවා.  ඊට පස්සේ සබ්‍රිනාව ආච්චි ලඟ දාලා මාර්ක් මාස ගනන් එහෙ මෙහෙ යන්නත් පුරුදු වෙලා. අම්මගෙයි තාත්තාගෙයි ආදරේ , අවධානේ නැතුව හැදෙන සබ්‍රීනා ඉතාම හිතුවක්කාර සහ නපුරු ළමයෙක් විදියට තමයි පාසැලෙත් හංවඩු ගැහෙන්නේ. ළමයි එක්ක ගහ මරාගන්න එක සබ්‍රිනාට හරිම සාමාන්‍ය තත්වයක් වෙනවා. අන්තිමේදී සබ්‍රීනාගේ ආච්චී සබ්‍රීනාව අනාත නිවාසයකට බාර දෙනවා. එතකොට සබ්‍රීනාට අවුරුදු දා හතරක්.

අනාත නිවාසේ අවුරුදු දෙකක් ගෙවලා ඉවර වෙනකොට සබ්‍රිනාට ලිසා සහ කෙවින්ගේ ආදරණීය කැදැල්ලේ ඉඩක් හැදෙනවා.

ලීසා කොහොමටත් වැඩ කරන්නේ ළමා සුභසාධනය පිළිබඳව නිසා  සබ්‍රිනා වෙනුවෙන් යහපත් අනාගතයක් හදන්න පුලුවන් වේවි කියලා ලිසා විශ්වාස කරනවා. ඒ හිතුවා වගේම සබ්‍රීනා ගේ තත්වය යම් තරමකින් වෙනස් වෙනවා. ඇය පාසැලේ වැඩ කටයුතු වලදී උනන්දුවෙන් වැඩ කරනවා. මිතුරන් එක්කත් සාමාන්‍ය විදියට හැසිරෙනවා.

ඒත් කිසිම කෙනෙක්ට නොපෙනුන අඳුරක් මේ පවුලේ තිබිලා තියෙනවා.  සබ්‍රීනා ගැන ලීසා කොයි තරම් ආදරෙන් බැලුවත් සබ්‍රිනාගේ හිතේ ලීසා ගැන වෛරයක් හැදෙන්න අරගන්නවා.

“ලීසා මගේ ජීවිතේ අපායක් කරනවා. ලිසා මට වෙනස්කම් කරනවා… මම හේලිට ආදරේ කලත්, ලීසා මට හේලිට ලං වෙන්න දෙන්නේ නෑ… ලීසාට ඕනෑ මාව ගෙදරින් යවන්න … මම දන්නේ නැහැ ඇයි ඇය මාව අරන් හදාගත්තේ කියලා.. කෙවින් මට කොයි තරම් ආදරේ කලත්, ලීසා මට ඒකට ඉඩ දෙන්නේ නැහැ..එයා හොඳ තාත්තා කෙනෙක්.. ඒත් ලීසා ඒකට ඉඩ දෙන්නේ නැහැ..”

සබ්‍රීනා ඇගේ පාසැල් මිතුරියක් එක්ක එහෙම කියන්නේ, ලීසා එක්ක තරහ දරාගන්නම බැරි වුන දවසක.

අවුරුදු දහ අට පිරුනාම සබ්‍රීනාට ලීසාලගෙ පවුලෙන් අයින් වෙන්න ඉඩ නීතියෙන් ලැබුනත්, සබ්‍රිනා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ ලීසා සහ කෙවින්ගේ පවුල එක්කම රැදී සිටින්න අවශ්‍ය බව කියලා.

 අවසානයේදී සබ්‍රීනාගේ ඉල්ලීමට ඉඩ ලැබෙනවා.

ඒ තරම් ඉල්ලීමක් කරලා ලීසා ලඟ උන්න සබ්‍රීනා අවසානයේදී ලීසාව මරා දමන්න තීරණය කරන එක ගැන සබ්‍රිනාව වරදකාරයා කරන්න පොලිසියට ඉඩ ලැබුනත්, ඒ මිනීමැරුමට හේතුව නම් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ.

” ඇත්තටම මට මුකුත්ම මතක නැහැ… මට කිසිම දෙයක් මතක නැහැ…”

දිගින් දිගටම සබ්‍රීනා කියන්නේ එහෙම. කොහොම හරි පොලිසිය කෙවින්ට මේ සිදුවීම කීව ගමන්ම කෙවින් පොලිසියට ඇවිල්ලා මේගන් සහ හේලිව බාරගන්නවා. ඔහු ඉන්නේ අසාමාන්‍ය තරමේ සන්සුන් බවකින් බව පොලිස් නිළධාරින් වහාම හඳුනා ගන්නවා.

” මම මේ වගේ දේවල් ඕනි තරම් දේවල් දැකලා තියෙනවා.. ඒ නිසා මට මේක දරාගන්න පුලුවන් …”

ඔහු  පොලිස් නිළධාරින්ට කියනවා.

පොලිසිය දිගින් දිගටම ඒ ගැන හොයනවා.

එතනදී පොලිසිය හොයාගන්නවා පහුගිය මාස දෙක තුනේදී කෙවින් සහ ලීසාගේ පවුල් ජීවිතය ඇතුලෙත් යම් ගැටුම් ඇතිවෙලා තිබුන බව. සබ්‍රීනාව අත් අඩංගුවේ හිටියත් පොලිසිය කෙවින්ගේ පස්සෙන් එලවන එකත් අඩු කරන්නේ නැහැ.

ඒ අතරේ ලීසාගේ මරණය නිසා කෙවින්ට ඩොලර් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයක් එක් එක් පාර්ශව වලින් ලැබෙනවා. ඒ නිසා කෙවින් ඉන්නේ ලීසාගේ මරනයෙන් කිසිම කම්පනයක් නැති   ගානට. මාස නවයක් ගෙවිලා යනවා. කෙවින් සැප පහසු ජීවිතයක් ගෙවන ගමන් ලීසා ගැන වගක්වත් නැතුව ජීවත් වෙනවා.

ඒත් එක දවසක්, සබ්‍රීනාගේ කට උත්තරය වෙනස් වෙනවා.

” කෙවින් මගේ තාත්තා කියලා ලෝකෙට පෙනුනට ඇත්තටම ඒක එහෙම නේයි .. මම ඒ පවුලට ගිහින් ටික කාලෙකින් අපි අතර යම් දෙයක් ඇති වුනා…. කෙවින් සහ මම දේවල් ගැන දිගින් දිගටම කතා කලා… අපි ආදරේ කරන්න ගත්තා… කෙවින් මට කිව්වා ලීසාව ඩිවෝස් කරලා මාව විවාහ කරගන්න බව… ඔහු කිව්වා ලීසා මැරුනොත් අපි දෙන්නාට ඩොලර් ලක්ශ අටක් විතර ලැබෙන බව .. ලීසා ජීවත් වෙනවට වඩා මරණ එකයි වටින්නෙ කියලත් කෙවින් කිව්වා.. අපි අන්තිමේදී ලීසාව මරන්න තීරණය කලා .. ඒ වෙනුවෙන් සෑහෙන්නම සැලසුම් හැදුවා… ලීසා නිදාගෙන ඉන්නකොට එයාට වෙඩි තියන්න අපි ඉස්සෙල්ලම හිතුවේ .. ඒත් මම වෙඩි තියනන දැනගෙන හිටියේ නෑ.. අපිට ඒ වෙනුවෙන් පුහුණු වෙන්න කාලයක් තිබුනෙත් නෑ … ලීසා හිටියේ අපේ දිහාවට අවධානෙන් බවත් තේරුණා.. මම ලීසාව මරන්න කලින් දවසේ උදේ කෙවින් මට කිව්වා, ලීසාගේ කරදරේ දැන් වදයක්… එයාම ලීසව මරනවා කියලා… ඒත් මම කිව්වා ලීසාව මම මරන්නම් කියලා ….කෙවින් මට කිව්වා මේගන් සහ හේලිට නොපෙනෙන්න ලීසව මරන්න කියලා… බැරි වෙලාවත් අපේ සැලැස්ම වැරදුනොත් මට මානසික රෝගයක් තියෙනවා වගේ රඟපාන්න කියලත් කිව්වා..කෙවින් ඉක්මනින් මාව බේරගන්න බවත් කිව්වා..”

පොලිසිය වහාම කෙවින්ව අත්  අඩංගුවට ගන්න විවිධ සැලසුම් හදනවා. ඒත් කෙවින් මේ මිනීමැරුමට සම්බන්ධ බව කියන්න සාක්ෂි ලැබෙන්නේ නැහැ. ඒත් කොහොමහරි සබ්‍රීනාගේ කට උත්තරය පදනම් කරගෙන කෙවින්ව අත් අඩංගුවට ගන්නවා.

ඒ ගැන නඩු විභාගය අවසානේදී සබ්‍රීනාට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙනවා. කෙවින් නීතිවේදීන්ව යොදාගෙන සබ්‍රීනාගේ සාක්ශිය සත්‍ය නොවන බව කියන්න සෑහෙන්න උත්සාහ දැරුවත්, අවසානයේදී කෙවින්ටත් ජීවිතාන්තය වෙනුවෙන් සිර දඬුවම් ලැබෙනවා.

තමන්ට කැපකරු වුන අම්මාට මරණය උරුම කරපු සබ්‍රීනාව කෙවින්ගේ අතකොලුවක් වෙලා ඇගේ ජීවිතය විනාශ කරගත් බව අවසානයේදී පොලිසිය පවා ප්‍රකාශ කරනවා.

අපේක්ෂා ගුණරත්න. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles