සාගර තරංගා – 40

0
3049

ඒ වෙලාවේ, එවන් මොහොතක සාගර ප්‍රසාද් වීරබාහු කිසිම දවසක තමන්ගෙන් එහෙම දෙයක් අහවි කියලා තමන් බලාපොරොත්තු නොවුන වග තරංගාට ස්ථිරය. මෙච්චර දවසක් ආශ්‍රය කර, බොහෝ ලඟින් දැන් උන්නු මිනිසා වංචාකාරයෙක් නොවන බවට හිතට සක්සුදක් සේ ස්ථිර නමුත් මිතුරෙකු සේ ඇසුරු කල ඔහු කවදාවත් තමන්ට එහෙම දෙයක් කියනු ඇතැයි තරංගා බලාපොරොත්තු උනේ නැත.

“සාගර කියන්නෙ දෙයියෙක් වගේ මනුස්සයෙක්” කියා තරංගා හිතූවාර අනන්තය. අනෙක් අතට එවන් ගතිගුණ තිබෙන යහපත් මිනිසෙකු තමන් වගේ ජිවීතේ බොහෝ ගැටලුවලට මුහුණු දුන්නු කෙනෙකුට එහෙම ඇරයුමක් කර තමන්ගේ සුන්දර ජීවිතයට අයහපත් කරගන්න තනන්නේ ඇයිද කියන එක ගැන තරංගා නැවත නැවත සිතුවාය.

තමන් ඇසූ ප්‍රශ්නය තරංගාට බොහෝ දුර කල්පනා කරන්න හේතුවෙන එකක් බව දන්න හන්දාම දෙදෙනා අතරේ ඇතිවුණු නිහඬතාවය සාගර දරාගත්තේත්, විඳගත්තේත් වඩා සැහැල්ලු හැඟීමකිනි. එක අතකින් මෙතෙක් දවසක් හිත අස්සේ හිරකරගෙන උන්නු හැඟීමක් හිතෙන් නිදහස් කරගන්නට හැකිවීම හිතට අරගෙන එන්නේ සැනසුම්දායක හැඟීමකි.

“මං කියපු දේ හන්දා තරංගාගෙ හිත කලබල වුණානම් ඇත්තටම අයෑම් සොරි” සාගර හීන් සැරේ කිව්වේ තරංගාගේ නිහඬතාවය පිටිපස්සෙ තමන් කියූ දෙයින් ඇතිවෙච්ච යම් කිසි හිත් වේදනාවක් තිබේ නම් එය නිවෙන්න යැයි පතමිනි.එහෙත් තරංගා උන්නේ හිත බියපත් කරගෙන නොවේ. මේ වෙන දේවල් වෙන්නේ ඇත්තටමද කියා හිතාගන්න බැරුවය. 

“හිත කලබල උනේ නෑ ඩොක්ටර්. මට තාම හිතාගන්න බෑ ඩොක්ටර් ඇයි මං වගේ කෙනෙක්ට එහෙම දෙයක් කිව්වෙ කියලා”

“මං වගේ කෙනෙක් කියන එකෙන් තරංගා මීන් කලේ මොන වගේ දෙයක්ද?”

“ඩොක්ටර්ම දන්නවනෙ පහුගිය කාලයක් පුරාවට මම කොච්චර මානසිකව වැටිලද උන්නෙ කියලා. ඩොක්ටර් හිනදා තමයි ඇත්තටම මමයි බබයි දෙන්නම මෙච්චරවත් දුරකට රිකවර් උනේ. එවෙලෙ ඩොක්ටර්වත් උන්නෙ නැත්තම් ඇත්තටම මට හිතාගන්න බෑ මොනවයින් මොනවා වෙන්න තිබුණද කියලා.

එහෙම එකේ මං කියන මනුස්සයගෙ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම, හැම ෆෝල්ට් එකක්ම දන්න කෙනෙක් විදියට ඒ වගේ ප්‍රශ්න, ෆෝල්ට්ස් තියෙන මනුස්සයෙක්ව ජීවිතේට එක්කහු කරගන්න ඩොක්ටර් හිතුවෙ ඇයි කියන එක තමයි මං කල්පනා කලේ”

“තරංගා හිතුවෙ මම ඔයාට ප්‍රශ්න ආව වෙලාවල කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳන්න උදව් කල හන්දා මම තරංගා එක්ක එකතුවෙන්න හදනවා කියනවනම් ඒක වැරදියි. තරංගා එහෙම හිතන එකත් වැරදියි. මම කරන්නෙ එහෙම දෙයක් නම් මම එහෙම කරන එකත් වැරදියි. කිසිම මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක එකතුවෙන්න ඕන, සබඳතාවයක් හදාගන්න ඕන “මට එයාගෙ ප්‍රශ්න විසඳලා දෙන්න පුලුවන්” වගේ දේවල්වත් “එයාට මං ඉන්න එකහරි ලොකු හයියක් වෙයි” කියල වගේ දේවල් හිතලා නෙවෙයි තරංගා.

අපේ ගොඩක් සබඳතා ඇතිවෙලා තියෙන්නෙ ආපස්සට හැරිලා බලද්දි එක එක විදියෙ ඩීල් හන්දනෙ. සමහර වෙලාවට කාලාන්තරයක් තිස්සෙ ඩේට් කරලා අන්තිමේ අතෑරලා දැම්මොත් මිනිස්සු කතා හදාවි කියන බය හන්දා, එහෙම නැත්තම් මම අර උඩින් කිව්ව වගේ මගේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් වහගෙන ඉන්න පුලුවන් කෙනෙක් මට හම්බුවෙච්ච හන්දා, එයාට විතරයි මාව තේරුම්ගන්න පුලුවන්, එයා එක්ක මට ඕන ප්‍රශ්නයකට බය නැතුව මූණ දෙන්න පුලුවන් එහෙම කියලනෙ. ඒ උනාට අපි ඇත්තටම කෙනෙක්ට බැඳෙන්න ඕන ආදරෙන් තරංගා.

අපේ සමහරු බැඳෙන්නෙ, ඒ කිව්වෙ විශේෂයෙන්ම විවාහයකට යන්නෙ යුතුකමක් විදියටනෙ. මං එයාව ඩේට් කරා කාලයක් ඒ නිසා මම එයාව නොබඳින එක වැරදියි වගේ හිතලනෙ. ඒක තමයි ලොකුම වරද. අපි බැඳෙන්න ඕන, බඳින්න ඕන ආදරෙන් තරංගා. එහෙම නැතුව යුතුකමක් වගකීමක් ඉස්ට කරන්න හිතාගෙන නෙවෙයි”

“මං ඉන්නෙ දැන් ආදරේ කරන, ආදරේ හම්බෙන වයසකද, අවස්තාවකද කියලා මට හිතාගන්න බෑ ඩොක්ටර්”

“තරංග හිතන්නෙ නැද්ද ආදරේ අපිට හම්බෙන්නෙ අපිට ආදරේ ඕනම කරන වෙලාවක කියල. එහෙම නැතිනම් ඒ හම්බෙලා තියෙන්නෙ ආදරේමද කියන කතාව අපිට ආයෙ වතාවක් හිතලා බලන්න වෙනවා”

“ආදරේ හම්බෙන්නෙ අපිට ආදරේ ඕනම වෙලාවට නම් ඇයි ඩොක්ටර් අපි කලින් හම්බුනේ නැත්තෙ? අපි කලින් හම්බුනා නම්, අපි පහුගිය වෙච්ච හැමදෙයක් අතරෙම බෙදාගත්තෙ ආදරේ නම් අපිට කලින් හම්බුවෙන්න ඉඩක් තිබුණා නම් මේ වගේ ප්‍රශ්න නොවෙන්න ඉඩ තිබුණා නේද?”

“අපිට ආදරේ හම්බෙන්නෙ, අපි ආදරේ හම්බුවේවි කියලා බලාපොරොත්තු වෙන වෙලාවටම නෙවෙයි තරංගා. සමහර වෙලාවට ආදරේ අපි ළඟට එන්නෙ, අපිට ආදරේ ඕනම වෙලාවට. ඒ වෙලාව සමහර විට ආදරේ හන්දම අපි රැවටිච්ච හිත රිද්දගත්ත වෙලාවක් වෙන්න පුළුවන්.

ආදරේ නිසා රිදිච්ච හිතක් සනසවන්න පුළුවනුත් ආදරේට විතරමයි. ඒකයි ආදරේ හන්දා කොච්චර අපි හිත රිද්දගත්තත්, ආයෙ ආයෙම ආදරේ කරන්නෙ.

ඔයා මගෙන් අහනවනෙ “ඇයි අපි කළින් හම්බුණේ නැත්තෙ?” කියලා. අපි හම්බුනේ හරිම වෙලාවෙදි. ඔයාට මාවත් මට ඔයාවත් හම්බුණේ අපි දෙන්නටම අපිව තේරුම්ගන්න පුළුවන්, අපි දෙන්නවම අපි දෙන්නව වටිනව කියල තේරුම්ගත්ත වෙලාවක. 

ඒකයි මේ හමුවීම පරිස්සම් කරගන්න මම මෙච්චර මහන්සි වෙන්නෙ. ඔයා කියන්නෙ නැති කරගන්න බැරි ගෑණියෙක් තරංගා.

මූදක් නිසසල වුණාම ලස්සනයි කියල මිනිස්සු හිතුවට මූදක ඇත්තම ලස්සන තියෙන්නෙ හීන් සැරේ රැල්ලක් ගහද්දි. මගේ ජීවිතේ මූදක් නම්, ඒ ජීවිතේ ලස්සන වෙන්න ඔයා රැල්ලක් වෙලා හීන් සැරේ ඇවිත් හැප්පෙන්න ඕන.

අවුරුදු හතළිස් පහක මිනිහෙක් මෙහෙම කියද්දි ඒක බොළඳයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මෙච්චර කාලයක් මං ගෙවපු ඒ නිද්‍රාශීලී ජීවිතෙන් මිදෙන්න ඔයා ඇවිල්ල මේ දැන් කරනවා වගේ හීන් සැරේ මගෙ හිත අස්සෙ හැප්පෙන්න ඕන තරංගා

සමහර වෙලාවට සමහර මිනිස්සු හිතනව මෙච්චරකල් තනියම උන්නු එකේ මට ඉස්සරහ කාලෙත් තනියම ඉන්න පුලුවන් කියලා. තරුණ කාලෙදි අපි හිතනවනෙ මං හොඳ හිත ඇඟ හයිය මිනිහා මට මොකද බැරි තනියම ඉන්න කියලා. ඒ කතා ඔක්කොම අයිති තරුණ කාලෙට විතරයි කියලා අපිට තේරෙන්නෙ ටික ටික වයසට යද්දි තරංගා. මාත් අවුරුදු විසි තිස් ගණන්වලදි ප්‍රශ්න එද්දි හිතුවා තනියෙන් ඉන්නවා කියලා. හැබැයි හතලිස් ගණන්වලට කිට්ටු වෙද්දි තමයි තරංගා මටත් තේරෙන්න ගත්තෙ මට ඒ සිතුවිල්ල උඩ දිගටම එල්ලිලා ඉන්න බෑ කියන එක. අපි හැමෝටම ඉන්න ඕන තමන්ගෙ කියලා කෙනෙක්, තමන්ට ආදරේ කරන, තමනුත් ආදරේ කරන කෙනෙක්.

අවුරුදු හතලිස් ගණන්වලට එද්දි මනුස්සයෙක් සෙට්ල් වෙලා ඉන්න ඕන තරංගා. තමන්ගෙ කියලා තැනක්, තමන්ගෙ කියලා කෙනෙක් තමන්ටම කියලා තියෙන්න ඕන. ඒ සෙට්ල් වීම තමයි ඇත්තටම බැඳිමක් වෙන්නෙ. බැඳීමක් කියන්නෙ දුකක් කියල කොච්චර අපේ ආගමේ දහමෙ කිව්වත් මනුස්සයෙක්ට බෑ තරංගා බැඳීමක්, සෙට්ල් වීමක් නැතුව ජීවත්වෙන්න ” සාගර ඒ වචන කිව්වේ වඩා ගැඹුරු හඬකිනි.

ඒ මොහොතේ අවට පරිසරයේ තිබුන අන්ධකාරයත්, නිහඬ බවත්, හිත අස්සේ පිරී තිබුන හැඟුම් දහරාවත් එක්ක තරංගාට සාගරගේ කටහඬ ඇහුනේ වඩා ගැඹුරු වුවත් මුණිවර බවකිනි. ජීවිතයේ කෙනෙකුට ලබාගන්න පුලුවන් උපරිම ආදරයත්, උපරිම නිවීමත් ඒ කටහඬ අභ්‍යන්තරයේ සැඟවී තැවරී තියෙන බව ඒ අඳුරේත් නිහඬ බවේත් පිහිටෙන් තරංගා තේරුම්ගත්තාය.

සාගර කිව්ව ආකාරයට ආදරේ හම්බෙන්නේ අපිට ආදරය උවමනාම කරන මොහොතක නම් මේ ඒ මොහොත නොවේද කියන එකත් තරංගා මොහොතකට සිතුවාය. එහෙත් දෙදෙනෙකුට සම්බන්ධයක් අරඹන්න, විශේෂයෙන්ම තමන් මේ ඉන්න මොහොතේ තනියම තීරණයක් ගන්න බැරිකමක් තමන්ට මෙන්ම සාගරටත් තියෙන බව අමතක කරන්න තරංගාට පුලුවන් උනේ නැත. තමන්ට අයියා සහ අක්කාගෙන් අවසර ගන්න අයුරින්ම සාගරට තමන්ගේ මව් දෙමව්පියන්ගේද අවසරය අවශ්‍ය බව තරංගා නොදැන උන්නා නොවේ. ඒ මිනිස්සු මොන වගේ අයද කියන එක, ඒ මිනිස්සු තමන් වගේ දරුවෙක් ඉන්න ගැහැණියක් හා බැඳෙන්න ඔවුන්ගේ පුතාට ඉඩ දේද කියන එක ගැන නොහිත ඉන්න තරංගාට නොහැකිය.

කොච්චර උස් මහත් උනත් අම්මලා තාත්තලාට දරුවන් දරුවන්මය. ඒ දෙමව්පිය සෙනෙහස දරුවන් කොපමණ වයසට ගියත් වෙනස් නොවන්නක් බව දැන දැනම තමන්ගේ හිත කියන උත්තරේ කුමක් වුනත් ඒක නොකිය ඉන්න එක හොඳ බව තරංගා හිතුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here