එකම එක හාදුවක් – 8

0
4311

තමන් අන්තිමේ ගිහින් තියෙන්නෙ කොටියගෙ කටටම විත්තිය ශාර්වරීට තේරුණේ ඇරිච්ච දොරෙන් එහා පැත්තේ ෆෝන් එක කණේ ගහගෙන, සුදු පාට ටවල් එකක් ඇඳගෙන උන්නු මනුස්සයව දැක්කයින් පස්සෙය.  

ලා රත්තරන් පාටක් ඉහිරිච්ච ඔහුගේ පිට දිගේ තාමත් තියෙන වතුර බිංදු වලින් කියන්නේ ඔහු නාගෙන ඇවිත් තියෙන්නේ පොඩ්ඩකට කලින් කියන එකය. දුරකතනය කනේ ගසාගෙන තමන්ට පිටුපා යන ඔහුගේ ශරීරය සෙලවෙන ආකාරයට හීන් සැරේ විසල් පිට දිගේ රූටා ඇවිත් පල්ලෙහට වැටෙන්නට යන මුතු වගේ වතුර බිංදු අතින් අල්ලා නවත්තන්නට හැකි නම් කියා ශාර්වරීට මොහොතකට හිතුනාය. එහෙත් ඒ සිතුවිල්ල ගත කිලිපොලා යන්න හේතුවකි.

මේ මනුස්සයා ඇවිත් ඉන්නේ තමන් කියන එක නොදන්න බව තේරුණ එකම වඩා හොඳ බව කියා හිතුව ශාර්වරීට උවමනා උනේ ඉක්මනින් කෑම භාජන ටික කවුන්ටර් එක මත තබා මෙතනින් පිටව යන්නටය. ඔහුගේ දෙනෙත් වලට හසු නොවී ඉන්නටය. 

“මේ යකා මාව දැක්කොත් අල්ලන් කාවි” කියා සිතන ගමන්ම ශාර්වරී ඔහු පිටිපස්සේම ගොස් කවුන්ටරය මත කෑම ටික තිබ්බාය. ඒ කවුන්ටරයට එහා පැත්තෙන් නගරය පේන විදියට සකසා ඇති බැල්කනිය අසල පුටුවක් තබාගෙන වාඩි වී උන් කෙල්ල ඇඳගෙන උන්නේ බාත් රෝබ් එකකි. ඒ බාත් රෝබ් එකේ දිර්ඝ පැල්මෙන් යාන්තමට එහා මෙහා වී පෙනෙන දිග හීනි කකුල් ද, නිලියක් බඳු සුන්දර මුහුණද, රන් පැහැයෙන් වර්ණ ගැන්වූ කෙස් කළඹද හිමිකරගත් කෙල්ල වෙත දිවෙන දෙනෙත මෙච්චල් කරන්න කොච්චර උත්සහ කරත් ඒ අපහසු දෙයක් බව ශාර්වරීට වැටහුණාය.

අනෙක් අතට මෙතන එක කෙල්ලෙක් ඉද්දි මේ මනුස්සයා දුරකතනයෙන් රණ්ඩු වෙමින් ඉන්නේ වෙන කෙල්ලෙක් එක්ක බව වැටහෙද්දි “ඊයා” කියා හිතෙන එක වලක්වාගන්න විදියක් ශාර්වරී දැන උන්නේ නැත.

කෑම බඳුන් ටික තබා හනික මෙතනින් පිටවෙන අදහසින් ආපසු හැරිච්ච ශාර්වරී නැවතුනේ “තෑන්ක්ස් මල්ලි” කියා කියමින් ඔහු කතාකල වෙලේය.

“හරි ඉතින්, දැන් ඉවරයි” කියලා හිතිච්ච එක සාධාරණය. ආපසු හැරී ඔහු දිහාව බැලුවට පස්සේ ඔය මනුස්සයගෙ කට හඬේ රැඳිලා තියෙන යහපත්, පොසිටිව් හැඟීම් ඔක්කොම දියවෙන බව දන්නවා වුණත් හැරී ඉන්න තමන්ට බැරි බව ශාර්වරී දනී. ඒ නිසාම ශාර්වරී හැරුණේ දෙනෙත් එක්කම සම්පූර්ණ හිසම බිමට ඔබාගෙනය.

“තෑන්ක්ස් මල්ලි” කියා කතා කරාට මේ  ඉන්නේ කෙල්ලෙක් බව නෙවින් දැක්කෙත් ඒ වෙලාවේය. ඒ කෙල්ල මොකක් හෝ හේතුවකට ඔලුව බිමටම නවාගෙන උන්නු හන්දා මේ ඉන්නෙ කවුද කින්ද මන්ද කියන එක ගැන දැනගන්න නෙවින්ට ලොකු උවමනාවක් තිබුණේය.

තමන්ට වඩා බොහෝ පල්ලෙහයින් ඉන්න, ඔලුව බිමටම නවාගෙන ඉන්න කෙල්ලගේ මූණ බලන්න වෙන විදියක් නැති හන්දා නෙවින් දණ හිස් දෙකට අත තබා නැවී ඒ කෙල්ලගේ මූණට එබුනේ තමන් “හෙලෝ” කියා කතා කරත් ඇය තමන් දිහාව නොබැලුව හන්දාමය.

මේ මනුස්සයා ඒ විදියට තමන්ගේ මූණට එබේවි කියා කොහොමටවත් හිතුවෙ නැති ශාර්වරි ගැස්සී පිටිපස්සට විසිවුණේ “මේ මොකද මේ?” කියා ඇස් දෙකෙන් අහන ගමන් තමන්ගේ දෙනෙත් ඒ ගැඹුරු ඇස් අස්සේ රඳවාගනිමිනි.

“ඔයා?” කියා ඔහුගේ ස්වරය වෙනස් වෙනුත් මෙච්චර වෙලා සාමාන්‍ය විදියට තිබ්බ ඒ ඇස් අස්සේ කෝපය එක් රැස් වෙන අයුරුත් ශාර්වරී දැක්කාය. 

“සර්” කියා කියද්දි පවා තමන්ගේ වචන වෙව්ලනවා තේරුණත් ඔහුගේ දෙනෙතින් තමන්ගේ ඇස් මුදවාගන්න ශාර්වරීට පුලුවන් වුණේ නැත. එක්කො ඒකට ඕනකමක් තිබ්බෙ නැත. දැන් දැන් මේ මනුස්සයා තමන්ට බණිනු ඇතැයි කියා සිතුවත් හීන් සැරේ කොන්ද කෙලින් කල නෙවින් එතනින් එහාට වචනයක්වත් කියන්නේ නැතුව තමන්ගේ අතේ තිබ්බ බිල් එක සයින් කර ආයෙම වතාවක් ඒක ශාර්වරී දිහාවට දික්කලාය.

ශාර්වරී ඒක අරගනිද්දී තැන්ක්‍යු කියන්න ඕන කියන එකවත් මතක නැති තරමට තමන් උන්නේ ඔහුගේ මනස්කාන්ත වත මතම දෙනෙත් අලවගෙන බව ශාර්වරීට තේරුණේ ඔහුගේ අතින් බිල්පත ගන්න තප්පර ගාණක් ප්‍රමාද වෙද්දීය.

“යන්” කියා නෙවින් කියද්දී ඔහු යන් කියා කියන්නෙ කොහෙද කියා අදහසක් ශාර්වරීට තිබ්බේ නැත.  “කොහෙද යන්නේ?” කියා තමන් ඇසුවේ ඒ නිසාම බව ශාර්වරී හිතට දහස් වාරයක් කිව්වත් නෙවින් නම් ඒකට කලේ සමච්චලේට හිනාවෙච්ච එකය. 

“එලියට යන්න දොර ඇරලා දෙන්න. තමුන්ට මේක අස්සෙ ඉන්න බෑනෙ නේද?” කියා නෙවින් සමච්චලේට ඇසුවේ හිත අස්සෙන් “මේ ගෑණිට ඇත්තටම මොංගල් ද?” කියා හිතන ගමන් ය. එදා තමන්ට අංකල් කිව්වාය. අද යන්නෙ කොහෙද කියලා අහනවාය. මේ වගේ හයි එන්ඩ් අපාට්මන්ට් එකක ‍රෙස්ටුරන්ට් එකේ වැඩට මේ වගේ මොංගල් කෙල්ලෙක්ව සෙට් කරගත්තේ මොන ගොන් වහන්සේද කියා හිතෙන තරමටම නෙවින් උන්නේ හිතාගන්න බැරුවය.

“ආහ් ඔව්ව්ව්, හරි සොරි සර් මං යන්නම්” කියා ශාර්වරී ඉස්සර වී යද්දී අපාට්මන්ට් එකේ ඩයිනින් ඒරියා එකේ සිට දොර දක්වා දිවෙන කොරිඩෝව ඔස්සේ ඇවිද යන අතරවාරයෙත් නෙවින් කලේ ඒ බටු කෙල්ල දිහාව බලන් උන්නු එකය. රෙස්ටුරන්ට් එකේ සේවකයන් අඳින කලු පාට කලිසමත්, ඒකටම යට කර ඇන්ද සුදු පාට වැලමිට ළඟට අත නැවූ කමිසයත් ඒ කෙල්ල කොච්චර කෙට්ටු කෙල්ලෙක්ද කියා ඕනවටත් වඩා හොඳට පෙන්නන බව නෙවින්ට හිතුණේය. ඉණ ලඟට විතර දිග කර්ලි කෙස් කළඹ පෝනිටේල් එකක් දමා උන් ඇගේ අතේ තියෙන්නෙත් ලාබ, හමගිය කලු පාට පටියක් තියෙන ඔරලෝසුවක් බවත්, ඇගේ දෙකන් පෙති පාලු බවත් ඒ ගෙවුන තප්පර කිහිපය ඇතුලේ හොඳින් දැකගන්න නෙවින්ගේ විමසුම් ඇසට පුලුවන්කම තිබුණේය.

දොර වෙත යන්න ගිය ශාර්වරී පැටලුනේ අතරමග කවුරුන් හෝ ගලවා දමා ගොස් තිබුණ රතු පාට උසම උස සපත්තු දෙකක පැටලිලාය. ඒ සපත්තු දෙක ඊයේ පාටියට ජානු දමාගෙන ගොස් තමන් එක්ක අපාට්මන්ට් එක එන අතරවාරයේ දොර අසලදීම වාගේ පටන්ගත් හාදු වැස්ස මැද්දේ අතරමග ගලවා දැමුවක් බව දැනගෙන උන්නේ නෙවින් පමණකි. ඒ සෙරෙප්පු දෙකේ පැටලී වැටෙන්න ගිය ශාර්වරීගේ ඉණෙන් අල්ලා වැටෙන්නට යන එක නවත්ත ගත්ත නෙවින් උන්නේ ඒ ඇස් අස්සේ මොහොතකට අතරමං වීය.

“යන යන තැන වැටෙන එකද ඔයාගෙ හොබි එක?” කියා අහන්නට හිතුවේ සමච්චලයෙන් වුණත් තමන්ගේ හිතේ ලියවුණ ඒ වචන දෙතොල් ඔස්සේ එලියට ආවේ ගැඹුරු, මාධූර්‍යාත්මක, මන්ද්‍ර ස්වරයකිනි. තමන්ගේ බැල්මේත්, හඬේත් තැවරී තිබුණ කුමක් හෝ හේතුවක් නිසාවෙන් තමන්ගේ පපුව ගැහෙන රාවයෙන්ම මේ කෙල්ලගේ පපුවත් ගැහෙන බව නෙවින්ට ඒ අස්සෙත් තේරුණේය.

“අයෑම් සොරි සර්” කියා කිව්වද තමන්ගේ දෙනෙත් බැල්මෙන් හෝ අත්වාරුවෙන් මිදෙන්නට උවමනාවක් ඇයටවත්, ඇයව මුදවාලන්න උවමනාවක් තමන්ටවත් නොතිබ්බ බව අකමැත්තෙන් උනත් පිළිගන්න නෙවින්ට සිදුවුණේය. තමන්ගේ දෙනෙත් අස්සේ හිර වී තිබෙන ඇගේ හීනි දිග, ඝනකම් ඇහි පිහාටුවලින් වට වුණ දෙනෙත් වෙත නැඹුරු වී, බිය හෝ කුමක් හෝ හේතුවක් නිසා සසැලෙන ඒ දෙතොල හෙමින් සිපගන්න තිබුණානම් කියා නෙවින්ට නොහිතුණා නොවේ.

“Nevin, babe can you come for a second?” කියා අපාට්මන්ට් එක ඇතුලේ උන් ජානු තමන්ව එවෙලේ ඇමතුවෙ නැතිනම් තමන්ට තව බොහෝ වෙලාවක් ඒ ඇස් අස්සේ ගිලී ඉන්න පුලුවන්කමක් තිබුණ බව නෙවින් සිතුවේය.

ඇය තමන්ගේ තුරුලෙන් මිදුණෙත්, ඇයගේ පිටුපසින් හිඳ, ඇයට ලංව, දොරගුළ හැර ඇයට එලියට යන්නට ඉඩ සැලසුවෙත් ඒ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම හිත අස්සේ තෙරපෙද්දිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here