(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“පුතාගෙ තියෙන ඔක්කොම සල්ලි නාස්ති කරනවා මාධවී. එයා කිසි අරපරිස්සමක් නැතුව තමයි වියදම් කරන්නෙ. එලියෙන් කන්න යනවා, ෆිල්ම් බලන්න යනවා. මල විකාරනෙ නංගියෙ. කසාද බැඳලා ළමයි ඉන්න අම්මලා කරන දේවල්ද ඔය? එන හැම නිවාඩුවකටම කොහෙ හරි ට්‍රිප් එකක් යන්න ඕන එහෙම නැත්තම් එලියෙන් අයිස්ක්‍රීම් එකක් හරි කාලා එන්න යනවා.
එළියෙන් මොනවා හරි කෑවෙ නැත්තම් නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනව. අපෙ පුතා නැහිලා නැහිලා හම්බ කරන අන්තිමේ සතේ වෙනකම් මෙයාගෙ ඩාන්ස් වලට තමා වියදම් කරන්න වෙලා තියෙන්නෙ. මං අපේ පුතාට දැන් කියල තියෙන්නෙ ඕන වියදම් ටික විතරක් බලලා දෙන්න කියලා. ඇයි නංගියෙ මොකෝ එයාට වගේ ගෙදර නිකන් ඉඳියනම් පුතත් කටට බත් වැටෙයි කියලා හිතං ඇත්තෙ?
දරුවා හම්බුනයින් පස්සෙ රස්සාවට යන එකත් නතර කරලා දැම්මා. ඒකෙන් මේකෙන් මගෙ දරුවගෙ පර්ස් එකට තට්ටු වෙච්ච එකම තමයි උනේ”
නැන්දම්මා තමන් ගෙදර ඉන්න විත්තිය දැන දැනම ඔය කෝල් එකෙන් තමන්ගෙ නංගි එක්ක අරවා මේවා කියන්නෙ තමන්ට ඇහෙන්න බව මාධවී ඉතින් හොඳට දන්නවා. කසාද බැදලා ගෙවිච්ච අවුරුදු හයටම නැන්දම්මා තමන්ට කොච්චර නම් දේවල් කියල තියනවද ඒකට තමන්ගෙ හිත කොච්චර රිදුනද කියන එකට හොඳම උදාහරණෙ තමයි හැමදෙම දමලා ගහලා තමන්ට මැරෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන හැඟීම.
කොටින්ම තරංගවත් තමන් කියන දෙයක් අහන්නෙ, පිළිගන්නෙ නෑනෙ කියන එකම මාධවීගෙ හිත සෑහෙන්න රිද්දන්න හේතු වුනා. “ඔයාගෙ අම්මා මට හරිම නරක විදියට කතාකරන්නෙ තරංග” කියලා මාධවී මේ අවුරුදු ගාණ පුරාවටම කොච්චර කිව්වත් තරංග කියන්නෙම “අපේ අම්මට ඔයාට මේ එක එක ඒව කිය කිය ඉන්න වෙලාවක් නෑනෙ මාධවී. අනික මේ වයසක මනුස්සයෙක් මොනවා හරි දෙයක් කිව්වම ඔයාට ඔච්චර ඩෝං යන්නෙ ඔයත් මේ සීයට සීයක් හොඳ ගෑණි නෙවෙයිනෙ” කියල.
මුල් අවුරුද්දෙම වගේ අඬලා දොඩලා ඕව කිව්වට තරංග අහන්නෙවත් නැති කොට මාධවී ඔක්කොම දුක හිත අස්සෙම හිරකරගෙන හිටියෙ ඉස්සර වගේ බාතෘම් එක අස්සට වෙලා අඬන එකවත් කරන්න දැන් හිතට පණක් නැති හන්දා.
ඕවා හිත හිත ඉන්න අතරවාරෙ තමයි බබා කොහෙද ඉඳන් දුවගෙන ඇවිත් ඇඟට පැන්නෙ. කාමරේ ඇඳට වෙලා “අනේ ඇයි දෙයියනේ මගෙ හිතට මෙච්චර කරදර?” කියල හිත හිත කල්පනා කර කර උන්නු එකට වෙච්ච බාධාව හන්දා මාධවීට හොඳටම තරහා ගියා. නැන්දම්මා කිව්ව දේට හිත ඇතුලෙ පිරිච්ච තරහා පිටවුනේ අන්තිමේ දරුවගෙ පිටින්.
“මොන වදයක්ද ළමයො මේක, කොයි වෙලේ බැලුවත් නැටිල්ල, උඹත් මාවම කන්න බලන් ආපු එකෙක්” කියලා අම්මා ඇඟට කඩාගෙන පනිද්දි තරුක ඉස්සර වගේ දැන් අඬන්නෙ නෑ. සද්ද නැතුව බිත්තියයි ඇඳයි අතරෙ තියෙන ඉඩ අස්සට ගිහින් පැස්ටල් කූරකින් බිත්තියෙ මොනවා හරි අඳින එක තමයි දැන් කරන්නෙ.
“තරුක ඉස්සර වගේ නෙවෙයි, හරිම බයයි දැන්. පැත්තකට වෙලා ඉන්න බලන්නෙ දෙයක් ඇහුවම එක දිගට මූණ දිහා බලාගෙන ඉන්නවා මිසක් කිසිම දෙයක් කියන්නෙ නෑ” කියලා තරුකගෙ මොන්ටිසෝරි එකේ ටීච කිව්ව එක මාධවීට මතක් උනේ තමන් ඇඟට කඩන් පැන්නම තරුක බිත්තිය මුල්ලට යනවා දැකපු වෙලාවෙ.
“අන්තිමේ මගෙ ඔලුව ඇතුලෙ තියෙන ප්‍රශ්න වලට මම පලිගන්නෙ මේ අහිංසක දරුවගෙන් නේද?” කියලා එවෙලෙ හිතිච්ච හැඟීම තමයි මාධවීව කවුන්සලින් වලට අරගෙන ආවෙ.
“මගෙ ඔලුව ඇතුලෙ ලොකු පීඩනයක් තියෙන්නෙ ඩොක්ටර්. මට හරි හිතට වේදනයි තරංගගෙ අම්මල මට මෙහෙම සලකන එක ගැන. මං අම්මා කියනව වගේ තරංගගෙ සල්ලි නාස්ති කරන්නෙ නෑ. ඔව් මං ආස දෙයක් දැක්කම ගන්නවා. මං ආසයි එලියට යන්න. දරුවෙක් එක්ක දවස පුරාම ගේ අස්සෙ හිරවෙලා ඉන්න මනුස්සයෙක් කැමති නැද්ද එලියට යන්න? ඒක සාධාරන නැද්ද?”
“තරංග එක්ක ඔයා මේ ගැන කතා කරාද?”
“ඔව් ඒත් එයා සීයට අනූවක් විතරම අම්මා කියන දේ විතරයි අහන්නෙ කරන්නෙ. මං දැන් ඉඳලා හිටලා හරි කොහේ හරි යන් කිව්වම එයා බණින්න පටන් ගන්නවා. අම්මගෙ වචන තමයි එයාගෙ කටෙන් පිටවෙන්නෙ කියලා මට නොතේරෙනවා නෙවෙයි. මට දුක මං හිත අස්සෙ හිරකරගෙන ඉන්න තරහ ඔක්කොම අන්තිමේ පිටවෙන්නෙ මගෙ දරුවගෙ ඇඟෙන් වෙච්ච එක. මෙයාගෙ මොන්ටිසෝරි ටීචත් කිව්වා එයා ඉස්සර වගේ නෙවෙයි දැන් හරිම Confused කියලා”
විවාහයක් කියන්නෙ අලුතෙන් පවුලක් ගොඩ නැගීමක්. තම තමන්ගෙ මව් දෙමව්පියන් ලඟ උන්නු වැඩිහිටි දරුවො දෙන්නෙක් විවාහයකට එළඹුණාට පස්සෙ තේරුම්ගන්න ඕන දෙයක් තමයි තමන්ගෙ විවාහ ජීවිතේ ඇතුලෙ Priority එක ලැබිය යුත්තේ ඒ තමන් විවාහ කරගත් පාර්ශ්වයට කියන එක. අම්මලා තාත්තල වුණත් විවාහ ජීවිතයට පිටින් ඉන්න 3rd Party එකක් කියන එක අපි අමතක කරන්න නරකයි.
ඒ වගේම තමයි විවාහ ජීවිතයක් කියන එකේ තේරුම දෙන්නෙක් නීත්‍යානුකූලව එකතුවෙලා, එකට කන බොන, ජීවත්වෙන එක විතරක්ම නෙවෙයි. එතනදි ඒ පාර්ශ්වයන් දෙකේම ශාරීරික සහ මානසික නිදහස රැකීමක් සිදුවෙන්නත් ඕන. ඒක දෙදෙනාගේම වගකිමක් වෙන්නත් ඕන.
ඒ වගේම තමයි විවාහයකින් අපිට දරුවෙක් ලැබුණම ඒ දරුවාගේ මනසට අනවශ්‍ය විදියට, නරක විදියට බලපෑම් ඇති කරන්න පුලුවන් තුන්වෙනි පාර්ශ්වයක් සමබ්න්ධ කාරණා හෝ ඒ දරුවගෙ දෙමව්පියන් සම්බන්ධ ගැටලු ආදිය හේතුවක් නොවිය යුතුයි කියන එක.
සමහරවෙලාවට සමහර දෙමව්පියන් තමන්ගෙ විවාහ ජීවිතයේ ප්‍රශ්න විසඳගන්නෙ දරුවන් ඉදිරිපිටදි. ඒ හැසිරීම් රටාව අපි නොසිතුවත් දරුවන්ගේ පුංචි මනසට ඉතාම විශාල, Negative බලපෑමක් ඇති කරන්න වගේම ඒ දරුවන් උස් මහත් වෙද්දි ඔවුන් ගන්නා තීරණ, ඔවුන්ගේ සබඳතා වලට පවා නරක විදියට බලපාන්න හේතුවක් වෙනවා.
ඒ විදියට ඇතිවෙන්න පුලුවන් බලපෑම් තමයි:
1. මානසික ආතතිය සහ ස්ථාවර නොවීම
දෙමව්පියන් අතර ගැටලු නිසා දරුවාට ආතතිය, කනස්සල්ල සහ ස්ථාවරයක් නැති හැඟීම් දැනෙන්න පටන් ගන්නවා. මෙම ආතතිය අධ්‍යාපනික ගැටලු සහ මනෝභාවික ගැටලු වලට හේතුවක් වෙනවා.
2. සමාජික ගැටලු
දෙමව්පියන්ගේ ගැටලුකාරී හැසිරීම් රටාවන් නිසා දරුවාට සමාජ ක්‍රියාකාරකම්වලට නිරවුල් මනසකින් සහභාගී වීමට අපහසු වෙනවා. කෙනෙක්ව විශ්වාස කිරීමට හෝ මිතුරන් සමඟ සම්බන්ධ වීමට පසුබෑමක් තියෙනවා.
3. ආරක්ෂාව සහ ප්‍රේමය ගැන තෝරා ගැනීම
දෙමව්පියන්ගේ ගැටලු නිසා, දරුවාට ආදරය සහ ආරක්ෂාව ගැන තේරුම් ගැනීමේ ගැටලු ඇතිවෙනවා. ඔහු/ඇය ආරක්ෂාවක් සහ ආදරය ලබා ගැනීමට පසුබානවා.
4. නම, විශ්වාසය සහ හැඟීම් විකෘති වීම
දෙමව්පියන්ගේ ගැටලුව නිසා, දරුවාගේ හැඟීම් සහ විශ්වාසය විකෘති වනවා. ඔහු/ඇය තමන්ගේ වටිනාකම සහ හැඟීම් පිළිබඳව විශ්වාසයක් නැති පුද්ගලයන් බවට පත්වෙනවා.
5. අනාගතයේ තීරණාත්මක ගැටලු
පවුලේ ඇතුලෙ දෙමව්පියන් අතර ඇතිවෙන ගැටලු දරුවට අනාගතයේ තීරණ ගැනීමේදී සහ සබඳතා පවත්වා ගැනීමේදි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.
6. විශ්වාසය බිඳ වැටීම
ඒ වගේම මෙවන් ගැටලුකාරී තත්ත්වයන් දරුවන්ගේ හිතේ සබඳතා, පවුල සහ තමන් ගැනම තියෙන විශ්වාසය බිඳෙන්න හේතුවක් වෙනවා
මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!