ඔබ බැලිය යුතුම Romantic Netflix TV Series


රෑට ගෙදර ඇවිල්ලා, කාලා බීල ඉවරවෙලා, වොශ් එකක් දාගෙන ඇඳට වෙලා දෙන්නත් එක්ක Netflix බලන Daily Routine එකක්ද ඔයාට තියෙන්නෙ?
ඔයයි ඔයාගේ Partner දෙන්නම Netflix TV Series බලනවානම් ඔන්න මේ ලිපියෙන් දැනගන්න පුළුවන් ඔයාලා බලන්නම ඕන Romantic Netflix Series පහක් ගැන.

Little Things


මම හිතන්නේ ප්‍රේම සම්බන්ධෙක ඉන්න දෙන්නෙක් හෝ අලුත විවාහ වුණු දෙන්නෙක් අනිවාර්‍යෙන්ම බලන්න ඕන TV Series එකක් තමයි Little Things කියන්නේ.
Romantic කතාවක් කිව්වම අපේ ඔලුවට මුලින්ම එන්නෙ සීනී තවරපු ආදරයක් තියෙන, ලස්සන ඇඳුම් ඇඳගෙන එහෙ මෙහෙ යන, කොෆි ෂොප්ස්වලින් කෝපි බොන කතාවක් වුණාට, Little Things කතා මාලාව නම් ඊට වඩා වෙනස්.
මේ කතාව ඇතුළෙ කියන්නේ Dhruv Vats සහ Kavya Kulkarni කියන අවුරුදු විසි ගණන්වල ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි Living Together Relationship එකක් ඇතුළෙ ජීවිතේට මූණ දෙන විදිය.
මේ කතාව අපිට බොහොම ළඟ වෙන්නෙ ගොඩක් Romantic කතා වල තියෙන සුරංගනාමය ලස්සන වෙනුවට ඇත්ත Couple එකක් ප්‍රශ්නවලට මූණ දෙන්නෙ කොහොමද?රණ්ඩු විසඳගන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන නිසා.
ජීවිතේට ආදරේ අත්‍යවශ්‍යයි.
ඒ ආදරේ ඇතුළෙ එකිනෙකාව විශ්වාස කිරීම, ඉවසීම, දරාගැනීම. කැපකිරීම කියන හැමදේම කොච්චර ලොකුවට බලපානවද කියන දේ Season 4ක් පුරාවට මේ Little Things කතා මාලාවෙන් කියනවා.
Dhruv සහ Kavya වලිදාගන්නෙ හරියට අපි වගේම තමයි. ලොකු වෙනසක් නෑ.
Dhruvට වඩා ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් කරන Kavyaට ඒ දෙන්නගේ නොගැළපීම් ගළපගෙන එකතු වෙන්න පුළුවන් වෙයිද?
ඒ ගැන දැනගන්න නම් ඔයාලා Little Things බලන්නම ඕන.

Suitable Boy


එක එක මිනිස්සුන්ගේ ජීවිත ඇතුළෙ ආදරයට ලැබෙන තැන විවිධයි කියල අපි හොඳාකාරවම දන්නවා.
මම ආදරේ කරන විදියට නෙවෙයි ඔයා ආදරේ කරන්නේ. අපි දෙන්නම ආදරේ කරන විදියට නෙවෙයි අපේ අම්මල තාත්තලා ආදරේ කරේ.
ඒ ආදරේ විවිධත්වය ගැන කියල දෙන ලස්සන කතා මාලාවක් තමයි Suitable Boy කියන්නෙ.
මේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි පශ්චාත්- ස්වාධීන ඉන්දියාව පසුබිම් කරගෙන නිෂ්පාදනය කර තිබෙන Period Piece එකක් වීම.
කතාව පටන් ගන්නේ තමන්ගේ බාල දියණියට සුදුසු සහකරුවෙකු සොයන රූපා මෙහ්තා කියන අම්මාගෙන්.
ලංකාවෙ වගේම තමයි ඉන්දියාවෙත් කුල ක්‍රමය ඒ කාලෙ ගොඩක්ම තදට ක්‍රියාත්මක වුණ නිසා තමන්ගේ දූලට බඳින්න සුදුසු කොල්ලෙක් හොයද්දි අම්මලා හරි පරිස්සම්.
රූපා මෙහ්තා මහත්මිය ඒක ගැන දරුණුවටම හිතන්නෙ, තමන්ගෙ බාල දුව වන ලතාගේ තාත්තා ඒ වෙද්දිත් මියගිහින් නිසා.
ඉතින් තාත්තෙක් නැති දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට මේක ලොකු ප්‍රශ්නයක් තමයි.
විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන ඉගෙන ගන්න ලතා ආදරේ දිහා බලන්නේ හරියට ශේක්ස්පියර්ගෙ කවියක් දිහා බලනවා වගේ.
අම්මා අකමැති වෙන බව දැන දැනම ලතා ආදරයක් පටන් ගන්නවා කබීර් දුරානි කියන මුස්ලිම් පිරිමි ළමයාත් එක්ක.
ඉතින්, කබීර් දුරානි කියන්නේ, ලතාගේ අම්මා ලතාට හොයන Suitable Boy ද?
කතාව බලලම ඒ ගැන දැනගමු නේද?

Forecasting Love and Weather


ආදරය සහ රොමාන්තික ප්‍රේමය ගැන කතාකරද්දි අපිට කොරියන් කතා මාලාවන් ගැන නම් කතා නොකරම බැහැ.
ඒ තරම් මේ කොරියන් කතාවල ප්‍රේමයන් හරි සුන්දරයි. ඒ වගේම හරිම Romantic.
ඉතින් ඒ වගේ ලස්සන, Romantic ආදර කතාවක් තමයි Forecasting Love and Weather කියලා කියන්නෙ.
අක්කා කෙනෙක්ට ආදරේ කරන මල්ලිලාව ඕන තරම් අපිට මුණ ගැහිල තියෙනවා. ඒත් තමන් ඒ ආදරය කරන අක්කා තමන් වැඩ කරන ඔෆිස් එකේ බොස් වුණාම ඔය කියන තරම්ම ආදරේ Romantic වෙන්න පුලුවන්ද?
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි Lee Shi-Woo සහ Jin Ha-Kyung.
මෙයාලා දෙන්න වැඩ කරන්නෙ කොරියානු කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ. මේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරක් දරන Jin Ha-Kyung සහ කනිෂ්ඨ කාළගුණ නිරීක්ෂකයෙක් වන Lee Shi-Woo දෙන්නගේ ආදරෙත් හරියට කාළගුණය වගේම තමයි.
වෙලාවකට හරිම නිස්කලංකයි. හරියට වසන්ත කාලේ හමාගෙන යන මද සුළඟක් වගේ. ඒත් සමහර වෙලාවට ගැඹුරු මුහුද මැදදි ඇතිවෙන දරුණු සුළි කුණාටුවක් වගේ.
ඉතින් කාලගුණය ගැන අනාවැකි කියන මේ Lee Shi-Wooට සහ Jin Ha-Kyungට තමන්ගේ ආදරයේ අනාගතය ගැන අනාවැකියක් කියන්න පුළුවන් වෙයිද?
ඒකට හරිම උත්තරේ දැනගන්න නම් ඔයාලා Forecasting Love and Weather බලන්නම ඕන.

King the Land


Romantic ආදරය ගැන කියවෙන තවත් එක කොරියානු කතා මාලාවක් තමයි King the Land කියන්නෙ.
සමහර ආදර කතාවල ආදරවන්තයන්ට එකිනෙකාට එකිනෙකාව මුලදි නම් පෙන්නන්න බෑ. ඔයාලගේ අපේ ජීවිත කතාවලටත් ඒ වගේ සිදුවීම් ඕන තරම් වෙලා ඇති.
ඉතින් මේ King the Land කතාවෙත් Goo – Won සහ Cheon Sa – Rang කියන කොල්ලයි කෙල්ලයි දෙන්නම වැඩ කරන්නෙ එකම හෝටලේ.
Goo – Won ගේ තාත්තට අයිති මේ හෝටලේ සේවක පරිපාලන අංශය බලන්නෙ Goo – Won.
Cheon Sa – Rang කියන්නේ මේ හෝටලයේ වැඩ කරන එක සේවිකාවක්.
Cheon Sa – Rang ගෙ තියෙන විශේෂත්වය තමයි එයාගේ ලස්සන හිනාව. ඕනම ප්‍රශ්නයකදි වුණත් ඒ හිනාව මූණෙන් අයින් කරගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසඳගන්න Cheon Sa – Rangට පුලුවන්. එයාට මේ හෝටලේ රැකියාව ලැබෙන්න එක හේතුවක් වෙන්නෙත් ඒ හිනාව.
හැබැයි Goo – Wonට පෙන්නන්නත් බැරි Cheon Sa – Rang ඔන්න ඔය ලස්සන හිනාව.
මුල් කාලේ මොන මොන අමනාපකම් තිබුණත් මේ දෙන්න පස්සෙ කාලෙක ආදරවන්තයො වෙනවා.
හැබැයි මේ ආදර කතාව ඇතුලෙ Cheon Sa – Rang සදාකාලිකවම හිනා නොවී ඉන්න වෙනවද?
මේ වෙද්දි King the Land කතාවේ ඔක්කොම කොටස් නිකුත් වෙලා අවසන්. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න මේ කතාවත් අනිවාර්‍යෙන්ම බලන්න.

Bridgerton


හින්දි, කොරියන් ආදර කතා ඇතුලෙ අපිට කතා නොකරම ඉන්න බැරි තවත් එක් කොටසක් තමයි ඉංග්‍රීසි ආදර කතා. ඒකත් රජ කාලේ ආදර කතා.
ඉතින් ඒ වගේ English Romantic Period Pieces වලට ආස අය බලන්නම ඕන TV Series එකක් තමයි Bridgerton.
වංශවත් තරුණ තරුණියන් විවාහ කර දෙන එංගලන්ත සම්ප්‍රදායක් ගැන කියවෙන මේ කතාව ආදරය සහ ලිංගිකත්වය කොච්චර දුරට එක මගක යනවද කියන එක බොහොම ශෘංගාරාත්මක විදියට කියල දෙනවා.
දැනට නිකුත් වෙලා තියෙන Bridgerton කතා මාලාවන් දෙකම ඉතාම සුන්දරයි.
අපිට නුපුරුදු කාලෙක, නුපුරුදු සංස්කෘතියක් ඇතුලෙ වුණත් ආදරේ සම්බන්ද හැඟීම් මොනතරම් නම් සුපුරුදුද කියල මේ කතාව බලද්දි ඔයාටත් තේරේවි.
Bridgerton පළවන කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ Daphne Bridgerton සහ Simmon Basset.
සමහර කොල්ලො ඉන්නව මොන තරම් ආදරේ වුණත්, කැමති වුණත් ඒ බව කෙල්ලට අඟවන්නෙ නැතුව ඉන්න. එහෙමත් නැත්තම් එහෙම දෙයක් නෑ කියල තමන්වම රවට්ටන.
Simmon කියන්නෙත් අන්න ඒ වගේ කොල්ලෙක්.
මේ කතාව තවත් ලස්සන වෙන්න හේතුවක් වෙන්නෙ අප්‍රිකානු සම්භවයක් තියෙන Simmon ගෙ දරදඬු ගති ගුණ එක්ක කරට කර තරග කරන Daphne ගෙ මුරණ්ඩුකම.
උණුසුම් සිප ගැනීම්, ශෘංගාරාත්මක වැළඳගැනීම් පිරුණු මේ කතා මාලාව බලද්දි වෙලාව යනව නොදැනෙන තරම්.
දරදඬු මිනිහෙක්ටයි මුරණ්ඩු ගැහැණියකටයි පුලුවන්ද ලස්සන ආදරයක් Maintain කරන්න?
ඒ ගැන දැනගන්න Bridgerton බලන්න.

ඉතින් Romantic කතා බලන්න කැමති ඔයාලට Netflix එකේ තියෙන Romantic කතා පහසුවෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයකුත් කියලම මේ ලිපිය ඉවර කරන්නම්කෝ.
Netflix Search Bar එකේ 8883 Type කරන්න.
Netflix එකේ දැනට තියෙන හැම Romantic කතාවක්ම පහසුවෙන් හොයාගන්න ඔයාට ඔන්න පුලුවන් එතකොට.

Related Articles

Don't Miss


Latest Articles