තරුණ ගැහැණු ළමයිට සෞඛ්‍ය සම්පන්නව ඉන්න නම් ඕනෙ කරන විටමින් වර්ග… 

තරුණ ගැහැණු ළමයි විදිහට ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ අනෙකුත් පෝෂක නිසිපරිදි ලබා ගැනීම හරිම වැදගත්. ඒ මොකද, ඔබේ ශරීරය ශක්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය කරන්න සහ පවත්වා ගන්න ඒ පෝෂක වලින් ලැබෙන්නෙ කිව නොහැකි තරම් දායකත්වයක් නිසයි. 

තරුණ ගැහැණු ළමයිට අත්‍යාවශ්‍ය විටමින් සහ පෝෂක වර්ග රාශියක් තියෙනව වගේම ඒ ඒ විටමින් වර්ග අපේ ශරීරය තුළදී එකිනෙකට වෙනස් සහ එකිනෙකට අනන්‍ය වුන වැදගත් කාර්‍යභාරයන් ඉටු කරනව. 

ඉතිං අද මේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නෙ අන්න ඒ වගේ ඉතාම වැදගත් කාර්‍යභාරයන් ඉටුකරන විටමින් වර්ග කීපයක් ගැන සහ ඒවාගේ ප්‍රයෝජන මොනවද කියන කාරණාවයි.

ඔබත් තරුණ වයසේ ගෑණු ළමයෙක් නම්, තරුණ වයසට එළඹෙමින් ඉන්න ගෑණු ළමයෙක් නම් එහෙමත් නැත්නම් තරුණ දුවෙක් ඉන්න අම්ම කෙනෙක් නම් ඔන්න මේ දැනුවත් වීම ඔබට හරිම වටිනවා. 

මුලින්ම අපි බලමු ආහාර වලින් වගේම බාහිරින් විටමින් අතිරේක ගැනීම තරුණ ගැහැණු දරුවන්ට මේ තරම් වැදගත් වෙන්නෙ ඇයි කියල. 

විටමින් ගන්න ඕනෙ ඇයි?

නව යොවුන් වයසෙදි ඔබේ ශරීරය බොහෝ වෙනස්වීම් වලට ලක්වෙනව,

ශරීර වර්ධන වේගය වැඩිවීම,

හෝමෝන වෙනස් වීම් සහ 

අස්ථි ශක්තිමත් වීම ඒ අතර ප්‍රධානයි.  

මේ වෙනස් වීම් නිසා ඔබේ ශරීරය බොහෝ ආතතියකට ලක්වෙනව. මේ වෙනස්වීම් දරාගන්න ඔබේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් සහ අනෙක් පෝෂක වලින් ලැබෙන ශක්තිය තිබීම අනිවාර්‍ය වෙන්නෙ ඒ නිසයි. 

අද පවතින කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක අපේ ආහාර වේලෙන් මේ අත්‍යාවශ්‍ය පෝෂක නිසි පරිදි ලැබෙනවාද කියන ගැටළුව ඇතිවෙන නිසයි බාහිරින් අතිරේකව මේ විටමින් වර්ග ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නෙ. 

එහෙමනම් අපි දැන් බලමු මොනවද මේ අතිරේකව අපි ගන්න අවශ්‍ය විටමින් වර්ග කියල? 

විටමින් A

කැරට්, බතල, නිවිති වගේ ආහාර වල ස්වභාවිකව වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන විටමින් A, ඇස් පෙනීමට වගේම සම තරුණව සහ දීප්තිමත්ව පවත්වා ගන්න ඉතාම වැදගත්. 

විටමින් A කියන්නෙ මේද ද්‍රාවී විටමිනයක් නිසා මේදය වැඩිපුර අඩංගු ආහාර වේලකට පසුව ගැනීම වඩා යහපත් බවයි සඳහන් වෙන්නෙ. 

විටමින් B12

ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට වගේම මතක ශක්තිය වැඩි දියුණු කරන්නත් විටමින් B12 ඉතාම වැදගත්. 

මස් වර්ග, කුකුළු මස් සහ මාළු වල වැඩි වශයෙන් අඩංගු මේ විටමිනය ජල ද්‍රාවී නිසා වතුර සමඟ පානය කිරීමයි වඩා සුදුසු වෙන්නෙ. 

විටමින් C

විටමින් C කියන්නෙත් තරුණ ගැහැණු ළමුන්ට ඉතාම වැදගත් විටමින් වර්ග වලින් එකක්. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න වගේම පිළිකා රෝග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් උපකාරී වෙන විටමින් C දොඩම්, ස්ට්‍රෝබෙරි සහ මිදි වගේ පලතුරු වල වැඩි වශයෙන් අඩංගු වෙනවා. 

විටමින් D

ශරීරයට අවශ්‍ය කැල්සියම් අවශෝෂණය කිරීමට වගේම අස්ථි සහ මාංශපේෂී වල නීරෝගී බවටත් විටමින් D වලින් ලැබෙන්න හොඳ දායකත්වයක්. 

විටමින් D ලබාගන්න පුළුවන් හොඳම ප්‍රභවය විදිහට උදෑසන හිරු එළිය හඳුන්වන්න පුළුවන්. 

විටමින් E

තරුණ ගැහැණු ළමයි තමන්ගෙ සම සහ කොණ්ඩය ගැන ඉතාම සැළකිලිමත් කියල අපි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

සම දීප්තිමත්ව, තරුණව, කැළැල් රහිතව සහ සිනිඳුව තබාගන්න විටමින් E වලින් ලැබෙන්නෙ හොඳ දායකත්වයක්. ඔසප් වේදනාව අඩු කරන්න වගේම හිසකෙස් වැටීම පාලනය කරන්නත් උපකාරී වෙනවා. 

වට්ටක්කා, අලිගැටපේර, සැමන් මාළු, බ්‍රොකලි, නිවිති, ආමන්ඩ් සහ රටකජු වගේ ආහාර වල ස්වභාවිකව විටමින් E අඩංගු වෙලා තියෙනවා. 

ඉතිං අපි මුලිනුත් කීව වගේ ආහාර වලින් පමණක් ශරීරයට ලැබෙන මේ විටමින් පෝෂක සමහර විට ඔබේ සිරුරට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

අන්න ඒ නිසා බාහිර අතිරේක විදිහට මේව ලබාගන්න ඔබට පුළුවන්. 

නමුත්, ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් තිබෙනව. ඒ තමයි අපි එකිනෙකාගේ ශරීර එකිනෙකට වෙනස් බව සහ බාහිරින් යම් දෙයක් අපේ සිරුරට එක්කරන්න කලින් ඒ පිළිබඳව අපි ඉතා හොඳින් සැළකිලිමත් විය යුතුයි කියන කාරණාව. 

ඒ නිසා මේ විටමින වර්ග බාහිරින් ලබා ගන්න කලින් ලබා ගත යුතු ප්‍රමාණය සහ ලබාගත් යුතු අවස්ථා ගැන සුදුසුකම්ලත් වෛද්‍යවර‍යෙක් මුණගැසී නිර්දේශ ලබා ගැනීම නම් අනිවාර්යයි. 

එහෙනම්, ලස්සන සහ නීරෝගී තරුණියන් විදිහට වැඩෙන්න ඔබට සුබ පතමින් අද ලිපිය අවසන් කරන්නයි මේ සූදානම.

සුවෙන්, සතුටින් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles