ලස්සන ම දවස් තියෙන්නේ සති අන්තයට ය. එ් දින වල ගෙවල් දෙකේ ම හැම කෙනෙක් ම වාගේ සිටිති. ශාක්‍ය විතරක් ඇතැම් විට සාප්පුවට හිර වේ. සති අන්තයේ ව්‍යාපාරික කටයුතු වැඩි බැවිනි.
මල්වත්තගේ ගෙදර සැබවින් මල් වත්තක් වන්නේ සති අන්තයට ය. ගෑනු ළමයින් තිදෙනෙකු සිටිනා ගෙදරක් යනු මල් වත්තක සිරියාව නො මඳව වන තැනකි. තුන් දෙනා එකතු වූ විට සිනා කතා වල කෙළවරක් නැත. ඉඟි බිඟි හා රහස් වල අඩුවක් නැත. අශ්විනී ට කසුන් ගැන ද සාන්වී ට දුලාන් ගැන ද කියන්නට දේවල් එමට ය. අශ්විනී විවාහය ලියාපදිංචි කොට සිටිය ද ඇතැම් අවස්ථා වල කසුන් සමගින් හිත් රිදීම් හෝ වචන එහෙ මෙහෙ වීම් සිදු වේ. එවැනි අවස්ථාවක මුලින් ම කේන්තියක්, කලකිරීමක් ඇති වුව ද දිනක් දෙකක් ගෙවී යත්දී ඒ තුනී වී යනු දැනේ. ඇතැම් විට ඒ දින දෙක ඔවුන් ගත කරන්නේ කතා නොකර ය. සමහර විට කෙටි පණිවිඩයක් පමණකි. එවන් අවකාශයක් ලබාගෙන සිටියදී මඳින් මඳ ඔවුන්ට උනුන් හා කතා කිරීමේ අවශ්‍යතාවය දැනෙන්නට ගනී. දෙන්නාගෙන් කවුරුන් හෝ ඉස්සර වී කතා කරති. එතකොට තරහ වී සිටියේ කුමකටද කියාත් අමතක ය. රංඩු වුණත් තරහ වී සිටියත් නොදොඩා සිටියත් හිත් වල ආදරය වෙනස් වී ක්ෂය වී යන්නේ නැති බව එතකොට ඔවුහු වටහා ගනිති. මත බේධ ඇති වන්නට පිළිවන. එක්කෙනෙකු නොව සම්බන්ධතාවයක් තුළ සිටිනුයේ දෙදෙනෙකු බැවිනි. නමුත් වැදගත් වනුයේ ඒ දෙදෙනා අතරේ සැබෑ ආදරයක්, විශ්වාසයක් හා බැඳීමක් තිබීමයි. එසේ පවතිනවා නම් රණ්ඩු වුණත් තරහ වී සිටියත් යළි යාළු වන්නට සිත් වනු ඇත. එපා වී යන්නේ නැත. වදයක් යයි දැනෙන්නේ නැත. ඒ සම්බන්ධතාවය එතැනින් කෙළවර කළ යුතුයි කියා හිතෙන්නේ නැත. අශ්විනී දැන් ඒ යථාර්ථය අවබෝධ කරගෙන හිඳී. ඒ නිසා නංගිලාටත් මල්ලිටත් අත්දැකීම් ඇති අක්කා කෙනෙකු ලෙස උපදෙස් දෙන්නට ඇයට පිළිවන.
සති අන්තයෙහි සන්ධ්‍යා තේ පාණය සඳහා කෙටි කෑමක් පිළියෙළ කිරීම මල්වත්ත දියණිවරුන් කාලයක් තිස්සේ කරගෙන එන දෙයකි. දිවා ආහාරයෙන් පසු අන්තර්ජාලය පිරික්සමින් අලුත් ආහාර වර්ග අත්හදා බැලීම ඔවුන්ට විනෝදයකි. නමුත් උන් හිටි ගමන් සන්දේශ් ව ගෙදරට අහිමි වීමෙන් පසු ඒ සතුටු නිමේශයන් ද ඔවුන් ගේ ජීවිත වලින් ටික කලකට ඈත් ව ගොස් තිබිණ. අද තේ වලට කෑමක් හදමු යයි යෝජනා කළේ ශාක්‍ය ය.
“දුලාන් ගැන ඔයා දැන් තාත්තිට කියනවනං හොඳයි මං හිතන්නෙ නංගි”
සමෝසා පිළියෙළ කරමින් සිටියදී අශ්විනී සාන්වී ට සිහිපත් කළා ය. ඇය දෙතොල් ඇද කළ ආකාරයෙහි හොඳක් නොවන බව අක්කා ට පැහැදිලිව දැනිණ.
“ඇයි…”
“අනේ මන්ද ලොකූ… වෙලාවකට හිතෙනව අපි කසාද බඳින්න ගැලපෙන දෙන්නෙක් නෙවේද කියලත්”
“ඇයි ඒ…”
“අනේ මන්දා අප්ප. කොයි වෙලේත් ප්‍රශ්නනෙ අප්ප. එපා වෙනව වෙලාවකට”
“ප්‍රශ්නනං අපි අතරෙත් ඇති වෙනව. ඒත් ඉතිං දවසක් දෙකක් කතා නොකර හිටියත් ආයි යාළුවෙන්න ඕන වගේ දැනෙනව. සම්බන්ධයක් කියන්නෙ එක විදිහට හැමදාම තියන දේකුත් නෙවේනෙ ලොකු නංගි. ඕන සම්බන්දතාවයක් ඇතුළෙ එක එක දේවල් සිද්ද වෙනව. එක එක හැඟීම් දෝලනය වෙනව. එක එක ප්‍රශ්න ඇති වෙනව. ඒ කොයි දේටත් එකට ෆේස් කරන එක තමයි වෙන්නෝනෙ. දැන් නෙවෙයි අපි බැඳල ළමයි ඉන්න කාලෙක වුණත් ඒව එහෙම තමයි. හිතන්නකො අපේ තාත්තිට මූණ දෙන්න වුණ දේවල්. මෙහෙමයි. එකට ඒ ගමන යන්නම බෑ වගේනං දැන්ම වෙන් වෙන එක තමයි හොඳම දේ. මොකද සම්බන්ධතා වැඩි වෙලා ළමයි හැදිල පස්සට ඒව වෙනකොට අපරාදෙ ජීවිත”
“මාත් තාම හිතනව ලොකූ. බලනව තව ටිකක්. අවුල් තමයි…ඒත්… තාත්තිට කියන්න කලින් තව හිතන්න ඕනෙ”
“අනේ මන්දා අප්ප. එක අතකට අපි පොඩියටම හිටියනං හොඳයි කියලත් හිතෙනව. දැක්කනෙ මල්ලි පැටලිච්ච කරදරේ. අනේ සුදූ ඔයත්නං කොල්ලෙක් තෝරගද්දි ලක්ෂ කෝටි වාරයක්වත් හිතන්නෝනෙ”
“කොල්ලො නැතුව බැරිද ඉන්න… පුළුවන්නෙ…”
“පුළුවං ඉතිං… ඒත් අත්‍යවශ්‍ය නැති වුණාට අවශ්‍ය දේවල් තියනව සුදූ. අපිට මේ ලැබිල තියන ජීවිතේ විඳගන්න ඕන හැම අහු මුල්ලක්ම විඳින්න ඕනෙ”
“ඒක තමයි ලොකූ මාත් කියන්නෙ. දවසක මං බැන්දොත්… ඒ බඳින්න මුළු ජීවිත කාලෙම මට දැනෙන… මට විඳින්න පුළුවන් එකම පිරිමියව. එහෙම බැරිනං මේ විදිහට ඉන්නව. තාත්තිවයි ඕගොල්ලොංගෙ බබාලවයි බලාගෙන”
“සුදූ ඉන්නකං අපිට ඕන තරං බබාල හදන්නනං පුළුවං ලොකූ. මේකි ඕන තරං බලාගනී. පුළුවං කමක් තියනවනං කිරිත් දෙයි”
සාන්වී ගේ සිනහව මුළුතැන්ගෙයින් එළියට පැන තාප්පයෙන් එපිට මහානාම මිදුලේ ද රැව් දුන්නේ ය. සති අන්තයේ මේ වගේ සිනහවල් ද විවිධ රස දැනෙනා සුවඳවල් ද තාප්පයෙන් මෙපිටට එන විට මහානාම කොල්ලෝ මේ පැත්තට ඇදෙන්නේ මල් සුවඳට ඇදෙනා බිඟුන් සේ ය. උදේ ම මේ කෙටි කෑම වෙනුවෙන් ශාක්‍ය පාන් පිටි ද සැමන් ද පොල් තෙල් ද ගෙනැවිත් මල්වත්තගේ කුස්සියෙන් තබා ගියේ ය. සුවඳ හමත්දී කොල්ලෝ තුන් දෙනා තුන් වතාවකට මල්වත්තගේ කුස්සියට ඇදී ආහ.
“සමෝසා අපි හදලම නෑ නේ ආශ්…”
“අපි… උඹල මොනාද කියහං හදල තියෙන්නෙ…”
අශ්විනී රත් වූ තෙල් හැන්ද ශාක්‍ය වෙතට යොමු කළේ ය.
“හරි හරි. අපේ ගෙදර ඉතිං බවලත්තු නෑනෙ මෙයා”
“ගෙනෙංකො ඉතිං. උඹල දැං ගෑනු ගේන වයස පහු කරන ගමන්නෙ”
“කොහෙද ඉතිං… මල් වත්තක් වගේ කෙල්ලො සෙට් එකක්ම මේ ගෙදර හිටියට තොපි එකෙක්වත් මේ අපි දිහා ඇහැක් ඇරල බලපු එකක්යෑ”
පූජන ගේ ඒ කතාවට නම් කෙල්ලන් තිදෙනාට පමණකුදු නොව ශාක්‍ය ට හා රුසිරු ට ද සිනහ ගියේ ය. ඒ සිනහ හඬවල් උඩු ගුවනේ රැව් දුනි. මතු මහලේ කාමරයේ සිටි ආර්ය ජනේලය ළඟට විත් මල්වත්තගේ නිවස දෙස බැලුවේ ය. පිටතින් එය ඉතා සන්සුන් ය. කොල්ලන් තිදෙනා ද කෙල්ලන් තිදෙනා ද සිටියේ මුළුතැන්ගෙහි ය.
“ඇත්තට අපි ඉද්දි උඹල වෙන තැන් වලින් කොල්ලො හොයාගත්ත එකනං මාර වැරදියි හොඳේ”
ඒ ශාක්‍ය ය. සාන්වී ඔහු ගේ මූණට ලං වී හොඳින් ඔහු දෙස බලා පසුව අශ්විනී දෙසට හැරුණා ය.
“ලොකූ මේ බලනවකො. මුං ඔක්කොම පොඩි කාලෙ ඉඳන්ම සුදූවනෙ ලොකු කරගෙන ඔළුව උඩ තියං හිටියෙ. අපිව පිච්චියකට ගණං ගත්තෙ නෑ. දැං අපිට කියනව පිට කොල්ලො හොයාගෙනලු. මං හිතන්නෙ ලොකූ අපේ සුදූ මුං එකෙක්ටවත් කැමති නැතුවද කොහෙද… ලාස්ට් ඔප්ශන් එක විදිහටයි අපිව මතක් වෙලා තියෙන්නෙ”
ඒ වතාවේ සිනහවන් අනිත් වාර වලට ද වැඩිය උස්ව නැඟිණ. ඒ වගේ කතා කුමකට දැයි අමාගී ට නම් සිතී නො සිතී ගියේ ය. නමුත් ඒ කතා හා සිනා ඔවුන් ගේ හිත් අතරේ වූ හිස්තැන් වලට රිංගා ඒවා පුරවමින් පැතිරිණි.
“සොරි අයියල මල්ලිල. අපිට කරන්න දෙයක් ඇත්තෙම නෑ”
“ඒ වුණාට මූණටම ඔහොම කියන එක හරිනෑ වගේ අප්ප”
සමෝසා එහෙන් බැදෙත්දී මෙහෙන් ඉවර වේ. ඒ සෝස් බෝතලය ලං කරගෙන කොල්ලෝ ඒවාට වගකියන බැවිනි.
“මේ ඔක්කොම මේගොල්ලොන්ට දෙන්නෙපා ලොකූ. මණී ආන්ටිටත් දෙක තුනක් ගෙනියන්න ඕනෙ”
අමාගී විරෝධය පෑවා ය. ඒ වෙලාවේ අශ්විනී ගේ ඇස් දෙකෙහි පිරී තිබූ කඳුලු ගුලි දෙකක් පිටමං වූයේ ය. ඈ වහා උරහිසින් ඒ කඳුළේ තෙත මාත්තු කරගත්තා ය.
“ලොකූ… ඇයි…”
හිස දෙපසට සැළුවා මිස අශ්විනි පිළිතුරක් දුන්නේ නැත. එවර සාන්වී ද අක්කාගේ මූණට එබුණා ය.
“අනේ ඇයි ලොකූ අඬන්නෙ…හදිස්සියෙම මොකද වුණේ…”
“අඬනව…”
පිරිමි ළමයින් ද සිය විහිළු තහළු නවතා අශ්විනී වෙතට යොමු වූහ. රුසිරු ඈ අතින් තෙල් හැන්ද ගන්නට ගියේ ය.
“ඕන්නෑ රූ මං බදින්නං. අවුලක් නෑ අනේ. මට මල්ලි මතක් වුණා. ගෙදර හිටියනං ඒකා මෙලහකට සමෝසා කීයක් ගිලලද…”
එක මොහොතකට අවකාශය මුළුමනින් නිහඬ විය. අශ්විනී නාසය ඉහළට ඇද්දා ය.
“ඉතිං අපි සන්දේශ්ට එන්න කියල කෝල් එකක් දෙමුකො”
ඒ යෝජනාව පූජනගෙනි.
“නිධීගෙ ප්‍රශ්නෙත් එක්ක ඌට කතාකරන එකත් අවුලක් වගේ දැනුණ අප්ප. ඒකයි මං කෝල් එකක්වත් දුන්නැත්තෙ”
ශාක්‍ය ද සංතාප වැඩුවේ ය. පවුල් දෙකේ ළමයින් හැදුණේ වැඩුණේ උස් මහත් වූයේ එකට ය. පවුල් දෙකක වූවාට ඔවුන් හිටියේ සහෝදරයන් ගාණට ය. ලොකු වී රැකියා කරන්නට පටන් ගත්තාට පස්සේ උනුන් තරමක් දුරස් වී ද එකතු කළ ළමා වියේ මතක ගොඩක් ඔවුන් සතු වේ.
“අනිත් එක සන්දේශ් හිතා මතා වරදක් කරල නෑ කියල දැනගත්තට පස්සෙ හරි අපිට ඌට කතා කරන්න බැරි වුණා නේද ඕයි…”
“වැඩත් එක්ක අපි හැමෝටම ජීවිතේ වටිනම දේවල් මිස් වෙනව අප්ප. අන්තිමට බලනකොට ජීවත් වෙනව කියල ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ තමයි”
“මං කියන්නද… සන්දේශ්ට එන්න කියල සමෝසා පාර්සලයක් දෙමුද… ගෙදරට ආවොත්නෙ දුරේ අංකල් බරේ දාන්නෙ”
අශ්විනී හිස සැළුවේ දෙගිඩියාවෙනි. නමුත් නො දැනුවත්කම මත සිදු වූ වරදට දැන් සන්දේශ් දඬුවම් වින්දා ඇති යයි අශ්විනී ට ද නො සිතෙනවා නොවේ.
“අයිය එන්න බෑ කිව්වොත් අපි තුන් දෙනා යන්ද ලොකූ එයාව හම්බවෙලා එන්න…අනේ ලොකූ ප්ලීස්…”
අමාගී ගේ ඉල්ලීම වෙනුවෙන් අශ්විනී ප්‍රතිචාර දැක්වූයේ නැත. සිය තීරණයට පටහැනි වීම ගැන තාත්තා ගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්දැයි ඇය බිය වූ බැවිනි.
ඒ ගැන තීරණය පසුවට තිබියදී අමාගී සමෝසා කිහිපයක් දීසියක තබාගෙන මහානාම ගෙදරට ගියා ය. ඒ වෙලාවේ මණී කෙටි නින්දෙහි පසුවන බව ඇය දනී. සති අන්තයේ දී මේනකා පැමිණෙන්නේ නැත. ආයුට දවල් ට කවා සෝදා අමාගී ඔහු නිදි කොට යහනෙහි තබා ආවා ය. ආයු එහි වන නිසා ආර්ය සිටිනු ඇත්තේ ද කාමරයේ ය. සමෝසා දෙකක් දීසියක තබාගෙන සෝස් බෝතලයත් සමගින් ම අමාගී මතු මහලට ගියා ය. ආර්ය දුරකතනයට එබීගෙන යහන මත වාඩි වී සිටියි. කාමරයේ දොරකඩ සිට අමාගී සමෝසා දීසිය දිගු කළා ය.
“මෙන්න”
ඒ හඬේ නම් කිසිදු හිතවත්කමක් ඇත්තේ නැත. මුහුණේ ද සිනහ පොදක් නොවේ. නමුත් වෙනදා මෙන් නොව තනි වී සිටින මේ වෙලාවේ ආර්ය හුදෙකලා කරන්නට ඇයට සිත් දෙන්නේ නැත.
ආර්ය අමාගී දෙස බලාගත් වන යහනෙන් නැගිට ඇය වෙත ආවේ ය. මේ ඔහු ට ආගන්තුක අත්දැකීමකි. කෙසේ හැසිරිය යුතු ද කියා ඔහු දන්නේ නැත. අඩු තරමින් සිනහ පොදක් ඇයට දෙන්නට හෝ ඔහු ට සිහි වූයේ නැත.
“මණී ආන්ටි නිදි නිසයි මං මේ අරං ආවෙ”
කියමින් දීසිය ද සෝස් බෝතලය ද ඔහු වෙත භාර දුන් අමාගී සැනෙනින් නො පෙනී ගියා ය. ආර්ය ලොකු හුස්මක් ගත්තේ ය. නමුත් ඔහු ට සැහැල්ලුවක් දැනුණා නොවේ. හදවතෙහි ඉදිමීමක් වන් බරක් ඔහු ට දැනෙමින් තිබිණ.