“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද? මොකද ඔයාලගෙ අම්මයි තාත්තයි කවදාවත් රණ්ඩු වෙලාම නැද්ද? නිකන් මේ තොත්ත බබාලා වගේ කතා කරන්න හදන්නෙ?” කියා චිරත් ගේ කටහඬ දුරකතනය ඔස්සේ ඇහෙද්දීත් මේධාවිණී උනේ තාමත් පහව ගියේ නැති හිස කැක්කුම එක්කය. උණත්, වමනෙ යන ගතියත් පහව තිබ්බද තවමත් ඔලුව අරක්ගෙන ඉන්න ඔලුව කැක්කුම නිසාවෙන් මේධාවිණී උන්නේ අවසිහියෙන් මෙනි.
“අනේ මගෙ ඔලුව හොඳටම රිදෙනවා චිරත්. ප්ලීස් අපි හෙට කතාකරමු. මට කතාකරගන්න තියා ඔලුව උස්සගෙන ඉන්න පණ නෑ” කියා මේධාවිණී දුරකතන ඇමතුම විසන්ධි කරයින් පස්සෙ චිරත් දුරකතනය ඇඳ මතට විසි කර දමා අන්දකාරයෙන් පිරි ගිය නිවස දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තේය.
“ඇයි තමුන් මෙහෙ ආවෙ?” කියා මනුර සුමතිපාලගේ කටෙන් පිටවුණේ ඇයි කියන ප්‍රශ්නෙ තමන්ව මොහොතකට ගොලු කරවන්න හේතු වුණත් චිරත් අතේ උන්නු පෙත්මලීව බිම තබා “ආච්චි ලඟට ගිහින් සෙල්ලම් කරන්න” කියා කියන අතරවාරයේ මනුර සුමතිපාලට දෙන්න ඕන පිලිතුර ගැන ආයෙ වරක් හිතුවේය.
“මේධා ඉන්නවද අංකල්” කියා අහද්දී තමන්ගේ කටහඬ යාන්තමට වගේ මේ දැවැන්ත ආත්මයක් සහිත මිනිසා ඉදිරියේ සසල වුණ බව චිරත්ට නොතේරුනා නොවේ. එහෙත් තමන් ආවෙ වැරදි ගමනක් නොවේ. මේධාගෙ අත පතා, තරුණයෙක්ව උන් අවදියේ මේ ගෙදරට ආ මොහොතේ හිත සසැලුන එක ඇත්තක් හා වඩා සාධාරණ නමුත් අද එහෙම සසැලෙන්න හේතුවක් තමන්ට නැත. මේධාවිණී සම්බන්ධයෙන් මනුර සුමතිපාලට ඇති උපතෙන් ලද අයිතියත් ලේ බැඳීමත් තමන්ට නීතියෙන් ලද විවාහක බැඳීමත් හදවතේ අයිතියත් හා සමපාත වන බව සිතු නිසාවෙන්ම චිරත් මනුර සුමතිපාලට උත්තර දෙන්න පැකිලුනේ නැත.
“ඔව් ඉන්නවා. මං ඇහුවෙ ඇයි තමුන් ආවෙ කියලා”
“මං ආවෙ අංකල් මේධාව එක්කරගෙන යන්න”
“එක්කරගෙන යන්න? එක්කරගෙන ගිහින් ආයෙ වතාවක් රණ්ඩු වෙලා කෙල්ල අඬ අඬ ඉඳල උණ හදාගත්තයින් පස්සෙ ෆෝන් ආන්ස්වර් නොකර ගෙදරින් පිටවෙලා ඉන්නද?” කියා මනුර සුමතිපාල ඇසු කටහඬේ කෝපයත් සමච්චලයත් එක හා සමානව ගෑවි තිබුණ අයුරු චිරත්ට නොතේරුනා නොවේ. එහෙත් හිත ඊට වඩා කැළඹූනේ මේධාවිණී උණෙන් පෙලුනයින් කියා ඇසුණ විටය. ඕනවට වඩා ඇඬුව දවසට මේධාට උණත්, දවස් දෙකක් පමණ පුරාවට තිබෙන අතිශය වේදනාකාරී හිස කැක්කුමකුත් එන බව චිරත් මුලින්ම දැනගත්තේ මේධාවිණිගේ ගෙදරින් තමන්ගේත් ඇගේත් ප්‍රේම සම්බන්ධයට අකමැති බව පවසා දුරකතන ඇමතුමක් දී හොඳටම හැඬු දවසේය. එදා රැයේ මේධා පැනඩීන් වල පිහිටෙන් දිර්ඝ නින්දකට වැටෙද්දී ඇගේ ලඟින් හිඳගෙන ඇගේ හිස අතගාන්නටත් සනසවන්නටත් නොහැකි වීම ගැන තමන් නිදි වරමින් දුක් වෙච්ච විදිය චිරත්ට තාම මතකය.
“ප්‍රශ්නයක් වෙච්ච එක ඇත්ත අංකල්. ඒ උනාට මං හිතන්නෙ නෑ ඒක මේ එච්චර හිත රිද්දගන්න හේතුවක් කියලා. මං පිලිගන්නවා මම ඊයෙ මේධාට කතා කර විදිය වැරදි කියලා. ඒ උනාට මං හිතන්නෙ නෑ ඒක මේ…”
“කරුණාකරල මගේ යකා අවුස්සගන්නෙ නැතුව මෙතනින් යන්න. මේධාට හොඳටම සනීප නෑ. ඒ ළමයගෙ ඔලුවට තව කරදර දාන්නෙ නැතුව තමුන් මෙතනින් පිටමං උනා නම් හොඳටම හොඳයි. මගේ යකා ඇවිස්සුනාම මොන වගේද කියල තමුන්ට මේධා කියලා ඇතිනෙ. මම මේ කසාදෙට එදා කැමතිත් නෑ අද කැමතිත් නෑ. එදා අකමැති වෙච්ච එක වෙනම කතාවක්. එදා තමුන්ගෙ ලොකු පාටුයි, මහ ලොකු කතන්දරයි මං ඉවසගෙන ඉඳියෙ මගේ දරුවගෙ ඇස්වලින් කඳුලක් වැටෙනව බලන්න මට හයියක් නැති හන්දා. තමුන් එදා මහ ලොකුවට කිව්ව නේද මං කවදාවත් මේධට දුකක් දෙන්නෙ නෑ කියල. පොරොන්දු රකින්න බැරි තමුසෙල වගේ උන්ට මොන කසාදද ඕයි? මට තාම හොඳට අත පය උස්සන්න පුලුවන්. තමුන්ට තාත්තේ කියන පොඩි දරුවෙක් මේ පැත්ත බලාගෙන ඉන්න හන්දා මම ඒක කරන්නෙ නෑ.
දරුවා ඉස්සරහා නම්බුව පරිස්සම් කරගන්න ඕන නම් කට වහගෙන ඔය ආව විදියටම ගියා නම් හොඳයි ආව තැනකට. ආයෙ මේධාව හොයාගෙන මෙහෙ නාවට කමක් නෑ” කියා මනුර සුමතිපාල කියද්දී චිරත් ඇත්තටම උන්නේ කල යුත්තේ කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.
පස්සෙන්දා මේධාවිණී ඇහැරෙද්දී පාන්දර පහට විතර ඇතිය.පෙත්මලී අම්මාගේ කාමරයේ අම්මාට ගුලි වී හොඳට නිදාගන්න ඇති බව හිතුන හන්දා පෙත්මලී තමන් ලඟ නැති එක ගැන මේධාවිණී කලබල උනේ නැත. පල්ලෙහා තට්ටුවට යද්දී කුස්සියේ මේසය අද්දරට වී ලුණු මිරිසක් හදන්නට උම්බලකඩ කෑලි කපන අම්මාව දකිද්දී ගෙදර මෙහෙකාරිය වුන සෝමා තමන් ආසම මුං කිරිබත් හදන බව මේධාවිණි හිතුවාය. ගෙදර හදන මුං කිරිබත් එක්ක අම්මාගේ ලුණු මිරිස උණුවෙන් කන්නට උදේ පාන්දර ඇහැරිච්ච ඔලුව ඇතුලේ කරදර තිබුනේ නැති කෙල්ලකව උන් කාලයට ආපහු යන්නට තිබුනා නම් අපූරු බව හිතුනත් කාලය එහෙම ආපස්සට හරවන්නට බැරි බව දන්න හන්දාම මේධාවිණී ඒ සිතුවිල්ල හිත අස්සේම භූමදානය කර දැමුවාය.
“ආහ් ඔයා නැගිට්ටද? මම ඒත් හිතුවා තව දවල් වෙනකම් නිදාගනී කියලා ඔලුව කැක්කුම තිබුන හන්දා? දැන් ඔලුව රිදෙන එක අඩුද බබා?” කියා අම්මා හිනා වීගෙන අහද්දි මේධා හීන් සැරේ හිනාවී හීනියට හිස සෙලෙව්වේ ඔව් කියන්නටය.
“ඊයෙ සෑහෙන නිදාගත්තනෙ, අනික ආයෙ රෑ කලින් නිදාගත්ත නිසා උදේම ඇහැරුනා අම්මා. ඔලුව රිදෙන්නෙ නෑ දැන් හැබැයි අර පැනඩීන් ඉෆෙක්ට් එක තාම ඇඟේ තියෙන හන්දා ඇඟට පණ නෑ වගේ”
“හොඳට වොශ් එකක් දාගෙන උණුවෙන් තේකක් බීලා ඉඳියම හරියාවි.ඔන්න සෝමා උදේම මුං කිරිබත් හදනවා බබා ආසයිනෙ කියලා. පොඩ්ඩි නම් තාම නිදි. ඔයාට ඩිස්ටර්බ් වෙයි කියල හිතලා මම ඊයෙ එයාව මගෙ ලඟ නිදිකරවගත්තා” කියා අම්මා කියද්දී මේධා කුස්සියේ දොර ඇරගෙන ගෙවත්තේ එක් රැස් ව තිබුන සීතල සුලඟට ගේ අස්සට එන්න ඉඩ දුන්නාය.
අම්මා දැන් දැන් චිරත් ඊයෙ ගෙදර ආව විත්තියත්, තාත්තා චිරත්ට මොනවා කිව්වාද කියා කියාවි කියා බලා උන්නට ඒ කතාවට දැන්ම කල් වැඩි බව කමලිනී කලින්ම තින්දු තීරණ අරගෙන උන් බව දැන උන්නේ කමලිනීම පමණකි.
මුං කිරිබත් එක්ක අණාගත් හොඳට රතු ලූණුත් උම්බලකඩත් එක්කල ලුණු මිරිස අනාගෙන, තමන් කන අතරවාරයේම පෙත්මලීටත් කවමින් උන් මේධා දරුවාට කවා අවසන් වෙන තුරු මනුර සුමතිපාල මුං කිරිබත් කෑවේ බොහෝ ඉවසිල්ලේය. ඒද කමලිනී කෑම මේසෙ ලෑස්ති කරන අතරවාරයේ හෙමින් කණට කර “අර පොඩි දරුවා ඉන්න තැන ඔය කාරණ කතා කරන්න යන්න එපා. දැන් ඉන්න පොඩි දරුවන්ට හැමදේම අපිට වඩා තේරෙනවා” කියා නොකියන්න තමන් මෙලහකටත් ඔය කතාව පටන් ගෙන ඇති බව මනුර සුමතිපාල නොදන්නවා නොවේ.
අම්මා කැවු උණුම උණු රසම රස මුං කිරිබත් වලින් බඩ පුරවගත්ත පෙත්මලී ගෙවත්ත ඉදල් ගාමින් උන් සෝමා එක්ක සෙල්ලම් කරන්න වත්තට දුවගෙන යද්දී මේධා තවත් මුං කිරිබත් කැල්ලක් පිඟානට බෙදාගෙන අතෙන් පොඩි කරන්නට වුණේ කල්පනා කරමින් ය.
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?” කියා තාත්තා අහද්දී මෙච්චර වෙලා පිඟානට යොමු වී තිබුණ දෙනෙත උස්සා මේධා තාත්තා දිහාව බැලුවෙ “තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ” කියන ප්‍රශ්නෙ දෙනෙත් අස්සේ ලියා ගෙනය.
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම දුක් විඳින්න ඕන එකක් ද බබා? මෙලො දෙයක් නැති, අම්මල අප්පලා කියන උන් නැති තැන්වල ගෑණු ළමයින් නම් තමන්ගෙ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති හන්දා දුක් විඳිනවා උනාට ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑනෙ” කියා තාත්ත කියද්දී ඇත්තටම කියන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුව මේධා ලතැවුණාය.