උදේ පාන්දරම ඇහැරී කාරෙක පදවගෙන හයි වේ එකේ යද්දී,පායාගෙන එන ඉරේ රත්තරන් පාට රැස් කදම්බයන් මූණට වැටෙද්දී මේධාවිණී උන්නේ තනියෙම සිනාසීගෙනය. මෙච්චර නිදහසක් මෙච්චර සැනසීමක් හිතට දැනෙන්නේ බොහෝ කාලයකට පස්සේය.
තාත්තා විසින් අවුරුදු ගණනාවකට පෙර කුඩා කඩයකින් ආරම්භ කරන ලද රෙදි පිලි සන්නාමය දැන් දිවයින පුරා ශාඛා කිහිපයකම හිමිකාරිත්වය දැරුවත් කාලයත් සමග, නවීන තාලයට ගැලපෙන අයුරින් මතුව තිබෙන්නෙ අඩුවෙන් බව මේධාවිණී බොහෝ කාලයක් තිස්සේ දැක්කත් වචනෙන් ඒ ගැන තාත්තට කියනු මිසක දැන් වගේ සම්පූර්ණයෙන්ම ඒ සඳහා කාලය වැය කරන්න ඉඩක් නිදහසක් තිබුනේනැත.
“ඔයාලා ඔය කියන ඒව කරන්න. ඒ වෙන වැඩ ඕවර්ලුක් කරන්න ඔයාලා වගේ හිතන අපර් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන. මං ඒකනෙ ඔයාට හැමතිස්සෙම කියන්නෙ ඔයාටයි චිරත්ටයි දෙන්නටම ඔය පොඩි පඩියට අනුන් ලඟ කඹුරන එකේ මේ අපේ බිස්නස් එක භාරගන්න” කියා තාත්තා ඒ දවස්වල කියද්දී තමන් හිනා වී ඉවත ගිය විත්තිය මේධාවිණීට මතකය.
තාත්තා විසින් අරගෙන දුන්න කන්වර්ටිබල් සුදු පාට මර්ක් රිය සදර්න් හයි වේ එකේ පින්නදූව එක්සිට් එකෙන් එලියට ඇවිත් කොටුවට පැත්තට යන අතරවාරයේ මේධාවිණී ඒ අතීත මතක මදකට හිතෙන් අමතක කරාද කරන්නට යන මේ ෆොටෝ ශූට් එක ගැන හිතුවාය.
වැලන්ටයින්ස් කැම්පේන් එක වෙනුවෙන් මාකටීන් ටීම් එක සමග එක්ව ගත් කැම්පේන් අයිඩියා එකේ ෆොටෝශූට් එකට ගාල්ල හොඳ බව තීරණය කරයින් පස්සේ තිබූ ලොකුම අභියෝගය වුනේ සාධාරණ මිලකට වඩා හොඳ ජායාරුප එකතුවක් සකසා දෙන්නට හැකි ජායාරූප ශිල්පියෙක් සහ වීඩියෝ ශිල්පියෙක් හොයාගන්න එකය.
අද ඒ සියලුම දෙනා එකතු වී මේ කරන්නට යන කැම්පේන් එක මේධාවිණීට අලුත්වගේම සතුට දනවන කාරණාවකි. මේධාවිණී ශූට් එක වෙනුවෙන් බුක් කල හෝටලය අසලට යද්දීත් ප්‍රඩක්ශන් හවුස් එකේ අය පැමිණ අදාල දේවල් සෙට් අප් කරමින් උන්නහ. මොඩ්ල්ස් ලා උන්නේ හෝටලයේ කාමරයකට වී හිස කෙස් ද, මේක් අප් ද කරගනිමින් ය. ශූට් එක වෙනුවෙන් ගෙන ආ ඇඳුම් පැලඳුම් අයන් කරන අය වෙනමය. ශූට් එකේ වැඩ වෙලාවට පිලිවෙලට වෙනවද බලන්නට මාකටින් ටිම් එකේ ලමයින්ද උන්නෙ එහෙ මෙහෙ දුවමිනි. එහෙත් ඒ කලබලය වඩා විනෝදජනක එකකි.
“අපිට වෙලාවට ශූට් එක පටන් ගන්න පුලුවන් වෙයිද ප්‍රාර්තනා?” කියා අසන ගමන් මේධාවිණී ලැප්ටොප් පරිගණකය දිග හැර අද ශූට් එකට අදාල ස්ටෝරි බෝඩ් එක ආයෙ වතාවක් බලා තහවුරු කරහත්තාය.
“අපි වෙලාව දුන්නෙ අටට මැඩම්. මේකප් කරල ඉවර වුන ගමන් පටන් ගන්න පුලුවන්. ෆොටෝග්‍රැෆර් ඇන්ඩ් වීඩියෝග්‍රැෆර් කොටුව ඇතුලට ගියා තව ටිකක් ලොකේශන් බලලා එන්න ශොට්ස් ගන්න හොඳ. එයාලා ඔක්කොම රෙඩි. හෙයා ඇන්ඩ් මේකප් රෙඩි වෙච්ච ගමන් වී කැන් ස්ටාට්” කියා ප්‍රාර්තනා කියද්දි මේධාවිණී මද සිනාවකින් ඇයට සංග්‍රහ කලාය.
කෲ එකේ කෙනෙකු විසින් රැගෙන ආ උණුසුම් තේ කෝප්පය අතට ගෙන හෝටලයේ පඩිපෙල් කිහිපය බැස ගල් ඇතිරූ පාරට පිවිසි මේධාවිණිගේ මතකයට මුලින්ම ආවේ පෙත්මලී හම්බුවෙන්න ඉඳිය දවස්වල චිරත් එක්ක තමන් ගාල්ලෙ ආ අයුරුය. ඒ දවස්වල චිරත්ට වාහනයක් තිබුනෙ නැති එකේ චිරත්ගෙ මිතුරෙකුගේ වාහනයක් දවස් දෙකකට ඉල්ලාගෙන ගාල්ලෙ ඇවිත් අහංගම කුඩා හෝටලයක නතර වී උදේ මූදු වෙරලේ ඇවිදින්න ගිය මතකයද, හවස් වරුවේ ගාලු කොටුවට විත් පෙඩ්ලර්ස් එකෙන් යෝගට් අයිස්ක්‍රීම් කෑ මතකයද ඒ දවස්වල කෙතරම් රසවත්ද අද එතරම්ම නීරසව දැනෙද්දී මේධාවිණී වහ වහා ඒ මතකය හිතෙන් ඉවත් කරනු පිණිස තේ කෝප්පය බීගෙන බීගෙන ගියාය.
“පුදුම පිපාසාවකනෙ ඉඳලා තියෙන්නෙ” කියන කෙලිලොල් පිරිමි කටහඬ ඇහුනේ ආන් ඒ ඇසිල්ලේය. මේධාවිණී වහා පිටුපස හැරී බැලුවේ තමන්ගේ කාර්‍යාලයේ සේවක පිරිස අතරේ තමන්ට එයාකාර කෙලිලොල් බවකින් විහිලුවක් කරන්න කෙනෙකු නැති බව හොඳටම දන්න නිසාවෙන් ය.
අඩි හයක් පමණ උස, පුහුණ පුරා රැවුල වවාගත්, තලෙලු පැහැ සමක් සහිත ඒ තිස් වියේ පමණ ඉන්නවා යැයි සිතිය හැකි කඩවසම් මිනිසා උන්නේ වචන වලින් තමන්ව ස්පර්ශ කරමින් වුවත් දෙනෙත් වලින් කැමරාවේ ස්ක්‍රීන් එක දිහා බලාගෙනය. ඒ වනාහී මේ ශූට් එක වෙනුවෙන් තමන් අරගත් ජායාරූප ශිල්පියා බව මේධාවිණී අඳුරගත්තේ ඔහුගේ අතේ තිබූ කැමරාව නිසාය.
“මං කිව්වෙ පුදුම පිපාසාවකනෙ ඉඳල තියෙන්නෙ” කියල එකම කතාව නැවත වරක් කියන අතරම මේ වතාවේ ඔහු දෙනෙත් තමන් දෙසට හරවද්දී ඒ දෙනෙත් වල තැවරී තිබුණ කුමක් හෝ හැඟීමකට තමන් මෙල්ල වූ බවත්, ඒ මෙල්ල වීම වචන අමතක කරවන්නට හේතු වූ බවත් තේරෙද්දී මේධාවිණී මොහොතකට තිගැස්සුණාය. අනතුරුව එයට දෙන්නට පිළිතුරු සොයාගත්තාය.
“අහ් ඇයි එහෙම ඇහුවෙ?”
“නෑ ඉතින් නැත්තම් උණුවෙන් තේකක් ඔහොම බීගෙන බීගෙන යනවද? අනික කෙල්ලෙක්ට?” කියාගෙන මනස්කාන්ත සිනාවකින් තමන් දිහා බලාගෙන උන්නු ඔහුට ඊලඟට දෙන්න ඕන උත්තරය කුමක්ද කියා සිතාගන්නට බැරුව මේධාවිණී උන්නේ පැකිලෙමිනි.
“මම වලාකුලු වීරවර්ධන. අයෑම් ද ෆොටෝග්‍රැෆර්. යු ආ?”
“අයෑම් මේධාවිණී සුමතිපාල. අයෑම්..”
“ඕව්නර් ඔෆ් මේස් ෆැශන්” කියා ඔහු කිව්වේ “ඔයා නොකිව්වට මම දන්නවා ඔයා ගැන” කියන ආකාරයේ කෙලිලොල්, දඟකාර, ආඩම්බරකාර හැඟීමකිනි. ඒ වනාහී වයස අවුරුදු තිස් ගණන්වල සිටින අයෙකුට උරුම නොවන පාසල් යන වියේ හිඳින තරුණයෙකුට උරුම කෙලිලොල් දඟකාර බවකිනි.
“ම්ම්ම් ඇක්චුවලි නොට් මී, ඉට්ස් මයි ෆාදර් හූ ඊස් ද ඕනර්”
“බට් යු ආර් හිස් ඔන්ලි චයිල්ඩ් රයිට්” කියා ඔහු මදක් තමන් වෙතට නැඹුරු වී ඇහැක් ගසා සිනාවෙද්දී එයට ප්‍රති උත්තර ලෙස සිනා නොවී ඉන්නට මේධාවිණීට හැකි උනේ නැත.
“සෝ මේ ශූට් එකේ ස්ටෝරි බෝඩ් එක එහෙම මම ඔක්කොම චෙක් කරා. ඔයා හිටියෙ නෑ මට මතක විදියට ප්‍රී ප්‍රඩක්ශන් මිටින් එකේ. මට එතනදි ඔයාලගෙ මාකටින් ටීම් එකේ අය කිව්වා එයාලගෙ බොස් තමයි මේ තීම් එකට ශූට් එක කරමු කිව්වෙ කියලා. මම කැමතියි ශූට් එක පටන් ගන්න කලින් ඔයා බලාපොරොත්තු වෙන වයිබ් එක මොන වගේද කියල පොඩ්ඩක් ඔයාගෙන්ම දැනගන්න.
මොකද අයිඩියා එක ගෙනාව මනුස්සයනෙ දන්නෙ ඇත්තටම අවුට්කම් එකේදි මොන වගේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස්ද එයාලට ඕන කියලා’ කියලා වලාකුලු වීරවර්ධන හිනාවෙද්දී මේධාවිණී කරේ හිස වනා එයට ඔව් කිව්ව එකය.
මොඩ්ල්ස්ලා මේකප් දමා, හිස කෙස් සකසාගෙන අවසන් වෙනතුරු හෝටලයේ එලිමහනේ දමා තිබුන මේසයකට වී මේධාවිණී වැලන්ටයින්ස් කැම්පේන් එක වෙනුවෙන් තමන් අරගෙන ආ තීම් එක සහ අයිඩියා එක ගැන වලාකුලු වීරවර්ධනට ආයෙ වතාවක් පැහැදිලි කර දුන්නාය. අතරින් පතර තමන්ගේ සිතට නැගෙන ප්‍රශ්න කිහිපයක් අසන්නට පමණක් වෙලාව වැය කල වලාකුලු අනෙක් වෙලාවේම කලේ මේධාවිණී කියන දේ වඩා හොඳින් අහගෙන හිඳින එකය.
ශූට් එක වෙන අතරවාරයේ හිනාවෙන්න බොහෝ හේතුද, බලා ඉගෙන ගන්නට බොහෝ දේද සිදුවුනත් ඒ සියලුම දේ අතරවාරයේ වලාකුලු වීරවර්ධනගේ දෙනෙත තමන් වෙත යොමුවන අවස්තාවන් මේධාවිණීගේ දෙනෙත්වලට හසුවුණද මේධාවිණී වහ වහා ඒ බැල්ම මගහරින්නට කටයුතු කරාය.
වලාකුලු ඒ ප්‍රතිචාරය භාරගත්තේ මද සිනාවකිනි. ශූට් එක දවල් කෑමට නතර කර අවස්තාවේ මේධාවිණී එක්ක ආයෙම කතාකරන්න ඉඩක් හම්බුනේ නැත්තේ වලාකුලු තමන්ගේ ප්‍රඩක්ශන් ටීම් එකේ අනිත් සාමාජිකයන් එක්ක දවල් ආහාරය ගනිද්දි මේධාවිණි තමන්ගේ කාර්‍යාලයේ පිරිස එක්ක දහවල් ආහාරය ගත්ත නිසාවෙන් ය.
හැන්දැ වෙන්නට කලියෙන් ශූට් එක ඉවර කරගන්නා පුලුවන් වේයැයි සිතුවත් ශූට් එක අවසන් වෙධ්ඩි හවස හය හමාර පහු වී තිබුණි. මේධාවිණී උන්නේ සියලුම අස්පස් කිරිම් අවසානයේ මොඩ්ල්ස් ලාද, තමන්ගේ ටීම් එකේ අයවද, ප්‍රඩක්ශන් හවුස් එකේ අයවද පිටත් කරන සිතුවිල්ලක උනත් ප්‍රඩක්ශන් හවුස් එකේ අයට එහෙම ලේසියෙන් ශූට් එකක් අවසන් වුණු ගමන් යා නොහැකි බව කියා දුන්නේ වලාකුලුය.
“ඔයාලට වගේ ඉක්මනට ඉතින් අපිට යන්න බෑනෙ. ගත්ත ශොට්ස් බැකප් කරගෙන, ඔක්කොම ඉක්විප්මන්ට් රෙඩි කරගෙන අපි යද්දි තව පැයක් එකහාමාරක් යනව. ඔයාලගෙ ටීම් එකට යන්න පුලුවන්. ආයෙම අපි ඉතින් එඩිටඩ් ශොට්ස් පෙන්නන්න එන මීටින් එකේදි හම්බුවෙමු” කියා වලාකුලු වීරවර්ධන අර කෙලිලොල් සිනාව එක්කම අත දිගුකරද්දී මේධාවිණී වඩා සැහැල්ලුවෙන් ඒ අත අල්ලාගත්තද වලාකුලු අතට අත දුන්නේ අත දැඩිව ග්‍රහණය කරගෙනය.
වෙන කෙනෙකු වුනානම් වෙන මොහොතක උනානම් තමන් අත ඇදගන්නා බව ස්ථිර වුණත් මේ වෙලාවේ, වලාකුලු වීරවර්ධනට එහෙම කරන්න තමන්ට බැරි බව මේධාවිණීට හිතුණාය. එහෙත් ඒ ඇයිද කියන කරුණ ප්‍රශ්නාර්තයක්ව හිතේ සනිටුහන් වෙද්දීය.
ආපසු වාරයක් කාරෙකේ නැගී කොළඹ බලා තනිවම එද්දී තමන්ගේ හිත අස්සේ පොදි ගැහුණ සියලුම සිතුවිලි වලාකුලු වීරවර්ධන පෙරමුණු කරගත් ඒව බව තේරුණත් ඒකට හේතුවක් කුමක්ද කියන එක ගැන හරියාකාර අදහසක් මේධාවිණීට තිබුණේ නැත. ගෙදර එද්දී හොඳටම රෑ වි තිබුන අතර පෙත්මලී උන්නේ නින්දක නිසා ඇයව ඇහැරවන්නෙ නැතුව උණු වතුරෙන් ඇඟ දොවාගෙන, කාමරයට විත් ගතේත් මුහුණේත් මොයිස්චරයිසර් ආලේප කර, කෙස් කළබා පීරාගත් මේධාවිණී ඇඳට වැටුණේ වෙහෙසින් බර ගත කුත් සිතුවිල්ලෙන් බර හිතකුත් එක්කය.
උදේ වෙද්දී ඒ ගතත් සිතත් නිවී සැනසෙනු ඇතැයි කියා හිතුවද,නිදිමත පෙරෙන දැසින් ඇඳටම වී දුරකතනය අතට ගෙන බලද්දි වට්සැප් වෙත පැමිණ උඩින්ම වගෙ සනිටුහන් වී තිබුණ පණිවිඩය හිත සසල කල බව ඇත්තකි.
එහෙම පණිවිඩයක්, එවන් දෙයක් තමන් බලාපොරොත්තු නොවූවකි.
ඒ පණිවිඩය දරාගත යුත්තේ කුමනාකාරයේ හැඟීමකින්ද කියන එක මේධාවිණීට එදා දවස පුරාම හිතන්නට දෙයක් ඉතුරු කරාය.