මුතු බෙලි හදවත – 34 වන කොටස

හැමදාම ජීවිතය එක ම රිද්මයකින් ගලා ගෙන යන්නේ නැත. සොබා දහම වුණත් කාල තරණය කරන්නේ ඍතු ඔස්සේ ය. ගිම්හානයේ පොළොව වියළුණා ට වස්සානයේ දෙගොඩතලා යන්නට වහින්නේ ය. සරත් සමයේ කොළ හැලේ. වසන්තයේ මල් පිපේ. ජීවිතයත් එසේ යි සිතන්නට ආදිත්‍යා උත්සාහ කළා ය.

දික්කසාදය කියන්නේ ගැහැනියක ට පහසු තීරණයක් නොවේ. ඇය තෝරා ගෙන තිබෙන්නේ මොන තරම් වැරදි පිරිමියෙකු වී ද දික්කසාදය වගේ තැනකට යන්නට පෙර ගැහැනියක කෝටියක් වාරයක් සිතන්නී ය. ඒ තරම් සිතුවත් එය කිසි සේත් පහසු වන්නේ නැත.

ආදිත්‍යා ටත් එසේ ම ය. නමුත් එසේ නො කරන්නේ වී නම්, වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන්න  විකුම් ගේ කිසිදු උනන්දුවක් නැත. එවන් අවස්ථාවක ගැහැනියක තවත් අසරණ වෙනවාද නැත්නම් ඒ අසරණම ශක්තියකට පෙරලා ගන්නවා ද යන්න ඇය මත තීරණය වේ. ආදිත්‍යා තෝරා ගත්තේ ශක්තිමත් වීමේ මාර්ගය ය.

එසේ කරන්නට ද හේතු තිබිණි. ලොකු ම හේතුව තාත්තා වන ජයලත් ය. දුවකට තාත්තා තරම් හයියක් වෙන කොහේවත් නැත. හදවතේ තාත්තා ඉන්නා තැනට ලං වෙන්නට හෝ සමත් වන්නේ එහෙමත් පිරිමියෙකු පමණි. එහෙව් තාත්තා මේ කාරණයේදී ‘දික්කසාද වෙමු පුතේ’ යි කියා සිටිත්දී දෙවරක් සිතන්නට අවැසි වන්නේ නැත. දුමාල් නමින් සිත්හි ලියලමින් තිබූ ප්‍රේමයේ ආගන්තුක මිහිරියාව ද මේ තීරණය පහසුවක් කරන්නට ආදිත්‍යා කෙරේ බලපෑවේ ය.

සඳසීලී මේ දික්කසාද නඩු පැවරීම ගැන දැන ගත්තේ විකුම් ගෙනි. ඇය පසු දා ම, පෙර පාසල නිම වෙන වෙලාව අල්ලා එහි පැමිණියා ය.

“මං හිතුවෙ නෑ දරුවො මේක මේ තරං දුර දිග යයි කියල..කොටිංම මං හිතුවෙ නෑ ඔයා දික්කසාදෙ ඉල්ලයි කියල”

ඇය කම්පිත ව සිටියා ය. මෙතෙක් කල් ආදිත්‍යා ව විජයවික්‍රම පවුල වෙත බඳවා ගෙන සිටි පෙකණි වැල වූ කලී සඳසීලී ය. ඇය නො වන්නට ආදිත්‍යා විකුම් පායෙන් නික්ම බෝ කල් වන්නට ද තිබිණි. නෛතික ව දැනුම් දීම කෙරෙන තුරු ආදිත්‍යා සඳසීලී ට මේ ගැන කියන්නට නො ගියේ, ඇගේ මූණ බලා ගෙන, ඒ පෙකණි වැල කපා දමන්නට තමා සූදානම් වන බව කියා ගන්නට බැරි කමට ය.

“මේක මං ලේසියෙන් කරපු දෙයක් නෙවෙයි අම්ම. මේ තරං කාලයක් වුණත් මං හැම දේ ම ඉවසං හිටියෙ අම්ම නිසා. මං දන්නව…මගෙ අම්මටත් වඩා අම්ම මාව තේරුං ගත්තා. අම්මට තේරෙනව ඇතිනෙ. ගෑනියෙක් විදිහට මට ජීවිතයක් තිබුණද කියල…විකුම් ගෙ මගුල් පින්තූරෙ විතරයි මං හිටියෙ. එයාගෙ ජීවිතේ කොතනකවත් මං හිටියෙ නෑ. පුතා නිසා එයා ගෙ තවත් අමනුස්ස පැත්තක් විතරයි මට දකින්න ලැබුණෙ. එයාට පිට ගෑනු කට්ටිය එක්ක මොන සම්බන්ධකං තිබුණත් මං ඩිවෝස් එකක් ගැන හිතුවෙ නෑ අම්ම. ඒත් තව ප්‍රමාද වෙන්න කලින් ඒ ගැන හිතන එක හොඳයි කියල මගෙ තාත්ත, නංගි, මල්ලි හැමෝම කියනව. අම්මනං ඉන්නෙ බයේ. එයා තාමත් හිතන්නෙ පරණ විදිහට…දික්කසාද වෙච්ච ගෑනු කෙනෙක්ට මේ සමාජෙ ජීවත් වෙන එක ලේසි නෑ කියන මානසිකත්වයෙං. ඒත් මං මේකට මූණ දෙන්න ලෑස්තියි අම්ම”

ආදිත්‍යා සන්සුන් ව කියවා ගෙන ගියා ය. සඳසීලී ද සන්සුන් ව අසා සිටියා ය. සිය පවුලට අහිමි වන්නට යන්නේ මැණිකක් බව ඇය දනී. මැණිකෙ අගය කණා දන්නේ නැති විට, එහි අගය දන්නා කෙනෙකුට ඒ හිමි වීම ගැන උරන විය නො හැක. දුක් වුව ද උරණ වීමේ අයිතියක් නැත.

“මං ඔයාට දොස් කියනව නෙවෙයි ආදි. ඒත් මට මේක දරා ගන්න බෑ. මට දැනෙන්නෙ මගෙ ගෙදර ඇතුළෙ මං තනි වෙනව වගේ”

ආදිත්‍යා ට දරුනු රිදුමක් දැනිණ. විවාහයකදී බැඳෙන්නේ පිරිමියෙකු හා ගැහැනියක පමණක් නොවේ. පවුල් දෙකක් ද එකට සම්බන්ධ වන්නේ ය. එහි දී ඒ ඒ සමාජිකයන් අතරේ ඇති විය හැකි අන්තර් සම්බන්ධතා වෙනස් ය. සාමාන්‍යයෙන් නැන්දම්මා හා ලේලියක අතර ඇති වන්නේ විරෝධාකල්පයකි. ගැටීමකි. නො රිස්සුමකි. නමුත් ආදිත්‍යා හා සඳසීලී අතර ඇති වූයේ ඊට වඩා වෙනස් සබඳතාවකි. එවැන්නක් බිඳ දැමීම වූ කලී ශරීරයේ අස්ථියක් බිඳීම තරම් වේදනාවකි.

“මං විකුම්ගෙන් ඩිවෝස් වුණා කියල අම්ම එක්ක තියන සම්බන්දෙ කවදාවත් නැති වෙන්නෑ. ඒක කරන්න අමාරු නෙවෙයි බැරි දෙයක්. මං හිතන්නෙ අම්මටත් එහෙම කරන්න බෑ. අපි මේ ඩිවෝස් එක නිසා ඈත් වෙන්නෙ නෑ අම්ම”

සඳසීලී ගේ ඇස් වල කඳුළු තිබිණි. ආදිත්‍යා ගේ හඬ බිඳී තිබිණි.

“අම්ම මගෙන් ඉල්ලන්න එපා මේක කරන්න එපා කියල..මට ඒ අවස්ථාව විතරක් දෙන්න”

“අනේ දරුවො. මමයි ඔයාව තෝර ගත්තෙ මගෙ ලේලි විදිහට. මට මේක දරා ගන්න බෑ ආදිත්‍යා”

සඳසීලී හඬන්නට පටන් ගත්තා ය. ආදිත්‍යා ඈ සිය උරයෙහි සතපා සැනසූවා ය.

“මගෙ දරුවගෙ ආච්චි අම්ම අම්මනෙ. ඒ අයිතිය කවදාවත් අම්මට නැති වෙන්නෙත් නෑ. ඉතින් අපි වෙන් වෙන්නෙ නෑනෙ අම්මෙ. මීට පස්සෙ මං අම්මගෙ ලේලි නෙවෙයි. දුව…”

සිදු වෙන්නට හොඳ ම විදිහ ඒ නම් ඒ විදිහට වෙන්න හරින්නට සඳසීලී හිත හදා ගත්තා ය.

නමුත් සිය සැමියා සේ ම පුතුගේත් හැටි ඈ හොඳින් දනී. මේ වගේ දෙයක් වෙන්නට හැර නිකං බලං ඉන්නට තරම් ඔවුන් හොඳ මිනිස්සු නො වෙති.

“ඒ ළමය මේ ගෙදර ඇතුළෙ විඳ ගෙන හිටපු දේවල් හොඳට ම ඇති. ඒක නිසා එයා බලාපොරොත්තු වෙන ඩිවෝස් එක සද්ද නැතුව දීල දාමු. නැති ප්‍රශ්න ඇති කර ගන්න හදන්නෙ නැතුව”

සඳසීලී තාත්තා පුතා දෙදෙනා ම එකට අල්ලා ගත හැකි වූ මුල් ම අවස්ථාවේ කීවා ය.

“එහෙම කොහොමද…”

විකුම් විරෝධය පෑවේ ය. සේනක වහා අතක් දිගු කර පුතා ව නතර කළේ ය.

“එයාට යන්න ඕනනං බලෙං තියා ගන්න හදන්න එපා විකුම්. ගෑනු නැතුවටයැ මේ රටේ”

සඳසීලී ගේ තොල් කොනක් සාවඥ සිනහවකට ඇද විය. නමුත් ඕ කිසිත් කියන්නට නො ගියා ය. සේනක මේ විදිහට විකුම් ව නිහඬ කරන්නට හදන්නේ, ඔහු ගේ චරිත සහතිකය ආදිත්‍යා අතින් රටට ඉදිරිපත් වෙනවාට ඇති බියට බව සඳසීලී ට වහා වැටහිණ.

“අනික ඔයා ඩිවෝස් එක දෙන්නෙ නැත්තං ළමයගෙ අයිතිය දෙන්න ඕන. ඒකයි ආදිගෙ කොන්දේසිය”

“අනේ ඒ ගෑනිගෙ කොන්දේසි”

විකුම්  නොඉරිස්සුම පළ කළේ ය.

“මට මොකද වෙන්නෙ…ඉලෙක්ෂන් එකට මොකද වෙන්නෙ…මිනිස්සු මාව පට්ට ගහයි. ඔය වගේ දෙයක් ඇති ඡන්ද ටික ඔක්කොම කැඩිල යන්න”

“ගෙදර ගෑනිගෙ කැමැත්ත දිනා ගන්න බැරි පිරිමි රටේ මිනිසුන්ගෙ කැමැත්ත ගැන වද වෙන හැටිනෙ අප්ප පුදුමෙ කියන්නෙ”

සඳසීලී ඒ ඇනුම්පදය කීවේ ඔහු ට ද වැදෙන්නට බව සේනක දනී. ඈ අසල දී හැමදාම කරන ආකාරයට ඔහු බිහිරි ප්‍රතිපත්තිය ම අනුගමනය කළේ ය.

“විකුම්…පෙරළුණ පිට හොඳයි කියන එක තමයි හොඳ දේශපාලකයෙකුගෙ ලක්ෂණේ. මේකත් අපි අපිට වාසි වෙන විදිහට පාවිච්චි කරමු”

සේනක ගේ කපටි මොළයට ලහි ලහියේ අදහස් ගලා ආවේ ය. විකුම් ඇස් හකුළා පියා දෙස බලත්දී සඳසීලී වඩාත් විමසුම් සහගත වූවා ය. මේ වෙලාවේ ආදිත්‍යා ට හානියක් වෙන යමක් ඔවුන් කරන්න ට යනවා නම් එය වැළකීම ඇගේ ඒකායන අරමුණ විය. ඒ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්න ට ද ඕ සූදානමින් සිටියා ය.

“අපි රටට පෙන්නන්න ඕන ඒ ගෑනි ද්වේශ සහගත විදිහට ඔයාව අත්ඇරිය කියල..ඕනනං ඔය ගොසිප් සයිට් දෙක තුනක් අල්ලගෙන අපි ඉන්ටවීව්ස් ටිකක් කරගමු. විකුම්ට තියෙන්නෙ ඇඬෙන්න කියන්න. ඔන්න එතකොට රටේ ගෑනු ඔක්කොම විකුම් ට අනුකම්පා කරන්න ගන්නව. හිතෙං ලව් කරන්නත් ගන්නව. අනේ පව් කිය කියා හොටු හූර හූර අඬයි කතා දෙකක් නෑ. මොකද්ද වෙන්නෙ එතකොට…ඔය ගෑනුංගෙ චන්ද ටික ඔක්කෝම වැටෙනව. අනුකම්පා චන්ද…අපේ රටේ මැතිවරණ ඉතිහාස කීයක්නං ඔය අනුකම්පා චන්ද නිසා වෙනස් වුණාද මනුස්සයො…අපි ඉතිහාසෙං පාඩං ඉගෙන ගන්න ඕනෙ”

සේනක කොක් හඬ ලමින් හිනැහෙන්නට ගත්තේ ය. සඳසීලී අප්‍රසන්න හැඟීමකින් ඉවත බලා ගත්තා ය.

අවදානම නොතකා එක දවසක් දුමාල් පෙර පාසල අසලට පැමිණියේ ය. ඒ ඔහු ගේ දිවා ආහාර විවේකයෙන් පසු වරු නිවාඩුවක් ලබා ගෙන ය. ඔහු දුටු ආදිත්‍යා ගේ පපුව රත් වී ගියේ ය. අවදානමක් ගැන හැම මොහොතක ම ඇය අවධානයෙන් හිඳිනා නිසා ය.

“අනේ දෙයියනේ ඔහොම එන්න එපා. මට ඔයා ගැන බය හිතෙන තරං ඔයා දන්නෑ”

ඈ එසේ කියදතත්දී ත් පපුව මත සුරත විය.

“කෝ නංගි නැද්ද..”

දුමාල් මඳහසකින් ඇසුවේ ය.

“නර්සරි එක ඇරුන ගමං නංගි අද ගෙදර ගියා. එයාගෙ වැඩ වගයක් තියෙනව කියල”

“එහෙනං ලෑස්ති වෙන්න”

“කොහෙ යන්නද…”

“ගමනක්. මං හාෆ් ඩේ දාලත් ආවෙ”

යන්නේ කොහේදැයි අසන්නට ආදිත්‍යා ට ඕන වුණේ නැත. ඔහු වැරදි ගමනක් ඈ කැටිව නො යන බවට විශ්වාසයක් දැනටමත් තහවුරු කොට ඇති නිසාවෙනි. ඈ ඉක්මනින් සූදානම් වූයේ ඕනෑ ම මොහොතක විකුම් මෙහි එන්නට හැකි බවට ඇති බිය නිසා ය..රිය මගට ගන්නා තුරුත් එවැන්නක් නො වීම ගැන ඇය දෙවියන් ට පින් දුන්නා ය.

දුමාල් ගේ මුහුණේ සතුටක් විය. ඔහු ගීයක් උරුහම් බෑවේ ය. ආදිත්‍යා ඒ සතුටු මුහුණ දෙස ආශාවෙන් බලා සිටියා ය.

දුමාල් රිය නැවතුවේ සිය මව ගේ නිවස ඉදිරියේ ය. ආදිත්‍යා ව අම්මා ට මුණගස්සන්නට ඔහු ට ඕන වී තිබිණි. දරුවෙක් කර පින්නා ගෙන දුමාල් ගෙට ගොඩ වෙත්දී ගීතා ගේ හදවත කීරි ගැසී ගියේ ය. නමුත් ඇය එකවර යමක් කියන්නට හෝ අසන්නට ඉක්මන් නොවුණා ය.

“අනේ දුමාල් මට බයයි. මං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා අපිව එක්කං එන්නෙ අම්මට මුණ ගස්සන්නයි කියල”

ආදිත්‍යා ඇත්තටම බිය වී සිටියා ය. මේ වගේ ගමනක් එන සූදානමක් ඇගේ හදවතේ වූයේ ම නැත. දිනෙක මේ මොහොතට මුහුණ දෙන්නට වනු ඇතැයි ඇය නිකමට හෝ මෙනෙහි කොට තිබුණේ ද නැත. කොහොමටත් දුමාල් ව සිය සහකරු වශයෙන් තෝරා ගැනීම ගැන සිහින නො දකින්නට ඇය උත්සාහ කළා ය. ඒ, එවැනනක් නිතර ම මහත් වැරදිකාර හැඟීමක් ඈ සිත්හි ජනිත කළා වූ නිසා ය.

“කියල එක්ක එන්න හැදුවනං ඔයා එන්නැති බව දන්න නිසයි මෙහෙම කළේ”

ඔහු ආදරයෙන් ඇදෙස බලා කීවේ ය. ඒ වෙලාවේ ඒ ඇස් වල හැබෑ විශ්වාස වන්ත බවක් තියෙනවා ආදිත්‍යා දුටුවා ය.

“බය වෙන්න එපා. මං ඉන්නවනෙ”

“ඒත්…අම්ම මේකට කැමති වෙන එකක් නෑ”

“මං කැමැත්ත බලාගෙන ආව නෙවෙයි. අම්මට මේක කියන එක මගෙ යුතුකමක්”

ආදිත්‍යා තදින් මින්දුල තුරුලු කර ගෙන සිටියා ය.මේ වගේ බිය මුසු දෙගිඩියාවක් ඇය මේ අත් විඳිනවා ම ය.

මේ පුතා ගේ හිතවත් මිතුරියක වන්නට ඇතැයි සිතන්නට ගීතා ට ඕන විය. ඇය තේ පිළියෙල කළේ සිතිවිලි වලින් බර වී ය. දුමාල් අර අනුන්ගේ දරුවා ව අර තරම් ආදරෙන් බදා ගෙන ඉන්නේ ඇයි දැයි සිතත්දී ගීතා ගේ මව්වත් හදෙහි ගිනි නො ඇවිළුණා ම නොවේ. නමුත් ඕ සන්සුන් වූවා ය. තේ හදා ගෙන විත් ඔවුන් ඉදිරියේ තබා, මින්දුල ගේ අතට කේක් කෑල්ලක් දෙන්නට හදමිනි ඇය කතා කළේ.

“මේ පුතාගෙ බැංකුවෙ වැඩ කරන යාළු ගෑනු ළමයෙක්ද…”

දෙපා මුල ම බෝම්බයක් පිපිරුවා සේ ආදිත්‍යා කුඩු පට්ටම් වී ගියා ය. තත්පර කිහිපයකට පසු දුමාල් සන්සුන් ව උත්තර බැන්දේ ය.

“ආදිත්‍යාව මං බඳින්න ඉන්නෙ අම්මෙ”

“එතකොට මේ බබා…”

“බබා ආදිගෙ. එයා ළඟදි ඩිවෝස් එක ගන්නව. ඊට පස්සෙ අපි බඳිනව අම්මෙ”

එවර කුඩු පට්ටම් ව ගියේ ගීතා ය. ඇයට හුස්ම ගන්නට පවා අමතක වූ සේ ය. දහ දුක් විඳ ඈ හැදූ වැඩූ දරුවා මේ ය. ඔහු ගැන ඇය හීන කන්දක් මවා ගෙන හිටියා ය. එහෙව් දුමාල් ඇවිත් දරුවෙකු හිඳිනා ගැහැනියක විවාහ කර ගන්නා බව කියයි. මේ මොහොතට කොහොම මුහුණ දිය යුතු ද කියා සිතා ගත නො හැකි වූ ගීතා පුටුවේ හොඳින් හේත්තු වූයේ සිහිසන් නැති ව යතැයි බියෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content