ජීවිතය කවියක් නොවේ – 33

0
4843

ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගෙනම  ලංකීය සමාගමේ ප්‍රධානියා හසාරාගෙන් හේතු විමසන්නටට විය.කලින් සිතා සිටි පරිදිම ඈ දෙමව්පියන් ළඟට යන බව ඔහු හා පැවසුවේය.ඉන්පසු ඔහුගේ යෝජනාව වූයේ එම රටෙහි ඇති කාර්යාලයක සේවය කරනා ලෙසය.එහෙත් විවේක සුවයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය නිසා එහිදී තමා රැකියාවක් කරන්නට නොසිතූ බව හසාරා වැඩිදුරටත් පවසා සිටියාය.තමාගේ සේවය සමාගමට අත්‍යාවශ්‍ය  එකක් බව ඈ දනී.හසාරා කොහොමටත් තමා ලබාගත් වැටුපට ණයගැති වූ තැනැත්තියක නොවේ.ඕ උපරිමයෙන්ම තම සේවය සමාගම වෙනුවෙන් සැපයූවාය.

රූපවාහිනී වැඩසටහනකට හා කාන්තා සංවිධානයක දේශන සඳහා ඇරයුම් ලැබුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ කාරුණිකවය.තවදුරටත් තමා ජයග්‍රාහී කාන්තාවක නොවන බව හසාරා සිතුවාය.ගැහැණියකට තමාගේ විවාහය, ස්වාමියා අහිමි වීම තරම් ඛේදවාචකයක් තවත් නොවේ.වර්තමානයේ එසේ නොවූවක්  අතීතයේ දික් කසාඳ ගැහැනිය අවලංගු කාසියක් හා සම වූවාය.සමාජ තත්ත්වය සමාජ සම්මතය ගැන දිගින් දිගටම සිතද්දී විවාහවන වයසේ කාන්තාවකට පුරුෂයෙකුට විවාහය මහානර්ඝ ආභරණයක් වැනිය.

හසාරා ගමන් බෑගය සූදානම් කළේ තම ජීවිතයට මේ හමා ආ කුණාටුව කුමක්දැයි සිතමින්ය.හිතා මතා නොවූවත් ඇගේ අත ගියේම සුදු පැහැය කැපී පෙනුණු ඇඳුම් වලටය.අල්මාරිය පිරෙන්නට වූ ඇඳුම් වලින් ඕ කිහිපයක් පමණක් තෝරා ගත්තේ අරපරිස්සමටය.

සුදු පාටෙහි වන්නේ හිස් බවකි.ඒ හිස් බවට හසාරා ඇලුම් කරමින් උන්නාය.ආදරය කරමින් උන්නාය.සිය ජීවිතය සේ සුදු පැහැයත් හිස් වී ඇතැයි ඇයට සිතිණි.

කෙටි කාලයක් සඳහා වාහන කුලියට ලබා දෙන ස්ථානයක් වෙත කතා කළ හසාරා වාහනයක් වෙන් කර ගත්තේ සවසය.ඒ මාසයකටය.

දින කිහිපයකට හෝ  මේ මතක වලින් ඈත්ව සිටීමේ උවමනාවක් ඇයට විය.කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන්ම දුරකථන ඇමතුම් ලැබී තිබුණත් පසුගිය කාලයේ ඕ ඒවා මඟ හැර දැමුවේ හිතා මතාමය. 

ගමන් මළු  අසුරා තැබූ හසාරා තෙවන මහලෙහි සඳැල්ලෙහි වූ වේවැල් පුටුවෙන් අසූ ගත්තේ ජංගම දුරකථනයත් අත තබාගෙනය.සියල්ලන්ටම නොවූවත් තමා සමීපව ඇසුරු කළ කිහිප දෙනෙකුටම අමතන්නට ඈ සිතුවාය.මිනිස් සබඳතා වූ කලී මහා පුදුම දෙයකි.එය ජීවත් වෙන්නට ඇතුවත් බැරි නැතුවත් බැරි එකකි.

අසාරා මුලින්ම ඇමතු වූයේ තමා පිළිබඳව සොයා බැරි ආයතනයේ සනීපාරක්ෂාව බාරව උන් මැදි වයසේ ගැහැනියටය.හසාරා පළමු පත්වීම ලබාගෙන එහි යද්දීත් ඇය එහි සේවය කරමින් උන්නාය.ඇය වෙනුවෙන් ගෙන ආ කුඩා අත් බෑගය තවමත් ගමන් මළු තුලය.ආයතනයේ උස් පහත් භේදයකින් තොරව සමහර නිලධාරීන් තමාට ආදරය කළ බව හසාරා දනී. තමා ගැන වද වූ වග සොයා බැලූ වගද දනී. ඇයට ගුණමකු ගැහැණියක වීමට සිතක් නොවූවාය. .

“ නිර්මිතා මිස් ඔෆිස් එන්නෙත් නැහැ.ඒ ම්ස්  නිවාඩු දාලවත් රෙසිග්නේෂන්  බාර දීලවත් නැහැ.ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.හැබැයි එකවුන්ට් ඩිවිෂන් එකේ නර්මදාත්  එක්කනම් කියලා තියෙනවා පිට රටක පදිංචියට යනවා කියලා.”

තවත් ආයතන පරිපාලන නිලධාරියෙකු පැවසූයේ ඒ අයුරින්ය.තමා නිර්මිතා පිළිබඳව කිසිවක්ම නොදන්නා බව පැවසුවහොත් ඔවුන් එය විශ්වාස නොකරනු ඇත.

“ අපි කතා උනා මැඩම් මේ ගැන මොනවා හරි දෙයක් දන්නව ඇති කියල.අපරාදේ මෙහෙම ගියොත් නිර්මිතා  මිස්ගේ ජොබ් එකත් නැති වෙන්න පුළුවන්..”

“ මම එයාට කියන්නම්…”

එවිට හසාරා පැවසූයේ මද හඬකින්ය.මතක අමතක කරන්නට උත්සාහ කළත් එය සිතූ තරමි ලේසි පහසු එකක් නොවන බව විශ්වාසය.සියල්ලන්ගේම ජීවිත එකට බැඳී  තිබිණ.තමාත් නිර්මිතාත් හොඳම යහළුවන් වග කාර්යාලයේ බොහෝ දෙනා දනී.තමා කාර්යාලයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව හසාරාගේ සිතෙහි පසුතැවීමක් නොවුණේ එනිසාය.දුකක් බව දැන දැනත් තවදුරටත් එහි ඇලී ගැලී සිටීම සිතේ නිදහස ළඟා කර ගැනීමට වන එකම බාධාව බැව් ඈ දැන උන්නාය.

වසා දමා තිබූ ධනංජය අවසානයට භාවිතා කළ තෙවන මහලේ නිදන කාමරය සැඳැල්ලට හොඳින් පෙනේ.කමිස බොත්තමක වූ තඹ පැහැ කෙස් ගස, ලිප්ස්ටික් පහරවල් සේම කාත්තා ඇඳුම් මිලදීගත් බිල්පත ඇයට හමු වූයේ එහිදීය.එදා ඔහුගෙන් තමාට යමක් ප්‍රශ්න කරන්නට තිබුණායැයි හසාරාට සිතුනේ එවේලෙහිය.ඔහු තමාව ඉතා සූක්ෂම අයුරින් රවටා ඇතැයි සිතත්දී ඇගේ සිතෙහි ඇති වූයේ කලකිරීමකි.එහෙත් ඊළඟ තත්පරයේ හසාරා සිතුවේ තමා එසේ නොකළත් ධනංජය කාලයක් තිස්සේ තමාගේ සිරුරෙන් සේම සිතුවිලි වලිනුත් ඈත්ව සි⁣ටීමට උත්සාහ කලේ මේ සබඳතාවයන් නිසා බවය..සියල්ලම සිදුවී තිබුණේ යම් සැලසුමකට අනුවය.ලෝකයක් දෙස දෑස් හැර බලා සිටියදීත් නිවසේ සිදුවන කිසිවක් මේ දෑස් වලට නොපෙනීම පිළිබඳව හසාරාගේ සිතෙහි වූයේ පසුතැවිල්ලකි.

නිර්මිතා දෙවරක්ම ජීවිතය වරදාගත්  ගැහැණියකි.පිරිමින් දෙදෙනෙකු අසීමිතව විශ්වාස කරමින් තම ජීවිතයේ සියළු සිහින  ඒ පිරිමි  දෑස් වලින් දකින්නට උත්සාහ කළ ගැහැණියකි. තමා ගැන අවතක්සේරුවෙන් සිතූ ගැහැණියකි.ඒ සියල්ලටම වඩා ඈ සමාජයට වෛර කරමින් ජීවත් වූ ගැහැණියක බව හසාරා දැන සිටියාය.විවාහ දෙකක්ම අහිමි වූ නිර්මිතා අදටත් ඔවුනට සාප කරන බැණ වදින  සාම්ප්‍රදායික ගැහැනියක වී සිටියාය.

ධනංජය ඒ බොහෝ තැන්වලදී නිර්මිතාට කිසිලෙසකින් ප්‍රිය නොකළ බව හසාරාට සිහි වූයේ ඒ හදිසියේමය.නිර්මිතා  ගැන කතා කළ බොහෝ වතාවල ධනංජයගේ මුවින් පිටවූයේ ඇය ගැන වූ අප්‍රසාදයකි.ඇගේ කතාබහවත් ඇගේ හැසිරීමවත් ඇය දැරූ සෘණාත්මක අදහස්වත් ඔහු ප්‍රිය නොකළේය.එසේ වී තිබියදී දෙදෙනා අතර සබඳතාවයක් ගොඩනැගෙන්නට හේතුව වූයේ කුමක්දැයි හසාරාට සිතාගත හැකිකමක් වූයේ නැත.තමාගේ සැමියා උදුරා ගත් ගැහැණියට වෛර නොකරන එකම කාන්තාව තමාදැයි හසාරා ඇගෙන්ම අසා ගත්තේ නෙස්කැ⁣ෆේ කෝප්පයේ ඉතිරිව තිබූ අවසන් උගුරත් පානය කරමින්ය.පුදුමය..නිර්මිතා ගැන අනුකම්පාවක් විනා කෝපයක් මේ සිතෙහි ඇති වන්නේම නැත.

මේ මිනිසුන්ගේ අසරණකම්ය.බුදු දහමේ හැටියට නිර්වචනය කළහොත් කරුමයද විය හැක.ඔවුන් දෙදෙනා ගැනම දැන් මේ සිතෙහි වන්නේ කලකිරීමක් විනා කෝපයක් දුකක් වේදනාවක් නොවේ.

*****=====*****======******=====*******

තමා ගැනම උපන් මහත් වූ සංවේගයකින් නිර්මිතා හඬා වැටුණාය.ඇය හා කාමරය බෙදාගෙන උන් ගැහැණිය නිර්මිතා හඬා වැටෙන හැම විටකම උස් හඬින් සිනහසුනාය.අම්මාත් නැගණියත්  තමාගෙන්  ආරංචියක් නොමැතිව වේදනාවෙන් පසුවන බව විශ්වාසය. මේසා අවධානමක් වූ ගමනක් ධනංජය එතරම් සැහැල්ලුවකින් තැකුවේ කෙසේදැයි නිර්මිතාට පුදුමය.ඔහු කිසිවිටෙකත් තම ගමනේ අවධානම පිළිබඳව ඇය හා යමක් පැවසූයේ නැත.ප්‍රංශයේ නිවාසයක් පවා කුලියට ගත්තේ විශ්වාසයෙන්ම යමක් දැනගෙන සේය.අම්මාටත් නැගණියටත් වූ  මහ ගෙදර පවා අහිමි කිරීම පිළිබඳව නිර්මිතා තැවෙමින් උන්නාය.ඒ දුක වේදනාව සිහින් රිදුමක්ව පපු  පෙදෙස දවාලන බව පමණක් ඇයට දැනෙන්නට විය.

මේ දුක මේ වේදනාව කවුරුන් හෝ සමග බෙදා ගන්නට අවැසි වුවත් එසේ කළ හැකි කිසිවෙකු එළිමහන් කඳවුර තුළ වූයේ නැත.කෙටි කලකින් තමාගේ මානසිකත්වයද මින් එහා ගිය එකක් විය නොහැකි බව නිර්මිතා සිතුවේ සිවිලිම දෙස බලමින් සිනහසෙන ගැහැණිය දෙස බලාගෙනය.

දහවලේත් එහා පස කාමරයක උන් ගැහැනුන් දෙදෙනෙකු රණ්ඩු වී  ඔවුනොවුන් සපාගෙන රෝහල් ගත කළ බව පැවසූයේ රුසියානු ජාතික කාන්තාවකි.කිසිවෙකු අන්‍යයන් හා තම දුක වේදනාව බෙදා ගැනීමට කාලය මිඩංගු කරන්නේ නැත.එසේ කිරීමට අවසරයද නොවේ.නිර්මිතා තනිකම කුමක්දැයි හරි හැටිම අත්දකිමින්  සිටියේ එළි මහන් කඳවුර තුළදීය.හසාරාත් මේ ආකාරයෙන්ම එම තෙමහල් නිවස තුළ තනිව වේදනාවෙන් සුසුම්ලනු ඇතැයි සිතද්දී නිර්මිතා වෙව්ලා ගියාය.මේ ඒ සාපය බව විශ්වාසය.ඕ තම ජීවිතය ගැන වඩාත් බිය  වූයේ එනිසාය.ජීවිතයේ ඉදිරි කාලය ඒ සාපය සමග කඳුළින්ම ගෙවී යනු ඇතැයි නිර්මිතා සිතුවාය.

හසාරා ත්‍රිකුණාමලය ගමනට පිටත්වත්දී එළිය වැටී තිබුණේවත් නැත.දෑතට නුහුරු  වාහනයක් නිසා ඇයට උවමනා වූයේත් හැකිතාක් උදෑසන පිටත් වන්නටය.ඉන්දුමා  ඇය වෙනුවෙන් වෙන් කර තිබුණේ කලපුවක් ආසන්නව පිහිටා තිබූ හෝටලයක තෙවන මහලේ කාමරයකි.එම ස්ථානයේ සේයාරූ පෙරදා රාත්‍රියේම ඈ හසාරා වෙත එවා තිබුණාය.දුම්රියකින් ගමන් කිරීම හෝ රියදුරු සහිත කුඩා  වාහනයකින් ගමන් කිරීම ලෙහෙසු පහසු වුවත් හසාරාට මෙවේලෙහි ඕනෑ වූයේ හැකිතාක් තනිවීමටය.ගූගල් සිතියමේ ආධාරය පැතූ ඇයට පාරවල් වැරදුනේද නැත.

ඕ  සමහර නිදහස් තැනක වාහනේ නවතා විනාඩි කිහිපයක් කාලය ගත කළාය.

හසාරා ත්‍රිකුණාමලයට ලං වද්දී සවස් වී තිබිණ.ඉන්දුමා  ඇය වෙනුවෙන් වෙන්කර තිබූ හෝටල් කාමරය සැබවින්ම අති සුන්දර ස්ථානයක පිහිටි එකක් විය.ඒ කලපුවක් ආසන්නයේය.බැස යන හිරුගේ දර්ශන එතැනට හොඳින් පෙනේ.ඕ එහි සේයා රූ කිහිපයක් ලබා ගත්තේ සියල්ල මඳකට අමතක කරම්න්ය.

ඉන්දුමා හෝටලයේ නිලධාරීන්ට පවසා තිබුණේ හසාරා කාර්යාලයේ සමීක්ෂණ කටයුත්තක් උදෙසා ත්‍රිකුණාමලයට පැමිණි බවය.එය ඇගේ ආරක්ෂාවට උපක්‍රමයක් බවද ඇය කෙටි පණිවිඩයකින් සඳහන් කර තිබුණාය.ඉන්දුමා ගුරුවරියක ලෙස සේවය කළේ ත්‍රිකුණාමලය නගරයෙන් මදක් එහාට වන්නට පිහිටි දුෂ්කර ගම්මානයක වූ පාසලකය.එහි පන්ති තිබුණේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. තවත් නොබෝ  දිනකින් දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නිසා ඉන්දුමා සිටියේ අවිවේකීවය.

“ මේ දරුවෝ හරි පව්.ඇත්තටම ගුරුවරු එයාලා වෙනුවෙන් දෙයක් නොකරන තරම්.දරුවන්ගේ උනන්දුව හීන වෙද්දි ගුරුවරුත් එයාලගේ රාජකාරී අත්හැරලා දානවා.මේවායේ දරුවන්ට ඉගෙන ගන්නවට වඩා හිතන්න දේවල් තියෙනව.ඒගොල්ලෝ පුංචි කාලෙ ඉඳලම හිතන්නේ සල්ලි හම්බ කරන ක්‍රමයක් ගැන.අපි මොන තරම් ඉගෙනීමේ වටිනාකම එයාලගේ ඔලුවට දෙන්න හැදුවත් බඩගින්න නිවා ගැනීම ඒගොල්ලන්ගේ ජීවිතවල එකම අරමුණ විතරයි.

මේ ගමේ ගොඩක් අය එක්කෝ සත්තු ඇති කරනවා.එහෙම නැත්නම් කුඹුරු වැඩ කරනවා.එහෙමත් නැත්නම් කුලී  වැඩ කරන අය.අපේ ලංකාවේ ප්‍රවේණි දාස ක්‍රමයක් දැන් නැතිවුනාට පාරම්පරිකව සත්තු බලාගන්න මිනිස්සු තවමත් මේවායේ ඉන්නවා.දෙමව්පියන්ගේ උගත්කම මදිකම නිසාම තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් දෙන්නත් ඒගොල්ලන්ට වුවමනාවක් නෑ.දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරද්දි ඒගොල්ලෝ දෙන උත්තර හරි පුදුමයි. සමහරු කියනවා මුං ඉගෙන ගෙන රස්සාවල් කරලා සල්ලි ගෙනෙද්දි අපි බඩගින්නේ මැරිලා ඉදියිලු.ලෝකෙ කොච්චර දියුණු උනත් මං හිතන්නේ අදටත් සම්පත් බෙදී යාමේ විෂමතාවය එහෙමමයි.මට හිතට එකඟව මේ ළමයි අතෑරලා දාන්න බෑ හසාරා.සමහරු මට කියනවා ඇහිලා තියෙනවා ඉන්දුමා  මිස්ට පිස්සු කියලා.මාස්ටර්ස් තියාගෙන මේ හිඟන්නෝ එක්ක නටනවා කියලා..එක දරුවාද ඉස්කෝලෙට එන්නේ මං ඒ  දරුවට උගන්නවා.ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දරුවෙකුට තනියම හරි හවස පන්ති කරලා එස් එකකට හරි ගොඩ දාගන්න බලනවා..කැම්පස් එක ඇතුළේ අපි කරපු දේශපාලනය⁣ට පින්සිද්ධ වෙන්න අපේ හිත් ඒකට හැඩ ගැහිලා..”

ඉන්දුමා  කිහිප වරක්ම හසාර හා ඒ අයුරින් පවසා තිබුණි..ඈ රාත්‍රියේම හෝටල් කාමරයට පැමිණෙන්නට සූදානම් වුවත්  හසාරා පවසා සිටියේ හෙට දිනයේ තමා ඇය සේවය කරනා පාසලට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනා බවයි.

දරුවන් වෙනුවෙන් වැය කරන ඇගේ කාලය උදුරා ගන්නට තරම් සිතක් හසාරාට නොවූවාය.කලින් සිතා මතා සැලසුම් කර නොවූවත් තමා මේ ගමන පැමිණියේ සියල්ල දන්නා ඇය හා   දුක බෙදා ගන්නට වූ උවමනාවෙන් බව විශ්වාසය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here