මේ ඒ වසන්තයයි – 05

0
2705


ආපසු හැරී යෑමට නොහැකි නිසාම ඉසිනි සෝමාද සමඟින් පන්සල් භූමියට ඇතුළු වූවාය. ඉතා කාර්‍යබහුල මිනිසුන් රැසක් මැද ඉසිනිට දැනුනේ තමා අතරමංව ඇති බවය. තම උගත්කම්, වත්පොහොසත් කම් සියල්ල ක්ශය්ව ගොස්  ඇති බවය.

තමා තුළ මේ සිටින ගැහැණිය මේ ගම්මුන් දේවත්වයෙන් සලකන මිනිසාගේ ජීවිතය අපායක් කෙරූ තැනැත්තිය වග ඔවුන් දැනගත්තහොත් ඔවුන් තමාට ගල් ගසා එලවාවියැයි  ඉසිනිට සිතුණි. ඒ බිය වඩා දැනෙද්දී  ඕ සෝමා අසලින්ම ඇවිද්දාය.

සවස හය පමණ වී තිබුණු නිසා පරිසරයේ වූයේ සෞම්‍ය බවකි. ඉර එලිය යන්තමින් ක්ෂය වෙමින් යමින් තිබූ නිසා පන්සලේ ආලෝක පූජාව වෙනුවෙන්  පිරිස කඩිමුඩියේ  සූදානම් වෙමින් උන් හ.  ඉසිනි මෙහි පැමිනෙද්දී සිතෙහි වූයේ නුරාන් මන්දිනු දැකීමේ ආශාව වුවද, දැන් ඕ සිටින්නේ ඔහුව දෑසට යන්තමින් හෝ නොපෙනෙන සේ තමා හැසිරිය යුතුය යන හැඟීමෙන් ය.  තමා කිසිවෙකුගේ ප්‍රේමයට හෝ සෙනෙහසට සුදුසු තැනැත්තියක නොවේය.

” මා කොහොමද නුරාන්ව දකින්නේවත් … මම කොහොමද නුරාන්ගේ ඇස් වලට පේන්න ඉන්නේවත් …. දෙය්යනේ ….එයා අපේ සැලසුම් වල විදියටම හැමදේම කරලා  … හැමදේම …. ඉමන්දි එක්ස්පෝර්ටර්ස් කියන්නේ එයා ඩිග්‍රී එකේ බිස්නස් ලෝන්ච් එකට දාපු නම … ඒ නම හැදුවේ මම… මන්දිනු කියන නමෙන් අකුරු තුනක් අරගෙන ඉ යන්න දැම්මේ මම ….

කොහොමද නුරාන් ඔයා මෙහෙම කරන්නේ … කොහොමද . ? මේ මිනිස්සු දේවත්වෙන් අදහන්නේ ඔයාව නෙවෙයි … ඔයාගේ ආදරේද මන්දා…ඔයාගේ ජීවිත රටාවද මන්දා.. ඔයා මෙච්චරක් හය්ය මිනිහෙක් බව මම දැනගෙන උන්නා නුරාන් . ඒත්, මේ තරමට හයිය බව මම දැනගෙන උන්නේ නෑ නුරාන් … ඇයි එහෙම .. ඇයි .? මං කොහොමද නුරාන් ජීවත් වෙන්නේ … කොහොමද මම ජීවත් වෙන්නේ…..?..”

ඉසිනි ට  සිහියත් අසිහියත් අතරේ එලෙසින් සිතෙන්නට ගත්තේ ඇගේ පාලනයෙන් තොරවම සිතුවිලි  සැඟවුණු තැන් වලින් එළි බසිද්දීය.

සම්බන්ධතා නැවතී, නැති වී යන බව පිළිගත යුතුය. එහෙත්, ආදරය එහෙම නැතිවී නැවතී යන්නක් නොවන බව දැන් ඉසිනි අත් විඳින්නීය. තමා නුරාන් අතැර අරුණෝද හා සමඟින් විවාහ වූයේ ඇයිදැයි කියන්නට දන්නේ ඉසිනිම පමණි. මිල මුදල්, යාන වාහන, සමාජ තත්වය ගැන තමාට දැනුණ මානසික අවපීඩන තත්වය ගැන දන්නේද ඉසිනිම පමණි. නුරාන් එකළ ගෙවූ ජීවිතය සමඟ තමා බලාපොරොත්තු වන ජීවිතය  අතිපිහිත නොවන බව වැටහෙද්දී, අම්මලාද යළි යළි ඒ බව අවධාරණය කර පවසද්දී, අක්කා ගෙවන සුඛෝපභෝගී ජීවිතය ඇයට ලැබුණේ අයියා හා සමඟ විවාහ වීමෙන් බව අක්කා යළි යළි පවසද්දී ඉසිනි දෙලොවක් අතර තනි වූ අයුරු ඉසිනිට සිහිව ආයේය. නුරාන්ද තමා පිළිබඳව කිසිඳු වගක් නැතිව දින ගෙවන්නට ගත් බව ඇය ට සිහිව ආයේය. අවසාන වසරේ අවසාන සමාසිකයේදී නුරාන්ගෙන් වෙන් වන්නට අවශ්‍ය බව තමා පැවසූ බව ඉසිනිට සිහි විය.

” කලබල වෙන්නෙපා … මම හැමදේම බලාගන්නම් …”

ගල් බැම්මේ හිඳගෙන නුරාන් පවසද්දී ඉසිනි උන්නේ වැටී තිබුණු මැයි මල් දෙස බලාගෙනය.

” මං දන්නවා ඔයාව ගෙදරින් ප්‍රෙෂර් කරනවා කියලා … ඒ වුනාට අපිට තව කල් තියෙනවානේ… ම්ම්ම්ම්ම් … අපි හෙමි හෙමින් මේ ඔක්කොම ගොඩ නඟා ගමූ …. එහෙමනේ දේවල් ලස්සන වෙන්නේ කොමලියා…”

“ආයේ ආයේ ඕකම කියන්නෙපා අනේ… ඔයා ඔහොම සුරංගනා කතා කීවා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑනේ… අම්මලාට මේම එකක් නෑ කියන්නත් බෑ… නංගී   ලොකු නැන්දාගේ කනේ තියන ඔක්කොම , එහෙමම  ලොකු නැන්දා අම්මට කියනවා…”

“ඉතින් හරි… ඒකට කමක් නෑ.. අපි අෆෙයාර් එකක් තියෙන බව හංගන්න ඕනි  නෑනේ… “

“එහෙනම් කොන්ද කෙලින් තියාගෙන, ඒක කියන්න පුලුවන් මට්ටමක් හදන්නකෝ..”

තමා උස් හඬින් එලෙස විමසද්දී නුරාන් නිහඬව උන් හැටිද ඉසිනිට සිහි විය.

” මං තීරණයක් ගන්නවා අප්පා.. මට මේ ආතතිය දරාගන්න බෑ තව…”

සෑහෙන නිහඬ විනාඩි පසු කිරීමෙන් පසුව තමා එලෙස පවසද්දී, නුරාන් තිගැස්සී තමා දෙස බැලූ අයුරු ඉසිනි වැලි මලුවේ කොනෙක හිඳ කල්පනා කලාය. ඔහුගේ දෙනෙත් තුනී කඳුළු පටලයකින් වැසී ගොස් තිබූ බවද මැවුණේය. ඒ ඇස් මෙච්චක් කල්, තම සිත තුළ ඇලී සැඟවී තිබූ බව තවම විශ්වාස කර ගත නොහැක.

” කලබල වෙන්නෙපා ඉතින්… අපි කතා කරමූ …”

නුරාන් තම සුරත දෑතටම මැදි කරගනිද්දී තමා එතැනින් නැගිට ගත් හැටිද, නුරාන්ද වහාම නැගිට තමා අසලින් සිට ගත් හැටිද අසිනිට මේ සිහිවන්නේ  වසර ගණනාවකිනි.

” මට ටිකක් දවස් පාඩුවේ ඉන්න ඕනි … මම රිසර්ච් එකට අවුට් ස්ටේශන් යන්න හිතුවා…”

” ඒත් අපි දෙන්නම මෙහෙ ලැබ් එකේ කරමු කියලානේ උන්නේ..”

“ඔව්.. මම පස්සේ හිතුවා වෙන කොහේ හරි එලියේ යන්න ඕනි කියලා… මට ටිකක් තනියෙන් ඉන්නත් ඕනි …”

“එහෙම වෙන්න එපා ඉසිනි … ප්ලීස් …”

“අපි යමූ … රෑ වෙනවා…”

තමා ඉතා හිතුවක්කාර ලෙසින් නුරාන් ට සමුදෙන්නට ඇරඹුම ගත්තේ එතැනින් බව ඉසින් අවසානව සිහි කලාය. එදිනට පසු දින අම්මාගේ හදිසි රෝගී තත්වයක් මතු වීම නිසා ඇය රෝහල් ගත කරන්නට සිදු වීම සමඟ  ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවද සිහි විය. ඒ වෙනස තුළ නුරාන්ගෙන් දුරස් වීමද විය.

අවසානයේ, අරුණෝද හා තමා විවාහ වූ වග මැවෙද්දී ඇගේ  මුවින් ඉතා බර සුසුමක් හෙලුණි.

” නෝනේ.. යමුද පූජාවට…”

සෝමාගේ හඬ ඒ සමඟම ඇසුණි. ඉසිනි හිස ඔසවා බැලුවාය. එහෙත් නැගිට ගන්නට තරම් ප්‍රාණයක් තිබුණේ නැත.

” මම මෙහෙම ඉන්නම් නැන්දේ… නැන්දලා ගිහින් එන්න …”

ඉසිනි අසීරුවෙන් මවා ගත් සිනහවක් සමඟ එලෙස කීවාය. එහෙත් සෝමා ඇය තනිව දමා යන්නට සූදානම් වූයේ නැත. අවසානයේ ඉසිනිට ඇය සමඟ යන්නට සිදු විය. ඉසිනි කිසිවෙකුගේ ඇස් දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් විය. යන්තම් හිස ඔසවාගෙන සෝමා පසුපසින් ගමන් කලාය.

” මිස් ආන්ටී ….”

එක්වරම හුරු හඬක් ඇසුණි. ඉසිනි ආපසු හැරී බැලුවාය. කුඩා නුරාධ්‍යා වඩාගෙන උන්නේ ඔහුය. ඔහු වහා දියණියද කැටුව ආපස්සට හැරෙද්දී දියණිය කෑ ගැසුවාය.

” බාප්පී අනේ .  ඉන්නකෝ … ඉන්නකෝ…..”

ඉසිනිට හද ගැස්මේ වේගය පාලනය කරගන්නට ලැබුනේ නැත. නිල් පැහැ ඩෙනිමකට සුදු කමිසයක් ඇඳ උන් නුරාන්, පරිනත පිරිමියෙකු බවට පත්ව ඇතැයි ඉසිනිට පළමු වතාවට සිතුණි. ඊයේ ඔහු දුටු දිනයේ ඇස් දෙක ඇරෙන්නට අන් කිසිවක් දුටුවේ නැත. ඉස්සර පුරුද්දටම ඇලවුණේ ඇස් දෙකේය.

“ඇත්තමයි නුරාන්… ඔයාට කොච්චරක් තරහ ගියත්  ඔයාගේ ඇස් වල මට ආදරේම පේන්නේ…”

ඉසිනිගේ හඬම , යළි යළි ඇගේ අභ්‍යන්තරයෙන් නැඟුනේය.

| අපේක්ෂා ගුණරත්න |





ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here