අන්තරා ස්වරාවී ගාන්ධාරා, මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූවා ය. කොළඹ අහස කඩා වැටෙන්නට ඔන්න මෙන්න බව, තද අඳුරු අළු පැහැති වලාකුළු ඉඳුරා සාක්ෂි දරයි. දැනෙන නො දැනෙන තරම් වන ඉසිහින් පින්නක් අන්තරා ගේ සුසුදු සම මත පතිත වෙයි. තව මොහොතකින් ඔය ඉඳිකටු තුඩු තරම් වන සියුම් හිරිකඩය මොරගෙඩි තරම් ලොකුවට වැටෙනා බව සහතික ය. නමුත් අන්තරා මඳකිනිදු පය ඉක්මන් කළේ නැත. ඒ වෙනුවට ඕ සිය වත මඳක් ඉහළට හරවා, ගැබ්බර අහස් අගාධය දෙස බැලුවා ය. සීතලක් එවත මත පතිත විය. ඇගේ රතදර මඳහසකින් පිපුණේ ය.
පුරුදු කෝපි හලෙහි වෙනදා තිබෙන හුදෙකලාව නො විණි. තරුණ පිරිමි ළමයින් කිහිප දෙනෙක් උස් හඬින් කෙරෙනා සිනා කතා වලින් යුතුව තේ බොමින් සිටියහ.
“චීස් සැන්ඩ්විච් එකයි කොෆී එකයි”
අන්තරා මඳ මුදු සරින් මිමිණුවා ය. කොල්ලන් ගේ ඇස් ඇය වෙත දැල්වී ඇති බව ඇයට රහසක් නොවේ. ඔය පිරිමි ළමයින් සිය පුත් නූපුර ගේ වයසට මඳක් අඩු වැඩි ඇතැයි සිහි වී ද ඇය මඳහසකට හෝ ඉඩ නොදී සැන්ඩ්විච් එක සමග කුඩා මේසය ළඟින් අසුන්ගත වූවා ය. කොල්ලන්ගේ දෙපිට කැපෙනා කතා ද කොක්හඬලෑම් ද එවර ඈ හේතු කොටගෙන බව නො දත්තා සේ, පාර දෙස බලාගෙන සැන්ඩ්විච් එක මුව තැබුවා ය. අද නොව නූපුර පාසල් කැටුව ගිය ඔහු ගේ ළමා වියේදීත්, ඉහළ පන්ති වල සිසුන්ගේ කවට වදන් වලට ලක්වෙන්නට ඇයට සිදු වී තිබේ. නූපුර ඉහළ පන්ති වලට එන විට දෙමාපිය රැස්වීම් වලට තාත්තා – දක්ෂිණ පාසලට එනවා නම් ඔහු වඩාත් රිසි වූයේ ය.
“යං ලුකිං අම්මලට කොල්ලො මහ ඕන්නැති ඒව කියනව අම්ම. මං ආස නෑ අම්මට උං මොනාත් කියනවට”
ඒ කතා සිහි වී මඳහසක් දෙතොලතරට පැමිණි මුත්, නූපුර සිහි වී පපුවේ දැවීමක් ඇති වෙන හැටි අන්තරා අත්වින්දා ය.
තවදුරටත් දරාන ඉන්නට අපොහොසත් වූ අහස, දිය වී කඩා වැටී ඒ බරින් නිදහස් වන්නට තීරණය කොට තිබිණ. එක්වර ම ඈතක සිට දුක් ගීතයක් ගයාගෙන වැස්ස දුවගෙන ආවේ ය. එහෙව් මොහොතක වන්නේ වෙසෙස් චමත්කාරයකි. අඩි කිහිපයක් දුරට වහිනා වැස්ස ලං වෙන තුරු බලාපොරොත්තුවෙන් සිටීම සීතල හැඟීමකි. සොබාදහම කියන්නේ ම ආශ්චර්යයකි.
වැස්ස කෙතරම් තදින් වහින්නට ගත්තේ ද යත් තාර පාරට ඉහළින් ඝණ සුදු මීදුම් දුමාරයක් බැඳුණා සේ ය. කෝපි කෝප්පය මේසය මතට පැමිණියේ ය. කෝපි සුවඳත් වැහි සුවඳත් එකට මුහු විය.
වැහි සුවඳ! අන්තරා ගේ හදවත මැද ම විදුලියක් කෙටුවේ ය. මේ තරම් වැස්ස හා බැඳුණු ජීවිතයක් ගෙවනා ජීවියෙකු වීත් ඇයට ඒ සුවඳ මඟහැරුණේ කෙසේ ද?
වැස්සත් සමග හමනා සුවඳ මතුවනුයේ පොළොවෙන් ද? නැතහොත් දිය නාන තුරු පත් වලින් ද? ඒත් නැතහොත් වායු ගෝලය හරහා යොදුන් ගණන් දුර ගමනක් ගෙවා එන වැහි බින්දු වලින් ද? නැතහොත් ඒ සියල්ලෙහි එකතුවෙන් ද? වැහි සුවඳ විලවුනක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ වල නියැළෙන්නට අන්තරා අදිටන් කරගත්තා ය.
තවමත් කඳුකර සුවඳ පවත්නේ පර්යේෂණ මට්ටමෙහි ය. කඳුකර සුවඳ වූ කලී අන්තරා අතිශය ප්‍රියකරනා සුවඳකි. හුරු පුරුදු නගරයෙන් මිදී කඳුකරයට ලං වන විට, සීතල මාරුතයක පැටලී හමා එන ඒ සුවඳ තුළ දහස් ගණනක් ශාක වර්ග වලින් හමනා සුවඳ දහස් ගණනක් කැළතී තිබේ. මාස ගණනාවක් පුරා අන්තරා එකී සුවඳ විලවුන් තුළට යොදාගැනීමෙහි ලා වෙහෙසෙන්නී ය. සුවඳවත් කඳුකර මල් හා පත්‍ර එකතු කරන්නට පසුගිය කාලය තුළ කඳුකරයට ගිය ගමන් වල තවමත් නිමක් නැත. කෙසේ වෙතත් තවමත් හිතට හරියට ම දැනෙන්නා වූ සීතල කඳුකර සුවඳ නිර්මාණය වූයේ නැත.
සතියකට දෙකකට වතාවක් පුස්තකාලය පැත්තේ එන එක අන්තරා ට දැන් පුරුද්දට ගොසිනි. ඒ පොත් ලබාගන්නට ම නොවේ. වෙනසකටත් එක්ක ය. ගෙයි ම ඉන්නට කම්මැළි වූ වෙලාවක, සුවඳ සූත්‍ර අතරේ අතරමං වී හිත උමතු වෙන්නට ඔන්න මෙන්න වූ වෙලාවක ඇය ගෙදරින් නික්ම ඇවිදින්නට එයි. කඳුකරයට වාගේ ම ඇය මූදුකරයටත් කැමති ය. කොළඹ නාගරික පරිසරයට ඊට වඩා වෙනස් විදිහකට කැමති ය. ඒ හැම තැනක ම තිබෙනුයේ ඊට ආවේණික සුවඳකි. පෙනුමකි. සංස්කෘතියකි. වයිබ් එකකි. ඒවා එකිනෙක සසැඳිය නො හැකි ය. කොහෙත් ම සාපේක්ෂ නැත. මුළුමනින් නිරපේක්ශ ය. එහැම මොහොතක් ම හදවතේ ගැඹුරු තැනෙක සිට විඳින්නට, ස්පර්ශ කරන්නට, ඇවිළෙන්නට, නිවෙන්නට අන්තරා ට පිළිවන. දැන් ඇයට ඊට ඕනවටත් වැඩිය නිදහස තිබේ. කාගේවත් බාධාවක් නොවේ.
තනිකම තුළ නිදහස ඇති බැව් සැබවි. නමුත් තනිකම තුළ තනිකම ද තිබේ. නිදහස ලබාගැනීම වෙනුවෙන් සටනක් කරන්නට සිදු වේ. වන්දියක් ගෙවන්නට සිදු වේ. වින්දිතයෙකු වන්නට සිදු වේ. නිශ්චිත නොවන වේදනාවක් විඳින්නට සිදු වේ. නිදහස තුළ වන අසීමිත තනිකම ද වේනාවකි. විඳවීමකි. රිදුමකි. තනිකම සමගින් ද නිශ්චිත නොවන සටනක් කරන්නට, පොරබදන්නට සිදු වේ. ඒ අනුව නිදහසවත් තනිකමවත් පහසු නැත. නිදහස දිනාගනු වස් වන්දියක් ගෙවිය යුතු වන්නා සේ ම තනිකම තුළ ද වන්දියක් ගෙවන්නට සිදු වේ. නිදහසක් නොවන තැන පීඩිත වන්නා සේ ම නිදහස ලැබීමටත් පීඩාවක් විඳිත යුතු ය. නො තනිය කායික මානසික සැනසිල්ල අහිමි කරන්නේ යම් සේ ද, තනිය තුළ ද මානසිකව ගැටෙන්නට සිදු වේ. මේ ගැඹුරු දහම සරල ලෙස ගතහොත් වේදනාවකින් තොර කිසිවක් ම නැත. සියල්ල තුළ විවිධ අනුපාත වලින් එය පවතී. කිසිවෙකුට වඩාත් සුවපහසු මාත්‍රාව ඔහු විසින් නිර්ණය කරගත යුතු ව තිබේ!
“එක්ස්කියුස් මී…”
කියමින් තරුණියක ඈ සිටි මේසයෙහි වන පුටුවක් ඇද අසුන් ගත්දී අන්තරා සිතිවිල්ලෙන් මිදුණා ය. කුඩා කෝපි හලෙහි වන මේස දෙක තුන ම පිරී ඇති බැවින් පාරින්දි අන්තරා සිටි මේසයෙහි අසුන් ගන්නට ක්ෂණික තීරණයක් ගත්තා ය. බැලූ බැල්මට ඇය සෞම්‍ය ස්ත්‍රියකි. කල්පනා දැහැනෙන් මිදී හිස ඔසවා බලන විටත් ඒ මුහුණේ වූ හසරැල්ල නිවුණා වූ එකකි. අන්තරා සිය දුඹුරුවන්, පිට මැදට දිගු සේද වරල තනි කරලකට ගොතා සිටියා ය. ඒ කොණ්ඩා කරලට හසු නොවූ කෙටි අක්බමර රොදවල් සවන් පෙති වැසෙන සේ කම්මුල් දිගේ කඩාහැලී තිබේ. එවිට ඉස්මතු වන ගැහැනු රුව ස්ත්‍රීත්වයේ පරිසමාප්තියකි. ප්‍රතිමූර්තියකි. ඇගේ දෑස් දීප්තිමත් ය. නමුත් බැල්ම සන්සුන් ය.
පාරින්දි කෝපි හලට ගොඩවැදුණේ වැස්සට ය. රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආසන්න ආයතනයක් වෙත පැමිණි ඕ, ඉන් පිට වෙත්දී බලාපොරොත්තු නොවූ වැස්සකට හසු වූවා ය. බසයකට ගොඩ වෙන තෙක් කුඩය ඈ රැකගන්නට තරම් නො වන බව දැනුණ නිසා, හදිසියේ දෑස් ඉදිරියේ කෝපි හලක් පහළ වීම ගැන දෙවියන්ට පින් දෙමින් ඇය ඊට පිවිසියා ය. කොලු රෑන මේස දෙක තුනක් අල්ලාගෙන සිටියෙන් පාරින්දි ට ඉතිරි ව තිබූ හොඳ ම තැන අන්තරා අසල ය.
“එක පාරටම වැස්සනෙ”
අත් වල වන තෙත ටිෂූ එකකින් මාත්තු කරමින්, දන්නා කියන කෙනෙකුට සේ පාරින්දි අන්තරා දෙස බලා කතා කළා ය. අන්තරා දෙතොල් මතින් පමණකුදු නොව දෑස් වලින් ද සිනහ වූවා ය. ඒ සිනහවෙන් අනුබල ලත් පාරින්දි ඇය පැමිණි සම්මුඛ පරීක්ෂණය ගැන විස්තර කියවාගෙන යන්නට වූවා ය. හසරැල් වතින් කෝපි එක තොල ගාමින් හා හ්ම්මිටි තබමින් ද ඉඳහිට වචනයකින් දෙකකින් අනුබල දෙමින් ද අන්තරා මේ නාඳුනන ගෑනු ළමයා ඉවසා වදාළේ නො සතුටකින් නොවේ.
“මං පාරින්දි. ඔයාගෙ නම මොකද්ද…”
ඒ අතරේ ඈ විමසුවා ය. අන්තරාගේ නම දැනගැනීමෙන් පසු හදිසි සතුටක් පෙන්වූවා ය.
“එහෙනං මං ඔයාට අන්තරා කියල කතා කරන්නං”
“හැබැයි මං හිතන්නෙ මගෙ පුතා ඔයාට වැඩිය බාල ඇත්තෙ අවුරුදු කීපෙකට විතරයි”
එවර පාරින්දි හඬ නගා සිනහ වූයේ සැහැල්ලුවෙනි.
“එහෙමයි කියල මට ඔයාට ආන්ටි කියන්න පුළුවන්ද… අඩු ගානෙ අක්ක කියන්නත් බෑ වගේ”
මේ කෙල්ල අමුතුයි කියා අන්තරා ට සිතිණ. සාමාන්‍යයෙන් ඇය නාඳුනන අය සමග සබඳතා වලට යන්නේ නැත. නමුත් පාරින්දි ළඟදී අමුතු සැහැල්ලුවක් නො දැනුණා ද නොවේ. කොල්ලන් රෑන ත්‍රිරෝද රිය දෙකකට පොදි කා නැගී නික්ම යනු ද ඉනික්බිති පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් කෝපි හල මායිමට වඩාත් සමීප කොට නැවතෙනු ද අන්තරා ඇස් කොනෙන් දුටුවා ය. නමුත් ඒ කිසිත් ගැන ඇය ලොකු අවධානයක් දෙන්නට ගියේ නැත.
“අර කොල්ල බලන්නෙ මං දිහාද ඔයා දිහාද…”
පාරින්දි එසේ විමසූයේ තවත් ටික වෙලාවකට පස්සේ ය. අන්තරා ගේ මුහුණේ උපන් සිනහව ලස්සන ය.
“බලන්නෙ කොල්ලෙක්නං ඉතිං මං දිහා වෙන්න බෑනෙ. ඔයා දිහා වෙන්නැති”
නැවත ද පාරින්දි ගේ සිනහව වැහි හඬ තුළ නින්නාද වූයේ ය. සුඛෝපභෝගී රියෙහි පැමිණි, ගැහැනු ඇසක් නතර කරනට සමත් පුරුෂයා පාරින්දි සිටිනා අසුනට කෙළින් ම පෙනේ. නමුත් අන්තරා ට ඔහු දෙස බලන්නට නම් මඳක් හිස ඒ දෙසට හැරවිය යුතු වේ. ඇයට එහෙම කරනා උනන්දුවක් දැනුණේ නැත. පාරින්දි ගේ ඇස් බැලුම් ද සිනහව ද ඔහු කේන්ද්‍ර කරගෙන බව යුගාත්ම කාශ්මීර අමුණුගම ට නො දැනුණා නොවේ!
ඔහු ට මේ විශ්වාස කරගත නො හැකි අහඹුවකි. මීට ටික වෙලාවකට පෙර, මහජන පුස්තකාල ශාලාවෙහි පැවති සිතුවම් ප්‍රදර්ශනය නරඹමින් සිටියදී ඔහු ට මේ සුවඳ දැනිණ. ඒ සුවඳ හැමුවේ කවුරුන් ගැල්වූ විලවුනකින් ද කියා නිරීක්ෂණය කළ නො හැකි වූයේ ය. යම්කිසි කාලයකට පස්සේ එසුවඳ අතුරුදන් ව ගියේ ය. දැන් නැවත ද එකී සුවඳ දැනේ!
යුගාත්ම කෝපි හලට පැමිණියේ අරමුණක් ඇතිව නොවේ. ඒ සුවඳ කුමක්දැයි නිවී සැනසිල්ලේ මඳක් කල්පනා කරන්නට ඔහු ට ඕනෑ විය. තද වැස්සක් මැද ඔහු අතරමං වූ නිසා, රිය නතරකොට කැපචිනෝ එකක් බොන ගමන් ඒ ගැන හිතන්නට ඔහු තීරණය කළේ ය.
දැන් මේ සුවඳ හමනුයේ ඔහු ගේ සිත තුළින් ද? නැත්නම් එය පවතින්නේ කෝපි හල තුළ ද? චිත්‍ර ප්‍රදර්ශනයෙහි ගැවසුණු කෙනෙක් දැන් මෙහි සිටිත් ද?
මේ වෙලාවේ කෝපි හල තුළ සිටිනුයේ ඔහු හැරුණු විට ස්ත්‍රීන් දෙදෙනෙකු පමණි. ඒ විලවුන් වර්ගය ගල්වා සිටිනුයේ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් විය හැකි ද? එවැන්නක් ඔවුන් වෙතින් විමසා දැනගැනීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත!
“මං දිහා නෙවෙයි අනේ. ඔයා දිහා තමයි එයා බලන්නෙ”
පාරින්දි අන්තරා ගේ සවනට වඩාත් ලංව මුකුළු සරකින් කීවා ය. ඒ වෙලාවේ මුව පළඳා උන් සිනහවෙන් ම අන්තරා යන්තම් හිස හරවා බැලුවේ එවිට යි. එසැනෙන් ඇය සාමාන්‍ය ඉරියව්වට පැමිණියා ය.
ඒ සුවඳත්, ඇගේ බැල්ම හා ඉරියව්වනුත් සමපාත කරගන්නට යුගාත්ම ට හැකි විය. වසර ගණනාවක් සුවඳ විලවුන් ක්ෂේත්‍රයෙහි නියැළීමෙන් ආත්මය හා බද්ධ වී ඇති අත්දැකීම හා පළපුරුද්ද ඊට ඉවහල් වූවා විය හැක.