සුසුවඳ සූත්‍ර – 17

0
3781

මේ දවස් දිගු ය. වර්ණවත් නැත. දුඹුරු පැහැති ය. අන්තරා ට දැනෙන්නේ ඇය ජීවත් වන්නේ මේ යුගයේ ලෙසට නොවේ. මේ සියල් සිදුවීම් මීට පෙර කවදා හෝ අතීතයක සිදු වී ඇත්තා සේ ය. ඒ මතකය කොතැනකට අයිති එකක් ද කියා නිශ්චිතව නාභිගත කරගන්නට ඇයට නො හැකි ය. ඇතැම් විට ඒ සංසාරේ පෙර එක යුගයකට විය හැක. මේ දුඹුරු දිග දවස් දිග ඈ පිය නගනුයේ විටෙක සිහිනයෙන් සේ ය. පියවි සිහියට මඳක් එපිටින් තැනෙක සිට ය. සමහර දේවල් පියවි සිහියෙන් සිදු වෙත්දී වේදනාව දරාගත නො හැකි තරම් වේ. එතකොට සිදු වන්නේ සිහිය තාවකාලිකව ගිලිහී යන එකයි. සොබා දහම දරුණු වේදනාවන්ගෙන් ජීවීන් ඈත් කරන්නට දැරූ උපක්‍රමයක් ලෙස ඒ සැලකිය හැකි ය.

“අම්ම හොඳින් නේද… මේ වෙලාවෙ අම්ම ළඟ ඉන්න තිබුණනං මං කැමතියි”

කියා නූපුර කියයි. එතකොට අන්තරා ගේ පපුව මහා ස්නේහයකින් වාන් දමන්නට ගනී.

“මට මැනේජ් කරගන්න පුළුවන්‍. ඔයා හරියට ස්ටඩීස් කරගන්න”

“ඩිග්‍රි එක කම්ප්ලීට් කළාට පස්සෙ මං මෙහේම ජොබ් වලට ඇප්ලයි කරනව අම්ම. ඊට පස්සෙ අම්මත් මෙහෙ එමු. පීආර් හදාගෙන අපි මෙහේම ජීවත් වෙමු. කවුරුත් නෑ කියල හිතන්න ඕන නෑ. අම්මට මං ඉන්නෙ. මටත් අම්ම ඉන්නෙ. ලංකාවෙදිත් අපි තනිවෙලානෙ අම්ම හිටියෙ… කවුරු හිටියත්”

“අනේ ඔච්චර දේවල් හිතන්නෙපා පැටියො. අපි එන එන හැටියට මූණදෙමු. මේ වෙලාවෙ වැදගත්ම දේ ඔයා හරියට ඔය වැඩටික කරගන්න එකනෙ. මං ගැන වද වෙන්නෙපා. මම්මා කිව්ව එහේ ඇවිත් ඉන්න කියලත්. සීයා මාත් එක්ක කිසිම තරහක් නෑ කියල මං දන්නව. ඒත් අපි දෙන්නට අපේ ගෙදර තරං නිදහසක් දැනෙන එකක් නෑනෙ. බලමු. අපි ඒවටත් එන හැටියකට මූණ දෙමු. මම්මයි සීයයි වුණත් තව ඉස්සරහට තව වයසට යනව. එයාල දෙන්නව බලාගන්න කියල ඉන්නෙත් මං විතරයි”

“අම්ම හිතන්න. අම්මට හිතෙනවනං අපි ඉන්න ඕනෙ ලංකාවෙයි කියල… අපි ඉමු. කොහේ වුණත් අම්මයි මායි එක තැනක ඉඳී.  කාලයක් තිස්සෙම මං වෙනුවෙන්  ජීවත් වෙච්ච අම්මව මං තනිකරයි කියලනං හිතන්නෙපා”

“පුතා”

අන්තරා ගේ හඬ ඉසියුම් ව බිඳිණි. සතුටටත් වැටෙනා ගැහැනු කඳුළු!

දක්ෂිණ තුළ කේන්තියක් තිබිණ. අන්තරා හිතුවක්කාර මුරණ්ඩු ගැහැනියක් කියා සිතන්නට ඔහු කැමති වූයේ ය. ඇයට අබමල් රේණුවක අඩුපාඩුවක් ඔහුගෙන් වූයේ නැතැයි සිතන්නට කැමති වූයේ ය.

“මෙච්චර කාලයක් ගිහිං ඩිවෝස් වෙන්න ඕන වුණේ මොකෙක් හරි පටලෝගෙන ඇති. ගෑනු ගැන මං දන්නැද්ද”

ඔහු ද්වේශ සහගත ආත්මාර්ථකාමී බවකින් යුතුව තමන්ට ම මුමුණා ගත්තේ ය. දන්නා කියන අය සමගින් ද ඇයට දොස් කීවේ ය.

“පවුල් රැකගන්නයි වෙනගෑනු බලන්නෙ. පිරිමි කොච්චර වැරදි කරනවද… බීල ඇවිත් තඩිබානව. කන්න අඳින්න දෙන්නැතුව අඩුපාඩු කරනව. ළමයින්ට උගන්නන්නෑ. මං ඒ මොනවත් කළාද… යන්න ඕන වුණාම මොන හේතුවක්හරි හොයං යන එකා යනව”

අන්තරා කෙරේ වෛරය ද තමන් කෙරේ අන්කම්පාව ද යොමු කරගන්නට දැන හෝ නො දැන ඔහු ක්‍රියා කොට තිබිණ. නමුත් අන්තරා ඔවුන් දන්නා හඳුනන කිසිවෙකු සමගින දික්කසාදය ගැන කතා කරන්නට ගියේ නැත. එදා සේ ම අද ද දක්ෂිණ ගේ වරදක් කිසිවෙකු සමගින් කියා ඔහු විවේචනය කළේ නැත. සියල්ල හදවතින් දරාගෙන, ඔහු ගේ පැත්තෙන් වැරදිකාරිය ද වීගෙන හිස පහළට යොමු කරගෙන සියල්ලට මුහුණ දුන්නා ය.

යුගාත්ම ගේ ගෙදර දිවා ආහාරයකට පැමිණෙන ලෙස, සති අන්තයක අන්තරා ට හා පාරින්දි ට ඇරයුමක් ලැබිණි. කාන්තාවන් දෙදෙන ආරාධනය පිළිගත්තේ සතුටෙනි. පළතුරු කූඩයක් ද ගෙන ඔවුන් එහි ළඟා වන විට යුගාත්ම කෑම පිසිමින් සිටියේ ය.

“අපි කිය කිය ආවෙ ඔයා කොහෙංහරි ලන්ච් ඕඩර් කරල ඇති කියලයි”

පාරින්දි පැන්ට්‍රියට එබෙමින් කීවා ය. බොටම් කලිසමට හා ටී බැනියමට මතින් ඒප්‍රන් එකක් හැඳි යුගාත්ම කැරට් හා තක්කාලි කපමින් සිටියේ ය.

“එහෙම හරිනෑනෙ. ගෙදරට ඉන්වයිට් කළානං උයල කන්න දෙන්නෙපැයි”

අන්තරා ගේ මුව මත මඳහසක් රැඳී තිබිණ. යුගාත්ම ගේ සරල අව්‍යාජ ජීවිතය ගැන ඈ තුළ පසන් හැඟීමක් ලියන්නට ද වූයේ ය.

“ඉන්නකො. මං හදල ගන්නං”

කියමින් ඇය ඒ කටයුතු භාර ගන්නට හදත්දී යුගාත්ම ඊට ඉඩ දුන්නේ නැත.

“ඩෝන්ට් වොරි ලේඩීස්. වැඩිය කන්න බැරි වුණාට මට ලස්සනට ඩිශස් කීපයක් අරේන්ජ් කරගන්න පුළුවං. ඔයාගෙ ගෙදර ආපු දවසක අපිට රසට උයල දෙන්නකො. නේද පාරින්දි…”

“ඒක මරු. එහෙනං ඊළඟ දවසෙ අන්තරාගෙ ගෙදර සෙට් වෙමු. අදම ඩේට් එක ෆික්ස් කරගන්න ඕනෙ”

“අන්තරාට තව ටිකක් කල් දෙමු නේ…”

“අයියෝ කමක්නෑ. ඔයාල කැමති දවසක් කියන්න. මං කෑම ලෑස්ති කරන්නං”

යුගාත්ම ආහාර වල නැවුම් බව ද සුවඳ ද ගැන සැලකිලිමත් වන බව අන්තරා නිරීක්ෂණය කළා ය. ඔහු ගේ පිළිගැනීමේ පානය සිසිල් කළ තැඹිලි ය. සැරට පිසූ ගං කුකුළු මස් කරියක් හැරුණු විට අන් සියල්ල සලාද ලෙස අමුවෙන් වාගේ පිළියෙළ කළ ව්‍යාංජන ය. තෙම්පරාදුවට කජු දමා සුවඳ හමන කහ බතක් සකසා තිබිණි.

“ගොඩක් සයිඩ් ඩිශස් නෑ ඉතිං. මං කන විදිහට අමුවෙන්    වගේ හදල ගන්න කම්මැළි කෑම ටිකක් තමයි”

ඔහු ගේ සූදානම් වීම දෙස අන්තරා බලා සිටියේ ප්‍රීතිමත් චමත්කාරයකිනි. ඇතැම් අවස්ථා වල යුගාත්ම තරමක් කළබල වූයේ ය. එහෙම කලබල වී බිත්තර, ලූණු, තක්කාලි සලාදයකට දෙවරක් ලුණු දමන්නට ගොස් නැවතුණේ අන්තරා කෑගැසූ විට යි.

“අනිත් ඒවටත් දෙපාරක් තුන්පාරක් ලුණු දාලද දන්නෑ”

පාරින්දි හොඳට ම සිනහ වූවා ය.

ඒ භෝජන සංග්‍රය සරල ය. සතුටෙන් ද සිනහවෙන් ද පිරී ය. හිතවත්කම් දෝරෙ ගලනා සුළු විය. හදවතට දැනෙනා හිතවත්කම් ළඟදී හිත උණුහුම් වන්නේ ය. තනිකම තුළ සේ  ම මිතුරු ඇසුරේත් වෙනම ම සුන්රත්වයක් වේ.  අන්තරා මේ මිතුරු ඇසුරකට වැටී තිබෙන්නේ මතක කාලයකට පස්සේ ය. නූපුර පාසලේ ඉහළ පන්ති වලට යනතුරු ම ඔහු ගෙන ගියේත් ගෙන ආවේත් අන්තරා බැව් සැබවි. නමුත් පාසල ළඟ රොක් වන අම්මලාගෙන් මඳක් දුරස් වී හිඳිනට ඇය නිතර ම උත්සාහ කළා ය. සිනහවකට හෝ වචන කිහිපයකට එහා ඒ ආශ්‍රයන් දුර දිග නො ගෙන යන්නට ප්‍රවේසම් වූවා ය. ඈ කාගේ කවුදැයි දැන සිටියේ ඒ මව්වරුන්ගෙන් ස්වල්පයකි. එද නූපුර ගේ පියා දක්ෂිණ විතානගේ නර්තනාචාර්යවරයායි දැනගත් කෙනෙකු පමණකි. අලුතෙන් කිසිවෙකු ජීවිතයට ලං කරගන්නට අන්තරා බිය වූ හේතු තිබිණි. ඉන් ප්‍රධාන ම හේතුව භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි ය. පියා ට මේ රට තුළ වන ගෞරවය හා පිළිගැනීම මත, ඒ ඇගේ පියා යි කියනා එක තරම් ආඩම්බරයක් අන්තරා ට තවත් නැති තරමි. නමුත් ඈ ඔහු ට පිටුපා දක්ෂිණ විතානගේ සමගින් හිතුවක්කාරකමට පැමිණි අන්තරා ස්වරාවී ගාන්ධාරා මුතුමුදලි ය යන්න රහසක් සේ රැකගත යුතු විය. නො එසේව එහි අගෞරවය පියාට යයි ඈ ඇදහූ බැවිනි. අනිත් අතට අනියම් බිරිඳක සමගින්      ජීවත් වන්නේ යයි ප්‍රකට දක්ෂිණ විතානගේ ගේ නීත්‍යානුකූල බිරිඳ ඇය යයි කිසිවෙකු දැනගන්නවාට අන්තරා ලැජ්ජා වූවා ය. මිතුරු සමාගම් වලදී ඒ වගේ පුද්ගලික කාරණා රහස් සේ රැකිය නො හැක. විශේෂයෙන් ම පාසලක් ළඟ රොද බැඳෙනා අම්මලා අතරේ එහෙම රහස් පැවතිය නො හැක.

ඉතින් යුගාන්ත ගේ හා පාරින්දි ගේ මිත්‍රත්වයෙහි උණුහුම ට අන්තරා ලෝභ වූවා ය. නමුත් තවමත්, ඇය භාණුක ජිතේන්ද්‍ර ගාන්ධර්වයානන් ගේ දියණිය බව අන්තරා ඔවුන්ට හෙළිදරව් කොට නැත. වැඩි ගැඹුරකට නොයා මතුපිටින් පමණක් ඒ මිත්‍රත්වය භුක්ති විඳීමේ පිළිවෙතක් ඕ අනුගමනය කරමින් සිටියා ය.

“අන්තරාට පුළුවන්ද පියානෝ ප්ලේ කරන්න…”

කියා පාරින්දි විසින් අසනා ලද්දේ, යුගාත්ම ගේ ආදින්දයෙහි නිදහස් කොනක වන පියානෝව දැක ය. අන්තරා මඳහසක් පෑවා මිස කිසිත් නො බිණුවා ය. ඇය නර්තනයත් සංගීතයත් අතැර, ඒවා නො දන්නා සෙයින් ජීවත් වෙන්නට පටන් ගෙන දශක දෙකක් ඉක්ම ගොස් තිබේ. ඒ වසර විසි ගණනට ම ඇය සංගීත භාණ්ඩයක් වාදනය කොට නැත. නූපුර ගේ පියා දේශීය දරුවන් රැසකට නර්තනය උගන්වමින් සිටිය ද නූපුර ඉතා තදින් නර්තනය ප්‍රතික්ශේප කළේ ය. සංගීතය කෙරේ පවා උනන්දුවක් නො දැක්වූ ඔහු, සෞන්දර්ය විෂයයන් තෝරා ගැනීමට වන ප්‍රථම අවස්ථාවේ දී ම ඉංග්‍රීසි සාහිත්‍යය තෝරා ගත්තේ ය. ඔහු ඒ විෂය කෙරේ අසීමිත දක්ෂතාවයක් පෙන්වන්නට ද පටන් ගත්තේ ය. එබැවින් නූපුර වෙනුවෙන් හෝ ගයන්නට වයන්නට අන්තරා ට සිදුවූයේ නැත.

කාලයක් තිස්සේ හදවත ඇතුළේ විලංගු දමා තිබූ ජීවිතාශාවක් සියල් බැමි කඩා බිඳගෙන මේ මොහොතේ නිදහස ඉල්ලා සිටියේ මන්දැයි අන්තරා දන්නේ නැත. ඇය ඉතා සන්සුන් වූ සැහැල්ලුවකින් යුතුව, මුණිවතින් පියානෝව ඉදිරියෙහි වන ස්ටූලය මත අසුන්ගත්තා ය. භාණුක මුතුමුදලි ගාන්ධර්වයෙකු වූයේ පෙරදිග වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම තුළ ය. අන්තරා ස්වරාවී දැරිය උපදින්නට පෙර කිශෝරි ගේ කුසයෙහි සිටියදී පවා ඒ මිහිරි වූ සංගීත නාදයන් ට කන් දුන්නා ය. යන්තම් යමක් කමක් වැටහෙන වියට එළඹෙත්දී පිය සෙවණෙහි හිඳ ආතත, විතත, විතතාතත, සුසිර, ඝණ යන සියල් කාණ්ඩ වල සංගීත භාණ්ඩ වයන්නටත් ගයන්නටත් පටන් ගත්තා ය. බටහිර පියානෝ වාදනය ගැන ඇගේ උනන්දුවක් ඇති වන්නේ බාලිකාවේ ශ්‍රවණාගාරයෙහි වේදිකාව කොනක තබා තිබුණු පියානෝව නිසා ය. පාසලේ වැඩිහිටි සොයුරියන් එය වාදනය කරනු විශේෂ අවස්ථා වලදී ඈ දැක තිබේ. පියානෝව වයන්නට අන්තරා තුළ උපන් දොළ නිසා භාණුක ඇයව බටහිර සංගීතාචාර්යවරියකට භාර කළේ ය. එහිදී අන්තරා දක්ෂ ලෙස ට්‍රිනිටි සංගීත විභාග සමත් වෙමින් පියානෝ වාදනයෙහි හපන්කම් පෑවා ය.

කාලයකින් වයා නැත ද අන්තරා ගේ සිහින් දිගු අතැඟිලි යතුරු පුවරුව මත සුලලිත ලෙස චලනය වන්නට වූයේ ඉන් මධුර හඬක් උත්පාද කරමිනි. එතෙක් ඈ තුළ නිදන්ගත වී තිබූ සියල් ශක්තීන් අවදි වන්නට  ගති. ලේ වල ම කැළතී තිබූ සහජ හැකියාවන් වේල්ල බිඳුණු වැව් දිය කඳක් සේ ගලා එන්නට පටන් ගත්තේ ය. අන්තරා ‘හඳපානේ’ ගීතය වාදනය කළා ය. පාරින්දි පමණකුදු නොව යුගාත්ම පවා ඇදෙස බලා සිටියේ අදහාගත නො හැකිව ය. එතෙක් ඇය ලෙස ඔවුන් නො දැන සිටි අන්තරා කෙනෙකුට ඇය ආවේශ වෙමින් සිටියා ය. ඕළු පිපීලා ගීතය ද තවත් සුමිහිරි සිංහල ගීත කීපයක් ද, පාසල් යන කාලයේදී ඇය බෙහෙවින් ප්‍රිය කළ බටහිර ගායකයෙකු වූ රිචඩ් මාක්ස් ගේ ‘රයිට් හියර් වේටින්’ හා ‘එනඩ්ලස් සමර් නයිට්ස්’ ගීත ද ඈ ඒ ආවේශයෙන් ම වාදනය කළා ය. ඒ ස්වර ප්‍රස්ථාර එතුවක් කාලයක් මතකයේ රැඳී තිබිණි ද නැතහොත් ලේ වලට මුහු වී තිබිණි ද කියා ඇය ම නො දන්නී ය. ගීත කීපයක අනුවාදනයන්ගෙන් පසු අන්තරා නැගී සිටියේ, මෝහන නිද්‍රාවකට අවතීර්ණව හිඳ, අවදි වෙත්දී සිදු වූ කිසිත් ගැන මතක මාත්‍රයක් නැති අසරණියක වාගේ දෙගිඩියාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here