පිණි මුතු පලසක් – 36

0
2253

“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ – ආණමඩුව බසය කිට්ටුවෙද්දීය.

සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම අරුණද යුහුසුළු වුනේ සමුධ්‍යා “සෑහෙන දවසක් ගෙදර ඉඳලා ආපහු යන්න කම්මැලි අප්පා” කියා ගෙදරින් නැවත සද්ධානන්ද ඉස්කෝලේ මහතාගේ නවාතැන්පලට යන්නට පමා වූ නිසාවෙනි.

“ඔයාට පික් මී එකක් දාලා දෙන්නද ඇහුවම ඒකට කැමති උනෙත් නෑ. පරිස්සමෙන් යන්න හොඳේ. ටුක් එකක් හොයාගෙන යන්න පුලුවන්ද? අඳුරන මනුස්සයෙක්වත් නෑනෙ අනේ මට ඔයාව පික් කරන්න” කියා අරුණ කියද්දී සමුධ්‍යා ඔහුව අස්වසන්නට බොහෝ වදන් මෙතෙක් වෙලා කිව් බව ඇත්තකි.

ඒ සැඳෑවේ සමුධ්‍යා බංගදෙණිය හන්දියෙන් බහිද්දී ආණමඩුවට ඉහළින් අහස තිබුණේ රාත්‍රී අන්ධකාර සලුව පොරවගනිමිනි. හවස හයහමාරට කිට්ටු නිසාවෙන්දෝ, කුරුල්ලන්ගේ කිචිබිචිය නිහඬ වී ගොස් තිබුණ අතර, දවස පුරා පොද වැස්සෙන් තෙත් වූ පොළොවෙන් නැඟුණු සිසිලස ගස්වැල් අතරින් හමා යමින් සමුධ්‍යාගේ වෙහෙසට පත් ගත සිප ගන්නට විය. විදුලි පහන් නොමැති ගම්මානය කරේ දිවෙන පාර තවමත් කළුවරට මුසුවෙමින් තිබූ අතර, ඒ අඳුර සමග මුසුවුණ අමුතුම නිශ්ශබ්දතාවය සමුධ්‍යාගේ සිතට එක්කහු කලේ මද චකිතයකි. ඒ වනාහී කොළඹ නගරයේ නිරන්තර ශබ්දයෙන් මිදුණු, ආනමඩුවටම ආවේණික වූ නිහඬ බවකි. සමුධ්‍යාට දැනුණේ නගරයේ තදබදයෙන් මිදී ගමේ සන්සුන් බවට පැමිණීම සැනසිල්ලක් ලෙස වුවද, හදිසියේ ඇති වූ චකිතයකින් හිත තිබුනේ සුපුරුදු රිද්මයෙන් මිදී වේගයෙන් ගැහෙමිනි.

පාසල් නිවාඩුවෙන් පසු නැවතත් ආණමඩුවට යාමට සමුධ්‍යා පිටත් වූයේ සවසය. කොළඹ කැෆේ එකේදී අරුණ සමග ගත කළ මොහොතවල් තවමත් ඇගේ සිතේ රැව් පිළිරැව් දුන්නත්, තමන් දැන් මුහුණ දී සිටින තත්ත්වය ගැන සිතද්දී ඇගේ සිතට බරක් දැනුණි. තව ටිකක් ගෙදර ඉන්නට හිත කිව්වත්, ඇයට ආණමඩුවට යාමට අවශ්‍ය වූයේ විශේෂයෙන්ම ඒ නිසාවෙනි. සද්ධානන්ද ඉස්කෝලෙ මහත්තයගෙ ගෙදරට යාමට දහවලක ආවා නම් ට්‍රැක්ටර් හෝ වෙනත් ගම්මානයේ කාගේ හෝ රියක් සොයාගන්න පහසු උනත් මේ සැඳෑවේ එය පහසු නොවන බව තේරුම් ගිය නිසාවෙන්ම සමුධ්‍යා හීන් සැරේ ගම දිහාවට ඇවිද යන්නට පටන් ගත්තෙ “ටුක් එනකම් බලන් උන්නොත් තව රෑ වෙයි” කියා හිතමිනි. 

ඈතින් එන ත්‍රි රෝද රියක හඬ සමුධ්‍යාට ඇසුනේ එසේ හෙමින් හෙමින් පාර දිගේ ඇවිදගෙන යද්දීය. සමුධ්‍යා හිස හරවා බලද්දිත් රිය තිබුනේ වේගයෙන් තමන් වෙතට දුවිලි වලාවක් සමග ඇදි එමිනි.“ සමුධ්‍යා එයට ඉඩ දෙන්නට පාරෙන් මදක් එහාට උනේත් රිය සමුධ්‍යා අසලම නතර වුනේත්, නොදන්නා මැදිවියේ මිනිසෙකුගේ මුහුණ රියෙන් පිටතට විත් සමුධ්‍යා දෙස බලා බුලත් කහට බැඳුන දසන් දක්වා සිනාසුනේත් එක පෙලටය. 

“ඉංග්‍රීසි මිස් නේද? ලොකු ඉස්කෝලෙ මහත්තයලගෙ අහට නෙව යනවා ඇත්තෙ යන්,” කියා ඒ මනුස්සයා කීවද සමුධ්‍යා උන්නේ මේ නොදන්නා පුද්ගලයා කවුරුන්ද කියා සැක හැර දැනගන්නට මෙන් කුහුලෙන් දෙනෙත් පොඩි කරගෙන බලන ගමන් ය.

“මිස්ට මාව මතක නැද්ද මන්දා?” කියමින් ඔහු රියෙන් බැස එද්දිත් රියදුරුට සහ මේ මිනිසට අමතරව තවත් කෙනෙකු රියේ ඉන්න බව සමුධ්‍යා දුටුවේ සෙවණැලි ස්වභාවයෙනි.

“මං මිස්ගෙ හතේ පංතියෙ ඉන්නා මල්මිගෙ තාත්තා” කියා ඔහු කියද්දිත් මේ මුහුණ තමන්ට කිසිසේත් මතක නැති බව සමුධ්‍යාගේ සිත තිබුනේ තව තවත් පැහැදිලි කරමින් ය.

“අනේ මට ඇත්තටම මට එහෙම මතකයක් නෑ ඔය මහත්තයව හම්බෙලා තියෙනව කියලා. මල්මිව නම් දන්නවා. මල්මිගෙ තාත්තාව මට එහෙම මතක තිබ්බෙ නෑ. සොරි”

“අප්පා මිස් මොකටද මට සොරි කියන්නේ? ඕක මොකද්ද? අනික ඉතින් ගුරුවරියක් උනාම කී දෙනෙක්ගෙ මූණු මතක තියාගන්නද?” කියා ඒ මනුස්සයා කියද්දිත් සමුධ්‍යා එක අතකින් රෙදි පිලි පෙරවූ ගමන් මල්ල තදින් අල්ලාගත්තාය. 

“කමක් නෑ ඒකට, යන් මිස් අපි ඉස්කෝලේ මහත්තයලගෙ ගෙදරින් ඇරලවන්නම්” කියා ඔහු කිව්වට සමුධ්‍යා උන්නේ නොදන්නා පිරිමින් තිදෙනෙකු සමග මේ ත්‍රිරෝද රියේ යන අදහසක නොවේ.

“අනේ නෑ තව කවුද ඉන්නවත් එක්කනෙ පස්සෙ? මගෙ මේ බෑග් දෙකකුත් තියෙනෙ. මම මෙහෙම යන්නම්. බොහොම ස්තුතියි වාහනේ නතර කරලා කරදර උනාට” කියා සමුධ්‍යා කියද්දිත් මල්මිගේ තාත්තා යැයි කියු මිනිසා උන්නේ ඉස්සරහට තැබූ අඩිය පස්සට ගන්න අදහසක් නොවේ.

“අනේ මිස් මොන කරදරයක්ද? මිස්ට කොහොමත් මං හිතන්නෙ වෙන වාහනයක් නම් සෙට් වෙන්නෙ නෑ මේ වෙලාවට. රෑ වෙනවනේ. එන්න, අපි ඇරලවන්නම්,” කියා ඔහු උන්නේ මිත්‍රශීලී බවක් පෙන්වමින් කතා කරමිනි. එහෙත් සමුධ්‍යා උන්නේ ඒ මිත්‍රශීලි වදන් වලට අවනත නොවෙමිනි. මෙතන වෙන කුමක් හෝ දෙයක් ඇති බව කිව්වේ යටි සිතය. ඒ නිසාවෙන්ම සමුධ්‍යා උන්නේ වහ වහා යලි ගමන අරඹන තදියමකය.

එහෙත් ඊළඟ මොහොතේ සිදුවූයේ ඇයට කිසිසේත් අපේක්ෂා නොකළ නමුත් යටි සිත වේ යැයි බියෙන් උන් දෙයකි. රියේ පිටුපස මෙතෙක් වෙලා අසුන් ගෙන උන් හැඩි දැඩි මිනිසා බැස්සේත් දෙදෙනාම එකතු වී සමුධ්‍යාව කට තද කර අල්ලාගෙන ඇයව රිය ඇතුලට ඔබා ගත්තේත් තප්පර ගණනක කුඩා පරතරයකදීය. සමුධ්‍යා උන්නේ කෑ ගැසීමටවත් ඉඩක් නොමැතිවය.

ඇයව ටුක් රථය තුළට තල්ලු කර දැමූ විගස, එක් පුද්ගලයෙකු ඇගේ මුඛය තදින් අතකින් වසා ගත්තේය. අනෙක් පුද්ගලයා වේගයෙන් රථය ධාවනය කළේය. මේ තමාව බදා ගෙන හඹායන්නේ අරුණ විසින් කියන්නට යෙදුණ “හුළඟ” විසින් එවන්නට යෙදුණ කුණාටුවක් බව තේරුණද ඒ කුණාටුව සමග පොර බදන්නට මල් පෙත්තක් වන් සුමුදු සියුමැලි සිරුරක් තිබුන සමුධ්‍යාට හැකියාවක් තිබුනේ නැත.  ටුක් රථය ගමේ අතුරු පාරවල් දිගේ වේගයෙන් ගමන් කරද්දි. සමුධ්‍යාගේ හදවත තිබුණේ වේගයෙන් ගැහෙමිනි. ඇගේ සිතට විදුරගේ මුහුණ මැවී පෙනුණි. මේ ඔහුගේ වැඩක් බව ඇය නිසැකවම දැන සිටියාය. අසරණවූ ඇයගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය.එහෙත් ඒ කුඩා කෙල්ලකගේ කඳුලුවලට වඩා එතන බලය තිබුණේ හැඩි දැඩි පිරිමින් දෙදෙනෙකුගේ සිරුරුවල ශක්තියටය.

අරුණ කියන්නට යෙදුන යුක්තියට වඩා ප්‍රැක්ටිකල් බව බලවත් බව සමුධ්‍යාට තේරුණේ ඒ හැඩිදැඩි පිරිමින් විසින් නහයට ඇල්ලූ යමකින් සිහිය නැති වී යද්දි දෙනෙත් කෙමෙන් පියවෙද්දීය.

කොළඹ සිටි අරුණට දුරකථන ඇමතුමක් ලැබුණේ රාත්‍රී හත පසු වී මිනිත්තු කිහිපයකට පසුවය. නොදන්නා අංකයකින් ලැබුණු ඇමතුම කාගේදැයි කියන කුහුල සමගම අරුණ එයට පිළිතුරු දුන්නේය.

ආමන්ත්‍රණයක් ඒ කතාබහට නොතිබුන බව ඇත්තකි. එහෙත් එහා පසින් ඇසෙන සුසුම් හඬේ තමන්ට නුපුරුදු නොවන බව තේරෙද්දි අරුණගේ සිත ගැස්සී ගියේය. 

“ මම කිව්වනේ, මට ඕන දේට බාධා කරන්න එපා කියලා. හැබැයි ඒක ටිකක් තේරුම්ගන්න අමාරුයි වගේ නේද?” කියා තාත්තා අහද්දී ඒ වනාහී තාත්තා කෙනෙකු තම පුතුට කතාකරන වදනකට එහා ගිය තර්ජනයක් බව අරුණ තේරුම්ගත්තේය.

අරුණ නිහඬතාවය රැක්කේ කිව යුතු දෙයක් නොමැති නිසා නොව සිතා ගන්නට නොහැකි නිසාවෙනි.

“ඕන මනුස්සයෙක් ඌ කොච්චර බලු වැඩ කරන එකෙක් උනත් ට්‍රයි කරන්නෙ තමන්ට තියෙන දේවල් පරිස්සම් කරන්න. එක එක උන් ඒ වගේ පරිස්සම් කරන දේවල් වෙනස්. මං ඉස්සර ඉඳලම මගෙ නම්බුව පරිස්සම් කරන්න මහන්සි වෙච්ච මනුස්සයෙක් විත්තිය නොදන්නවා නෙවෙයිනෙ.

ඒ වගේම තමුන් මේ දවස්වල පරිස්සම් කරන්න හදන්නෙ මොකද්ද කියන එකත් මං දන්නවා. මං මේ කතාකරේ මං ඒ තමුන් පරිස්සම් කරන්න හදන දේ හොරකං කරා කියන්න. ආපහු ඒ දේ පරිස්සමෙන් ඕන නම් කරන්න තියෙන්නෙ මං පරිස්සම් කරන හදන මගේ නම්බුව ආපහු මට පරිස්සමට භාරදෙන එක විතරයි.

එහෙම නැති උනොත් ඔය තමුන් පරිස්සම් කරන දේ ආපහු ලැබෙන්නෙ පොඩ්ඩක් හීරිලා තුවාලවෙලා, ඒ තුවාල කැලැල් එක්ක වෙන්න පුලුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here