මෞර්යා හවස් වරුවම ගත කළේ සාප්පු සවාරියේ නිරත වීම සඳහාය. ඒ සඳහා ඇය සතු වූ මුදල හැරුණු කොට නිවසින් පිටවන විට චන්දිකද ඇගේ බැංකු ගිණුමට මුදල් ප්‍රමාණයක් බැර කර තිබිණි. මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳව මෞර්යාට හොඳ දැනුමක් තිබීම නිසා ඇය කෙදිනකවත් මුදල් නාස්ති කිරීම සිදු කළේ නැත.ඇයගේ අවශ්‍යතා සඳහා සරිලන මුදලක් ඇය නිවසේ සිටම උපයා ගත්තද චන්දික මාසිකව ඇයගේ ගිණුමට යම් මුදලක් බැර කළේය. ඒවායෙන් බොහෝ ප්‍රමාණයක් ඉතිරි කරන්නට මෞර්යා වග බලා ගත් අතර ඒ පිළිබඳව චන්දික ද දැනුවත් වී උන්නේය.
සාප්පු සවාරි ගමනට මෞර්යා සමඟ අනුත්තරාද එකතු වූයේ ආයතනයක රැකියාවක් කිරීමේ වසර ගණනාවක පළපුරුද්ද අනුත්තරා සතු වූ නිසාය. රැකියාවකට යාමේදී තෝරා ගත යුතු ඇඳුම් පිළිබඳව අනුත්තරාට ඉතා හොඳ දැනුමක් තිබුණු නිසා අනුත්තරා රැකියාව අවසන් කර පැමිණෙන තුරු මෞර්යා සවස් කාලයේදී මග බලා උන්නාය. අනුත්තරාගේ කාර්යාලය අසලින් ඇයව වාහනයට නංවා ගත් මෞර්යා කෙලින්ම පැමිණියේ පැලවත්තේ පිහිටි Gflock වෙතටය. කාර්යාලයට සරිලන ඉතා හොඳ තත්ත්වයේ ඇඳුම් බොහොමයක් අනුත්තරා මිලදී ගන්නේ එතැනින් නිසා මෞර්යා උන්නේ ඇඳුම් තේරීමේ වගකීම සම්පූර්ණයෙන්ම අනුත්තරා වෙත පැවරීමටය.
බලාපොරොත්තු වූ ආකාරයටම අනුත්තරා පැස්ටල් වර්ණ වලින් විවිධාකාරයේ සරල සහ චාම් ඇඳුම් කට්ටල කිහිපයක්ම මෞර්යා වෙත තෝරා දුන්නාය. මෞර්යා ඒවා හැඳ හැඩ බැලුවේ ඉතා ආසාවෙනි. තමාගේ ජීවිතය හෙට සිට වෙනස් වන්නට යන්නේය. එය තමාගේ ජීවිතයේ නව පිටුවක් පෙරළීමකි. රැකියාවක් කිරීම වෙහෙසකාරී බව බොහෝ මිතුරියන් ගෙන් අසා දැනගෙන තිබුණද මෞර්යාට රැකියාවක් පිළිබඳව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් වූ හැඟීමකි.
” thank you අනුත්තරා. මං මේ ඇඳුම් ටිකට නම් මාරම ආසයි ”
මෞර්යා කීවේ බිල ගෙවන අතරේය. ඇය ඒ තරම්ම සතුටින් පිබිදී උන්නාය. අනුත්තරා ඊළඟට මෞර්යාව කැඳවා ගෙන ආවේ මේකප් වර්ග සහ ආභරණ විකිණීමට ඇති වෙළඳසැලකටය. මිලදී ගත් ඇඳුම් වලට සරිලන ආකාරයේ ඉතාම සරල කරාබු යුවල කිහිපයක් ද , ලා පැහැයෙන් යුතු ලිප්ස්ටික් වර්ග දෙකක්ද අනුත්තරා මෞර්යා ට තෝරා දුන්නාය. මෞර්යා ඇය දෙස බැලුවේ ස්තුති පූර්වකවය.
” අනේ මන්දා අනේ මට නිකං බයකුත් හිතෙනවා ”
මෞර්යා අනුත්තරාගේ නිවස දෙසට රිය පදවන අතරේ කීවාය.
” ඇයි ? ”
” නෑ ඉතින් මම මීට කලින් ජොබ් එකක් කරලා නැහැනේ. අනිත් එක මේක ටිකක් ලොකු කම්පනි එකක් ”
” ඔයාට තියෙන්නේ ඔයාගේ ජොබ් එක හරියට අල්ලගෙන කරන්න විතරයි. අනිත් එක office එකේ අයත් එක්ක ඔයාගේ පර්සනල් දේවල් එහෙම වැඩිය ශෙයා කරන්න යන්න එපා. හැමෝම එක්ක එක ගානකට ඉන්න ”
” කොහොමත් මම හිතාගෙන හිටියේ අනූ පර්සනල් දේවල් කාටවත් කියන්න යන්නෙ නෑ කියලා ”
” ඒක නම් හොඳයි. ඔයා ඒවා හොඳ චේතනාවෙන් කිව්වත් සමහර මිනිස්සු ඒවා ලොකුකං හැටියට ගන්නවා. ඔයා එක්ක නිතර ගැවසෙන මිනිස්සුන්ට ගුඩ් මෝනින් එහෙම කියලා හිනාවෙලා ඉන්න. නොදන්න දේවල් අහගෙන ඔයා දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න ”
අනුත්තරා උපදෙස් දුන්නාය.මේවා ඇය ඉගෙන ගත්තේ වසර කිහිපයක් රැකියා කිරීමෙනි.විවිධාකාරයේ මිනිසුන් සමග රැකියා ස්ථානයක් තුළ ගනුදෙනු කිරීම සැබවින්ම පහසු නැත. මෞර්යා සතුව මොන තරම් යහපත් ගතිගුණ තිබුණත් ඇය රැකියාව කරන්නට යන ආයතනයේ විවිධ ආකාරයේ මිනිසුන් සිටින්නට හැකියාව ඇති නිසා අනුත්තරා මෞර්යාට උපදෙස් දුන්නේ හැකි තාක් ඇඟ බේරාගෙන රැකියාව කිරීමටය.
” ඔයා අලුත් අවුරුද්දටවත් ඔච්චර ආසාවෙන් shopping කරලා නැහැනේ පුතේ ”
මෞර්යා ගෙට ගොඩ වන විට චන්දික කීවේ ඇගේ දෑතේම ඇති බෑග් දෙස බලමිනි. බැලූ බැල්මට මෞර්යා බොහෝ දෑ මිලදී ගෙන ඇත.ඇය සාමාන්‍යයෙන් එසේ වියදම් කරන්නේ නැති නිසා ඇය මේ මොහොතේ සිටින සතුටුදායක තත්ත්වය තේරුම් ගන්නට චන්දිකට අපහසු වූයේ නැත.
” අච්චර අල්මාරියක් පිරෙන්න ඇඳුම් තියෙද්දී මොකටද ළමයෝ ඔච්චර දේවල් ගත්තේ ? ”
මෞර්යා සෝෆාව මතින් තැබූ බෑග් පිරික්සන අතරේ නිල්මිණි කීවාය. එහෙත් මෞර්යාගේ මුහුණේ වූ සිනහව තුරන් වී ගියේ නැත.
” ජොබ් එකකට යනකොට ඒ විදිහට යන්න ඕනේ නිල්මිණි. අනිත් එක මෞර්යා හැම වෙලේම ඔහොම සල්ලි වියදම් කරන්නේ නෑනෙ. එයා ආස විදියට එයා ඔෆිස් ගියාවේ”
සෑම අවස්ථාවකදී ම මෙන් නිල්මිණිගේ නෝක්කාඩු වලින් චන්දික මෞර්යාව බේරා ගත්තේය.එය මේ නිවසේ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
” හැබැයි ලස්සන ඇඳුම් ටිකක් නම් අරන් තියෙනවා ”
නිල්මිණි බෑගයක් තුළ වූ ලා නිල් පැහැ ගත් අත් දිග බ්ලවුසය අතට ගත්තාය.
” හෙට උදේට කිරිබත් ටිකක් හදමු නිල්මිණී. අපේ දුව මුලින්ම ජොබ් එකකට යන දවස නේ ”
” ඔයා කිව්වත් නැතත් මං කිරිබත් හදන්න තමයි හිටියේ චන්දික ”
නිල්මිණි ගේ නෝක්කාඩු ස්වරය පහව ගොස් තිබුණි. මෞර්යා ඇඳුම් බෑග් කිහිපය ගෙන කාමරයට ආවාය. ඇඳුම් සියල්ලම බෑග් වලින් පිටතට ගෙන ඒවා ඇඳ මතට දැමූ මෞර්යා ඒවායේ ටැග් සියල්ලම කපා දැමූයේ ඒවා අල්මාරියේ එල්ලා තබන අදහසිනි. ඇඳුම් එකින් එක ගෙන ඒවායින් එන නැවුම් සුවඳ නහයට අල්ලා බැලූ මෞර්යා නැවතත් ඒවා එකින් එක ඇඟට තබා කණ්නාඩිය ඉදිරියට ගොස් හැඩ බැලුවාය.
ආදිත්‍ය නිවසට ආවේ රාත්‍රී අටහමාරට පමණය. පෙර දින කාර්යාලයට නොගිය නිසා අවසන් කිරීමට අත්‍යවශ්‍යම වැඩ කටයුතු කිහිපයක් අවසන් කිරීම සඳහා කාර්යාලයේ රැඳී සිටීමට ආදිත්‍යයට සිදු විය. ඒ බව කියන්නට ෂෙහාරාට දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තද ඇය ඒ එකඳු ඇමතුමකට වත් ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ නිසා ආදිත්‍යය ඇයට whatsapp හරහා පණිවිඩයක් තැබූ අතර ඇය ඒවා කියවූ බවට සලකුණු දක්නට තිබුණි . වාහනය මිදුලට දමන විට උඩුමහලේ කාමරයේ පමණක් විදුලි පහනක් දල්වා ඇති බව ආදිත්‍ය දුටු අතර පහත මාලයම අඳුරින් වෙලී තිබුණේය.අඩුම තරමේ මිදුලේ වූ විදුලි පහන් කිහිපයෙන් එකක් හෝ දල්වා තිබුනේ නැත.ස්වයංක්‍රීය ගේට්ටුව වසා දැමූ ආදිත්‍ය වාහනයේ වූ නිවසේ වැඩිපුර යතුරෙන් ප්‍රධාන දොර ඇරගෙන උඩුමහලට නැග්ගේ හිස් හැඟීමකිනි.
ෂෙහාරා උන්නේ කණ්ණාඩි මේසය ඉදිරිපිට වාඩි වී කන්නාඩියට එබී ගෙනය.කණ්නාඩි මේසය පුරාම ඇගේ මේකප් භාණ්ඩ අපිළිවලට තිබුණු අතර ආදිත්‍ය කාමරයට ඇතුළු වූ බව කන්නාඩියෙන් දුටුවද ෂෙහාරා තමා කරමින් සිටි කාර්යය මොහොතකට හෝ නතර කළේ නැත. විසිතුරු පන්නයේ ගවුම් කිහිපයක් ද ඇඳ මත තැන තැන තිබුණු අතර ෂෙහාරා හැඳ සිටියේ ද එවැනිම පන්නයේ කෙටි ගවුමකි. ඇය කොහේ හෝ යාමට සූදානම් වන බව අනුමාන කළ ආදිත්‍ය වාහනයේ යතුරත් මුදල් පසුම්බියත් කණ්නාඩි මේසය මතින් තැබුවේය.
ෂෙහාරා ලිප්ස්ටික් ගල්වා අවසානයේ කොණ්ඩය සකස් කරමින් නැගී සිටියාය. ආදිත්‍ය ආගන්තුකයෙකු සේ රැක් එක මත වූ තුවාය අතට ගෙන නාන කාමරයට යාමට සූදානම් වූයේය.
” ආදිත්‍ය ”
ආදිත්‍ය නැවතුනේ ෂෙහාරාගේ හඬටය.ඒ හඬ ඍජුය.එහි ආදරණීය බවක් ගෑවී වත් නැත.
” ඔයාට දරුවෙක් ගැන අදහසක් තියෙනවද? ”
ආදිත්‍ය පුදුම වූයේය. විවාහ වී ගත වූ අවුරුද්ද තුළ තමා දරුවෙක් පිළිබඳව කෙදිනකවත් ෂෙහාරා සමග කතා කර නැත. ඒ නිසා ඇය හිටි හැටියේම මෙවැනි පැනයක් ඇසීම ගැන ආදිත්‍යයට පුදුම නොවී සිටිය නොහැකි විය.
” ආ ? ”
ආදිත්‍ය මුව විවර කළේය. ෂෙහාරා පියවරක් දෙකක් ආදිත්‍ය දෙසට පැමිණියාය.
” ඔයාට අවුරුදු 35ක් උනාට මට තාම තිහ ලබලත් නෑ. අනිත් එක දරුවෙක්ගේ වගකීමක් මට දැම්ම අරගන්න බැහැ. අර ගන්න බැහැ කියන්නේ මට ඒකට හිත හදා ගන්න බැහැ.ඔයාගේ හිතේ දරුවෙක් ගැන අදහසක් තියෙනවා නම් ඒක අත ඇර ගන්න ”
ෂෙහාරා ආදිත්‍යගේ මුහුණ දෙස බලාගෙනම කීවේ ඉතා රුදුරු ලෙසය. ඒ වචන පිහිතුඩු මෙන් ආදිත්‍ය ගේ හදවත පසාරු කර ගෙන ගියේය. දරුවකු පිළිබඳව ඒ මොහොතේ අදහසක් නොතිබුණද විවාහ ජීවිතයකට දරුවකු යනු ආශිර්වාදයකි. විශේෂයෙන්ම ගැහැණියක යනු මව් පදවිය සිහිනයක් කර ගත් පාර්ශ්වයක් නිසා ෂෙහාරාගේ මුවින් පිටවූ එවදන් පිළිබඳව ආදිත්‍යය ට දැනුනේ කලකිරීමකි.
” ඔයා මොනවද මේ කියවන්නේ ෂෙහාරා ? ”
වෙන කියන්නට දෙයක් නොමැති තැන ආදිත්‍යය ඇසුවේය.
” කියන්නේ ඇත්ත. දරුවෙක් හැදුවොත් මට මේ වගේ ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙන්නේ නැහැ ආදිත්‍යය. එහෙම එන්ජෝයි කරන්න බැරි ලයිෆ් එකකින් වැඩකුත් නැහැ.ඒ නිසා අඩුම තරමේ තව අවුරුදු පහ හයක් වත් මට මේ විදිහට ඉන්න ඕනේ. ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙනවා නම් ඔයාට මං මේ ගැන කලින්ම කියල තියෙන එක හොඳයි කියල හිතුනා. ඒකයි කිව්වේ ”
ආදිත්‍ය ගල් වී උන්නේය. ෂෙහාරා කිසිවක් නොවුණා සේ අසල වූ අත් බෑග් රඳවනයේ එල්ලා තිබූ කුඩා අත් බෑගයක් ගෙන එයට මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනයද ඔබා ගත්තාය. නැවත කණ්ණාඩි මේසය වෙත ගිය ෂෙහාරා එය මත තිබූ රතු පැහැති ලිප්ස්ටික් එකක්ද ගෙන අනෙක් අතින් කොණ්ඩය සකස් කර ආදිත්‍ය දෙස හැරී බැලුවාය.
” මං යාළුවොත් එක්ක ඩිනර් අවුට් යනවා. ඔයා මොනහරි ඕඩර් කරගෙන කන්න ”
ආදිත්‍යයට කිසිවක් කීමට ඉඩ නොතබාම ෂෙහාරා කාමරයෙන් පිටවූවාය. ඇය තරප්පු පේළිය බසින විට ඇගේ අඩි උස සපත්තු වලින් නැගෙන හඬට ආදිත්‍ය සවන් දී ගෙන උන්නේ නිවස පුරා පැතිරී තිබුණු දැඩි නිහඬියාව මධ්‍යයේය. ෂෙහාරා ඇගේ වාහනයෙන් පිටවන හඬත් ස්වයංක්‍රීය ගේට්ටුව වැසෙන හඬත් ආදිත්‍ය සිටි තැනම සිට ගල් ගැසී අසා උන්නේය.
විවාහ ජීවිතයේ ගෙවුණු අවුරුද්ද තුළ ප්‍රථම වතාවට ආදිත්‍යය ගේ දෑස් වලට කඳුළක් නැගුණේය. ඔහු ඒ කඳුළ පිස දමමින් නාන කාමරයට යාම පසෙක තබා ඇඳ මතින් වාඩි වූයේය.