බැඳීම්.

නයෝමි ගේට්ටුවෙන් ඇතුලට එනකොටම සමීරගේ වාහනය මිදුලේ නතර කරලා තියෙනවා දැක්කා.මල්ලි ගේ පැමිණීම සතුටක් වුණත් ටික දවසක ඉඳලා නිතර නිතර මහගෙදරට පැමිණීම ගැන නයෝමිට දැනුනෙ අමුතු හැඟීමක්

” මොකද අදත් මෙහෙ ? උත්පලා තමුසෙව ගෙදරින් එළෙව්වා ද ? “

සමීරගේ පිටට තට්ටුවක් දාන ගමන් නයෝමි ඇහුවේ විහිළුවට වගේ

” පිස්සුද ඕයි ? මම මේ නිකන් අම්මව බලල යන්න ආවෙ “

සමීර පුරුදු විදියට විහිළුවෙන්ම උත්තර දුන්නා.

” ඉතින් අම්මව බලන්න නෝනවත් එක්කං ආවම මොකද වෙන්නේ ? ඒ ළමයව ගෙදර තනියම තියලා මෙයා මෙහෙ රෝන්දේ ගහනවා “

” මල්ලි ඔය ඔෆිස් ඇරිලා යන ගමන් ඇවිල්ලා තියෙන්නෙ දූ “

යසෝමා තේ එකක් ගෙනත් සමීරගේ අතට දුන්නා.

” wedding එකේ වැඩ කොහොමද අක්කා ? “

සමීර තේ එක තොල ගාන්න පටන් ගත්තා

” කරගෙන යනවා ඉතින්. මයන්ත ටිකක් බිසී නිසා ගොඩක් ඒවට යන්න වෙන්නේ මට තමයි “

” හරි ශෝක්නේ.තමන්ගේ wedding එකේ වැඩ වලටවත් එයාට වෙලාවක් නැද්ද ? “

සමීරගේ වචන වල තිබුණේ නොරිස්සුම් සහගත බවක්.

” ඔක්කොම වැඩ එයාට කියන්න බැහැනේ කොහොමත්.මට පුළුවන් හරිය මම කරනවා. හැමදේම අපි කරන්නෙ දෙන්න බෙදා ගෙන.මට බැරි දේවල් වලට එයා තනියම යන වෙලාවලුත් තියෙනවා “

නයෝමි එහෙම කිව්වට පස්සේ සමීර කල්පනාවට වැටුණා.ඒ කල්පනාව ගොඩක් දුරදිග යනවා කියලා ඔහුගේ හැසිරීමෙන්ම නයෝමිට තේරුණා

man in upset

” මල්ලි මොකක් හරි අවුලක් අද ඉන්නේ අම්මා ? “

නයෝමි ,යසෝමා ගෙන් එහෙම ඇහුවේ සමීර පිටත් වෙලා ගියාට පස්සෙ

” ඇයි දූ එහෙම අහන්නේ ? “

” නෑ ඉතින් බැඳලා මාස හයක් වත් ගියේ නැහැ මෙයා තනියම මෙහෙ එන්න ගත්තා නේ. මම බැලුවේ මුකුත් අවුලක් ද කියලා “

” අද නං මල්ලි මෙහෙ ආවෙ උත්පලා එන්න රෑ වෙනවා කියලා.ඒ ළමයගෙ degree යේ වැඩ පටන් අරගෙන නේ “

නයෝමි මුකුත්ම නොකියා කාමරයට ආවා.ඇය කාමරයට එනකොටම දුරකථනය නාද උනා. ඇමතුම එන්නේ තමන්ගේ නෑනාගෙන් කියලා තිරයේ සටහන් වුණා

” කියන්න උත්පලා “

” සමීර ආවද අක්කේ ? “

උත්පලාගෙ බියපත් සහ සිහින් හඬ දුරකථනය ඔස්සේ ගලාගෙන ආවා

” මල්ලි දැන් ටිකකට කලින් එන්න පිටත් වුණා නංගී . ඇයි ? “

” මම කෝල් කලා ෆෝන් එක ආන්සර් කලේ නැහැ. එහෙනම් ටිකකින් එයි නේද ? “

” ඔව් මැණිකේ. එච්චර දුරකුත් නැහැනේ .එයා එයි “

” මම තියන්නම් අක්කේ “

” උත්පලා “

නයෝමි ඇමතුමට සමු දෙන්න සූදානම් වුණේ නැහැ

” ඇයි අක්කේ ? “

” ඊළඟ දවසේ ඔයත් මෙහෙ එන්න “

නයෝමි ඒ වචන ටික කිව්වේ ආදරයෙන්

” මම එන්නම් අක්කේ “

දුරකථන ඇමතුම අවසන් වුණත් නයෝමිගේ හිතට දැනුන අමුත්ත ඒ විදිහටම තිබුණා.

තමන්ගේ මල්ලීගේ විවාහ කටයුතු කරලා දීලා විවාහ වෙන්න තීරණය කරපු නයෝමි ඇගේ විවාහ උත්සවයට ලැහැස්ති වුනේ නිවීසැනසිල්ලේ.

” මල්ලි “

කාර්යාල වේලාවේදී නයෝමි , සමීරට ඇමතුමක් ගත්තා

” wedding cards වල samples වගයක් බලන්න ඒගොල්ලො එන්න කිව්වා.මේ හදිස්සියේ මයන්තට එන්න විදියක් නෑ හලෝ. හවසට මා එක්ක යමුද වැඩක් නැත්තං ?”

” අපෝ මල වදේ.. මම එන්නම් “

නයෝමි බලාගෙන හිටියේ හවස් වෙනකන්. ඇගේ උවමනාවටත් වඩා ඇයට ඕන උනේ සමීර එක්ක කතා කරන්න. වාහනයෙ යන අතරතුරදී සමීර කල්පනා කරන බව නයෝමි පැහැදිලිවම දැක්කා

” මල්ලි. තමුසෙට මතකනේ ඉස්සර ඉඳලම ඕන දෙයක් අපි දෙන්න බෙදා ගත්ත හැටි “

” ඔව් ඉතින් “

” තමුසෙයි මායි කසාද බැන්දා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නෑ හරිද “

නයෝමි කිව්වේ වාහනයේ වීදුරුවෙන් පිටත බලන ගමන්. අය කියපු දේට උත්තරයක් නොදීපු සමීර කළේ මද හිනාවක් පාන එක විතරයි. අවශ්‍ය කටයුතු කර ගත්තට පස්සේ නයෝමි සහ සමීර කෙලින්ම ආවේ මහ ගෙදරට

” උත්පලාට මෙහෙට එන්න කියන්න.කෑම කාලා ම ගෙදර යන්න පුළුවන් නේ “

යසෝමා එහෙම කියනකොට සමීරට වඩා ඉක්මන් වුනේ නයෝමි. ඇය රාත්‍රී කෑමට තමන්ගේ නෑනාට ආරාධනා කළේ බොහොම කැමැත්තෙන්

” මම අක්කත් එක්ක කතා කරන්න හිටියේ “

නයෝමි කෑම කාලා අත හෝදන්න කුස්සියට ආව වෙලාවේ ඇගේ පස්සෙන් කුස්සියට ආව උත්පලා කිව්වේ ඇහෙන නැහෙන ගානට

” මට හෙට කෝල් එකක් දෙන්න නංගී “

woman in sad

තමන් කතා කරන්නත් කලින් තමන්ව වටහා ගත්ත නෑනා ගැන උත්පලා ට දැනුනේ ලොකු ආදරයක්.

නයෝමි බලාපොරොත්තු වුන දුරකථන ඇමතුම එන්න ටිකක් දවල් වුණා.කාර්යාල වේලාවෙන් පස්සේ උත්පලා ව මුණ ගැහුණ නයෝමි ඇයත් එක්ක ගොඩක් දේවල් කතාබහ කළා.

සමීර මහ ගෙදරට ගොඩ උනේ දවස් කීපයකට පස්සේ.ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු නයෝමි යසෝමාට කෑම උයන්න ඇරලා ඉස්තෝප්පුවට ආවා

” උත්පලා ගෙදරද මල්ලි ? “

” ඔව් අක්කේ . පාඩම් කරනවද කොහෙද “

සමීර උත්තර දුන්නේ එතරම් උනන්දුවකින් නෙමෙයි

” එයා පාඩම් කරනවා නම් ඔයාගේ අතින් ගෙදර මග ඇරෙන වැඩවලට ඔයා උදව් කරන්න.සමහර වෙලාවට හැමදේම බැලන්ස් කරගන්න එයාටත් අමාරු ඇති නේ ජොබ් එකත් එක්ක “

නයෝමි කතා කලේ මිදුලට වැටිල තියෙන ලයිට් එළිය දිහා බලාගෙන

” එයා හැමදේම අතට පයට කරලා දෙනකම් බලාගෙන ඉන්න එපා මල්ලි. ගෙදර වැඩ ,ජොබ් එකක වැඩ අස්සෙ ඩිග්‍රි එකක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි .ඒ නිසා ඒ හැමදේටම එයාට ශක්තියක් වෙන්න ඕනේ ඔයා “

” හ්ම්ම් “

” එයා පාඩම් කරනවා කියලා ඔයා කරන්න ඕනේ මෙහෙ එන එක නෙමෙයි .ඒ වෙලාවට ඔයා තේ එකක් හරි කෝපි එකක් හරි එයාට ගිහින් දුන්නොත් එයා මොන තරම් සතුටු වෙයිද ? “

නයෝමි කතාව මොහොතකට නතර කළා.විවාහය යනු එකිනෙකා දුක සැප බෙදා ගෙන යා යුතු ගමනක් ලෙස තනි තනිව යා යුතු ගමනක් නෙමෙයි කියලා තමන්ගේ සහෝදරයාට පැහැදිලි කරලා දෙන්න නයෝමිට උවමනා වුණා

” කසාදයක දී අනිත් කෙනාගෙන් වැරැද්දක් හරි අඩුපාඩුවක් හරි වෙනකොට අපි කරන්න ඕනේ ඒක පෙන්නලා දෙන එක මිසක් එයාව අත ඇරලා දාන එක නෙමෙයි “

” උත්පලා අක්කට කතා කරාද ? “

සමීර එහෙම අහනකොට උත්පලා ට වෙච්ච පොරොන්දුව රකින්න නයෝමි පරිස්සම් වුනා

” එයා මට කතා කළේ නැහැ . මම මේ කතා කරන්නේ පවුලක සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන “

” හ්ම්ම්ම් “

” ඔයාලා තාම බැඳලා මාස කීපයයි නේ ගත වෙලා තියෙන්නේ. ඔය දෙන්නට තව ගොඩක් දුර යන්න තියෙනවා.ඒ නිසා දෙන්නට දෙන්නා උදව් කරගෙන ගොඩක් ආදරෙන් ඒ ගමන යන්න මල්ලි “

” පහුගිය දවස් වල පොඩි දේවල් සිද්ධ වුණා තමයි අක්කේ .ඔයා කියන දේ මට තේරෙනවා. ඇත්තටම උත්පලා පව් කියලා මට දැන් හිතෙනවා “

එහෙම කියපු සමීර පුටුවෙන් නැගිටලා කුස්සියට ගියා. යසෝමා උයලා දීපු කෑම වලින් යසෝමාටම කියලා කෑම පාර්සලයක් ඔතා ගත්ත සමීර ආපහු ඉස්තෝප්පුවට ආවා

” මම ගෙදර ගිහිල්ලා උත්පලා එක්කම කන්නං අක්කේ “

එහෙම කියපු සමීර වාහනයට නැගලා යන්න පිටත් වෙනකොට නයෝමිට දැනුනේ සැනසිලිදායක හැඟීමක්

More Stories

Don't Miss


Latest Articles