සැඳෑ සිහිල විඳිමින් මිදුලේ තුරු ලතා අතරෙහි මඳක් සක්මන් කළ චේතිය සූරියබණ්ඩාර, බංකුව මතින් හිඳගත්තේ කල්පනා ලෝකයෙහි සරමිනි. ඔහු මේ පැමිණියේ සිය නිවසෙහි කුළියට සිටිනා අය හමු වී හැකි ඉක්මනින් එය හිස් කොට දෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව ය. කාලය වේගයෙන් ගත වී ගොස් තිබේ. තුරුණු විය මැදි විය හරහා ගමන් කළේ කෙතරම් ඉක්මනින් ද? තවමත් හිත තරුණ බව ඇත්ත ය. නමුත් උස් මහත් වූ පුතුන් ගේ තුරුණු විය දකිත්දී, කාලය අසරු වේගයෙන් අනාගතය කරා ද ගමන් කරනු ඇති බව සහතික ය. චේතිය ට සුසුමක් හෙළිණ.
වැරදි සිදු වූවාට පස්සේ ඒවා නිවැරදි කරනවාට වැඩිය, වැරදි සිදුවෙන්නට ඇති අවස්ථා වලකාලන එක හොඳ බව ඔහු විශ්වාස කරයි. ඇතැම් වැරදි ජීවිත කාලයට ම නිවැරදි කළ නො හැකි වනු ඇති බැවිනි. නිලූකා ව සිය ජීවන සහකාරිය වශයෙන් තෝරාගැනීම ඔහු අතින් සිදු වූ බරපතල වැරදීමක් බව චේතිය වටහාගත්තේ විවාහයෙන් වැඩි කාලයක් ගෙවෙන්නට පෙරයි. ඒ වූ කලී පෙම් සබඳකමක් මත ඇති වූ විවාහයක් නොවේ. එවකට සිය කාර්යාලයේ සේවය කළ කාන්තාවක ගේ ඥාති සොයුරියක වූ නිලූකාව ඔහු ට හමු වූයේ ඒ නිවසේ පැවති පිර්ත් පිංකමකදීයි. පිරිත අතරෙහි දී කිහිප වතාවක් ම නිලූකා ව දුටුවා ඔහු ට මතක තිබේ. විවාහ යෝජනාව පැමිණෙන්නේ ඉනුත් දෙසතියකට පමණ පසුයි. ඒ වෙත්දී චේතිය සිටියේ විවාහ වන වයසේයි. ගෑනු ළමයෙකු ගැන කැමැත්තක් පාසල් අවධියෙහි පටන් හිතේ තිබී, එය කියාගන්නටත් පෙර ඇය පවුල පිටින් විදේශගත වූවා ය. මේ හේතුව මත, සංවේදී හිතක් හිමි ඔහු රිදුම් ලබා සිටියේ ය. ආයේ ගෑනු ළමයෙක් ගැන නො හිතන්නට හිතා සිටි ඔහු නිලූකා ගැන යෝජනාවට එකඟ වූයේ ලොකුවට සිතා නොවේ. කවුරුන් හෝ විවාහ කරගත යුතු වූ බැවිනි. නමුත් වෙනත් කවර කාරණයකටදීත් වැඩිය විවාහයට කෙනෙකු තෝරාගත්දී කලබලයෙන් තොරව තීරණ ගත යුතු බව දැන් ඔහු දනී!
සිය පුතුන් ජීවිතය වරදවාගන්නේ නැත්නම් ඔහු ට ලොකු දෙයකි. එසේ ම ඔවුන් වැරදි නො කරන්නේ නම් පියෙකු වශයෙන් ඔහු ගේ හදවතට සැනසීමකි. ප්‍රේමය නිසා වැරදීමටත් වැඩිය, ආත්මයට පව් පුරවාගැනීම බරපතල බව ඔහු විශ්වාස කරන බැවිනි.
චේතිය බංකුවෙහි නතර වූයේ අරමුණක් ඇතිවයි. යසස්වී ඉද්ද ගහේ මල් නෙලමින් සිටියා ය. මල් වට්ටියත් ගෙන එතැනින් යන ගමන් ඇය ඔහු වෙතට මඳහසක් පෑවා ය.
‘නංගි චුට්ටක් ඔහොම ඉන්නකො’
කියා ඔහු ඈ එහි නවතාගත්තේ හිතාමතාමයි. යසස්වි ගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් විය. හිතේ දෙගිඩියාවක් විය.
‘මෙතනිං ඉඳගන්නකො’
ඇය බංකුව කොනකින් වාඩිවූයේ අඩමානයට මෙනි.
‘ඉස්සල්ලම මං ඔයාගෙං සමාව ඉල්ලනව’
‘අනේ අයිය… අයිය මට මොන වරදක් කළාටද…’
‘ඇගේ ස්වරයේ වූ දෙගිඩියාව අවංක ය.
‘දිල්නුක කරපු වරදට. කිසිම හේතු දැක්වීමක් නෑ. ඒක වරදක්. මං මිනිහට කියන්න පුළුවන් විදිහට දොස් කියල බැනල අවවාද කරල කියෙන්නෙ. ආයෙ එහෙම දෙයක් වෙන්න තියන්නෑ කියල මිනිහ මට පොරොන්දු වෙලත් ඉන්නෙ. හැබැයි ඒ මොන දෙයක්වත් වෙච්ච වරදට නිදහසට කාරණා නෙවෙයි කියල මං දන්නව. ඒ සිද්ධියෙදි ඔයා රිඇක්ට් කරපු විදිහ ගැන ඇත්තටම මං රෙස්පෙක්ට් කරනව. ඒ වගේම ඔයා අපේ එකාට අත දිගඇරල කම්මුල් පාරක් ගැහුවත් මං ඒක සතුටෙන් පිළිගන්නව. ගෙදරින් හැදෙන එන හොඳයි. එළියෙදි ගුටි කාල අත පය කඩාගෙන එන්න කලින්…’
‘අනේ… අයිය හිතන විදිහ කොච්චර ශෝක්ද… මං නිලූකා අක්කටවත් මේ ගැන කියන්න ගියෙ නැත්තෙ… එයා ටිකක් නැරෝ මයින්ඩඩ් කියල දන්න නිසා. අයිය වගේ තාත්ත කෙනෙක් ලැබෙන එක පුතෙක්ට ඇත්තටම වාසනාවක්. හස්බන් කෙනෙක් විදිහට වුණත් අයිය කොච්චර පීස්ෆුල් ද කියල මට නිතරම හිතෙනව. පෙනෙනා හුගිය දවස්වල වෙච්ච දේත් එක්ක අස්විදයිය කියපු දේවලුත් තියනව. මිනිස්සු හිතන්න පුරුදුවෙලා තියෙන්නෙ එක රාමුවක ඉඳං. මැරිකරපු කෙනෙක්ගෙ හිතත් බැඳල තියන්න බෑ කියල පිළිගන්න ගොඩක් අය ලෑස්ති නෑ. එහෙම බැඳිල තියෙන්නනං අනිත් පැත්තෙත් ලොකු වගකීමක් තියනව කියල හැඟීමක් නෑ. මැරි කරපු කෙනෙක්ගෙ හිත වෙන තැනක නතර වුණොත් ගල් ගහල මරල දාන්න ලෑස්ති පිට ඉන්න හුඟක් අය… ඇයි එහෙම වුණේ කියල දන්නෑ. හිතන්නෑ. හිතන්න තරං අවබෝධයකුත් නෑ. අයිය කියන්නෙ මගෙ ජීවිතේදි අහම්බෙන් හරි මුණගැහිච්ච මාව හුඟක් සංවේදී කරපු කෙනෙක්’
යසස්වි ඒ චේතිය සමගින් ඒ තරම් සමීප ව දොඩමළු වූ ප්‍රථම වතාවයි. මෙතුවක් ඔහු මුහුණට හමු වූ විට මඳහසක් පෑවා මිස ඇය සමගින් වචන කිහිපයකට වඩා කතාකොට නැත. නමුත් ඔහු තුළ සංවේදී සේ ම දොඩමුළු චරිතයක් ජීවත් වන බව දැන් ඇයට ප්‍රත්‍යක්ෂ ය.
චේතිය සුසුමකින් නිදහස් වූයේ ය.
‘ජීවිතේ කියන්නෙ අපි බලාපොරොත්තු වෙන අපි ආස දේටම නෙවෙයි නංගි. අපිට ලැබෙන දේට. වෙන දෙයක් මං දන්නෑ’
යසස්වි සමගින් චේතිය මිදුලේ බංකුවෙහි හිඳ කතා කරමින් සිටින බවට කේළම නිලූකා ගේ කනේ තැබුවේ නිලූපා ය. ඉන් පසු නිලූකා ඇස ගසාගෙන ම සිටියා ය.
‘මේ ගෙදර මිනිස්සු ඔක්කොම මේ සක්කරවට්ටමට අහුවෙලා’
අක්කා ව අවුස්සා තබා යසස්වි ට අවමන් කරන්නට නිලූපා තුළ සිතිවිල්ලක් පහළ විය. නමුත් නිලූකා සිටියේ එවැන්නකට දිරියක් උපයාගත නො හැකි තත්වයකයි. තුසිතය තුළ යසස්වි උපයාගෙන හෝ ඉබේ ම ඇයට ලැබී තිබෙන ස්ථානය සමග සසඳන විට, වසර විසි ගණනක් තිස්සේ එහි ලේලිය වූ ඇය ඔවුන්ගේ හදවත් වල කිසිදු ඉඩක් වෙන් කරගෙන නොමැති බැව් ඇයට දැනෙමින් තිබේ. ඇය සතු එක ම හයිය නීතියේ අයිතිය පමණකි. නමුත් නීති බැඳීම් ඕනෑ ම මොහොතක නීතියෙන් ම බිඳ දැමිය හැකි ය. එනමුත් හදවතේ බැඳීම් එහෙම නොවේ!
‘ලෙක්චර්ස් ඉවරවෙලා ගෙදර එන්න හදිස්සිද…’
කියා, උදේ තේ එකත් එක්ක කාමරයට ගිය විට අස්විද යසස්වි විමසුවේ ය.
‘ඇයි…’
ඇගේ දෑස්හි ආදරයේ කාන්තිය දිස්න දුනි.
‘චුට්ටක් එළියට යං’
ඒ ඇරයුම කරන්නට ඒ වචන හරියට ම ගැලපෙනවා ද කියා අස්විද දන්නේ නැත. පිළිතුරක් දෙන්නට ඇය පමා වූවා ය. ප්‍රේමාරාධනා ලද ගෑනු ළමයෙකු සිය ප්‍රේමවන්තයා සමග හුදෙකලා වීමේ ආශාවක ද ඒ හා සමාන හෝ ඊට වැඩි බියක ද සම්මිශ්‍රණයක් තුළ පවතින බව ඇය අත්විඳින්නේ දැන් ය.
‘ආන්ටි බලයිනෙ ලේට් වුණොත් ඇයි කියල’
ආශාව හා බිය යන දෙක ම සම අනුපාත වලින් ඒ පිළිතුරෙහි දිය වී තිබිණ.
‘ඔන්න මං කැම්පස් එක ළඟට එනව’
කියා තුසිතයෙන් පිටත් වීමට පෙර නැවත ද ඉඩක් ලද ගමන් අස්විද කොඳුළේ ය. යසස්වි දෙගිඩියාවක් අත්වින්දා ය. තුසිතයෙහි නතර වුණ දා පටන් ඇය නිශ්චිත වෙලාවකට දේශන නිම වී පැමිණියා ය. පිටස්තර ගෑනු ළමයෙකු සිය නිවසෙහි රඳවාගන්නා ඕනෑ ම කාන්තාවක ගේ හිස මත පැටවෙන වගකීමෙන් මිදෙන්නට වජිරා ට ද හැකි වූයේ නැත. යසස්වි බස් ප්‍රමාදයක් නිසා හෝ යළි පැමිණෙන්නට විනාඩි කිහිපයක් පමා වන විට වජිරා ගේට්ටුව ළඟින් පාරට එබී පෙරමග බැලුවා ය. ඇය බලා හිඳින බව දන්නා නිසා ම යසස්වි ද මිතුරු පිරිවර සමගින් මග රස්තියාදුවකට නො වැටුණා ය.
මේ වෙලාවේ යසස්වි පෙළූයේ විශ්වාසය බිඳීම පිළිබඳ වරදකාර හැඟීමකි. ඇය ගැන සියල් තතු වජිරා දනී. එවන් තත්වයක් තුළ ඇගේ චූටි පුතු සමගින් පෙම් පලහිලව්වක පැටළීම ගැන ඇය යසස්වි ගැන කෙසේ සිතනු ඇත්ද? අස්විද තවත් කල් නො හැර විවාහ වනු දැකීම ඇගේ සිහිනය වී ද, චූටි ලේලි ලෙස යසස්වි පිළිගන්නට ඇය සූදානම් ද? යසස්වි අස්විද සමගින් රිය පුහුණුවීම් වලට ද ගිය බැව් සැබවි. නමුත් ඒ වජිරා ගේ විශ්වාසය මතයි. එසේ තිබියදී අස්විද සමගින් රහස් ගමනක් යන්නට හිත හදාගන්නේ කෙසේ ද? ඊට පස්සේ වජිරා ට මුහුණ දෙන්නේ කෙසේ ද?
යසස්වි මේ ආකාර සිතිවිලි සමූහයක පැටළී සිටිය ද දේශන නිමා වන වෙලාවේ අස්විද ගේ රිය විශ්ව විද්‍යාලය ඉදිරියෙහි නැවතී තිබිණ.
‘අනේ මට හරි බයයි අයිය. ආන්ටි දැනගත්තොත් මං ගැන කොහොම හිතයිද අප්ප. ඊටත් වැඩිය එයා ගේට් එක ළඟ කකුල් රිදෙනකල් හිටගෙන ඉඳී කියල හිතෙනකොට…’
ඇය රියට ගොඩ වූයේ ම ඒ කනුකුනුවත් සමගයි.
‘කෝල් එකක් දීල මොකක්හරි බොරුවක් කියන්න එහෙනං. යාළුවෙක්ගෙ වැඩකට පරක්කු වෙනවහරි මොකක්හරි…’
හිත එකඟ කරගත නො හැකි වී ද ඇය ඒ බොරුව කීවා ය. නමුත් බොරු කීම ගැන වරදකාර හැඟීමක් හිතේ ශේෂ ව තිබිණ.
ඔවුන් යන විටත් රයන් අවන්හලෙහි බලා සිටියේ ය. ‘දෙයක් කියන්න තියනව, වරෙං’ කියා කීවාට කාරණය කුමක් දැයි අස්විද කීවේ නැත. ඔහු ගේ ස්වභාවය දන්නා නිසා මිතුරා අනුමානකිරීම් වලට උත්සාහ නොකොට සිදු වෙන්නට යන දේ බලාපොරොත්තුවෙන් සිටියේ ය. අස්විද කතා කළ නිසා ප්‍රශ්නකිරීම් වලින් තොර ව ආවාට, මේ යන්නේ කොහේදැයි යසස්වි දැන සිටියේත් නැත. ඒ අවන්හලට ගොඩ වන විටත් එතැන රයන් වෙතැයි ඕ නො දැන සිටියා ය.
එය සුඛෝපභෝගී අවන්හලකි. යසස්වි අස්විද ගේ සුදු කමිස අතින් වැසි වැලමිට සන්ධියෙහි එල්ලී සිටියා ය. මේ ඇය මෙවන් ගමනක් යන ජීවිතයේ ප්‍රථම අවස්ථාවයි. ප්‍රේමයෙන් හිත උමතු කළ පිරිමියෙකු සමගින්, සදෙව් ලොවක් වන් අවන්හලක හෝරාවක් ගෙවනවා කියන්නේ ජීවිතාන්තය තෙක් ගැහැනු හදක නො මියෙන මතකයකි. අස්විද රයන් සිටි මේසය ඉදිරියට ගොස් නතර වූ විට ය ඒ අදහාගත නො හැකි මොහොත උදා වූයේ. රයන් ට අසුනෙන් නැගිටුණේ ඉබේටමයි. සමස්ත ඔහු පුදුමයෙන් ඇලලී ගොස් තිබිණ. නමුත් අස්විද ගේ මුහුණ මත ලස්සන සිනහවක් සරැලි නැගුවේ ය. මිතුරා ගේ මුහුණ මගහැර රයන් යසස්වි වෙතට නෙතු හැරවූයේ ය. ඇය සිනහ වෙම්දෝ නො වෙම්දෝ වැනි දෙගිඩියාවකින් යුතුව, සිනහව සමග ඔට්ටු වෙමින් ම අස්විද ගේ උරහිසට මුවහ වූවා ය. නමුත් ඇගේ දෑස් හුරතලයෙන් දඟ පාමින් තිබිණ.
‘ඔය අල්ලල තියෙන්නෙ හොඳ කස්තිරමක්’
මුලින් ම රයන් ට කියවුණේ එසේ යි. ඊළඟ නිමේශයේ ඔහු මිතුරා ද ඔහු ගේ ප්‍රථම පෙම්වතිය ද දෑතින් ලං කොට වැළඳගත්තේ ය.
‘අඩෝ මාරම සතුටුයි බං. මෙහෙම දෙයක් දකිනකොට දෙයියම්ප බං මගෙ ඇස් අදහගන්න බැරි වුණා’
‘උඹටනෙ ලොකුවටම ඕන වුණේ මේ කපුකම කරන්න. ඔන්න ඉතිං බාරෙ ඔප්පු කරන්න වගේ… යසස්විව ඉස්සල්ලම එක්කං ආවෙ උඹව හම්බවෙන්න’
‘යසස්වි ඔයානං… මූට මෙහෙම නාස් ලනුවක් දායි කියල මං හිතුවෙ නෑ හරිද…’
ඇය කම්මුල් රතු කරගෙන තව දුරටත් අස්විද පිටුපස මුවහ වූවා ය. ඔහු ඇයට අසුන්ගත වෙන්නට පුටුවක් පසුපසට ඇද්දේ මහත්මා විලාශයෙනි. එදෙස බලා සිටි රයන් මිතුරා ගේ උරහිසකට තට්ටු කළේ අප්‍රමාණ සතුටෙන් ය.
‘ඉතිං ඉතිං… මොනාද කන්නෙ… කන්නෙ නෙවෙයි බං අදනං බොන්නෝනෙ වැටෙන්නම. තෑන්ක් යූ යසස්වි ආවට. ඔයා එනකල් තමයි මූ වේලි වේලි ඉඳල තියෙන්නෙ. අඩෝ මේක කොහොමද සෙලිබ්‍රේට් කරන්නෙ කියල මට හිතාගන්න බෑ’
‘වෙන වෙලාවක සෙලිබ්‍රේට් කරමු මචං. මෙයා මේ වෙව්ලනව අපේ අම්මට ලේට් වෙනව කියල බොරුවක් කියන්න වුණාට’
‘මොන පිස්සුද… නැන්දම්ම ඔයාට මල්මාලා දාල පිළිගනියි’
ඒ පුංචි මොහොත ජීවිතයේ අසිරිමත් හා අමරණීය ම මොහොතක් සේ යසස්වි ගේ සේ ම අස්විද ගේ ද මතක ඉතිහාසයෙහි නිදන්ගත ය. ඇය වූ කලී ඔහු ට හිමි වස්තුවකැයි අස්විද ගේ හිතට වඩාත් තදින් කාවැදුණු මොහොත එයයි. රතු වූ වතින් බිම බලාගෙන ඉන්නා, තුසිතයේ දී සිලිබිල්ලක සේ දොඩමළු වනු දුටු ඇගේ අතකින් ඔහු අල්වාගත්තේ ය. ජීවිතයේ ඉදිරි මග දිගට ම ඇගේ අත අල්වාගෙන ඔහු ඉන්නා බව, ගැහැනු පපුවෙහි ගලේ කෙටුවා සේ ලියැවුණු මොහොත එයයි.