පාරින්ද නිවසට පැමිණියේ ඉසුරි තේ සාදමින් සිටියදීය. නෑකමට ඔහු ඉසුරිගේ අවැස්ස මස්සිනාය. තාත්තාගේ එකම සොහොයුරියගේ පුතණුවන්ය. දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් ඇති වූයේ කෙසේ කවදාදැයි මතකයේ නොවූවත් ජීවිතයේ සමහර ප්‍රශ්න වලදී පාරින්ද තමා හා සිටියා ඉසුරිට මතකය. කෙදිනකවත් ආදරේදැයි අසා හෝ ආදරේයැයි කියා හෝ තිබුණේ නැත. එහෙත් පාරින්ද ඈ ගැන අයිතිවාසිකම් දරා සිටියේය. විටක ශක්තියක් වන තරමටම තවත් විටෙක වදයක් වන මේප සබඳතාවයට දිය යුතු නමක් පිළිබඳව ඉසුරි සිතූ වාර ගණන අනන්තය. විවාහයක් පිළිබඳව සිතා නොතිබුණාට මේ සබඳතාවය කෙළවර විය යුත්තේ විවාහයකින් බව දෙදෙනා අවට සිටින සියල්ලෝම විශ්වාස කළේය. විටෙක නැන්දාගේ කැමැත්තත් තවත් විටෙක දැඩි අකමැත්තක් ලැබෙන මේ සබඳතාවය කවදා කෙසේ කොතැනකදී කෙළවර විය යුතුදැයි ඉසුරි සිතා තිබුණේ නැත. එහෙත් යමක් කරන්නට ප්‍රථමව ඈ පාරින්දගෙන් අසන්නට පුරුදුව උන්නාය. එසේම ඔහු පවසන යමක් විශ්වාස කරන්නට සේම පිළිගන්නට ද පුරුදුව උන්නාය.
මුලින්ම පීරිසි කෝප්පයක් සෝදා එයට තේ වත්කළ යුවතිය ඉන් පසුව කිරි අම්මාගේ කෝප්පයටත් නැගණියගේ කෝප්පයටත් තේ වත් කළාය.
“කීයටද ආවේ.”
පාරින්ද ඇසුවේ යුවතිය දෙස බලාගෙනය.
“පහයි කාල වෙද්දී ගෙදර ආවා.”
“පඩි නඩි ගැන කතා කරගත්තද.”
“මං ඒ ගැන නම් මුකුත්ම ඇහුවේ නෑ. කම්පැනි එකක්නේ. එතන රූල්ස් මොනවා හරි ඇති. හෙට අනිද්දා ඒ ගැන අපිව දැනුවත් කරයි.”
“උන් ලෝක හොරු. හරියකට පඩි ගෙවන්නේ නෑ. ඔයාට තිබුන මුලින්ම කතා කරල මට මේ ගාන අවශ්‍යයි කියලා ඉල්ලන්න.”
ඔහු එසේ පැවසූයේ තේ කෝප්පයෙන් අඩක්ම පානය කලාට පසුවය. ඉසුරි ගේට්ටුව දෙස බලාගෙනම සිනහසුනේ අවඥාවෙන්ය. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි වේලේත් ඔහු එසේ පැවසුවා ඇයට මතකය.
“එහෙම කරන්න තිබුණා එඩියුකේෂන් කොලිෆිකේෂන් වගේම වර්කින් එක්ස්පීරියන්ස් තිබුනනම්. කිසිම දෙයක් නැතුව මං එතනට ගිහිල්ලා කොහොමද ලොකු අයියේ සැලරි එකක් ගැන කතා කරන්නේ?”
“ඔහොම මෝඩ ළමයි එයාලට නටවන්න ලේසියි.”
“ලොකු අයියේ ඔයාට ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අපි පොඩ්ඩක් පාරට යමුද. අදත් තවම මල්ලි ගෙදර ආවේ නෑ. මගේ හිතට බයයි.”
ඉසුරි පැවසූයේ මිදුලේ නවතා තිබූ ඔහුගේ යතුරුපැදිය දෙස බලමින්ය. පාරින්ද රජයේ පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු වූවේය. පස්වරු තුන පමණ වන විට නිවසට පැමිණෙන ඔහු ඉන් පසුව පැය දෙකක් පමණ නිදා ගනී. හවස් වරුවේ ඉසුරිගේ නිවසට පැමිණෙන්නේ කොලු නඩය සමග වොලි බෝල් ගසන්නට මධ්‍ය මහා විද්‍යාලයේ පිට්ටනියට යන ගමන්ය.
“ඔයාටනම් පිස්සු. ඉසුරු කියන්නෙ පස්සෙන් ගිහිල්ලා ඇඟිලි ගගහා හොයන්න තරම් පොඩි බබෙක් නෙමෙයිනේ. වෙනදත් පැක්ට්‍රිස් ගිහිල්ලා ඌ ගෙදර ආවනෙ. අනිත් එක මං ඔයාට හැමදාම කියනවා මල්ලියි නංගියි ගැන බලාගන්න ඕනේ ඔයා නෙමෙයි නැන්දා. ඔව් ඉතින් එයා ඉබාගාතේ දුවද්දී ළමයි ගැන බලාගන්න වෙලාවක් නෑ තමයි.”
ලොකු නැන්දා මාමා හෝ පාරින්ද කෙදිනකවත් අම්මාට කැමති නොවූ බව ඉසුරිට සිහි වූයේ එවේලෙහිය. අම්මාව අතහැර දමා තාත්තා වෙනත් කාන්තාවක සමඟ විවාහ වීම පවා ඔවුන් දුටුවේ අම්මාගේ වරදක් ලෙසය. තාත්තා මෙම නිවස අම්මාගේ නමට ලිවීම පවා ඔවුනට නුරුස්නා කාර්‍යයක් විය. ලොකු නැන්දා සේම වරින් වර පාරින්දත් පවසන්නේ එම නිවස තමාට හිමි විය යුතු බවකි. එහෙත් ඉඩ කඩන් පිළිබඳව හෝ මිල මුදල් පිළිබඳව කිසිදු තෘෂ්ණාවක් ඉසුරිට වූයේ නැත. ඇයට අවැසි වූයේ සැනසීමෙන් ජීවිතය ගෙවන්නටය. මල්ලිත් නංගිත් කිසිදා නොවිඳි කවියක් මෙන් සුන්දරව පද ගැලපූ ජීවිතයක් තමාටත්, අම්මාටත්, තාත්තාටත් වූ බව ඉසුරිට මතකය. සියල්ල පටන් ගත්තේ තාත්තාගේ අනියම් සබඳතාවය අම්මාගේ අතට හසු වූ දිනයේය. ඉන් පසු මෙම නිවසෙහි සිටියේ හුළඟක් හැමුවත් කිපෙන ගැහැණියකි. ඒ තරමටම නිහඬ වූ පිරිමියෙකි. වසර තුනක් වයසැති මල්ලීත් මාස කිහිපයක් වූ නංගීත් හඬමින් බලා උන්නා විනා ඔවුන් අතර හුවමාරු වූ වදන්වල තේරුම දැන සිටියේ නැත. පහ වසරෙහි උන් ඉසුරි අවසන ඔවුන් රණ්ඩුවද්දී පොත් මේසය යටට වී දෙසවන් වසා ගත්තේ දෙදෙනාගේම මුවින් වරින්වර පිටවන පරුෂ වචන සේම එකිනෙකාට කරගන්නා චෝදනා අසා සිටිනු බැරිම වූ තැනය.
“පිස්සු…ඔයා අක්ක මිසක් අම්මා නෙමෙයි. අන්න ඒක මතක තියා ගන්න.”
කෝප්පය පතුලෙහි ඉතිරි වී තිබූ තේ වතුර ස්වල්පය මිදුලට විසි කළ පාරින්ද කෝප්පය කෙටි බැම්ම මතින් තැබුවේ හඬ නැගෙන සේ ය. ඔහු කෝප ගත්තේ කුමකටදැයි ඉසුරිට නොතේරේ. එහෙත් වදනක්වත් නොකියා ලොකු අයියාගේ යතුරුපැදිය ගේට්ටුවෙන් පිටව යනතුරු ඈ බලා සිටියාය. ඊයේ පෙරේදා සොහොයුරාගේ කාමරය අස් කරද්දී ඇඳ යටින් හමුවූ දුම්වැටි කොටස ගැන ඈ කිසිවෙකු හා පැවසූයේ නැත. සමහර දේට ඉක්මන් නොවිය යුතු බව ඈ දැන සිටියේ අත්දැකීමෙන්මය..
“අම්මත් එන්නෙ නැත්තං රෑට පාන් කමු නේද ලොක්කි…”
කිරි අම්මා ඇසුවේ මල් පූජා කර යළි පැමිණෙද්දීය. එවේලෙහිත් ඈ උන්නේ පාරින්ද පිටව ගිය මඟ දෙස බලාගෙනමය. සුසුමක් හෙලූ යුවතිය නැගී සිටියේ හිස වනමින්ය. අඩ හෝරාවකට පමණ පෙර නාන කාමරයට ගිය නැගණිය තවමත් ඒ තුළය. තවත් අඩ හෝරාවකටවත් ඈ නාන කාමරයෙන් පිටතට නොඑන බව විශ්වාසය. කොහොමටත් ඈ අන් අය ගැන සිතනා අයෙකු නොවේ. එසේ වී නම් උදෑසන වැලට දමා ගිය රෙදි වලින් ඇගේ කොටස පමණක් ගෙන තමාගේත් මල්ලිගේත් අම්මාගේත් කිරි අම්මාගේත් රෙදි, වැලෙහි ඉතුරු වන්නේ නැත.
****************
රාත්‍රී ආහාර වේල ජයවර්ධන පවුලට විශේෂ වූ එකකි. ඒ නිවසේ සියල්ලෝම එකට එකතු වන්නේ රාත්‍රියේ නිසාය. තවමත් කෑම මේසයේ මුල් පුටුව හිමිවන්නේ සීයා තාත්තාටය. කෝසල ජයවර්ධන කෑම මේසයට පැමිණියේම ජංගම දුරකථනය කන තබාගෙනය. නයනා පෙති කැපූ පාන් ගෙඩිය මේසය මතින් තැබුවේ අන්තිමටමය. මින් විනාඩි කිහිපයකට පෙර නිවසට පැමිණි බිනර කෑම මේසයෙහි අසුන් ගත්තේ බඩගින්නක් වූ නිසා නොවේ. එය පුරුද්දක් වූ නිසාය. සොයුරිය හංසිකා පැමිණියේ තවත් විනාඩි කිහිපයකින්ය. කිසිවෙකු ඒ වනතුරු ආහාර බෙදා ගත්තේ නැත. රතු හාලේ බත්, හාල් පිටි ඉඳිආප්ප, අල කිරි හොදි, මාළු ඇඹුල් තියල්, පොල් සම්බෝල සේම බිත්තර සලාදයකුත් මේසය මත විය. මඳක් එහාට වන්නට බටර්, ජෑම් සමඟ පාන් පෙති කිහිපයක් තබා තිබිණ. තුන් වේලටම බත් කා පුරුදු සීයා තාත්තාට රාත්‍රියටවත් සැහැල්ලු ආහාරයක් ගත හැකි කමක් නොවේ. එවන් දිනක ඔහු මැසිවිලි නගන්නේ එළිවන තුරාම නින්ද නොගියේයැයි පවසමින්ය.
“කොහොමද දුව අලුත් පොතේ වැඩ කටයුතු..”
“දැනටම ප්‍රී ඕඩර් දාහ පන්නල තාත්තා. ඒ රයිටර් මේ දවස්වල සෝෂල් මීඩයාවල මාර ප්‍රසිද්ධයි. එහෙම ලොකු දෙයක් නොකලට මිනිහට ඉන්නව ලොකු ෆෑන් බේස් එකක්. වෙලාවකට හිතෙනවා ඔහේ හිතට එන දේවල් ලියල දාලාද කියලා. අනේ මන්දා ඒ උනාට මිනිස්සු කැමතියි එයාව කියවන්න.”
හංසිකා පැවසූයේ ඊයේ පෙරේදා පෙර ඇණවුම් වලට විවෘත කළ පොත ගැනය. එම ලේඛකයා ඇය දුටුවේ පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සැරිසරමින් සිටියදීය. දහස් ගණනකින් ලයික් වූ සිය ගණනකින් කමෙන්ට්ස් වූ ඔහුගේ ලිපි පෙළ ඇය කියවන්නට පටන් ගත්තේ සිතෙහි වූ කුතුහලයටය. එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් උපහාසාත්මක රසයෙන් ලියා තිබුණා විනා එහි ගත යුක්තක් වූයේ නැත. දෙවන තුන්වන දිනයේත් තමා ඔහුගේ මුහුණු පොත පිටුව පෙරළා ඒ හාස්‍යජනක ලිපි කියවූ බව හංසිකාට මතකය. තමාත් ඔහුගේ ඒ ලියවිල්ලට ඇබ්බැහි වී ඇතැයි ඇයට සිතුණේ එවේලෙහිය. අවසන ඕ එම ලේඛකයාට දුරකථන ඇමතුමක් දී කියා සිටියේ තම සමාගම විසින් ඔහුගේ ලිපි ඇතුළත් පොතක් මුද්‍රණ ද්‍රවාරයෙන් නිකුත් කරන්නට කැමති බවය. සිතූ සේම පෙර ඇණවුම් නිකුත් වූ හැටියේම වැල නොකැඩී පාඨකයන් ඔහුගේ මුල්ම පොත ඇණවුම් කරන්නට විය.
“කාලෙන් කාලෙට නිර්මාණ කරන්න දක්ෂ මිනිස්සුන්ට අනිත් මිනිස්සු අතරට යන්න එක එක විදිහේ ප්ලැට්ෆෝර්ම් නිර්මාණය වෙනවා. අපේ කාලේ පත්තර. දැන් සමාජ මාධ්‍ය…”
එසේ පැවසූයේ සීයා තාත්තාය. පාන් පෙත්තක බටර් ස්වල්පයක් තවරා ගත්තා විනා බිනරට මේ කතා වන කිසිවක් ගැන හැඟීමක් වූයේ නැත.
“ඒ උනාට සීයා තාත්තා බොහෝම වෙහෙස මහන්සි වෙලා රිසර්ච් කරලා තමන්ගේ කාලය කැප කරලා වටිනා කරුණු ගොනුකරගෙන ලියන සමහර පොත් ඇත්තටම පොත් රාක්කවල දූවිලි වැදි වැදී පරණ වෙනවා. ඒවට නිසි තැනවත් හිමි තැන වත් ලැබෙන්නෙ නෑ. මට හිතාගන්න බැහැ ඇයි එහෙම වෙන්නේ කියලා.”
“ඒකට තමන්ගේ වාසනා ගුණයත් බලපානවා කියලා මං විශ්වාස කරනවා දුව. සමහර වෙලාවට මගේ කාලෙදිත් මම ඒ වගේ ලස්සනට ලියන මිනිස්සුන්ගේ නම හදන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන් උනේ නැහැ. අනිත් එක මිනිස්සු තාක්ෂණය කියන දේ ගැන හරි අවබෝධයක් අරගෙන ඒවත් එක්ක ගැටෙන්න ඕනේ. එක තැන පල්වෙන මිනිහෙක්ට කවදාවත් දියුණුවක් නෑ.”
යලිත් ඔහු පැවසූයේ මාලු ඇඹුල් තියල් කෑල්ලක් බෙදා ගන්නා ගමන්ය. සීය තාත්තා මුලින් පදික වේදිකාවේ පොත් විකිනූ මිනිසෙකු බව බිනර අසා තිබේ. ලංකාව පුරා ව්‍යාප්ත වූ පොත් හල් ජාලය ඔහු පසු කලෙක ආරම්භ කළ එකකි. නිරතුරුවම පුවත්පත්වල පළ වෙන ලිපිවලට රූපවාහිනියේ සාකච්ඡා වලට ඔහු ඒ බව පවසන්නේ උජාරුවෙන්ය.
ආපසු හැරී බලා සතුටු වන්නට අතීතයක් හිමි මිනිසෙකුගේ වර්තමානය දුකක් නොවන බව ඔහු පවසා සිටින්නේ මිනිසුන්ගේ ආකල්ප වර්ධනයට රුකුලක් ලබා දෙමින්ය. එය සත්‍යක් මිස අසත්‍යක්ද නොවේ.
“මෙන්න මේකට හෙට උදේ යද්දි ලන්ච් එක ලෑස්ති කරලා දෙන්න නයනා. මං දැක්කද කෙල්ලෙක්ගෙ බත් එකකට අතක් ඔබාගෙන ඉන්නවා.”
කෝසල පැවසූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතකය. බිනරට ඇති වූයේ පොළව පලාගෙන යාමට තරම් ලැජ්ජාවකි. තාත්තා වරින් වර සීසීටීවී පරීක්ෂා කරමින් තමා ගැන අවධානයෙන් සිටින්නට ඇතැයි ඔහුට සිතුනේ එවේලෙහිය. ලොකු අක්කාට වඩා සාමකාමී පොඩි අක්කා බිනර දෙස බලා “කුමාරයා අහසින් පොළොවට බැහැලද?” යනුවෙන් ඇසුවේ සිනහසීගෙනය.
එහෙත් නයනා සිටියේ බියපත්වය. මේ ඒ අතීතයය. අලුතින් කාර්යාලයට පැමිණි සේවකයාට තමා නිවසින් රැගෙන ආ බත් මුල දුන්නේ අනුකම්පා සහගත හැඟීම නිසාය. ඉන්පසු ඇරඹි ප්‍රේමය මේ අයුරින් ජය ගත්තේ ජීවිතයේ ගත කළ අපහසුම කාල සීමාවකට පසුවය. එහෙත් වර්තමානය ඊට වඩා හාත් පසින්ම වෙනස් වූ එකකි.
(යළිත් හමු වෙමු ආදරයෙන්)