‘ඇත්තටම ආදරේ නම් නොකිව්වත් තේරෙන්න ඕනේ’ ” ඇස් දිහා බැලුවම හිත කියන දේ තේරෙන්න ඕන” කියලා මහ ලොකුවට ඔය ෆිල්ම් වල එහෙම කිව්වට කාටද අනේ ඇත්ත ජිවිතේදි මේ ඇස් දිහා බලාගෙන එහෙම දේවල් communicate කරන්න පුළුවන්.
අනික හැමතිස්සෙම?
“අතේ රෙදි හෝදන්න බෑ අනේ වොශින් මැශින් එකක් ගමු” කියන එක මනුස්සයට වචනෙන් කියන්නෙ නැතුව ඇස් දෙක දිහා බලාගෙන ඉඳියා කියලා ඒ මනුස්සයට ඔයාගෙ ඇස් අස්සෙන් වොශින් මැශින් පේන්නෙ නෑනෙ. ඉන්පස්සෙ ඉතින් “මං නොකිව්වට එයාට තේරෙන්නෝනනෙ වොෂින් මැශින් එකක් අරගෙන දෙන්න” කියලා අර මිනිහව කන්න හදනවා.
අපේ සම්බන්ධතා කැඩෙන්නේ ඇයි දන්නවද?
මේ නිශ්ශබ්දතාව නිසා. “එයා තේරුම්ගන්නෝනනෙ” කියලා හිතන නිසා.
එක්කෙනෙක් හිතනවා “මම මෙච්චර දුකින් ඉන්නවා, ඇයි එයාට නොතේරෙන්නේ?” කියලා. අනිත් කෙනා හිතනවා “කරුණාකරලා කියන්නෝන දෙයක් කටෙන් කියන්නකෝ! මම කොහොමද ඔයාගේ ඔළුව ඇතුළේ තියෙන දේවල් දන්නේ?” කියලා.
අන්න එතැනදී තමයි කලකිරීම පටන් ගන්නේ. අපි හැමෝම ෆිල්ම්වල තියෙනවා වගේ මැජික් ආදරයක් බලාපොරොත්තු වෙනවා, ඒත් ඇත්ත ජීවිතේ එහෙම වෙන්නේ නැහැ. ඇත්ත ආදරේ කියන්නේ හිත කියවන සෙල්ලමක් නෙවෙයි, දෙන්නට දෙන්නා හරියට communicate කරන එකයි වෙන්නෝන.
ඇස්වලට ඔයාගේ හැඟීම් පෙන්නන්න පුළුවන්. ඒත් ඇස්වලට තර්කය පැහැදිලි කරන්න බැහැ.
ඔයාගෙ ඇස්වලින් ඔයාගෙ පාට්නර්ට පේන්න පුළුවන් ඔය ඉන්නෙ අවුලෙන් කියන එක. ඒත් ඇයි ඔයා දුකෙන් ඉන්නේ? ඔයාට ඔෆිස් එකේ බොස් කෑ ගැහුවද? නැත්නම් සල්ලි ප්රශ්නයක්ද? ඒක දැනගන්න නම්, ඔයා කටින්ම කියන්න ඕනේ මොකද්ද හේතුව කියලා. මොකද එහෙම කිව්වම තමයි එයාලට ඔයාට සහනයක්, උදව්වක් දෙන්න පුළුවන් වෙන්නේ.
“මම ඔයාට ආදරේ නම්, මගේ හිත කියවන්න ඕනේ” කියලා හිතන එක, අපිට මේ relationship එකක් අස්සෙ කරන කිසිම උදව්වක් නෑ. මොකද සමහර වෙලාවට අපිම දන්නවනෙ තව කෙනෙක්ගෙ ඇස් කියවන එක ඔය චිත්රපටිවල, පොත්වල කියනවා තරම් ලේසි නෑ කියන එක. ඉතින් ඒ Reality එක අපිම experience කරලා තියෙන වෙලාවක අපේ පාට්නර්ගෙන් අපි ඒ දේ බලාපොරොත්තු වෙන එක වැරදි නේද?.
එහෙම වෙලාවක අපි කොහොමද අනිත් කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙන්නේ?
මිනිස්සු හැම වෙලාවෙම කියනවනේ, ඔයා කාටහරි ඇත්තටම ආදරේ නම්, එයා ඒ දේ කතා කරලා කියන්න ඕනේ නැහැ. ඔයා නිකම්ම තේරුම් ගන්න ඕනේ.” කියලා. විශේෂයෙන්ම ගෑනු අය හරියට ඕක පිරිමි අයගෙන් බලාපොරොත්තු වෙනවනෙ.ඒත් මට ඔයාගෙන් අහන්න තියෙන්නේ මේකයි පිරිමි කියන්නේ හිත කියවන්න පුළුවන් අයද? එහෙම නැත්තම් එයාලා එහෙම වෙන්නෝනද? එයාලා කියන්නේ අනාගතය කියවන්න පුළුවන් අයද? ගෑනු කෙනෙක්ගේ හිත ඇතුළේ තියෙන දේ බලන්න එයාලා ළඟ මැජික් බෝලයක් තියෙනවද? නැහැ! එයාලත් මිනිස්සු. ඔයාගෙ හිතේ තියෙන දේ තේරුම්ගන්න නම් ඔයා ඒ දේ එයා එක්ක හරියාකාරව, පැහැදිළිව communicate කරගන්නෝන.
ඇස්වලට හැඟීම් පෙන්නන්න පුළුවන්, ඒක ඇත්ත. ඇස්වලට “මම සතුටින්” හරි “මම දුකින්” හරි කියලා කියන්න පුළුවන්. ඒත් ඇස්වලට “ අද ඔෆිස් එකේදී බොස් මට බැන්න නිසා දුකින් ඉන්නේ” කියලා කියන්න බැහැ. ඇස්වලට “මට හැමදාම වැඩ ඇරිලා ඇවිත් රෑට උයලා එපා වෙලා. අපිට මේ සතියේ එළියෙන් කන්න බැරිද?” කියලා අහන්න බැහැ. ඇස්වලට “මට වොෂින් මැෂිමක් ඕනේ, රෙදි හෝදද්දි මගේ අත් රිදෙනවා” කියලා කියන්න බැහැ. අන්න ඒකයි ඔයාලා දෙන්න වචනවලින්, නිස්කාන්සුවෙ දේවල් communicate කරගත යුත්තේ.
ෆිල්ම්, පොත්, සහ සමාජය අපිට කියලා දීලා තියෙනවා නිශ්ශබ්දතාවය කියන්නේ ආදරණීය දෙයක් කියලා. එහෙම නැත්තම් ආදරේ පරිස්සම් කරගන්න අපි සමහර අවස්තාවල නිශ්ශබ්ධ වෙන්නෝන කියලා.
ඔව් එහෙම අවස්තා එනවා. නැත්තෙ නෑ.
ඒත් සමහර වෙලාවට නිශ්ශබ්දතාව කියන්නේ හරිම භයානක දෙයක්. කතා කරන්න ඕනම වෙලාවෙදි නිශ්ශබ්දව ඉන්න එක සම්බන්ධතා විනාශ කරන්න පවා හේතු වෙන්න පුළුවන්. ළං වෙන්න ඕනම වෙලාවෙ නිශ්ශබ්දව ඉන්න එක දුරස්ත බව ඇති කරන්න පුළුවන්. නිශ්ශබ්දතාව, ආදරේ කියන්නේ හිත කියවන සෙල්ලමක් බවට පත් කරන භයානක දෙයක්. ඒත් ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. එහෙම නේද? ඒක අවංක communication මත build උන bond එකක්.
නිකමට හිතන්න. ගෑනු හැම වෙලාවෙම “මම නොකිව්වත් එයා දැනගන්න ඕනේ” කියලා කියනවා වගේ පිරිමි ඒ වගේ ඉල්ලීම් කළොත් කොහොමද අපි respond කරන්නෙ නේද?
“මට රෑට කන්න බිරියානි ලෑස්ති කරන්න ඕනේ කියලා එයා දැනගන්න ඕනේ. මම එයාට ඒක කියන්න ඕන නෑනෙ. එයා තේරුම්ගන්නෝන. ” කියලා ඔයාගෙ පිරිමියා ඔයාට කිව්වොත්, ඔයා එයාට බණින්නෙ නැද්ද?
“කළින් කියන්න තිබ්බනෙ. මම දැන් මේ උයලා ඉවර වෙලා ඇඟ හෝදගත්තා විතරයි. දැන් ඔහොම කිව්වම මං කොහොමද උයන්නේ? යැයි යැයි යැයි තමයි”
ඇත්තටම ඇයි සමහර ගෑනු තමන්ට ඕන දේ කෙළින්ම කියන්න අකමැති? එතන තියෙන්නෙ ඇත්තටම අර ප්රතික්ෂේප වෙයි කියලා බයක්. එයාලා හිතනවා: “එයා ඇත්තටම මට ආදරේ නම් දැනගනියි. මම මේක කිව්වොත් එයා නොකර ඉඳියි, එතකොට මගේ හිත රිදෙයි.” ඒත් දන්නවද? ඔයා නොකිව්වත්, ඔයා දැනටමත් දුක් විඳිනවා. එයා තේරුම්ගනීවි කියලා හිත හිත.
මේක එක්තරා විදියකට ආදරේ කියලා අපි වැරදියට වටහාගත්ත මානසික බ්ලැක්මේල් එකක්.
ඉතින් ඔන්න මතක තියාගන්න ආදරේ කියන්නේ ඔයාගේ පාට්නර්, එයාම හිතලා, එයාම “අනේ මෙයා මෙන්න මෙහෙම හිතනවා ඇති කියලා” හිතලා ඔයාව බේරගන්නකම් දුක් විඳ විඳ නිශ්ශබ්දව ඉන්න එක නෙවෙයි. ආදරේ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා හදන දෙයක්. ඒ බැඳීම ශක්තිමත් කරගන්න තියෙන හොඳම විදිය තමයි දෙන්නට දෙන්නා අවංකව කතා කරන එක.
ඇස්වලින් කතාකරන එක concept එකක් විදියට ගත්තම ලස්සනයි, ඒක ඇත්ත. ඇස්වලින් ආදරේ දැනෙන්න පුළුවන්. ඒත් වචන තමයි හැඟීම් කියන ගින්දර පත්තු කරන්න උදව් වෙන දර කොටන් ටික වෙන්නේ. ඒ දර දාලා ගින්න පත්තු කරොත් විතරයි හීතල හිමෙන් ගල්වෙච්ච හිතක් දියකරන්න පුළුවන් වෙන්නෙ. වචන නැතුව, ආදරේට ජීවත්වෙන්නෝන හුස්ම හිරවෙනවා.
ඉතින් බය නැතුව කියන්න.
ආදරේ නම් එයා තේරුම්ගනීවි!