අංගාර – 21

0
1540

දිවා ආහාරය වෙනුවෙන් චායා සහ විහඟි දෙදෙනාම අකමැති බව ඇඟවූ නිසා, චරක කෙටි ආහාරඇණවුම් කලේය.

” මෙහෙමම කාලා ඉමුද?.. රූම් එකට ගෙන්නන්නද මහන්සි නම්…”

චරක ඇසුවේ දෙදෙනා දෙසම බලමිනි.

” කාලා යමු .. නෙ ?..”

චායා විහඟිගෙන් විමසුවේ, සස්මිත නොපෙනෙන්නට හේතුවද විහගිගෙන් නිහඬවම විමසමිනි.

” අර, ඩ්‍රයිවර්  ටත් එන්න කියන්න අයියේ නේ…”

විහඟි චරක දෙස  නොබලාම එලෙසින් පවසා, චායා දෙස බැලුවේ තමා සස්මිත පිළිබඳව තැබූ ආමන්ත්‍රණයෙන් චායා අනිවාර්‍යෙන්ම කෝප ගෙන ඇති බව සිතමිනි. එහෙත් චායා උන්නේ විහඟි දෙස කෘතඥ පූර්ව බැල්මක් දරාගෙනය.

” ඒවි ඒවි .. පහල පාර්ක් එකට යන්න වෙන්න ඇති …”

චරක මෙනුපත තරුණියන් දෙදෙනාට බාරදීඇමතුමකට සම්බන්ධව පසෙකින් හිඳගත්තේය. චායා මෙනුපතෙහි පිටු හරවමින් විහඟිගේ පිටි අල්ල කෙනිත්තුවාය.

” හීනයක් නෙවෙයි … “

විහඟි යළි කෙඳිරුවාය.  චායා සැනසුම් සුසුම හරි හැටි හෙලුවාය. විහඟි මිතුරියගේ සිනහව වෙනුවෙන් යහපතම පැතුවේ හදවතින්මය. එහෙත් ඒ සැනින් අඳුර ඇය මතට වැටුණේය.

” සස්මිත මේ ඇවිල්ලා තියෙන්නේ මොන විදියෙන්ද අපි  කොහොමද දන්නේ ?.. අවුරුදු දොළහකට පස්සේ .. කිසිම දෙයක් දන්නේවත් නැතිව ගෙවුණු අවුරුදු දොලහකට පස්සේ… අයියාගේ ඩ්‍රයිවර් එකපාරටම ඇක්සිඩන්ට් වෙලා .. තාත්තාගේ හොඳම යාලුවෙක්ගේ රෙකමන්ඩ් එකත් එක්ක .. මෙහෙම එන එක.. සාමාන්‍ය දෙයක් නෙවෙයි .. කොහෙත්තම සාමාන්‍ය දෙයක් නෙවෙයි … දෙයියනේ .. අයියාට මොකක් හරි නපුරක් වෙයිද ?. .. නෑ .. සස්මිත කවදාවත් එහෙම කෙනෙක් වෙන්න බෑ…. එයා මේ ගමන එන්න එකම හේතුව, චායාම වෙන්න ඕනි .. එයාට චායාට කිට්ටු වෙන්නහොඳම තැන විදියට එයා මේක තෝරගන්න ඇති.. “

විහඟිගේ කල්පනා දැහැන සැහෙන්නම දුර ගොස් තිබුනේය. චායා ආහාර ඇණැවුම් කලේ සිව් දෙනාටමය. චරක සස්මිතටද මේසයේ අසුන් ගන්නට පැමිණෙන ලෙස කීවේය. එහෙත් සස්මිත යාබදව පසෙකින් තිබූ තනි අසුනක් සහිත මේසයක් තෝරාගත්තේ එය වඩා පහසු බව පවසමිනි. චරක ඇවිටිලි කලේ නැත. අතේ දුරින් මෙපිටට ගන්නට තව සැහෙන්නම කල් අවැසි බව චරක දන්නේය.  

චායා ජංගම දුරකතනයෙන් සස්මිතගේ සේයාරුවන් කිහිපයක්ම ගත්තාය. චරක සහ විහඟි උන්නේ ඇගේ ඉදිරියේ වූ අසුන්වල නිසා ඇයට බාධාවක් වූයේම නැත.

” ෆෝන් එක පැත්තකින් තියකා කොෆී එක ගන්නවා චායා ..ඕක නිවිලා බොන ජාතියේ නෙවෙයි..”

චරක එලෙසින් කීවේ චායාගේ අවධානය ළඟක නොවන බව පෙනෙද්දීය. චායා එයට සිනාසී කෝපි කෝපය තොල ගෑවාය.

ඇයට හදවත තුල යම් සැහැල්ලුවක් දැනෙන්නේය. සස්මිත මෙලෙසින් මතු වීමේ හේතුවක් වටහා ගන්නට නොහැකිය. එහෙත් ඔහු පැමිණ සිටින්නේය. අන් සියල්ල පසුව විසදා ගැනීමට හැකිය. වඩා වැදගත්, ඔහු ඇස් මානයේ සිටීමය.

” දවල්ට චයිනීස්  ඕර්ඩර් කරා..”

” හා …”

” යං … ඇතුලට ගිහින් කයියක් දාමු ..”

” අනේ අයියේ .. මෙහෙම ඉමුකෝ.. අර බීච් සයිඩ් එකේ පොඩි ශේඩ් එකක ඉමු එක්කෝ …”

චායා වඩා ආචාරශීලි වෙමින්, චරකගේ අවශ්‍යතාවය හා මුහු වෙන්නටද රිසි බව පෙන්වමින් කීවාය. විහඟි උන්නේ ඉන් චරකගේ කෝපය ඇවිස්සී යාවියැයි බියෙනි. එහෙත්, චරක කිසිවක් නොපවසාම එයට එකඟ වූයේය.

” අතන ශේඩ් දෙක බුකින්ද /?..”

” නෑ සර් ..”

” මට දෙන්න … බයිට්ස් මොනවා හරි එවන්න පැය භාගෙකින් වගේ ..”

” හරි සර් …”

තිදෙනා එක් සෙවණ සහිතව සකසා තිබූ උස් වේදිකාවේ අසුන් තුනක හිඳගත් හ. විහඟි චරක අසලින් හිඳගත්තාය. චායා ඔවුන් දෙදෙනා අතරින් පෙනුන සස්මිත දෙස යන්තමින් බැලුවාය.

ඔහු පැමිණ ඇත.  එහෙත්, සැනින් ඔහු නැතිවී යා හැක. සියල පවතින්නේ තම හැසිරීම් සහ තම ප්‍රතිචාර මත විය හැකි බව චායා වටහා ගනිමින් උන්නාය.  සස්මිත  සමඟ නිදහස් කතා බහකට ඉඩක් කවදා, කොහොම ලැබේවිදැයි සිතා ගන්නට නොහැක. ඔහු සිටින්නේ තමා සහ විහඟි නන්නාඳුනන සේය. එලෙස සිටිනවා විනා, සැබැවින්ම ඔහුට තමා හඳුනා ගැනීමට නොහැකිව නොවන බව චායා තහවුරු කරගත්තාය.

මෙතැන් පටන් සියල්ල සැලසුම් කරමි  ක්‍රීඩා කල යුතු සෙල්ලමක් වන බව චායා ගෙවුණු පැය කිහිපයට පසුව වටහා ගනිමින් උන්නාය. අයියා මඟ හැර විහඟි සමඟ මේ  සෙල්ලමේ නීති රීති වටහා ගන්නා තුරු තමාට සෙල්ලමේ කොටසක් වීමට කිසිඳු ඉඩක් නොමැති වගද ඕ වටහා ගත්තීය.

අයියා විහඟිව විවාහ කර ගැනීම වෙනුවෙන් ගත් තීරනය තම පවුලට සෞභාග්‍ය කැන්දනවා යැයි පියාගේ හිතවත් ස්වාමීන් වහන්සේ නම්ක් පවසා තිබූ බව අම්මා පැවසූ අයුරු චායාට සිහි විය. ඒ සෞභාග්‍ය කිසිදිනෙක තමා මතට නොවැටෙනු ඇතැයි චායා එදින පටන් ගෙවුණු සැම දිනකම සිතූ බවද අමතක නැත. එහෙත්, මේ මතුව ඇති තරු ඇස් වල කියන්නේ තමා අන්ධකාරය මත ගෙවා දැමූ කාලය අවසන් බව නොවේද …

” නංගී …”

චායා චරක වෙත අවධානය දුන්නාය.

” මං හිතුවේ නිලුකව මගේ ප්‍රයිවට් සෙකට්‍රි පෝස්ට් එකට  දාගන්න …  මල්ක මීඩියා හැන්ඩ්ල් කරාවි ….”

චරක දෙවරක් කිසිවක් විමසන්නට ඉඩ නොතබාම එලෙස පවසා අවසන් කලේය. විහඟි චායා දෙස බලා උන්නේ ඇය ඉන් කිනම් සිතුවිල්ලක් උපදවාගෙන කිනම් ප්‍රතිචාරයක් දක්වාවිදැයි සිතාගන්නට නොහැකිවය.

චායා හිස සලද්දී චරක මෙන්ම විහඟිද දෑස් අයා ගත් හ. චරක චායාට යළි තමා පැවසුවේ කුමක්ද යන්න පැහැදිලිව ඇසෙන සේ කීවාය.

” මං මෙච්චර කල්,මට ඕනි විදියට ජීවත් වෙලා අම්මවයි, තාත්තවයි, ඔයාවයි හර්ට් කලානේ අයියේ.. දැන් ඔයා මට කියන්න මම කරන්න ඕනි මොකක්ද කියලා .. මම ඒක කරන්නම් …”

චරක චායාගේ සන්සුන් කම කිසිලෙසකින්වත් පිළිගන්නට සූදානම් වූයේ නැත. ඔහු විහඟිගෙන් දෑසින් විමසුවේ, චායාගේ හැසිරීම එවන් ලෙසින් වන්නේ කිනම් කාරණාවක් නිසාද යන්නය. විහඟි සියල් කාරනා දැන උන්නා වුවද, කිසිවක් නොදන්නා සේ හිස සැලුවාය.

” තමුසේ හොඳින්ද නංගී ?..”

” ඔව් ඔව් .. හොඳින් …”

එහෙත් චරක එය පිළිගන්නට සූදානමින් උන්නෙ නැත. ඔහු නිහඬවම බලා උන්නේය.

” මං කියන්නම් අයියේ ..හැමදෙයක්ම කියන්නම් .. මගෙන්ම පළි අරගෙන මට හරිම මහන්සියි .. ඔයා හැම වෙලේම කියන්න වගේ, ලංකාවේ ඉන්න ටැලන්ටඩ්ම ෆීමේල් ෆොටෝග්‍රැෆර් කියන හීනේ අද  ඉඳන් මම දකින්නම් ….. රෝස මල් කෙල්ලෙක් වගේ නේ ඔයා මාව දකින්න ඕනි .. ජීවිතෙ ඒහෙම දවස් ඔයාට පේන්න දෙන්න ම්.. අදින් මේ  හැමදේම ඉවර කරන්නම් අයියේ .. නිලූ අයියයි, මල්කයි මා එක්කම වැඩ කල අය .. එයාලා ඔයාට නපුරක් කරන්නේ නෑ ..”

” මොන මඟුලක්ද මේ කියන්නේ ?….”

චරක විහඟිගෙන් විමසුවාය.  චායා සීමාව ඉක්මවා සංවේදී වී සස්මිත ගැන සියල්ල චරකට පවසන්නට යනවාය යන සිතුවිල්ල සැනින් විඅහ්ඟිගේ සිතෙහි ඇති වූයේ ඒ අතරය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here