විහඟි සහ චායාව කාමරයට ඇරලවූ චරක ඔවුන් සිටි ස්තානයේ වූ පෞද්ගලික මත් පැන් අවන්හලක කොටසක් වෙන් කරවාගත්තේය. සස්මිත චරක පසු පස ඇවිද ගොස් ඔහු පෙනෙන දුරින් නැවතුනේය. චරක දෑතෙන්ම හිස බඳා ගත්තේය. නැගණිය මෙතරමක වේදනාවක් උහුලද්දී, තමා ඒ වේදනාව අතින් ඇවිද යමින් මෙතරම් දුර විත් බව පැහැදිලිය. චායා දේශපාලනයට උනන්දු වූයේ ඇයිදැයි වැටහෙන්නේය. ඕ ස්වාධීන ගැහැණු කමක් ආරූඩ කරගෙන සියල්ලන් අතරේම දැඩි චරිතයක් ලෙසින් ජීවත් වූයේ ඇයිදැයි වැටහෙන්නේය. සියලු රාජකාරිද, වගකීම්ද ඇය වෙතම ක්‍රම ක්‍රමයෙන් පවරා ගනිමින් ඉතා කාර්‍යබහුල අයෙකු ලෙසින් ජීවිතය හැඩ ගැස්වූයේ ඇයිදැයි වැටහෙන්නේය.
එහෙත් ඒ කිසිවක් වසර දොලහක් තිස්සේ කිසිවෙකුට නොවැටහුනේ කෙලෙසින්දැයි චරකට වැටහුනේ නැත. ඒ කිසිවක් පිළිබඳව උනන්දු නොවෙමින්, නැතහොත් ඇය කෙරෙහි වන උනන්දුව ඒකාකාරිව පවත්වා නොගනිමින්, එසේත් නැතහොත්, වරින් වර ඇය ගැන කෙරූ දැඩි සොයා බැලීම් ඉතා ඉක්මනින් ක්ෂයව යන්නට ඉඩ දෙමින්, තමන් කෙරෙහිම කැපවී සිටි සහෝදරියගේ ජීවිතයේ වූ ඒ හිඩැස මඟ හැර ගත් තමා කිනම් ආකාරයක සහෝදරයෙකුදැයි චරකට වැටහුනේ නැත.
ඇගේ ජීවිතය විසඳන්නට විත් තමා අවුල්ව ගොස් ඇති බව චරකට දැනෙයි.
නොසිතූ ලෙස ජීවිතය වෙනස්ම ඉමකට විසිව ගියේය. දේශපාලනය තුළ ඉතා ඉක්මන් සහ වඩා කැපී පෙනෙන ගමනක් ලැබුණි. අම්මාගේ සහ තාත්තාගේ ආඩම්බරය වන්නේ තමා බව හැගුණු අවස්තා චරකට අමතක නැත. තාත්තා නොසිතූ ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම මඟ හැරීමෙන් පසු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් වූ දිනය දක්වා තාත්තාගේ ජීවිතයේ වූ හිඩැස පිරවූයේ තමා බව චරකට වැටහී තිබුණි. විහඟි හා සම්බන්ධව වන කාරණාද එකක්, දෙකක් ලෙසින් නොලියූවද, ඇය කෙරෙහිද තම අවධානය අඩු නොවූ බව චරක දනී. ඕ කැටුව පහන් කල රැය ගණන මතක නැත. එහෙත්, සියල්ල එලෙසින් වෙද්දී තම නැගණිය මියගිය පිරිමියෙකු, යළි එතැයි විශ්වාස කරමින් දින ගෙවා දමා ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙසින්ද, මාධ්‍ය කණ්ඩායම මෙහෙයවමින්ද යතාර්තය දකිමින් වුව, ඕ එලි නොවන සිහිනයක ජීවත් වෙමින් සිට ඇත.
තමා චායා සමඟ මෙවන් කතා බස් වෙනුවෙන් උත්සාහ නොකලා නොවේයැයි චරක සිතුවේය. ඕ කලේ අම්ඟ හැරීමය. එක්කෝ රණ්ඩු වීමය. එහෙමත් නැත්නම් කතාව නොපිටකට පෙරලීමය.
චරක මත් වෙමින් තිබුණි. නැගණිය පිළිබදව වන වේදනාව, ආත්ම කෝපයක් දක්වා වර්ධනය වෙමින් තිබුණි.
” සර් … දැන් ඇති නේද ?.. “
අවසානයේ සස්මිත ඉදිරිපත් වූයේය. චරක ඔහු වෙත හෙලුවේ නොපහන් බව අඟවන බැල්මකි.
” උඹ පාඩුවේ හිටපං ..”
එහි වූයේ එවැන්නකි. එහෙත් සස්මිතට චරක යනු, එවැන් බැල්මකින් අතැර දා යා හැකි අයෙකු නොවේය.
” සර් .. මැඩම්ලත් රූම් එකේනේ.. අපි රූම් එකට යමු සර් .. ලන්ච් අරගෙන පිටත් වෙමු …”
සස්මිත එවර චරක වෙත මදක් නැවී ආයාචනාත්මක බවක්ද දවටාගෙන කීවේය.
” උඹ ඒ දෙන්නාව ඇරලවලා වරෙංකෝ … එහෙම කරපං .. මට ටිකක් තනියෙන් ඉන්න ඕනි ….. බං … එහෙම කරපං ..”
එහෙත් සස්මිත චරකව එලෙසින් තනි කරන්නට කෙලෙසකින්වත් සූදානම් වූයේ නැත. ඔහු චරකට එලෙසින් සිටින්නට හැර පසෙකට වී බලා උන්නේය. අවන්හලේ චරකට සේවය සපයමින් වුන් සේවකයා නවතාගෙන චරකට තවදුරටත් ඉල්ලීම් නොසපයන මෙන් කියා සිටියේය. විනාඩි දහයක් පමණ යද්දී, චරක කෝපයෙන් කෑ ගැසුවේය.
” ඕයි … දීපං යකෝ මගේ ශොට් එක …”
ඔහු උන්නේ කෙලින් සිටගන්නට නොහැකි තරමේ අවසිහියකිනි. අවන්හල් සේවකයාගේද සහයෝගයෙන් සස්මිත ඔහු වත්ත කරගත්තේය.
විහඟි චායාගේ පැහැදිලි කිරීම අසා උන්නේ මදක් කෝපයෙනි. ඇය මෙලෙස පහසුවෙන් කීවාට චරක ගේ සිත මින් රිදෙන ප්‍රමාණය පිලීබඳව විහඟිට ප්‍රාමාණාත්මක අවබෝධයක් ඇත.
” …….ඒ සස්මිත නේ බං.. එයා ඔය ජොබ් එකක් ඕනිවට අයියා ළඟ ජොබ් එකකට ආවා නෙවෙයිනේ…මාව බලන්නනේ ඔය ඇවිල්ලා ඉන්නේ.. නේද.. මට තේරෙන්නේ නෑ අයියාට එහෙම බොරුවක් කිව්වේ ඇයි කියාලා.. ඒත් මං මොකක්ම හරි කියන්න එපැයි.. මෝඔ මම කියන්නද, මම සස්මිතට ආදරේ කලා.. අපි යාලුවෙලා උන්නා… එයා මාව දාලා අතුරුදන් වුනා.. එයා එනකල් තමා මම බලන් උන්නේ කියලා.. එහෙම කියන්න බෑනේ.. අයියා මරාවි සස්මිතව…
දන්නවාද විහඟි .. මට කේන්තියි .. සස්මිත කල දේ මතක් වෙනකොට කේන්තියි .. ඒත් මේ පැය තුන හතරට මට මං තව ජීවත් නොවුනත් කමක් නෑ කියලා හිතෙන තරමේ සතුටක් දැනෙනවා… මට ඒක මෙහෙමයි කියන්න තේරෙන්නේ නෑ බං .. ඒත් … යකෝ .. ඒ ඇස් දෙක එහෙමම තියෙනවා… කොණ්ඩේ වවාගෙන …. මං ආස කල විදියෙන්ම .. කොහේ කොහොම උන්නා වුනත්, ඒ මාව බලාගෙනම නේද ඉන්න ඇත්තේ බං …. එයා දැන් එහෙම රඟපානකොට අපිව දන්නේ නෑ වගේ, බඳාගෙන අහන්න හිතෙනවා .. අඬ අඩා අහන්න හිතෙනවා .. ඒත්, ඉවසන්නෙපැයි .. එයා කොච්චරක් ඉවසලාද ඔය ඇවිල්ලා ඇත්තේ … මට හිතාගන්නවත් බැරි දුක් කන්දක් ගෙවලා ඉන්න ඇති…”
චායාගේ හඬෙහි වන ප්‍රහර්ෂණීය බව විහඟිට නොදැනුනා නොවේය. විශ්වාස කර ගැනීමට නොහැකි ප්‍රාතිහාර්‍යයක් සිදු වුනාදැයි සැකයේ සිට, සස්මිත පැමින ඇතැයි සැබෑව ඇය පිළිගෙන ඇති බව සැබෑය. ඔහු ඇය පේන මානෙයේ සිටීමේ උත්කර්ෂයම, හුස්ම ගන්නා ශරීරයක්ව වුන් ඇයගේ ජීවිතයට ප්‍රාණය පිබ ඇති බව පෙනේ. එහෙත්, චරක ..
” ඔය ඔක්කොම හරි රත්තරනේ… ඒ සස්මිතම තමා… ඒකේ සැකයක් නෑ .කිව්වත් වගේ, ජොබ් එකක් ඕනිවට අයියා ගාවට ආවා නෙවෙයි වෙන්නත් පුලුවන් .. ඒ කොහොම වුනත්, මෙච්චර අවුරුදු ගානක් මැරුණු මිනිහෙක් මත්තේ ජීවත් වෙවී ඔයාගේ හීන අතැරලා දාලා, මේ පොලිටික්ස් බඳන් උන්නා කියන එක අයියා එයාගේ වරදක් විදියට ගනී චායා .. එයා ඔයා එක්ක කතා බහ කරලා, ඔයා උන්න අවුල හොය ගත්තේ නෑ කියලා එයා විඳවන්න ගනී චායා .. මං දන්නවා එයා ඔයාට කොච්චරක් ආදරේද කියලා… එයාට ඒක ලේසි වෙන්නේ නෑ..”
චායා එක්වරම නැවතුනාය. එය එලෙසින් සිදු විය හැක. අයියා සියලු බර ඔහු මත පටවා ගනු ඇත.
” මොකක්ද දැන් කරන්නේ විහඟි ?…”
” බලමු .. සමහරවිට අයියා මේක ඒ තරම් බරට නොගන්නත් පුලුවන් … එන විදියට බලමු .. ඒ කොහොම වුනත්, ඔයා එකපාරටම මෙව්වා අතාරින්න ත් එපා .. අයියාට ගිල්ටි නොදැනෙන්න මොක වුනත් කරන්නෝනා..”
” හා… අනේ .. මං ඒක ඒ තරම් හිතුවේ නෑනේ … මට ඕනි වුනේ ඒ අවුරුදු ගානම ඉවර කරලා දාන්නනේ …”
විහඟි චාය වටහා ගත් බව ඇඟවූවාය. දෙදෙනාගේ කතා බහ නිම වූයේ දොර අසලින් ඇසුණු හඬකිනි.
” මිස් .. මිස් …”
එය නන්නාදුනන හඬක් විය.
” යැස් …”
” මිස් රූම් සර්විස් .. මිස්ලා එක්ක ආව සර් චුට්ටක් එක්ක ආවා….”
චායා අඩි දෙකට යහනෙන් පැන්නාය. විහඟි කිසිවක් වටහා ගන්නට නොහැකිව හිඳ උන්නාය.


