අංගාර – 30

0
1219

චායා පලමු දවස ගෙවා දැම්මේ කාර්‍යබහුල වීමෙනි. ඕ ස්ටුඩියෝවක් ඇරඹීම සඳහා සුදුසුයැයි සිතා උන් ස්තාන කිහිපයක් පිළිබඳවම යළි විමසා බැලුවාය. කටුබැද්ද හන්දියේම වූ ගොඩනැගිල්ලක උඩුමහල ඇගේ පළමු තේරීම ලෙසින් විය. ඊට අමතරව දෙහිවල සහ වැල්ලවත්තේ ඉඩකඩද ලැයිස්තුවේ  විය. හීන වල පණ දෙන්නට අවැසි සිතුවිල්ලක් පමණක්මය. එහෙත් ඒ සිතුවිල්ල පණ නැගෙන්නට වඩා තිර ලෙසින් වන උද්දීපනයක් අවශ්‍යය.

චායා ඇගේ  පලමු උපාධිය හා සමාන්තරවම, කැළණිය විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ඡායාරූපකරණය පිළිබඳව වන උසස් ඩිප්ලෝමාව හදාරා අවසන් කලේ වෘත්තීය ඡායාරූප ශිල්පිනියක ලෙසින් වැඩ කටයුතු කිරීමේ සිහිනය සමඟින් ය. ඒ සිහිනය වෙනුවෙන් මඟ සැකසූ උත්තේජනය සස්මිත විය. සස්මිතගේ අක්කාගේ අසනීප තත්වය උත්සන්න වීමට පෙර සස්මිත ඒ වෙනුවෙන් චායා සෑහෙන්නම දුරට පොළඹවමින් උන්නේය. එනිසාමදෝ, චායාටද ඡායාරූපකරණය පිළිබඳව වූයේ සස්මිත තරමේම ප්‍රේමයකි.

හිටිවනම සස්මිත අතුරුදන් වෙද්දී, ඡායාරූපකරණ සිහිනයද චායා විසින් අන් අයට නොපෙනෙන සේ  අතුරුදන් කර දැම්මාය. කිසිවෙකුට හෝ එවැන්නක් තිබුණාදැයි සිතන්නට හෝ ඉඩ නොදීම ඕ ඒ සිහිනය  සැඟවූවාය. එහෙත්, ඒ සිහිනය වෙනුවෙන් වන කැපකිරීම්  අඩු කර දමා තිබුනේ නැත. හැකි සෑම විටෙකම ඕ එය පුහුණු කලාය. යාවත්කාලීන වීම් සකසා ගත්තාය. මුදල ගැන නොසිත ඇතැම් කැමරා කාච වර්ග මිලදී ගත්තාය. ඒ සියලු දේ පසුපස වූයේ යළි සස්මිත ආ දිනෙක සිහින පණ පොවන්නට නම්, තමාට ඒ සිහිනය සඟවන්නට මිසෙක මරා දමන්නට අයිතියක් නැතය යන සිතුවිල්ලය. එනිසාම චායාට ඡායාරූපකරණ සිහිනයේ මූලය අතැර තිබුණේ නැත. කාමරයේ එක් පසෙක වු  ඩ්‍රයි   කැබිනෙට්ටුව තුල ලක්ෂ විස්සක් ඉක්මවන මුදලක කැමරා කාච විය. ඕ දිනය පුරා එකින් එක අත ගා බැලුවාය. ඒ සියල්ල  හසුවන සේ සේයාරුවක් ගෙන එය වට්සැප් ස්ටේටසයක් ලෙස මුදා  හැරියාය.

” සිහිනයක පාමුල ..”

චරක එම ස්ටේටුව දුටුවේ සවසය. ඔහු එය වහාම විහඟිට පෙන්වූවාය.

” දැන් එයාට තියෙන්නේ පොලිටික්ස් කම්මැලි වෙලා තියන්නේ. එහෙම එකේ ආයේ ඔය හැංගි හැංගි කරන වැඩේට අත ගහන එක හොඳයිනේ අයියේ … අනෙක, චායාට සල්ලි හොයන්න පුලුවන් ජොබ්  කරන්න ඕනි කියලා එහෙම සීන් එකක් නැහැනේ…ඒ වුනත්,.. එයාගේ ටැලන්ට් එක විකිනෙන්න ගත්තම සල්ලි එනවා… ඔයා බලන්නකෝ, එයාට සුපිරිම වැඩ ටිකක් කරන්න පුලුවන් ..”

” ඒ ගැන සැකයක් නෑ මැණික ..”

” එහෙනම් ඔයා ඔහොම මූණ හදාගෙන ඉන්න එක නවත්තන්න අයියේ … ඒකෙන් තමා චායා වොරි වුනොත් වොරි වෙන්නේ..”

විහඟිට එක් පසෙකින් චරක නිස්කාරනේ හිත රිදවා ගැනීම නවතාලන්නට අවැසි විය. අනෙක් පසින්,

” මූණ හදාගන්නවා නෙවෙයි .. මූණ මෙහෙම හැදෙනවා… මම මහ ආත්මාර්තකාමියෙක් විදියටයි වැඩ කරලා තියෙන්නේ කියලා මට මතක් වෙනකොට මූණ මෙහෙම හැදෙනවා… අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ නංගිව හරියට රීඩ් කරගන්න බැරි වෙච්ච මිනිහෙක් ට දැනෙන දේ ඔයාට තේරෙන්නේ නෑ  විහඟි .. ඔයාට ඒක හිතාගන්නවත් බෑ… මම මේ සැරෙන් සැරේ බිඳිලා යන්නේ ඒ හැඟීමට …. මාව ගොඩ නංවන්න චායා එයාව සම්පූර්නයෙන්ම කැප කරලා කියනෙක කොච්චර අමාරු, බර හැඟීමක්ද කියලා ඔයාට තේරෙන්නේ නෑ විහඟි..”

චරක පැහැදිලි කරන්නට උත්සාක කලේ කුමක් වුවද, විහඟි අනෙකක් වටහා ගත්තාය. පහසුවෙන්, චරකගේ වචන වරදවා, පටලවා වටහාගෙන අරගල නොකරන විහඟිගේ කොපුල් පෙඟෙමින් තිබුණි.  ඕ දෑතින්ම ඒ කඳුලු පිසදාගෙන සන්සුන් වන්නට උත්සාහ කලාය. දෙමාපියන් තමාට උරුම ව ඇති ගමන් මඟ ජීවිතයේ  කොහෙම හෝ තැනක මතුවී තමා රිදවා, බිඳ දැමිය හැකි බව ඕ වටහා ගත්තීය.

විහගි කිසිත් නොපවසා සිටින්නේ ඇයිදැයි බලන්නට ආපසු හැරී බැලූ චරක ඕ නොමැති බවත්, බැල්කනියට වන දොර විවෘතව ඇති බවත් දැක වහා ඒ වෙත ඇවිද ගියේය. බැල්කනියේ කොනෙකින වූ අසුනේ හිඳ හඬ නොනැගෙන්නට හඬන තම බිරිඳ දුටු චරක ට   දැනුනේ මෙයයැයි කිව නොහැකි අසරන කමකි. ඇයට එතරම් හඬන්නට හේතුවද නොදැන, තමා මඟ හැර තනිව හඬන්නට අවැසිව ඇති බව දැන මෙලෙසින් බලා සිටින්නට වීම චරකට ක්ෂණික , එහෙත් දරාගත නොහැකි රිදුමක් තැනුවේය.

ඔහු වහා ඇය වෙත ගියේය. ඇය අසල දණ නවා හිඳගෙන දෑත තමා සතු කරගෙන මුහුණට එබී ඇස් අල්ලා ගන්නට උත්සාහ කලේය. එහෙත් විහඟි උන්නේ දෑස් වසාගෙනය. ඇය ඔහු හා එදිරිව සටන් කර, පසෙකට වන්නට ගියේද නැත. කොපුල් පෙඟෙමින් කඳූලු වැල් වැටෙමින් තිබුණි.

” ඇයි නංගී ?.. මොකක්ද වුනේ ?…”

චරක ඔහු දන්නා අතිශය ළයාදරම හඬ ඇලෙව්වේය. ඉන් විහඟිගේ හැඬුම් තවත් වැඩි විය.

” ශ් ශ් …කෝ…”

චරක විහඟිගේ අසුනේම හිඳගෙන , ඕ තම ළය වෙත නතු කරගත්තාය. හඬන්නට ඉඩ දුන්නාය. ඉකි ගැහෙන හඬට, චරකගේ හදවතේ ඉදිකටු රිදුම් තැනුනේය. ප්‍රේමය එයය.

” දැන් කියන්නකෝ.. මොකක්ද වුනේ කියලා…”

පැය භාගයකට පසු, චරක එලෙසි  විමසද්දී විහඟි කිසිත් නැති බව පවසමින් මඟ හරින්නට උත්සාහ කලාය. එහෙත් චරකගෙන් ඉඩක් වූයේම නැත.

” මං නංගීට ආදරේ නිසාද ?..”

” විකාරද අනේ අයියේ .. මොනවද මේ පවු පිරෙන කතා අහන්නේ?.. මට පාලු හිතුනා .. ඒකයි ඇඬුවේ..”

” බොරු .. අමූලික බොරු .. මට සෙන්ටිමීටර් පහල්වක් පිටිපස්සෙන් ඉඳගෙන, මා එක්ක වාද කර කර උන්න ගෑණිට කොහෙන්ද පාලුවක් ආවේ…”

චරක එවර අරියාදුවට කතාව ඇරඹුවේය. විහඟිට මඟ හරින්නට ඉඩක්ම නොදී ඕ අවහිර කලේය.

” හරි .. මට දුක හිතුණා..”

” හරි මොකටද ඉතින් ?…”

” මට .. සහෝදරයෝ දෙන්නෙක් අතරේ තියෙන බැඳීම කවදාවත් තේරුම් ගන්න බැහැ කියලා කිව්ව හින්දා ..”

” මොන කතාවක්ද නංගි ඒක?.. ඒකටද මොකටද දුක හිතන්නේ ?..”

” මං කාත් කවුරුත් නැති කෙනෙක් හින්දානේ අයියේ, මට එහෙම බැඳීමක් නොතේරෙන්නේ?.. නේද ?.. ඔයාටත් ඒක ප්‍රශ්නයක්ද ?..”

එවර චරකගේ කෝපය හිස් මුදුනටම වූයේය.  එහෙත් ඔහු ආයාසයෙන් විහඟි සිටින තත්වය පිළිබඳව සිතමින් පාලනය වූයේය.

” මෙච්චර මං ඉද්දි, කාත් කවුරුත් නෑ කියන එකේ පදනම ඉස්සෙල්ලා කියපංකෝ …”

පාලනය කරගත් කෝපය එහෙන් මෙහෙන් එබුණේය. විහඟි බලා උන්නා පමණි.

” මම කිව්වේ අයියා කෙනෙක්ට නංගි කෙනෙක් ගැන දැනෙන ඒ පසුතැවීම උඹට තේරුම් ගනන් බැහැ කියලා මිසක් ඔහොම කෙහෙල්මලක් නෙවෙයි කියලා කොහොමද මම දැන් තේරුම් කරන්නේ ?.. අයියා කෙනෙක්ගේ වගකීම උඹට තියා චායාටවත් තේරෙන්නේ කොහොමද බං ?..”

චායා දුක් මුහුණක් මවාගත්තාය. ඔහු අදහස් කලේ එවැන්නක් බවට සැක නැත. එහෙත් පරාජය පිළිගත යුතු නොවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here