” හෙට ඉඳන් මම අරන් දුන්න ඇඳුම් විතරයි අඳින්නෝනා ..”
සස්මිතගේ දැඩි විරෝධය හමුවේ චායා ඇගේ වසර ගණනාවක ඉවසුම් මුදා හරිමින් උන්නාය.
” මෙච්චර ඇඳුම් ගන්න මට සල්ලි කොහෙන්ද කියලා අයියා බලාවි කෙල්ල .. තේරුම් ගන්නකෝ …”
” මං දන්නේ නෑ එව්වා.. මහ ගොඩක් නෑනේ .. බෑග් හතරයි නේ .. ශේප් එකේ රූම් එකට දාගමු ..”‘
විහඟිට අවශ්‍ය වෙතැයි සිතූ ඇඳුම් කිහිපයක්ද චායා මිලයට ගත්තාය. සස්මිත ඔහු අතේ වූ ගවුමක් චායා වෙත දිගු කලේ වටපිට අවධානයක් නොමැති බව තහවුරු කරගෙනය. චායා ඒ දෙසත් සස්මිතගේ මුහුණ දෙසත් බලමින්ම ගවුම අතට ගත්තාය.
” ෆිටෝන් දාලා එන්න බලන්න …”
චායා හිස සැලුවාය. ගවුම ගත ලා කුටියෙන් අඩක් වන සේ එබී සස්මිත සෙව්වාය. සස්මිත වහා ඇය පේන සීමාවට ලං වූවාය. දණහිසෙන් පහලට වන සේ යම් පැරණි බවක්ද ආඩ්‍ය කර සකසා තිබූ ගවුම, චායා සස්මිත මවා උන් සුන්දරත්වයට එලෙසින්ම ගලපා තිබුනේය. සස්මිත ඇහි බැම ඉහලට ඔසවා සන් කලේය. චායා සිනාසී යළි කුටිය තුලට වැදුණාය. කුටිය තුලට වී චායාරූප කිහිපයක් ගත්තාය. කන්ණාඩියෙන් තමා දෙසම බලා සිනාසුණාය. ගවුමක් ඇඳ මෙලෙසින් සැබෑ සතුටක් විඳින්නේ සෑහෙන්නම කාලයකට පසුවය. ඕ හිස් මුදුනට වන්නට තිබූ කොණ්ඩය ලෙහා දමා යළි සේයාරුවක් ගත්තාය.
” මෙච්චර වෙලා මොකද කලේ..?”
චායා දෙතොල් උල් කර සිනාසුණාය. බිල් ගෙව්වේ චායාය. චායාගේ ගවුමේ සහ සස්මිත ඇය වෙනුවෙන් මිලයට ගෙන තිබූ අනෙක් අඩුම කුඩුම වල බිල සස්මිතම ගෙව්වේය. දෙදෙනා තෙමහල් ගොඩනැගිල්ලේ පිටතට පැමිනෙන්නට තිබූ පඩිපෙල බැස පැරණි ගාලු පාර දෙස බලා උන්නේ එකිනෙකා සමඟ එලෙස බලා හිඳිනවායැයි එකඟතාවයක්ද නැතුවය.
” ආහ් සස්මිත ….”
චායා ඔහුගේ ඇඟේ ගෑවි, යලි වහා පසෙකට වෙමින් කීවාය.
” වාහනේට නඟිමු මැණික .. මෙතන පබ්ලික් වැඩි …”
සස්මිත වහා වාහනය වෙත ඇවිද ගියේ, චායා අතේ වූ බෑග දෙකද ඔහු අතටම ගනිමිනි. චායාද එයට ඉඩ දුන්නාය. බෑග් සියල්ල පිටුපස අසුනේ තැබූ සස්මිත තවමත් වාහනයට ගොඩ නොවී සිටින චායා වෙත ඇවිද ආවේය.
” ඉස්සරහින් වාඩි වෙන්න …. ගල්කිස්ස හරියට ගිහිල්ලා හරවගෙන එමූ …”
චායාගේ මුව මත මැවුණු මන්දස්මිතය , සස්මිත වහා තම හදවත තුලට ඇදගත්තේය. ගෙවෙන හැම තත්පරයක් ගානෙම ඇයට මේ සිනහවම දෙන්නට තමා කල යුතු සියල්ලම කරනවායැයි තමාටම සපත කරගත්තේය.
චායා ඉදිරි අසුනේ හිඳගත්තාට පසු අසුන් පටි ලූවේ සස්මිතමය. ඔහු ඇගේ කොපුල යන්තමට ඉම්බේය. චායා විමතියද, ආහ්ලාදජනක බවද, උත්කර්ෂයද සියල්ල මුසු සිනහව ලෝබ නැතිවම සස්මිතට පෑවේය.
” සතුටින්ම ඉන්න ඕනි සස්මිත ඔයා … අදින් පටන් ගන්න අවුරුද්දේ, ඔයාට යහපතක්ම වෙන්නෝනා… මගෙන් හෝ වේවා, ඔයාට නපුරක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ල දුරු වෙලාම යන්න ඕනි … මේ අවුරුදු ගානක් ඔයාව පීඩාවට පත් කරපු මොනයම්ම හෝ දෙයක් තියෙනවා නම්, ඒ හැමදේම නැති වෙලා යන්න ඕනි ..”
සස්මිත කැබ් රිය පණ ගන්වා , සුක්කානම එක් අතකින් අල්ලා අනෙක් අතින් චායාගේ හිස පිරිමැද්දාය.
” දැන් මට ජීවිතේ නරකක් කියලා දෙයක් එන්නේ නෑ කෙල්ල .. උන්නාද මළාද නොදන්න කොල්ලෙක්, ම්නිහෙක් වෙලා ආවට පස්සෙ, මෙච්චර ආදරයක් දැනෙන්න දෙන කෙල්ලක් ඉස්සරහින් හිටගන්නවා කියන්නේ, ඒ මිනොහාගේ ජීවිතේ ආයේ නරක කතා නෑ … අසාධාරණ කොල්ලෙක්ව, සාධාරණ මිනිහෙක් කියලා හිතලා පිළිගන්න පුලුවන් ඔයා ඉන්නකොට, කිසිම දෙක නාහා , මෙච්චර කල් මං දිහා බලාගෙන විතරක් ඉන්න ඔයා ඉන්නකොට, ආයේ මට නරකක්, නපුරක් වෙන්නේ කොහෙන්ද චායා… කොහෙන්ද ?…
” මට හිත හදාගන්න මේක විතරක් කියන්න සස්මිත ?.. අම්මලා කෝ ?..”
“දැන් ඩුබායි ඉන්නේ … “
චායා විසල් වූ දෑසින් යළි ඔහු දෙසම බැලුවාය. සස්මිත කැබ් රිය විදුලි එලි අතරින් ගල්කිස්ස දෙසට ධාවනය කරමින් උන්නේය.
“ආහ්….”
“හ්ම්ම් …”
” අක්කා…”
” අක්කාත් එහේ …”
සස්මිත එලෙසින් පවසද්දී, තවත් යමක් දැනගන්නට අවැසි නොවන සෙයක් චායාට ඉබේම දැනුණු. ඕ ඉදිරිය බලාගෙන ගැඹුරු සුසුමක් හෙලුවාය. එහි වූයේ සැනසීමය. සස්මිතගේ හදවත තුළ එම සුසුම මහා බරැති අඩියක් තැබුවේය. තමා වෙනුවෙන් ඇයට එතරම් පෙරුම් පුරන්නට හැකිද?. තම සතුට පවා ඇයට එතරමක සැනසීමක්ද ?..
” අක්කා ගිය අවුරුද්දේ මැරි කලා මැණිකේ .. ඩුබායි වල ඉන්න ඉන්දියන් කොල්ලෙක් … අක්කාගේ ඔපරේශන් එක වෙලේ එයාව බලපු ඩොක්ටර්ගේ කසින් කෙනෙක් …. ඒ කොල්ලාගේ අම්මා විතරයි … අම්මා කිව්වාට ආච්චි … දැන් අපේ අම්මයි, තාත්තයි, ඒ ජෝඩුවයි , ආච්චියි ඔක්කොමලා එහෙ…. අයියා කැමතියි ලංකාවේ සෙට්ල් වෙන්න .. මගේ කටේ බලේට එහෙ තියලා තියන්නේ… මගේ මේ ප්‍රශ්න ටික විසඳගත්තම, මෙහෙ එන්න දෙනවා….. “
චායා එක් වචනයක පැටලුනාය. ඔහුට ඔහුගේ ආදරණීයන්ගෙන් මෙතරමට දුරස් වන්නට හේතුව තමාද ?..
” ප්‍රශ්න කිව්වේ මමද ඔයාට ?..”
චායා අනපේක්ෂිත හඬකින් එලෙස විමසද්දී සස්මිත කුමක් වුයේදැයි සිතා ගන්නට නොහැකිව මෙන් ඇය දෙස බැලුවේය.
” අම්මාලාගෙන් දුරස් වෙලා ඔයාට මෙහෙ තට්ට තනියෙන් ඉඳගෙන, මිනිස්ටර් කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තරම් ප්‍රශ්නයක් වුනේ මම නේද ?..”
චායා එක හුස්මට එලෙස විමසමින් සස්මිත වෙත කඩා පැන්නාය. තමා පවසන්නේ කුමක්ද කියාවත්, තමා හැසිරෙන්නේ කෙලෙසකින්ද කියාවත් යන සංවේදනය ඕ වෙතින් ගිලිහෙමින් තිබුණි.
” මොනවාද මේ අහන්නේ චායා ?… මොකක්ද ඔයාට කියන්න ඕනි ..”
” කියන්න ඕනි එක ඔයානේ කිව්වේ ?… ඔච්චරට මාව ප්‍රශ්නයක් නම්, ඇයි ඒ ප්‍රශ්නේ මත්තේම ඉන්නේ ?.. යන්නකෝ ඔයාත් …”
” චායා ප්ලීස් .. අනේ මේ වරුව කන්නෙපා ..”
” ඔව් .. ඔයාගේ ලස්සන දවසම මම නැති කරනවානේ… මාව දාන්න මේ මඟකින් .. මම එන්නම් … “
සස්මිත කෝපය පාලනය කරගත්තේය. ඇයට මෙතරම් කෝප ගන්නට යමක් සිදු වූයේ නැත.
” මට ගෙදර යන්න ඕනි …”
චායා උස් හඬින් කෑ ගැසුවාය. සස්මිතට ඉන් එහා ඉවසීම වූයේ නැත ඔහු ඊළඟ හැරවුමේදිම කැබ් රිය හරවා ගත්තේය. අධික වේගයෙන් කැබ් රිය ධාවනය කලේය. චායා පිටුපස අසුනට යා යුතු බවවත් දෙදෙනාටම කල්පනා වූයේ නැත. කැබ් රිය මිදුලේ නැවතූනු පසු සස්මිත කිසිවක් නොපවසා චායාගේ බෑග කිහිපය රැගෙන ගොස් නිවසේ ඉදිරියේ වූ පුටුවක් මත තැබුවේය. ඔහු ට විය යුතු ගමන් මලු හතර අතට ගෙන පිටුපස දොර වැසුවේය. චායා ඒ වනවිටත් නිවස තුලට යමින් උන්නාය.


