මගේ වයිෆ් නිම්නාගේ ඇඟ අස්සේ යකෙක් ඉන්නවා කියන එක මම මුලින්ම දැනගත්තේ අපි බැඳලා හරියටම මාසයක් ගෙවිච්ච තැනදී.
එතකන් මම හිතාගෙන හිටියේ මම බැන්දේ හරිම අහිංසක, පූස් පැටියෙක් වගේ ඉන්න කෙල්ලෙක්ව කියලා.
හැබැයි එදා උදේ නිම්නා යකා නටන්න පටන් ගත්තම මට තේරුණා මං එහෙම හිතුව එක වරදක් කියන එක. මට වැරදිලා කියන එක. ඒක මගේ ජීවිතේ අමතක නොවන දවසක් කිව්වොතින් හරියටම හරි.
මම හොඳටම නිදියගෙන උන්නෙ. එකපාරටම මගේ කන් අඩි පුපුරගෙන ඇහෙන්න ගත්තා අමුතුම සද්දයක්. ඒක නිකන් කන අද්දර ඉඳගෙන තොවිලෙක බෙරයක් ගහනවා වගේ තමයි මට ඇහුණෙ.
“ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ…”
මම ගැස්සිලා ඇහැරුණා. කවුද යකෝ අපෙ ගෙවල් අස්සෙ තොවිල් නටන්නෙ කියන ප්රශ්නෙ මගෙ හිත අස්සෙ ලොකුවටම තිබුණා. කාමරේ ලයිට් දාලා නැහැ, කාවවත් පේන්නවත් එහෙම ගේ අස්සෙ මුකුත් කලබලයක් තියෙනවා කියලා පෙනුනෙවත් නෑ. හැබැයි ජනේලෙන් එන පාලු එළිය අස්සේ මම දැක්කා නිම්නා ඇඳ විට්ටමට බර වෙලා, කොණ්ඩේ ඉස්සරහට දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ බැල්ම දැක්කම මගේ ඇඟ හිරිවැටිලා ගියා. ලාවට නයිට් ලෑම්ප් එකෙන් ආව එළිය මැද්දෙ කොණ්ඩෙ විසුරුවාගෙන නිම්නා උන්නෙ හරියට අර චෙන්නායි එක්ස්ප්රස් ෆිල්ම් එකේ තංගබලී සීන් එක වෙලාවෙ දීපිකා පදුකෝන් ඉන්නවා වගේ.
ඇත්තටම එයාගේ ඇස් දෙක රතු වෙලා, මූණේ තිබුණේ මම කවදාවත් දැකලා නැති මහා නපුරු පෙනුමක්. “නිමී… මොකද මේ උදේ පාන්දරම?මොකද වෙලා තියෙන්නෙ” මම බයෙන් බයෙන් උනත් හීන් හඬින් ඇහුවා.
“නෑ මට මුකුත් වෙලා නෑ. මේ ඉන්නෙ මං හොඳට. මට මොනා වෙන්නද? අනික ඉතින් මට මොනා උනත් ඔයාට මොකෝ ඒක පේනවා කියලද” එයා නිකන් කිසිම හේතුවක් නැතුව තමයි එකපාර ඔන්න ඔහොම කියාගෙන මගෙ ඇඟට කඩං පැන්නෙ. මෙච්චර වෙලා ඇඳේ හාන්සිවෙලා උන්න මම ඇඳ විට්ටමට හේත්තුවක් දාගෙන ඇඳේ වාඩිවෙල සයිඩ් කබඩ් එක උඩ තිබිච්ච කණ්ණාඩි දෙක අරගෙන පිහිදලා ඇස් දෙකට දාගත්තා.
“අනේ නැහැ නිමී, මම මේ…” මම එයාගේ අතින් අල්ලන්න හැදුවා විතරයි, “අල්ලන්න එපා මාව. ඔයාලා ඔක්කොම එකයි අනේ” කියලා එයා කෑගැහුවේ හරියට ඇඟට යකෙක් ආවේශ වුණා වගේ. එයා කාමරෙන් එළියට ගියේ මුළු ගේම හෙල්ලෙන්න දොර වහගෙන. මම ඇඳ උඩ ගල් වෙලා හිටියේ මේ මොන විකාරයක්ද කියලා හිතාගන්න බැරුව.
එයා යද්දිත් මට ඇහුනෙ “ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ…” කියන සද්දෙ. මට හිතාගන්න බැරිවුනා ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියන එක. ඒ උනාට නිම්නා මගෙන් ඈතට යන්න යන්න ඒ සද්දෙ අඩු වෙවී ගියා.
එදා දවසම ගත වුණේ හරියට අර BnS ලගෙ සිංදුවෙ කියනවා වගේ, “හිත් ඇතුළෙ කැරකි කැරකි උපන් යකා” මගේ ඉස්සරහ නටනවා වගේ. මම මොන දේ කරත්, කොච්චර හිතලා බලලා කරත්, නිම්නා ඒ හැම දේකම දැක්කේ වරදක්මයි. එයාගේ ඇස් දෙකට මාව පෙනුණේ හරියට ලෝක අපරාධකාරයෙක් වගේ. එදා දවසෙම එයා උන්නෙ තරහෙන්. මාත් එක්ක තරහෙන් වගේ.
මම හිතුවා නිම්නාගේ මූඩ් එක හදන්නත් එක්ක පස්සෙන්දා උදේට මමම කෑම හදලා දෙන්න. “ඔන්න නිමී, ඔයා ආසම වොෆල්ස් හැදුවා,” මම හරිම ආදරෙන් කිව්වා. එයා ඒක දිහා බැලුවේ හරියට මම නිකන් කෑමට වස දාලා දුන්න වගේ ලුක් එකකින්.
“මං කැමති නෑ වොෆල්ස් වලට. මොන මගුලකටද ඔයා ඒවා හැදුවෙ. මං කන්න ආස නෑ” කියලා එයා පිඟාන මේසේ උඩින් තල්ලු කළා. මම ගල් වුණා. වොෆල්ස් කියන්නෙ නිමී මාරම ආස කෑමක්. දවසෙ මොන වෙලාවෙ උනත් නිමී වොෆල්ස් නම් කනවා. එහෙමෙකේ අද එයා එහෙම ආස නෑ කිව්වම මම නිකන් අන්දුන් කුන්දුන් වෙන එක සාධාරණයිනෙ. ඒ උනාට ඔන්න ඔහේ පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා කියලා ඊළඟට මම හිතුවා ගේ අස්පස් කරන්න. “ඇයි මගේ මේ පොත මෙතනින් තිබ්බේ? මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා කී පාරක් කියන්නද?” කියලා එයා මහා හයියෙන් කෑගැහුවා. “ගෙනෙන හැම දෙයක දොස් ලෙස දකී වකා…” සීන් එකේ තමයි නිම්නා උන්නෙ.
අන්න ඒ වෙලාවෙ නම් ඇත්තටම මට හිතුණේ මම මේ ඉන්නේ අපේ ගෙදර නෙවෙයි, මොකක් හරි වෙන පැරලල් යුනිවස් එකක කියලා. සිරාවටම, මම මොන දේ කරත් ඒක එයා අකා මකා දාලා ඒකේ දොසක්මයි දැක්කේ. මම සද්ද නැතුව මගේ පාඩුවේ කොනකට වෙලා ලැප් එකේ වැඩක් කර කර හිටියත් ඒකත් එයාට ප්රශ්නයක්. “මොකද දැන් මගෙත් එක්ක තරහ වෙලා වගේ මූණ පුම්බගෙන ඉන්නේ? මම දැන් එච්චරටම නරකද? ඔයාට දැන් මාව එපා වෙලා නේද?” කියලා එයා එක දිගට රණ්ඩුවටම එන්න ගත්තා.
මම දන්න නිම්නා කොහේ ගිහින්ද මන්දා. මේ ඉන්නේ අර ඩෙන්න ඩෙනා තාලෙට නටන, හැම දේම වරදක් විදියට දකින අමුතුම යකෙක්. මම දවසම ගත කළේ හරියට බෝම්බයක් ඇඟේ බැඳ ගෙන ඉන්නවා වගේ හරිම සීරුමාරුවට. මොකෝ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බෝම්බෙ කොයි වෙලේ පුපුරාවිද කියලා මට හිතාගන්න බැරි හන්දා. මම දැනගෙන හිටියේ නැහැ, මේ යකා ඊළඟට මාරු වෙන්නේ කොයි පැත්තටද කියලා…
ඔය විදියට අපි දවස් තුනක් විතර ඉඳියා. ඒ දවස් තුනේම මම උන්නෙ පරාණ බයකින්. තුන්වෙනි දවස වෙද්දී අර කලින් තිබුණු නපුරු ගතිය, කේන්තිය නිකන්ම ලාවට දිය වෙලා වගේ ගියා. හැබැයි ඒ වෙනුවට ආවේ ඊට වඩා අමාරු දෙයක්. මම සාලේ වැඩක් කර කර ඉද්දී බෙඩ් රූම් එක පැත්තෙන් ඇහුණේ අමුතුම විලාපයක්. අපි උන්නෙ හවස එළියට යන්න ලෑස්තිවෙලා. මම රෙඩි වෙලා සෙටියෙ වාඩිවෙලා නිම්නා රෙඩි වෙලා එනකම් බලාගෙනයි උන්නෙ. මම දුවගෙන ගිහින් බලද්දී නිම්නා බිම ඉඳගෙන මහා හයියෙන් ඉකිගහලා අඬනවා.
“නිමී… ඇයි මේ? මොකක් හරි වුණාද? කවුරු හරි මොකක් හරි කිව්වාද?” මම කලබල වෙලා ඇහුවා. එයා මගේ දිහා බැලුවේ හරියට මම නිකන් එයාට මාර ලොකු වරදක් කරා වගේ, එයාගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙනවා.
“ඔයා මට දැන් ඉස්සර වගේ ආදරේ නැහැ මලිත්… මම දන්නවා. මම දැන් ගොඩක් කැතයි නේද? මං ලාස්ට් වීක් ගත්තෙ මේ ගවුම බලන්න දැන් නිකන් මගේ බඩ මාර කැතට පේනවා මේ ඇඳුමට. මම මහත්වෙලාද කොහෙද? ඔයාට කිව්වට මට ජිම් එකක් හොයලා දෙන්න කියලා ඔයා කොච්චරවත් ලස්සනයි ලස්සනයි කිය කිය ඉන්නවා මිසක් හොයලා දෙන්නෙ නෑ. ඔයාට තේරෙන්නෙ නෑ මගෙ ඔලුව ඇතුලෙ තියෙන වදේ මේ මගේ ඇඟ මහත්වෙලා කියලා හිතෙද්දි. ඔයාට මම කරදරකාරියක් නේද? ඔයාට දැන් මාව එපා වෙලා නේද ඒක නේද එහෙම කරන්නෙ” එයා මගේ අතින් අල්ලලා අහනවා.
“නැහැ මැණික, පිස්සුද? මම කොච්චර ඔයාට ආදරේද,” මම හෙමින් එයාගේ ඔළුව අතගාන්න හැදුවා.
“බොරු කියන්න එපා! අද උදේ ඔයා මගේ දිහා බැලුවේ මම යකෙක් වගේ කියලා. ඔයා හිතනවා ඇති මට පිස්සු කියලා. මම දන්නවා… මම මහා වදයක්. ඔයා මාව දාලා යයි නේද?” කියලා එයා ආයෙත් අඬන්න ගත්තා. එක වෙලාවකට කේන්ති ගත්ත නිම්නා, දැන් හරියටම අසරණ වුණු පොඩි ළමයෙක් වගේ.
සිරාවටම, එයාගේ හිත ඇතුළේ යකෙක් පරසක්වල ගහනවා වගේ මට දැනුණේ. එක මොහොතක කේන්තිය, ඊළඟ මොහොතේ මහා දුකක්. එයාට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුව මම මංමුළා වුණා. මම හිතන්න ගත්තේ අපේ ගෙදර මොකක් හරි අද්භූත බලවේගයක් තියෙනවා කියලා. මේ තරම් පොඩි වෙලාවකදී මනුස්සයෙක් මෙහෙම වෙනස් වෙන්නේ කොහොමද? එයා මගේ පපුවට බර වෙලා අඬද්දී මම අසරණ වුණා.
දවස් හතරක් විතර තිස්සේ මගේ ගෙදර ඇතුළේ දිග හැරුණු අර මහා ඩෙන්න ඩෙනා නාඩගම ඉවර වුණේ හිතාගන්න බැරි විදියට. හතරවෙනි දවසේ උදේ මම ඇහැරුණේ හරිම බයෙන්. “අදත් නිම්නා මොන නාඩගමක් නටාවිද කියලා දන්නෙ නෑනෙ?” කියලා හිත හිතා මම හෙමින් ඇස් ඇරියා.
හැබැයි මම දැක්කේ පුදුම දෙයක්.
එදා ඇඳ විට්ටමට බර වෙලා රවාගෙන හිටපු අර යස්සනී වෙනුවට, මගේ පරණ නිම්නා හරිම අහිංසක විදියට මගේ දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා. ඒ ඇස් වල තිබුණු අර නපුරු රතු ගතිය මැකිලා ගිහින්. එයා හෙමින් ඇවිත් මගේ උරහිසට ඔළුව තියාගත්තා.
“සොරි මලිත්… මම දන්නේ නැහැ මේ දවස් ටිකේ මට මොනවා වුණාද කියලා. මම ඔයාට ගොඩක් රිද්දුවා නේද? මට සමාවෙන්න හොඳේ ඔයා දන්නවනෙ පීරියඩ්ස් දවස්වලට මම නිකන් යකින්නක් වගේ වෙනවා කියලා” එයා හීන් හඬින් එහෙම කිව්වා.











