විහඟි චායා ආහාර ගන්නා තුරු ඈ අසලට වී උන්නාය. සස්මිතගේ ඇමතුම එන විට පසෙකට වූවාය.
” සස්මිත ….”
” මගේ නෝනා නැගිට්ටාද ?..”
” නැගිටලා… කාලා ඉවර කලා විතරයි ..”
” හරි … අයියා මට වැඩකට ගිහින් එන්න කිව්වා… මම ඉක්මනට ඒ වැඩේ ඉවර කරගෙන ඇවිල්ලා ඔයාට ගන්නම් හොඳද ?… මනස්ගාත කතන්දර ඔලුවෙන් අයින් කරලා, හොඳ කෙල්ල වගේ, වැඩ වලට ෆෝකස් කරගන්න … මොන දේ සිද්ද වුනත්, මම ඉන්නවා…”
චායා කඳුලු නවතාගනිමින්, සස්මිත තමා අසල සිටිනවායැයි සිතමින් හිස සලමින් ඔහු හා එකඟ වන බව පෙන්වූයේය. සස්මිතගේ හඬ එහා පසෙක් ඇසෙද්දී , සිහින් ස්වරයෙන් අමතමින් ඔහු හා එකඟ බවත්, හැකි ඉක්මනින් හමුවී කතා කරන්නට අවැසි බවත්, පරෙස්සමින් වැඩ අවසන් කරගෙන පැමිණෙන ලෙසත් පවසා ඇමතුම විසන්ධි කලාය. විහඟි හා කතාබහට ඉන් පසුව ඕ කාලය වෙන් කරගත්තාය.
සස්මිත, චරක විසින් ලබා දුන් ලිපි ගොනු අදාල නිලධාරියාට ලබා දී, ඉන් පසුව යළි චරක රැඳී උන් රැස්වීම් ශාලාව වෙත ආවේය. චායා ඇමතීම සඳහා ඔහු ජංගම දුරකතනය අතට ගත්තේ, වාහනයෙන් පිටතට බැස අසල වූ ගල් බංකුවක් මත හිඳගනිමින්මය.
විජේසිරි මහතාගේ දියණියගේ අංකයෙන් ඇමතුම් කිහිපයක්ම විය. ඇය කිසිදිනෙක තමාට එලෙසින් ඇමතුම් ගත් බවක් මතකයේ නැත. ඔහු වහා ඇමතුවේය. පලමුවර පිළිතුරු නොලැබෙද්දී, දෙවැනි ඇමතුමට පෙර සස්මිත විජේසිරි මහතාගේ අංකයට එක්වරක් ගනිමිනි සිතුවේය. ඒත් සමඟම විජේසිරි මහතාගේ දියණියගේ අංකයෙන් ඇමතුමක් ආවේය.
” හෙලෝ .. අක්කේ…”
අනෙක් පසින් ඇසුණේ මහා හඬා වැටුමක් වෙද්දි, සස්මිත කිසිත් වටහා ගන්නට නොහැකිව, කිසිවක් නොවිමසාම අසා උන්නේය.
” අනේ මල්ලී … ඔයාගේ විජේසිරි අංකල් නැති වුනා මල්ලී …….”
මහා ප්‍රාමාණික හෙණයක හඬින් ඇසුණේ කුමක්දැයි ගලපා ගන්නට සස්මිතට සෑහෙන වතාවක් යලි යලි එය මොළය තුල කරකවා දමන්නට සිදු විය.
” මොකක්ද ?…”
“අනේ ඔව් මල්ලී … තාත්තාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා.. ස්ට්‍රෝක් එකක් ඇවිල්ලාලු …. පැය තුනක් විතර අයි සී යූ තියාගෙන උන්නා මල්ලී … අනේ … අපිට බේරගන්න බැරි උනානේ… හනේ ….”
සස්මිත කිසිවක් පැවසුවේ නැත. අනෙක් පසි කුමක් පවසනවාදැයි ඔහුට ඇසුනේද නැත. සස්මිත විසන්ධි වූ ඇමතුම දෙස බලා උන්නේය. දැනෙන වේදනාව පවසන්නට හැකි කිසිවෙකුත් ඔහුට සිහි වූවේ නැත. චායාට මේ වේදනාව එතරම් බර ඇයිදැයි කිසිලෙසකින්වත් වැටහෙන්නේ නැත. චරක මෙය සමීපතමයකුගේ අහිවිමීමක් ලෙසින් දකිනවා ඇත. චරකගේ දෙමාපියන්ට මේ අහිමිවීමේ වේදනාව යම් බරකින් දැනෙනවා විය හැකිවා සේම, එක් අප්සෙකින් යම් වගවීම් නිදහස් වීමක් ලෙසින්ද දැනෙනවා විය හැක. විජේසිරි මහතාගේ නිවසේ අයවලුන් තරමට , ඇතැම් විට එයද ඉක්මවන වේදනාවද, බලාපොරොත්තු බිඳී යාමද, ඉච්ඡා බංගත්වයද ඇත්තේ තමාටම පමණක් බව සස්මිතට එක හුස්මට කල්පනා වී ආවේය.
” ජීවිතේ සැනසීමෙන් හුස්මක් වැටෙන්න පටන් ගත්තා විතරයි, ඇයි මාව මෙහෙමම පරික්ෂා කරන්නේ දෙයියනේ… මට යන්න ඕනි පාර පෙන්නන්න හිටිය එකම එක මනුස්සයා ඒ. … හිර වෙලා උන්න කලු කුහර වලින් මම එලිය හොයා ගත්ත විදිය දන්න එකම එක මනුස්සයා ඒ … තමන් මාව පටලවපු පබ ගාලෙන් මම එලියට එනකල්ම මාව අල්ලන් උන්න මිනිහා ඒ …. එහෙව් මනුස්සයෙක් මගෙන් වෙන් කරලා දාලා කොහොමද ?… කොහොමද ?… කොහොමද මාව දාලා ගියේ අංකල් ?…. “
සස්මිත වාහනයට හේත්තු වෙමින් දොර විවෘත කරගත්තේය. මේ වේදනාව පාලනය කරගත යුතු බව වැටහෙන්නේය. නොවැටහෙන්නේ එය කල යුත්තේ කෙලෙසද යන්නය.
තමා පසුගිය වසර දොළහ තුල පසු කර ගෙන ආ ගමන් මඟ පිළිබඳ එකම සාක්ෂිය සහ එකම ශක්තිය ගිලිහී යාම තුළ තම අසරණ වීම කෙලෙසකින් දරාගන්නදැයි අයෙකුට නොවැටහීම අරුමයක් නොවේය.
සස්මිත වතුර බෝතලයක්ම හිස් කලේය. මුහුණ හොඳින් තෙමී යන්නටම සෝදා ගත්තේය. තමාගේ පාලනය නොවුවහොත් බොහෝ දේ එක්වරම පැටලැවී යා හැකි බව වටහා ගන්නට උත්සාහ කලේය. විජේසිරි මහතා සමුගෙන ඇත. එය එලෙස නොවේයැයි කිව නොහැක. එය එලෙස නොවී තිබෙනවානම් කියා උපකල්පන ගොඩ නැංවිය හැකිද නොවේය.
තමා මේ සැබෑ ප්‍රවාහයේ නොගිලී පීනා යා යුතු බව සස්මිත පැයක් යද්දී වටහාගෙන ඒ වෙනුවෙන් සූදානම් වූයේය. චරක කලබලයෙන් වාහනය වෙත ඇවිද එද්දී, සස්මිතගේ හදවතෙහ් ගැස්මද වේගවත් විය. තමාගේ වේදනාවේ ප්‍රමාණය කෙලෙසකින් චරක වෙත තෝරා පෙන්විය යුතුදැයි වැටහෙන්නේ නැත.
” සර් ?…”
” උඹට පණිවිඩේ ආවාද ?..”
” ඔව් සර් .. එහෙ අක්කා කිව්ව…”
” ශික් .. මාර අවුලනේ .. අපේ තාත්තත් පොඩ්ඩක් අවුල් ගිහින් ලු පණිවිඩේ කිව්ව ගමන්ම කියලා අම්මා කතා කලා… ඒ දෙන්නත් එලියට යන්න පිටත් වෙලා , ඒ ගමන්මලු කෝල් එක ආවේ… අම්මා තාත්තව එහෙමම ඇඩ්මිට් කරලා…”
සස්මිතට චරකගේ පියාගේ වේදනාව නොවැටහෙනවා නොවේ. විජේසිරි, ඔහුගේ ජීවිතයේ වඩ වටිනාම කාර්‍යයක් වෙනුවෙන් දර දිය ඇදි කෙනෙක් ය.
” අපි මොකක්ද කරන්නේ සර් ?..”
” මට තව විනාඩි විස්සක් විතර මෙතන වැඩේට ඕනි සස්මිත … ටෙන්ඩර් ඕපනින් එකක ප්‍රශ්නයක් වෙලා කියලා දෙන්නෙක් මාව මුණ ගැහෙන්න වෙලා දාගෙන තිබුනා.. අපේ කාටහරි කතා කරලා, අම්මව කන්ටැක් කරල දීලා හොස්පිට්ල් එකට යන්න කියන්න බලලා… චායාටත් අරගෙන කියන්න කලබල නැතුව වාහනයක් දාගෙන යන්න කියලා…”
” හරි සර් …”
චරක නොපෙනී යන්නටත් පෙරම සස්මිත චායා ඇමතුවේය. ඇමතුම පිළිගනිද්දීම ඇගේ හඬෙහි වෙනස ඔහු ඇඳින්නේය.
” අනේ ඔයාලා එන්න පිටත් වුනාද සස්මිත .. අපේ අයියා මැසේජ් බලන්නේ නෑනේ….”
” අහන්න මැණිකේ.. කලබල වෙන්නෙපා.. එහෙම කලබල වුනාම ඔක්කොම පැටලෙනවා…”
” ඔයා ..ඔයා .. දන්නවාද ?..”
” ඔව් .. දන්නවා…”
” විජේසිරි අංකල් නැති වෙලා.. අපේ තාත්තා පණිවිඩේ දැනගත්තම අසනීප වෙලා …. එයා වාහනේ ඩ්‍රයිව් කරන්මයි ගියේ… “
චායා සස්මිත දන්නා තොරතුර තහවුරු කරන්නට කීවාය. සස්මිත ඇයට ඉඩ දී අසා උන්නේය.
” හරි කෙල්ල .. දැන් තාත්තා ඇඩ්මිට් කරලා …. ඒ නිසා අපි කලබල වෙනෝනි නැහැ… ඔයා වාහනයක් දාගෙන ඒ තැනට යන්න … අම්මා ළඟ ඉන්න.. අපි තව විනාඩි විස්සෙන් පිටත් වෙනවා…”
” හා ..”
” විහඟි කෝ ?..”
” එයා ව එක්ක යන්නේ නෑ.. මම හෙලගෝ එකක් එනකල් මේ ඉන්නේ”
” හරි … වාහනේ ආවම මට ලොකේෂන් දාලා තියන්න …”
සස්මිත චරකගේ හිතවතුන් දෙදෙනෙකුම අමතා පණිවිඩය කීවේය. විජේසිරි මහතා ගේ අහිමිවීම යන්න සැනින් සිහිවී ගින්නක් සේ විත් සස්මිතව දවාලන්නට ගෙන තිබුනේය. වඩා රිදුම් දෙන්නේ එවන් අංගාරය.


