අංගාර – 53

0
281

චරක පැමිණියාට පසු, දෙදෙනා වහා ගමන් ඇරඹූහ. මානසිකව දෙදෙනාම උන්නේ වෙහෙසකිනි. චරකගේ සිතෙහි වැඩි බර වූයේ පියා පිළිබඳවය. සස්මිත උන්නේ විජේසිරි මහතාගේ අහිමිවීම සහ චායා ඇගේ පියා පිළිබඳව වන කලබලය නිසා වෙහෙසෙමිනි.

” විජේසිරි අංකල්ව උඹට සෙට් වෙන්නේ කොහෙන්ද ?..”

සස්මිත උන්නේ චරක එම පැනය විමසන බව දැනගෙන එයට පිළිතුරුද  සකසාගෙනය.

” තාත්තලා යාලුවෝ සර් … ඒ ඇරුනහම, එහේ අක්කයි අපේ අක්කයි දන්නවා.. මම ඉටැලි ඉද්දී අංකල්ගෙ වැඩ වලට උදව් කලා… ඒකෙන් මා එක්කත් හිතවත්කම හැදුනා … පස්සේ මම එහෙ ලොස් වෙලා පිස්සු කෙලිනකොට, තාත්තා අහම්බෙන් අංකල්ව මුණ ගැහිලා විස්තර කතා කරලා තිබ්බා.. ඊට පස්සේ තමයි මම අංකල් එක්ක සෙට් වුනේ… සර්ගේ තාත්තා අංකල්ගේ හිතවත්ම කෙනෙක් කියල, සර් ලවා මට ආයේ රට යන්න හරි ආයේ සෙට් කරන්නම් කියලා අංකල් හිතාගෙන හිටියේ .. පස්සේ එකපාරටම මේක සෙට් වුනේ… ආයේ රට ගිහින් ඒ රේස් එකේ දුවන්න ඕනි නෑ කියලත් කොහොමටත් මගේ හිතේ තිබුනා සර්.. සර් දෙන්න පොරොන්දු වුන ගාන මට ඇති කියලා හිතුනා… සර් ගැන හොයලා බැලුවම, අවුරුද්දක් හමාරක් සර් එක්ක වැඩ කරන්න කියලා විජේසිරි අංකල්ගේ යෝජනාවට මම එකඟ වුනා..”

” කොච්චරක් වුනත් අංකල් මිනිස්සුන්ට උදව් කරනවා.. මං ලවාම සෑහෙන්න ඔහොම වැඩ කරගෙන තියෙනවා… උබට කියන්න, මම සමහර වෙලාවට අපේ තාත්තා එක්ක රණ්ඩු කරනවා බං, මේ මිනිහා මෙච්චර මිනිසුන්ට උදව් කරන්නේ මොකටද කියලා …..”

චරක එලෙසින් පවසද්දී, සස්මිත හිස සැලීම පමණක් කලේය.

චරකගේ පියාගේ තත්වය බරපතල නොවූවත් ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ රැයක් නවතා තැබීමට තීරණය කෙරුණි. පසුදා උදෑසන සස්මිත ඇතුලුව සියලුම දෙනා, විජේසිරි ගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් පිටව ගියහ. සස්මිත චායා සහ චායාගේ දෙමාපියන් එක් වාහනයකත්, චරක සහ විහඟි අනෙක් වාහනයේත් ගමන් ඇරඹූහ.

චායා ඉදිරි අසුනේ උන්නද, කිසිඳු වගක් නැතිවාක් මෙන් සස්මිත නොසලකා හරිමින්ම උන්නේය. චායා ට විජේසිරිගේ මරණය පිළිබඳව වගක් නොවූවත්, විජේසිරි සහ සස්මිත අතර යම් සමීප සම්බන්ධතාවයක් ඇති බව දැන උන් නිසා, සස්මිත ඉන් සිත රිදවාගෙන ඇතැයි යන සිතුවිල්ලෙන් ඇය යම් වේදනාවක උන්නාය.

පිරිස ගමනාන්තයට ළඟා වුන මොහොතේ පටන් සස්මිත චායා ඇතුලු පවුලේ අයව මග හැරීම සඳහා යම් වෙහෙසක් ගත්තේය. විජේසිරි මහතාගේ පවුලේ අයවලුන් කෙරෙන් තමා කෙරෙහි පලවන ලෙංගතුකම , චායා , චරක ඇතුලු පවුලේ අයවලුන් කෙලෙසින් වටහා ගනීවිදයි යන සැකය සස්මිතගේ සිතෙහි ඉතා තදින්ම විය. එනිසාම ඔහු සැලකිල්ලෙන් උන්නේය. එහෙත් චායා හැරුණුකොට අන් කිසිවෙකුට එය වගක් වූයේ  නැත.

සස්මිතව වැලඳගෙන  විජේසිරිගේ දියණිය ලෙසින් පෙනී උන් යුවතිය හඬා වැටෙනු දුටු චායා ඉන් කතාවක් ගොතා ගැනීම ඇරඹුවේය. සස්මිතට ඕ ගත් ඇමතුම් කිහිපයම ඔහු විසින්  විසන්ධි කිරීම තුළ ඇගේ කතාව ගෙතීමේ වේගය වැඩි විය.

එහෙත්, චායා ඉවසීමෙන් බලා උන්නේය.

” සමහරවිට, මම මේ හිතුවට ඒගොල්ලෝ කාලේක ඉඳන් දන්නවා ඇති .. සස්මිත ගෙවුණු කාලේ උන්නේ විජේසිරි අංකල් එක්කමද කියන්න දන්නේත් නැහැනෙ.. සහෝදරකම් තියෙනවා වෙන්නත් පුලුවන් .. මම මේ බොරුවට කල්පනා කරලා , කතාවක් හදාගන්නද දන්නේ නෑනේ ඉන්නේ… සස්මිත කතා කරනකල් ඉන්නවා මම …”

චායා විහඟි ඇසුරේ උන්නාය. එදිනම සවස අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව, චරක පෙරලා කොළඹ යෑම සුදුසු බව යෝජනා කලේ, පියාටද විවේක ගැනීම අවශ්‍ය බව අවධාරනය කරමින් ය.

” සර් .. මම සර්ලාව ඇරලවලා ආයේ මෙහෙ එන්නද සර් ? .. මට දවස් දෙකක් නිවාඩු දුන්නා නම් ඇති ..”

” උඹ ආයේ එන්නෝන් නෑ.. වාහනයක් තියාගනින්.. මම මේකේ අම්මලාවයි, නංගිවයි එක්ක යන්නම් ..”

” නෑ සර් .. මට එහෙම ඕනි නෑ …..මට මැඩම්ලාව ඇරලවලා එන්න පුලුවන්.. පැයක් යන්නේ නෑනේ … අනෙක, මට එහෙම දවස් දෙක තුන වාහනයක් තියාගන්න බෑනේ සර් …”

” සර් කියනවනේ..ඔය ළමයා ඒ විදියෙන් කරන්න .. දැන් මේ එක දිගට මහන්සි වෙලානේ ඉන්නෙත් .. අපි සර් එක්ක යන්නම් …”

චරකගේ පියා අවසාන තීරණය දුන්නේය. චායා උන්නේ නොසන්සුන්වය. සස්මිත දින දෙකක් නැවතීමට අවශ්‍ය බව පවසන්නේ කුමකටද ?..

” විහඟි .. අරයා මොකටද මෙහෙ නවතින්න හදන්නේ..”

අනෙක් අයගෙන් විහඟිව තනි කරගත් වහාම චායා නොරිස්සුම පල කලාය.

” අපි දන්නේ නෑනේ, සස්මිතට මෙහෙ අය එක්ක තිබ්බ රිලේෂන්ශිප් එක චායා .. සමහරවිට , සස්මිතගේ ජීවිතේ අමාරුම කාලයක් පහු කරගන්න මේ මිනිස්සු උදව් කරා වෙන්නත් පුලුවන් නේ ..”

” ඒ වුනාට අර ගෑණි ආව වෙලේ ඉඳන් සස්මිතගේ පස්සෙන්මනේ .. මට බලන් ඉන්න බෑ .. ඒ මදිවට සස්මිත හැසිරෙන්නේ මාව දන්නේ , දැකලා ණැති ගානට .. මම කොහොමද දාලා යන්නේ විහඟි …”

” මෝඩියෙක් වගේ කියවන්නෙපා චායා .. ඔහොම වටකරගෙන, නූල් දාගෙන මිනිස්සු රැකගන්න එක කොච්චර කල් කරන්නද ?.සස්මිත ආව වගේම ඌ යන්නත් පුලුවන් කියනෙක, උඹ තේරුම් ගන්න ඕනි කෙල්ල … සස්මිත කියන්නේ අපි හිතනවාට වඩා, කරකුට්ටං වුන මිනිහෙක් .. ඒක නෑ කියන්න බෑ අපට … ඉතින්..ඕනි දෙයක් .පිලිගන්න ඕනි චායා… මේ මොක කොහොම වුනත්, අයියා දැනුවත්ව හෝ නැතුව, අපි කවුන්සලර් කෙනෙක්ව මුණ ගැහෙන්න ඕනි …. උඹ මේ ඉන්න විපරීතම මානසිකත්වේ උඹම රීඩ් කරගන්න ඕනි..”

” ඔය ඔක්කොම හා .. ඒත් … සස්මිතව දාලා යන්න බැහැ ..”

” ආයේ ආයෙම ඒකම කියන්නෙපා චායා .. මෙවෙලේ  ඩ්‍රාමා එකක් කරලා, ඒ කොල්ලාගේ ප්ලෑන් ඔක්කොම විනාස කරනවාද, එහෙම නැත්නම් මෙවෙලේ ඉවසීමෙන් ඉඳලා ඉස්සරහට හොඳම දෙයක් වෙන විදියට දේවල් කරගනන්වාද කියලා…”

අවසානයේ චායා  අම්මා සහ තාත්තා සමඟ චරකගේ වාහනයට නැග්ගාය. සස්මිතට කෙටි පණිවිඩයක් හෝ නොතබා හිඳින්නට හිත දැඩි කරගත්තාය.

සස්මිත විජේසිරිගේ නිවසේ සියලු වැඩ කටයුතු සොයා බැලුවේය. විජේසිරිගේ දියණිය සහ පුතු සස්මිතට සියලු වගකීම් අතැර ඔහේ හිඳ උන්නේ තවමත් කුමක් සිදු වූයේදැයි සිතා ගන්නට නොහැකිවය.

චායා නිවසට ගියාට පසුවද සස්මිත අමතන්නේ නැතිවම උන්නාය. සස්මිත ඇයව ඇමතුවේ රාත්‍රී එකොලහත් පසුවූවාට පසුවය. චායා පලමු ඇමතුම විසන්ධි කර දැම්මාය. දෙවෙනි, තෙවෙනි ඇමතුම්ද විසන්ධි විය. තවත් ඇමතුම් කිහිපයක්ම මඟ හැරෙන්නට දුන් ඕ අවසානයේ පිළිතුරු දුන්නේ කෝපය පිරෙනට දුන් හඬකිනි.

” අක්කලා , නංගිලා ඔක්කොමලා හුරුතල් කරලා, කවලා, පොවලා, නිදිකරවලා වෙන්නැති මට ගන්නේ නේ ?..”

එක්වරම බෝම්බයක් සේ කඩා වැටුනේ කුමක්දයි සස්මිත කල්පනා කලේ, කල්පනාවේ අගට මදහාසයක් වැටෙද්දීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here