චායා නිවසට ගියාට පසුවද සස්මිත අමතන්නේ නැතිවම උන්නාය. සස්මිත ඇයව ඇමතුවේ රාත්‍රී එකොලහත් පසුවූවාට පසුවය. චායා පලමු ඇමතුම විසන්ධි කර දැම්මාය. දෙවෙනි, තෙවෙනි ඇමතුම්ද විසන්ධි විය. තවත් ඇමතුම් කිහිපයක්ම මඟ හැරෙන්නට දුන් ඕ අවසානයේ පිළිතුරු දුන්නේ කෝපය පිරෙනට දුන් හඬකිනි.
” අක්කලා , නංගිලා ඔක්කොමලා හුරුතල් කරලා, කවලා, පොවලා, නිදිකරවලා වෙන්නැති මට ගන්නේ නේ ?..”
එක්වරම බෝම්බයක් සේ කඩා වැටුනේ කුමක්දයි සස්මිත කල්පනා කලේ, කල්පනාවේ අගට මදහාසයක් වැටෙද්දීය. සස්මිත නිහඬවම උන්නේය.
චායා පුපුරා හැලෙන්නට වූවාය.
” මාව නොදන්න, නොදැක්ක මිනිහෙක් ගානට හැසිරිලා, ඇයි ඔයා දැන් කතා කරන්නේ කියන්නකෝ … මොකටද ?”
” එහෙනම් දැන් මොකක්ද නෝනා මට කරන්න කියන්නේ?..ම්ම්ම්…”
” සස්මිත සියලු වේදනාවන් පසෙක දමා ඇගේ සිත් වේදනාව හඳුනා ඔසු ගල්වන සූදානමින් ඇසුවේය. ඇය විෂ ගැහැණියක හෝ සීමාව ඉක්මවමින් අනෙකා පීඩා කරන ගැහැණියක නොවන බව සස්මිත ඉන්තේරුවෙන්ම දනි. එහෙත්, වසර දොලහක් දහතුනක් තිස්සේ, ඕ තමා නමින් ගුලි ගසා, සඟවාගෙන උන් පීඩනය කෙලෙසකින්ම හෝ පුපුරා යන්නට ඉඩ දිය යුතුය. මනෝ චිකිත්සකවරයෙකු හමුවී තමන් දෙදෙනාගේ කතාවේ බොහෝතැන් පැවසූ විට ලැබුණි පිළිතුර වුයේ එයය.
” ඔයාට කැමති දෙයක් කරගන්න අනේ.. ඔයා දේවල් මගෙන් අහ අහ කරන්නේ, මං ඔයාගේ කවුද ?..”
” උඹ මගේ ගෑණි චායා…. ආයේ ඒක කොහොමද මම කියන්නෝනා…”
චායා බලාපොරොත්තු නොවූ ස්වරයකින් සස්මිත එලෙස පවසා නිහඬ වූයේය. ඒ නිහඬ වීම පසුපස චායාටද නිහඬ වීමම හැරෙන්නට අන් විකල්පයක් තිබුනේ නැත. සස්මිත ඇමතුම විසන්ධි කර වට්සැප් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වූයේය. චායාට එක පිළිනොගෙන සිටින්නට හැකි වූයේ නැත.
” ඒකි මට වඩා අවුරුදු නවයක් වැඩිමල්… පොඩි කෙල්ල දැන් නවය වසරේ.. කොල්ලා හතේ… ඒ අයියා ඉන්ජෙක් .. ඒකිට මම ඒකිගේ මල්ලි වගේම කොල්ලෙක් … “
චායාගේ ඇනුම්පද වලට ඉඩක් නොතබාම, සස්මිත ඇයට පැවසුවේ බැරෑරුම් නොවුණු හඬකින් ය. චායා එයට කිසිත් නොපවසාම උන්නාය.
” මගේ ජීවිතෙන් තුනෙන් පංගුවක්ම ඔයාට හංගන ගමන්, මාව විශ්වාස කරන්න කියනෙක සාධාරණ නැහැ කියලා මට තේරෙනවා මැණිකේ… ඒත්, කොහෙන් කොහොම මේ දේවල් පටන් අරන් ඔයාගේ ජීවිතේට හේත්තු කරවන්නෝනාද කියලා හිතාගන්න හිතාගන්න බැහැ කෙල්ල .. ඒ හින්දා මේ කටවහගෙන ඉන්න එක ගැන අහිතක් හිතන්නෙපා… “
චායා නිවෙමින් උන්නාය. තමා ගෙවුණු වසර දොළහ ගෙවාගත්තේ බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව බව ඕ දනී. එවන් පිරිසකට මැදිව උන් තමා පවා උන් පීඩනය කෙලෙසකින්දැයි, චායාට එක්වරම සිහි විය. එහෙව් සමයක සස්මිතගේ තනියට ඉන්නට ඇත්තේ ඔවුන් විය යුතුය. එහෙව් මිනිසුන්ගේ ජීවිත වල මහා ව්‍යසනයක් වූ විට සස්මිතට මඟ හැරිය හැකි නොවේය.
” ඔය දැන් අඬනවාද ?…”
” ම්හ්හ් …”
” හිතුවක්කාර ගෑණියෙක් නේ …”
” මට තේරෙන්නේ නෑ සස්මිත ….. මං හිතුවේ මගේ නිවීම ඔයා ළඟ කියලා.. ඒත්, විහඟි මට තේරුම් කරන විදියට , මම දැන් දැවෙන කෙල්ලෙක් වෙලා… හැමවෙලේම, හැමදේම ගැන …”
” ඔයාගේ නිවීම තියෙන්නේ මගේ ඇතුලේ නෙවෙයි මැණික…. ඔයාගේ නිවීම වෙන කා ඇතුලෙන්වත් හම්බෙන්නේ නෑ ..ඔයාගේ නිවීම තියෙන්නේ ඔයා ඇතුලේමයි … ඔයා ඔයාගේ නිවීම හොයාගත්තට පස්සේ, ඔයාට ඔයා වටේ ඉන්න මිනිස්සුන්ගේ නිවීම වෙනුවෙන් ඔයාට පොඩි පොඩි දේවල් කරන්න පුලුවන් වෙය් …. හරියට, පහුගිය අවුරුදු ගාන පුරාවටම ඔයා ඔයාගේ නිවීම ඔයා ඇතුලෙත් හොයාගෙන, ඒ නිවීම නඩත්තු කරගෙන, ඒ නිවීමෙන් මගේ නිවීම හදලා දුන්නා වගේ ..”
” මොනවද සස්මිත ඔයා කියන්නේ ?…”
” ඔයාට කෑල්ලක් කියන්න යන්නේ.. ඒක අහගෙන ඉන්නවා මිසක්කා, ඒකෙන් ආයේ ප්‍රශ්න අහන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්නෝනා …….”
” පොරොන්දු වෙන්නම් …”
සස්මිත මිදුලේ වූ ප්ලාස්ටික් අසුන් තුනක් එකට වන සේ සකසා එහි වැතිරුනේය. අහස දෙස බලාගෙන ජංගම දුරකතනය හුරු සවනට වන සේ මාරු කරගත්තේය.
” මං ගියාට පස්සේ, ඔයා කල කී ගොඩක් දේවල් මම දැනගෙන උන්නා චායා … සමහර දේවල් මම දැක්කා…”
චායා ඇසුණේ කුමක්දැයි කල්පනා කලාය. ඔහු පවසන්නේ ගෙවුණු වසර දොළහ පුරාවටම ඔහු තමා දෙස බලා උන් බවද ?.. දවසක් දෙකක්, සතියක්, මාසයක් නම් ඔහු පවසන දෙය විශ්වාස කර හැකිය. එහෙත් මේ පවසන්නේ වසර දොළහක් පිළිබඳවය. දින තුන්දහස් පන්සීයක් ඉකමවා ගිය කාලයක් පිළිබඳවය. චායා කාමරයේ විදුලි පහන් දැල්වූවාය. යහනේ හිඳගෙන, අසල වූ වතුර වීදුරුවෙන් අඩක්ම හිස් කලාය.
” කෙල්ල …”
” ඔයා හදන්නේ මොකක් කියන්නද සස්මිත …?”
චායාගේ හඬෙහි වූයේ අවිනිශ්චිත වෙව්ලීමක් බව සස්මිත වහා වටහාගත්තේය. තමා අසලක හෝ නැති, චායා යම් පීඩනයක ඉන්නා රැයෙක තමා පවසන්නට යන කතාවෙහි බර සස්මිතගේ හිත තුල හරිහැටි තරාදියට වැටී කිරෙන්නට ගත්තේය. සස්මිත තම නළලත සුරතෙන් පිරිමැදගත්තේය.
” ශිට් …”
ඔහු තමාටම බැණ වැදුනේය.
” සස්මිත ……..”
” චායා … මගේ හොඳ කෙල්ල වගේ නිදාගන්නවාද දැන් ?…. මම හෙට ඔයාව මුන ගැහෙන්නම් අනිවාර්‍යෙන්ම ඔයාව ..”
” බෑ .. බෑ ..ඔයා ඒ කීව කතාව මොකක්ද කියලා මට කියන්නෝනි ඔයා දැන් .. අනේ ඔයා එපා අහන්න කිව්වහම මම අනෙක් හැමවෙලේම සයිලන්ට් වුනා…ප්ලීස්.. ඔයාමයි කියන්න පටන් ගත්තේ.. දැන් .. මට අහන්නෙපා කියන්නෙපා .. මගේ ඔලුවත් එක්ක හෙල්ලිලා ගියා …. ඔයා මොකක්ද කියන්නේ?.. ඔයා මට මොකද ඒ කලේ?… ඇයි මට එහෙම කලේ ?..”
චායාගෙ හඬ වෙවිලිල්ලේ පටන් ඉකියකට පෙරලෙමින් තිබුණි. සස්මිත හිඳගත්තේය.
” අඬන්නේ නැතුව ඉන්න එහෙනම් ..”
ඔහු එවර යම් දැඩි හඬකට මාරු වූයේය. චායා කඳුලු පිසදාගෙන , ඉකි බිදුම නෑසෙන සේ හුස්මකින් ගිල ගත්තාය.
” කියන්න ..”
ඕ හැඬුමද, ඉකියද නැති බව ඇඟෙව්වාය.
” මම එදා අතුරුන්ද වෙලා ගියේ , ආයේ එන දවස හරියට කියන්න මමවත් දැනගෙන උන්නේ නැති හිතුවක්කාර ගමනක් කෙල්ල … එවෙලේ ඒ කල දේ මගේ පැය කිහිපෙක තීරණේකින් මම කල දෙයක් …හැබැයි ඒ තීරණේ පස්සේ එක යෝධ මිනිහෙක් උන්නා… ඒ කෙනා මට පොරොන්දු වුනා… මොන දේ වුනත්, ඒ මම ගන්න යන තීරණේ හින්දා මගේ ජීවිතේය අවැඩක් නපුරක් වෙන්න දෙන්නේ නෑ කියලා… කාලයක් දුක් විඳින්න වුනත්, හැමදේම හරිගස්සලා දෙනවා කියලා පොරොන්දු වුනා….”


