හති හළමින් දිව ආ වඩිවේල් වහ වහා හැඳ පැළඳගෙන දෙතුන් වතාවක්ම ඉක්මනින් ගොස් හෝටල් සංකීර්ණයේ නතර වී සිටින අමුත්තන් හට ආහාර පිළියෙළ කරදීම සිදු කරන්නැයි අදීරා හට පවසා සිටියේය . වඩිවේල් නික්ම ගිය පසු හෝටලය වෙත පැමිණි අදීරා හෝටලයේ රැඳී සිටි පිරිසට උදෑසන ආහාරය සකසා ඉන් පසුව දහවල් ආහාරයත් සකසමින් උන්නාය. කඳු වළල්ල දෙසින් ගිගුරුම් හඬ නඟමින් මහ වර්ෂාවක සලකුණු පෙන්වමින් සිටි අහස් ගැබ මධ්‍යාහනය වන විටම අනෝරා වැස්සක් සේ කඩා වැටුණේය. අදීරා හදවතින් දැවෙමින් උන්නාය . උදෑසන හෝටලයට ආ පිම්ම තවමත් උයා පිහා අවසන් කර නැත. ඒ සියල්ල අවසාන උවද වර්ෂාව මධ්‍යයේ හෝටලයෙන් පිටතට බැසීමට නොහැකිය. සැඩ සුළඟක් සමඟ කඳු වළල්ල දෙසින් හමා ආ මහා වර්ෂාව අතරින් එක පිට එක අකුණු පුපුරමින්ද තිබුණේය. බැංකු මාත්තයා දහවල් කෑම ගැනීමට එන්නට ඇත. දෑස කරකවමින් තමාව සොයන්නටත් ඇත. වර්ෂාව අඩු වුවද කිසිවෙකුට හෝ කුමක හෝ අත්‍යාවශ්‍යතාවයක් ඇති වුව හොත් තමා සිටිය යුතුමය. අදීරාට රහසින් ඇගේ මුහුණ බෙරී වී ගොස් තිබුණේය.
අද දිනයේ යාබද ෆයිනස් කැළයේ ඇවිදීමට සැලසුම් කර සිටි තරුණ පිරිසට එක දිගට වහින අනෝරා වර්ෂාව හමුවේ එය කළ නොහැකි වූයේය. වර්ෂාව හා අකුණු කෙටීම නිසාම විදුලියද ඇණ හිට තිබුණේය. හෝටල් සංකීර්ණය පුරා පැවතියේ දැඩි පාළු ස්වභාවයකි. හිරු එළියක් තබා කිසිදු ආලෝකයක් නොමැත. උදෑසන සිදු වූ සිදුවීමද මෙතෙක් තිබූ ප්‍රීතිය යම් තාක් දුරකට නැති කර දමා තිබුණේය. හෝටලය වටා වර්ෂාවත් සමඟ දැඩි මීදුම් දුමාරයක් සේ පරිසරය වසා ගොස් තිබූ අතර තරුණ පිරිස සියල්ල අකා මකා යෑම සඳහා සුපුරුදු ලෙස මත්පැන් බොතල් විවර කරමින් සිටියේය.
” උඹ ඊයේ රෑ කොහෙද නිදා ගත්තේ ?”
ඇමැන්ඩ්‍රාත් , ජෙසිකාත් එහා මෙහා වෙමින් සිටි අවස්ථාවක් බලා ටෙහාන් වෙතට හැරුණු අසංග එසේ ඇසූ අතර එය ඇසුණු වහා ටෙහාන් මඳක් තැති ගත්තේය .
” ම්ම්.. ඇයි ..?”
” ඇයි අහන්නේ ? මං නිදා ගත්තේ තනියම. මයන් නිදාගත්තේ තනියම . මූයි , ටැමියි එකම රූම් එකක නිදාගත්තේ. “
අසංග ක්‍රිශාන් වෙත අත දිගු කර එසේ පැවසූ අතර සෙසු පිරිසද පිළිතුරක් බලාපොරොත්තුවෙන් ටෙහාන් දෙසට හැරුණහ.
” මං හිටියේ ජෙසීගේ රූම් එකේ..”
” ඈහ්…?”
සියල්ලෝම විමතියෙන් ටෙහාන් දෙස බලා සිටි අතර ඔහු කිසිවෙකු දෙස හෝ නොබලා ලැජ්ජාවෙන් හිස බිමට බර කරගෙන සිටියේය .
” අඩෝ.. අඩෝ.. උඹ සද්ද නැතුව වැඩේ දීලා නේද ?”
ක්‍රිශාන් , ටැමී හා අසංග නොයෙක් දෑ පවසමින් ටෙහාන් හට සිනාසුණු අතර මයන් නැවත වතාවක් රක්ත වර්ණ දෑසින් සිත යටින් ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටියේය.
” දැන් එතකොට අපි විතරයි මෙතන ඉඳලා තියන බබ්බු… “
මයන් එසේ පවසා තවත් කුමක් හෝ පැවසීමට උත්සාහ කළද මත්පැන් සාදය වෙත රැගෙන ආ කඩල බඳුනක් අතැති අදීරා දුටු ඔහු වහා කතාව නතර කළේය.
දින කිහිපයක් පුරාවට එක දිගට මත් වී උන් මයන්ගේ සිහි කල්පනාව බොහෝ දුරට අවුල් වී ගොස් තිබුණේය. ඔහු තමා අසලට පැමිණ නැවත නිහඬවම හැරී යන අදීරා දෙස මත් වූ රක්ත දෑසින් බලා සිටියේය. ඉන් පසුව සිටි තැනින් නැඟිට කොරිඩෝව දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය.
අදීරා සිටියේ සියළු ආහාර පාන සකස් කොට අවසානයේය. දහවල් එක පමණ වන විට තේ වත්තේ රංගරාජ් හෝටලයේ කටයුතු වලට පැමිණෙතැයි යනුවෙන් වඩිවේල් පැවසුවද ඔහු තවමත් පැමිණ තිබුණේ නැත. බොහෝ දුරට මහා වර්ෂාවේ හමුවේ ඔහුටද පාරට අඩි තැබීමට නොහැකි වන්නට ඇත. රංගරාජ් පැමිණියද මේ වහින වර්ෂාව මැද නිවස බලා කෙසේ යම්දෝ යන සැකයෙන් ඈ පෙළුණාය.
” අදීරා…!”
අදීරාට කතා කරමින් මුළුතැන්ගෙට පිවිසුණේ ඇමැන්ඩ්‍රාය.
” මොනා හරි ඕනද නෝනා ?”
” අදීරා කෑම හදලා ඉවරද ?”
” ඔව් නෝනා ඉවරයි..”
” අදීරාට පුලුවන්ද මගේ රූම් එක චුට්ටක් අස් කරලා දෙන්න ? “
” පුලුවන් නෝනා..”
” අනේ.. එහෙනං එන්නකෝ…”
ඇමැන්ඩ්‍රා පැමිණ අදීරාගේ අතකින් අල්ලා ගත්තාය. කිසිදු සැක සංකාවක අංශු මාත්‍රයක් හෝ හදවතට නොදැනුණු අදීරා ඈ පසු පසින් වැටී නිදන කාමරය තෙක් ගියාය.
” හෙලෝ අදීරා..!”
ඇමැන්ඩ්‍රාගේ නිදන කාමරය තුළ සිටි ජෙසිකාද අදීරා හා මුව පුරා සිනහ වූවාය.
” මොනාද නෝනා අස් කරන්න තියෙන්නේ ?”
ජෙසිකා සමඟ පෙරළා මුව පුරා සිනහවක් නැඟූ අදීරා නැවත ඇමැන්ඩ්‍රා දෙසට හැරුණාය.
” දැනට මේ ඇඳුම් ටික නවන්නකෝ..”
” අදීරාගේ කොණ්ඩේ ගහන පිච්ච මල් ෆ්‍රෙශ් ඒවද ?”
” ආ.. නෝනා.? “
” නෑ.. මං මේ ඇහුවේ කොණ්ඩේ තියන පිච්ච මල් ඇත්ත මල්ද කියලා ?”
” ඔව් .. නෝනා..”
” හැමදාම අදීරාට අලුත් පිච්චමල් හම්බෙනවද ?”
” අපේ ගෙට පහළින් කෝවිල ලඟ මල් විකුණන නැන්දා කෙනෙක් ඉන්නවා නෝනා. මං එයාගෙන් හැමදාම මල් වැලක් ගන්නවා”
” ඒක තමයි අදීරා ලඟ කොයි වෙලෙත් පිච්ච සුවඳ “
ජෙසීගේ හා අදීරාගේ කතාවට ඇමැන්ඩ්‍රාද එකතු වූවාය.
” අදීරාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද ?”
” ආ.. නෝනා ?”
ඇමැන්ඩ්‍රාගේ පැනයට අදීරා තිගැස්සී ගියාය.
” අනේ නෑ.. නෝනා.. එහෙම කවුරුත් නෑ.. “
” අපෝ.. ඒක නං බොරු.. අදීරා කොච්චර ලස්සනද ?”
එසේ පැවසූ ජෙසිකා පෙර සූදානම් කර තිබූ මත්පැන් බෝතලයක් ගෙන එය විවර කර වීදුරු දෙක තුනකට දැමුවාය.
” අනේ.. නෑ.. නෝනා බොරු නෙමෙයි. එහෙම කවුරුත් නෑ.”
අදීරා ලැජ්ජාවෙන් මිරිකුණාය. බැංකු මාත්තයා තම මුළු හද සන්තානයම අත් පත් කර ගෙන සිටියද ඒ පිළිබඳව කිසිවෙකුට හෝ පැවසීමට ඈ බොහො සෙයින් ලැජ්ජා වූවාය. ඉදින් ඈ තරුණියන් දෙදෙනා දෙස නොබලාම හිස පහත් කරගෙන යහන මත වූ ඇමැන්ඩ්‍රාගේ රෙදි පිළි කිහිපය නවමින් සිටියාය. ඒ නිසාම ඈට රහසින් ඇමැන්ඩ්‍රාත් , ජෙසිකාත් ඉඟි බිඟි මඟින් පවසා ගන්නා කිසිවක් ඈ දුටුවේ නැත.
ජෙසිකා එක් මත්පැන් වීදුරුවක් ඇමැන්ඩ්‍රාට දුන්නාය. ඉන්පසුව තව එකක් ගෙන අදීරා වෙත දිගු කළාය.
” අනේ.. නෝනා මට එපා මං ඕවා බොන්නෑ..”
” අයියෝ අදීරා.. එච්චර හිතන්නෙපා. එක උගුරට බොන්න. “
ඇමැන්ඩ්‍රාද අදීරා අසලට සමීප වෙමින් එසේ පැවසුවාය.
” අනේ. මං අරක්කු බොන්නෑ නෝනා. කවදාවත් බීලා නෑ. මට ඕවා බොන්නත් බෑ..”
අදීරා මහත් අපහසුවෙන් පැවසුවාය.
” අයියෝ.. අදීරා මේ අරක්කු නෙමෙයි. මේ වයින් එකක්. මේවා තියෙන්නේ ගෑනුන්ට බොන්න. කෝ.. කෝ.. හොඳ ළමයා වගේ කට අරින්න. “
” අනේ.. එපා නෝනා..”
ජෙසිකා එක් පසෙකින් මත්පැන් වීදුරුව අතින් ගෙන අදීරා වෙතට ළං වූ අතර අනෙක් පසින් ඇමැන්ඩ්‍රා ළං වී සිටියාය .
” බොන්න.. බොන්න… අදීරා .. මේක විතරයි. මේ වීදුරුව විතරමයි. “
තරුණියන් දෙදෙනාගේ පෙරැත්තය ඉවසා ගත නොහැකි වූ අදීරා මත්පැන් වීදුරුව ගෙන එක හුස්මට මුවට හළා ගත්තාය. නමුත් එය උගුරෙන් පහළට යන විට දැනුණු දැඩි දැවිල්ල නිසා ඈ වහා පපුවට අත තබා ගත්තාය.
සැණෙකින් හිස් වීදුරුව අතට ගත් ජෙසිකා එයට නැවතත් මත්පැන් පිරවුයේය.
” අනේ.. නෝනා දැන් නං ඇති..”
අදීරා වහා තරුණියන් දෙදෙනාගෙන් මිදී ඉවත් වන්නට සැරසුණු විටම ඇමැන්ඩ්‍රා වහා ඇගේ වැලමිටින් අල්ලා ගත්තාය .
” කොහෙද දුවන්නේ ? ඔහොම ඉන්නවා..”
ඇගේ ස්වරය පෙර පරිදි නොවීය. එය රෞද්‍රය. අපේක්ෂා නොකළ ආකාරයට අදීරා තව තවත් තිගැස්සී ගියාය. ජෙසිකා වහා පුරවා ගත් මත්පැන් වීදුරුව අතැතිව අදීරා දෙසට හැරුණාය.
” අනේ.. නෝනා.. තව බොන්න බෑ ඇති. “
අදීරාගේ දෙනෙතින් කඳුළු බිඳු රැසක් පිටතට පැන්නාය.
” මැරුං නොකා මේක බොනවා ඕයි. මේක බිව්වා කියලා තමුසේ මැරෙන්නෑ. “
බලෙන්ම අදීරාගේ මුව එක් අතකින් අල්ලා ගත් ජෙසිකා අනෙක් අතින් මත්පැන් වීදුරුව ඇගේ මුවට හැලුවේය. අදීරාගේ මුළු සිරුරම මත්පැනින් නැහැවී ගියේය. අදීරාගේ දෙපසින් තද කර අල්ලා ගත් තරුණියන් දෙදෙනා ඈ හට සිහි මද වනතුරුම මත්පැන් පෙවූහ. සිට ගෙන සිටීමට හෝ වාරු නොමැති වූ අදීරා වහා යහන මතට කඩා වැටුණාය. අඩවන් දෑසින් තමා දෙස බලා සිනාසෙන තරුණියන් දෙදෙනා දුටුවද ඈ හට තමා වෙනුවෙන් කිසිවක් කිරීමට ශක්තියක් නොමැති වූවාය.


