BE SILENT – 57

0
1310

වසර විසි තුනකට පෙර ……

මහල් සතරකින් , සියයකට වැඩි කාමර සංඛ්‍යාවකින් , පිහිනුම් තටාක දෙකකින් , මත් පැන් හල් දෙකකින් සහ තවත් බොහෝ අංගෝපාංග වලින් සමන්විතව පළමු අදියරේ වැඩ අවසන් කෙරුණු නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රය එතැකින් නිම නොවී තවත් අක්කර ගණනාවක් පුරා විහිදී යන ලෙස ඉදිකිරීම් සිදු කිරීමට එහි හිමිකරු වූ රිචඩ් මල්දෙණියට  ඒ වන විටත් පිඹුරු පත් සකස් කරමින් තිබුණේය. නයින් මවුන්ටන්ස් ඉදිකිරීමේදී සහය ලබා ගත් බැංකු ආයතනය හා අලුත් ගිවිසුම් කිහිපයකටම එළැඹි සිටි ඔහු හෝටල් පරිශ්‍රයේ ඉදි කෙරුණු මුල් අදියරේ පළමු කොටස ඉතා ඉක්මනින් විවෘත කිරීමට උනන්දු වූයේද ඒ නිසාමය. 

සතර දෙසින්ම කඳු වළල්ලකින් වටවූ හෝටල් සංකීර්ණයට අයත් සුවිසල් ඉඩම එක් පසෙකින්  කෙළවර වූයේ ඈතින් ඈතට දිව යන ෆයිනස් කැළයකිනි. අනෙක් පස කෙළවර වූයේ මන්ද ස්වරයෙන් ගලා හැළෙන මහවැලි ගං කොමළියගෙනි.  රිචඩ් මල්දෙණියගේ සැලසුමට අනුව හෝටල් පරිශ්‍රයේ ඇතුළත මෙන්ම පිටතද අමුත්තන් සඳහා පහසුවෙන් නවාතැන් ගත හැකි කුඩා කුඩා නිවස්න කිහිපයක් ඉදි කර තිබුණේය. හිමිදිරි උදෑසන මුළු කඳු වළල්ලම එතී යන මීදුම දෙස බලමින් උදෑසන ආ‍රම්භ කිරීමට සංචාරකයන් ප්‍රිය කරනු ඇතැයි ඔහු විශ්වාස කළේය. එසේම හෝටල් සංකීර්ණය තුළ කෘතිම වායුසමනය කරන ලද නිදන කාමර වලට වඩා ස්වභාවික පරිසරයෙන් ලැබෙන සීතලින් තෘප්තියකට සංචාරකයින් ප්‍රියතාවයක් දක්වන බව ඔහු දැන සිටියේය. එවැනි කරුණු කාරණා කිහිපයක්ම මුල් කොට ගෙන විශේෂයෙන්ම අලුත විවාපත් වූ තරුණ තරුණියන්ට මධුසමය ගත කිරීමටද සුදුසු ආකාරයට මේ කුඩා නිවස්න ප්‍රසිද්ධ කිරීමට ඔහු සැලසුම් කර සිටියේය. 

 ඒ වන විට හෝටල් පරිශ්‍රයේ ඉතා අවම සේවක සංඛ්‍යාවක් සිටි හෙයින් එහි සියළු දෑ සොයා බලමින් කටයුතු කළේ වඩිවේල් නම් දෙමළ මිනිසෙකි.   නයින් මවුන්ටන්ස් හෝටලය ඉදි කිරීමට පෙර සිටම එම ඉඩම් පරිශ්‍රය හොඳින් බලා කියා ගත් වඩිවේල් පිළිබඳව රිචඩ් මල්දෙණියගේ සිතෙහි බොහෝ විශ්වාසදායී හැඟීමක් තිබූ අතර ඔහු එකී විශ්වාසය මත වඩිවේල් වෙත බොහෝ වගකීම් රැසක් තබා තිබුණේය. හෝටල් පරිශ්‍රය විවෘත කිරීමෙන්  පසු පුහුණුව ලත් සේවක මඩුල්ලක් සේවයට කැඳවා තිබුණද වඩිවේල් වෙත තිබූ විශ්වාසය නිසාම රිචඩ් මල්දෙණිය ද්‍රවිඩ ජාතිකයාව එකී වගකීම් වලින් නිදහස් නොකළේය. 

වඩිවේල් හට අවුරුදු දහ අටක රුවැති තරුණ දියණියක් සිටි අතර පියාගේ උදව්වට ඈ සෑම මොහොතකම නොපැකිළව හෝටලය වෙත පැමිණියාය. නමින් අදීරා වූ ඇය වඩිවේල්ගේ  මව සමඟ එකතු වී කුඩා පරිමාණයේ ආහාර වෙළඳ සැලක් පවත්වා ගෙන ගියාය. 

නයින් මවුන්ටන්ස් හෝටල් සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් රිචඩ් මල්දෙණිය නිතර ගණුදෙනු කළ බැංකු ශාඛාවේ නව ණය කළමනාකරු වූ අදීශ සහස්වර හෝටල් පරිශ්‍රයේ ඉදිකිරීම් අතර තුර නිතර නිතර එහි පැමිණීමත් , අදීරාගේ හා මිත්තණියගේ කුඩා ආහාර වෙළඳ සැලෙන් නිතරම ආහාර ලබා ගැනීමත් හේතුවෙන් වඩිවේල් , අදීරා හා ඔහු අතර බොහෝ හිතවත්කමක් වර්ධනය වී තිබුණේය . උපන් බිමෙන් බොහෝ ඈත කඳුකර ප්‍රදේශයක ස්ථාන මාරුවක් ලබා පැමිණ ඇති අදීශට වඩිවේල්ගේ පවුල ඉතා ලෙංගතු  හා ලඟම පිරිසක් බවට පත් වී තිබූ අතර බැංකු මාත්තයා නමින් ඉතා ගරු නම්බු නාමයෙන් අදීශට සලකන වඩිවේල්ටද අදීශගේ යහපත් ඇසුර පෙර පිනට ලැබූවක් සේ දැනුණේය. 

තම පරම්පරාවේ මුතුන් මිත්තන් ඉන්දියාවේ සිට මෙරට තේ වගාව සඳහා වහල් කටයුතු වලට රැගෙන ආ අයවලුන් වීමත් , තමා ඔවුන්ගෙන් පැවත එන ද්‍රවිඩයෙකු වීමත් නිසාම බොහෝ විට කන්ද උඩරට සිංහලයන්ගෙන් ගැරහුම් ලැබූ හා කොන් වීමට සිදු වූ අවස්ථා රාශියක අත්දැකීම් රැසක් වඩිවේල් හට තිබුණේය. රාජකාරි වේලාවෙන් පසු වඩිවේල්ගේ නිවස අසල ඔහුත් සමඟ උඳු වඩයක , රසම් කෝප්පයක , පදමට කුළුබඩු දැමූ මසාලා තේ කෝප්පයක රස බලන අතර තුර බැංකු මාත්තයා වූ අදීශ සමඟ ඔහු අතීතයේ කටුක මතක දිගහරින්නේ බොහෝ විට තමා ගැනම ඇති වූ අනුකම්පාවක් සිතේ තබා ගෙනය. 

වඩිවේල්ගේ දුක්ඛිත කතා ඇසෙන සෑම මොහොතකම ලොවක පැවැත්මට අවශ්‍ය වන එකම ධර්මය මනුෂ්‍යත්වය බවත් එය තරම් සීමා මායිම් , බැඳීම් ඇති කර ඇති ජාති ආගම් , කුල මල නොවටිනා බවත් වඩිවේල් හට වැටහෙන ආකාරයෙන් උදාහරණ සහිතවම විස්‍තර කරන අදීශ පිළිබඳව වඩිවේල්ගේ සිතේ දිනෙන් දින මහත් ගෞරවයක් ඇති කර තිබුණේය.

හෝටල් පරිශ්‍රයටත් , වෙළද සැලටත් නිති පතා පැමිණෙන බැංකු මාත්තයාගේ එවන් කතා වඩිවේල් හට බොහෝ ගෞරව සම්පන්න වුණු ආකාරයටම අප්පාගේත් , බැංකු මාත්‍තයාගේත් නොයෙක් නොයෙක් රස කතා වලට රහසේ සවන් දෙන අදීරාගේ සිතෙහිද බැංකු මාත්තයා පිළිබඳව දිනෙන් දින විසල් ලෙංගතු බවක් ඇති වෙමින් තිබුණේය. 

ඉඩකඩ ලද සෑම මොහොතකම තමා සමඟ කතාබහක නිරත වී යන බැංකු මාත්තයා පිළිබඳව අප්පාගේත් , දියණියගේත් ඒ තරම් ගෞරව ප්‍රසාදයක් ඇති වී තිබුණද බැංකු මාත්‍තයාගේ හදවතෙහි හිතවත්කමට වඩා ලෙංගතුකමට වඩා එහා ගිය සෙනේහයක් වඩිවේල්ගේ නිවසේ උන් පිච්චමලී පිළිබඳව ඇති වී තිබුණේය. පළල් නළල මත බොහෝ විට දිළෙන කුඩා පොට්ටුවත් , තනි කරලට ගෙතූ දිගු කොණ්ඩයේ වේලාවක් අවේලාවක් නැතිව පැළැඳ සිටින පිච්ච පොකුරත් පළමුව බැංකු මාත්තයාගේ හදවතෙහි පෙරළියක් ඇති කළේය. කිසිදු දිනක දෑස ඔසවා කෙලින් තම උවන දෙස නොබලන , වචනයකට දෙකකට වඩා කතා බස් නොකරන දිගු දෑස් ඇත්තියගේ කෝල බවට ඔහු මුළු මුළින්ම හදවතින් පෙම් කරමින් සිටියේය . වෙළඳ සැලට පැමිණෙන බොහෝ වේලාවන් වලදී වඩිවේල්ටත් , ඔහුගේ මවටත් හොරා ඇයට පමණක් පෙනෙන තැනක තබා යන කුඩා කඩදාසි බෑගයක බොහෝ දුරට චොක්ලට් එකක් , අත් පළඳනාවක් , කොණ්ඩ කටුවක් , ලේන්සුවක් වැනි කුඩා කුඩා දෑ තබා යන ඔහු වචනයෙන් නොපැවසුවද තම හදවතෙහි ඇති ස්නේහය හැකි සෑම ආකාරයකටම යුවතියට දැනෙන්නට සැලැසුවේය. 

හෝටල් පරිශ්‍රය විවෘත කිරීමට සති දෙකකට පෙර වඩිවේල් නිවසේ සිටින අවස්ථාවක  පැමිණි බැංකු මාත්තයාගේ අතේ වෙනදා නොමැති ආකාරයට රැගෙන ආ කේක් පෙට්ටියක් තිබුණේය. ඊට අමතරව කඩදාසි බෑගයක දැමූ රන් පැහැ කුඩා පෙට්ටියක රනින් නිම කරන ලද තෝඩු දෙකක් වූයේය. සුපුරුදු පරිදි ආහාරයක් මිලදී ගැනීමට වෙළඳ සැල දෙසට නොහැරුණු බැංකු මාත්තයා රැගෙන ආ කේක් පෙට්ටිය වඩිවේල් අත තබා ඔහු හා වැදගත් යමක් කතා කිරීමට ඇති බව පැවසුවේය. 

ඉදින් ඇරඹුණේ බැංකු මාත්තයාගේ ජීවිතයේ අපහසුම මොහොතය. ඔහු සෙමින් සෙමින් නමුදු වඩිවේල් හමුවේ තමා පැමිණි කාරණය පරිස්සමින් තැබුවේය. බැංකු මාත්තයාගේ විවාහ යෝජනාව ඇසුණු වඩිවේල්ගේ දෑස පළමුව විසල් වී ගිය අතර දෙවනුව එයට කඳුළු පිරුණේය. කුඩා කාමරයේ දොර රෙද්දට මුවා වී ගොතා ඉදිරියට දමා සිටින කොණ්ඩා කරලේ අගිස්ස දෑතින්ම ඒ මේ අත තෙරපවමින් වේගයෙන් ගැහෙන හදවතින් අදීරා ඉදිරිපස සිදුවන කතාවට ඇහුම්කන් දෙමින් සිටියාය .

” මාත්තයගේ මව් දෙමව්පියෝ මේවට කැමති වෙයිද මාත්තයා ?” 

බොහෝ වේලාවක් ගත් වඩිවේල් අපහසුවෙන් වචන අහුලා ගත්තේය.

” මගේ අම්මයි තාත්තයි මං කියන දේකට පිටින් යන්නෑ වඩිවේල්.”

” මාත්තයට හංගන්න කොරන්න දෙයක් නෑනේ මාත්තයා. මයෙ කෙල්ල ගැන මයෙ ගැන මාත්තයා හොඳාකාරවම දන්නවනේ.?”

” මට වඩිවේල්ගෙයි අදීරාගෙයි කැමැත්ත විතරයි ඕනේ. අනිත් දේවල් වැඩක් නෑ. “

” ආයේ ඉතිං මුරුගන් වයේ ඉන්න මාත්‍තයට මං මක්කට අකමැති වෙන්නද මාත්තයා. ? මාත්තයට මයෙ කෙල්ල ගැන හිතක් පාල උනේම අපේ පිනකට වෙන්නැති. “

වඩිවේල් දෑසින් ගලා ආ කඳුළු බිඳුවක් පිසදා දැම්මේය. 

” අදීරාගෙනුත් අහලා මට උත්තරයක් දෙන්න වඩිවේල්. හදිස්සියක් නෑ. අදීරාගෙ අකමැත්තක් නැත්තං මං අපේ අම්මටයි , තාත්තටයි මෙහෙ එන්න කියලා කියන්නං. “

එසේ පැවසූ අදීශ වහා සිටි තැනින් නැඟිට්ටේය.

කුඩා නිවසේ ඇතුළට වී ඈ සියල්ල අසා සිටින බව පැහැදිලිය. බොහෝ අවස්ථාවලදී වඩිවේල්ගේත් , තමාගේත් කතා බහට රහසින් ඇහුම්කන් දෙමින් සිටිනා යුවතිය පිළිබඳව පෙර සිටම දැන සිටි ඔහුගේ මුවින් මඳ සිනහවක් නැඟුණේය . 

” යේ.. මුරුගා.. මයේ කෙල්ලගේ වාසනාව..”

බැංකු මාත්තයා පිටව යන දෙස බලා සිටි වඩිවේල් එසේ පැවසූ අතර වේගයෙන් ගැහෙන හදවතෙහි තැවරී ඇති ප්‍රීතිය සිනහවකින් උවනින් පිට වන විට තමා පිළිබඳවම හටගත් ලැජ්ජාවෙන් අදීරා දෑතින්ම මුහුණ වසා ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here