BE SILENT – 59

0
602

” මොකෝ උම්ඹලා දෙන්නා..?”

හිඳ සිටි අසුනෙන් නැඟිට ආ ක්‍රිශාන් ටැමීගේ උරහිසට බර වෙමින් ඇසුවේය. 

” කෝ යකෝ මෙතන හිටපු අනිත් උන් දෙන්නා ?” 

ටැමී වහා පිරිස අසුන් ගෙන සිටි දෙස බලා අසංගත් , ටෙහානුත් සිටි තැන නොමැති බව දැක ක්‍රිශාන්ගෙන් ඇසුවේය. 

” වොශ් රූම් ගියා..ඒක නෙමෙයි මොකෝ කියපන්කො උඹලා දෙන්නා මේ..?” 

” නදීල් මරු ආතල් එකක් ගන්නව ඇති කියලා මයන් කියන්නේ මේ..”

ටැමී එසේ පැවසූ විගස ක්‍රිශාන්ද මහ හඬින් සිනාසුණේය. මයන් වහා ඔහු දෙසද රක්ත වර්ණ දෑසින් බැලුවේය. 

” මොකද යකෝ හිනා වෙන්නේ ? “

” නෑ.. නෑ .. නිකන්. හෙට උදේට නදීල්ගෙන් විස්තර අහගමු. “

ක්‍රිශාන් එසේ පැවසූ විගස ටැමී නැවත වතාවක් එයට සිනාසුණේය. 

” විස්තර අහගෙන ඇයි පත්තරේ දාන්නද ? මේක හොඳට දැනගනිල්ලා. තව ටික දවසකින් අපිට විස්සකුත් වෙනවා. අපි දැන් පොඩි උන් නෙමෙයි . “

මයන්ගේ වචන ගෝරනාඩුවක් වූ අතර ක්‍රිශාන් හා ටැමී මුහුණට මුහුණ බලා ගත්හ. 

” කෝ අනිත් එකා..?” 

ටෙහාන් නොමැතිව අසංග පමණක් එනු දුටු ක්‍රිශාන් ඔහු දෙස බලමින් ඇසුවේය . 

” ඌ නිදි අන්න. “

 “හරි දැන් කියහන්. උඹටත් කෙල්ලෙක් ඕනේද ? “

ටැමී උගුර මඳක් පාදා මයන් දෙස බලා ඇසුවේය. 

” ඇයි උඹ කෙල්ලෝ අරන් තියලා තියනවද මං ඉල්ලපු වෙලාවට දෙන්න  ?” 

” නෑ.. ඉතිං අර ඇමැන්ඩ්‍රා ඉන්නේ පලයන්. උඹ කතා කළොත් නං ඒකි උඩින්ම එයි. කොහොමත් ඒකී උඹට ලයින් නේ..”

ටැමී එසේ පවසා ක්‍රිශාන් දෙසත් , අසංග දෙසත් බලා ඇසක් ඉඟි මැරුවේය. මුහුණ ඇඹුල් කර ගත් මයන් පළමුව ටැමී දෙස බලා ඉන් පසුව අනෙක් දෙදෙනා දෙස බැලුවේය. 

” මං හෙව්වේ කෙල්ලෙක් මිසක් කොලු භාගයක් නෙමෙයි යකෝ. ඒකිත් එක්ක එහෙම දේකට ඉන්න තියා ඒකිව දැක්කම අඩුම ෆීලින්ග් එකක්වත් එනවද කියහන් ?” 

මයන්ගේ කතාවට තිදෙනාම මහ හඬින් සිනාසුණු අතර මයන් තිදෙනා දෙසම බලා මුව ඇද කළේය. 

” ඊලඟ ට්‍රිප් එකේදි අපිත් කාව කාවහරි එක්කන් එමු බං. “

අසංගගේ කතාවත් සමඟ මයන් නැවතත් ඔහු දෙස බලා මුව ඇද කළේය.

” උඹට බඩගිනි වෙන්නේ උදේට නං උදේට කනවා මිසක් රෑ වෙනකන් ඉන්නවද ?” 

අසංග නැවතත් මයන් දෙස යටැසින් බලා හිස කැසුවේය.

” අපි දැන් මොකද කරන්නේ ?” 

” කඩපන් තව බෝතලයක්. මේවා බලලා තිබ්බ වෙරි ටිකත් හිතුණා. “

මිතුරන් තිදෙනාම යළිත් මත්පැන් බෝතලයක් විවෘත කළ අතර මයන් තව දුරටත් රක්ත වර්ණ දෑසින් පිටත තිබෙන කබානා පෙළ දෙස බලා සිටියේය. 

************************************************

” මයන් .. මයන් නැඟිටපන් ඒයි..!” 

” මොකද බං..?” 

මැදියමද ඉක්ම යන තුරු මත්පැන් පානය කරමින් සිටි තරුණයින් තුන් හතර දෙනා නින්දට වැටුණු වේලාව හෝ නොදැන සිටියහ. ටැමීගේ හඬින් තද නින්දෙන් අවදි වූ මයන් යක්ශාවේෂව ඔහුගේ ඇඟට කඩා පැන්නේය. 

” ප.. පළිහවඩන අන්කල් ඇවිල්ලා..”

” ඉතිං .. මට මොකද බං ?” 

මයන් නින්දේ අග්‍ර ඵලය විඳිනු වස් යළි යහනට වැටුණේය. නමුත් ඇසිල්ලකින් ඉද්ද ගැසුවාක් සේ සිට ගෙන ටැමීගේ උවන දෙස තුෂ්නිම්භූතව බලා සිටියේය. 

” මොකද්ද උඹ කිව්වේ ?” 

” ඉස්සරහා ?” 

ටැමී පිටතට අත දිගු කළේය. යහන මත වැටී තිබූ කමිසයක් ඇඟ ලා ගනින්ම මයන් වේගයෙන් කොරිඩෝව හරහා ඉදිරියට දිව ගිය අතර ඔහු පසුපසින් ටැමීද දිව ගියේය. 

පිටත කබානා අංගනය දෙසට දෑස් යොමු කරන ඇසිල්ලේම එක් වරම නදීල් හා අයේෂා දෙදෙනාම ඉදිරියේ සිටි අමාත්‍ය සේනක පළිහවඩන අත දිග හැර අතුල් පහරක් අයේෂා වෙත එල්ල කරන ආකාරය මයන් දුටුවේය. ඉන්පසුව පළිහවඩන ඔහුගේ දබරැඟිල්ල දිගු කරමින් හඬා වැළපෙන ඈ වෙත දිගින් දිගටම බැණ වදින ආකාරයක් පෙනුණේය. 

” යන්නෙපා හිටහං..”

මයන් ඉදිරියට පාදයක් තැබුවද ටැමී වහා එය වැළැක්වූයේය. 

තමා වටේ සිටි ආරක්ෂක නිලධාරීන්ටත් දබරැඟිල්ල දිගු කළ කුමක් හෝ පැවසූ පළිහවඩන නදීල් දෙසට හැරී අත දිගු කර තවත් කුමක් හෝ පැවසුවේය. මුහුණ  බිමට නැඹුරු කර ගත් නදීල් කිසිවක් නොපවසාම පළිහවඩන අත දිගු කර දෙසට ඇවිද ගියේය. ඉන්පසුව පළිහවඩනත් , ආරක්ෂක නිලධාරීනුත් නවතා තිබූ මෝටර් රථ පෙළක් වෙත ගොස් නදීල්වද නංවාගෙන පිටත්ව ගියේය.

වහ වහා මයන් හා ටැමී අයේෂා වෙත දිව ගිය අතර ඒ වන විටත් සිටි තැනම බිම වැටී සිටි අයේෂා ඉකි ගසමින් හඬමින් උන්නාය . 

” මොකද්ද උනේ ?” 

” දන්නෑ.. එක පාරට කඩාගෙන ඇතුළට ආවා. “

අයේෂා තව දුරටත් ඉකි ගසමින් හැඬුවාය. 

” ඒගොල්ලෝ කොහොමද මයන් අපි හිටපු කබානා එක හරියටම දැනගත්තේ. ? හොටෙල් එක ඇතුළට වත් ගියෙ නෑ. කෙලින්ම ඇවිත් තියෙන්නේ මෙතනට ” 

අයේෂාගේ පැනය හමුවේ නිරුත්තර වූ මයන් හා ටැමී එකිනෙකාගේ මුහුණ දෙස බලා ගත්හ. 

බොහෝ වේලාවක් එක දිගට හැඬූ අයේෂා නැවත මයන් හා ටැමී සමඟ හෝටලය තුළට පැමිණි අතර ඉන් පසුව අයේෂාටද නැවත නිවස කරා යෑමට බලවත් උවමනාවක් ඇති විය. කෙතරම් ඇවිටිලි කළත් ඈ තව මොහොතක් හෝ නතර වීම ප්‍රතික්ශේප කළාය. 

” වඩිවේල්… වඩිවේල්…!” 

” මාත්තයා..” 

” අපිත් එක්ක ආපු යාළුවෙක්ට හදිසියේ කොළඹ යන්න වෙලා. එයාට යන්න වාහනයක් හොයා ගන්න පුලුවන් වෙයිද ?” 

” වාහනයක් හදිස්සියේ ?” 

” හොයා ගන්න පුලුවන් වෙයිද ? කොළඹටම යන්න ඕනේ. අපි ආපු වෙහිකල් එකේ යන්න බෑනේ. එහෙම උනොත් එයාව ගිහින් දාන්න ආයේ අපේ කාටහරි යන්න වෙනවනේ. “

වඩිවේල් මඳක් කල්පනා කළේය. 

” ටවුන් එකේ රාජ් ගෝපාල්ගේ වෑන් එක නං තියනවා මාත්තයා. “

” කතා කරගන්න පුලුවන් වෙයිද ? කියන ගාණක් දෙන්නං “

” මං කතා කරගෙන එන්නං මාත්තයා “

වඩිවේල් එසේ පවසා යළි හැරුණේය. 

” වඩිවේල් ..!” 

හැරී යන්නට සැරසුණු වඩිවේල්ට නැවත අඬ ගැසූ මයන් වට පිට බලා කිසිවෙකු නැති බව තහවුරු කර ගත්තේය. 

” ඇයි මාත්තයා ?” 

” වඩිවේල්.. ඔය කතා කරන වෑන් එකේ මනුස්සයව වඩිවේල් හොඳට අඳුරනවද ?” 

” ඒම ලොකූ ඇඳුරුන්කමක් නෑ මාත්‍තයා. මඟ තොටේදි අම්බුණාම යමින් ගමන් කතා කරනවා “

” යන්න ඉන්නේ ගෑනු ළමයෙක්. අඳුරන්නැති කෙනෙක් එක්ක කොහොමද එච්චර දුර යවන්නේ ?” 

වඩිවේල් කල්පනාබරිතව හිස කැසුවේය .

” මිනියා ගැන නරක ආරංචි නං ඇවිල්ලා නෑ මාත්තයා. “

” මේකනේ වඩිවේල් , ඔය යන ගෑනු ළමයගේ තාත්තා ඊයේ රෑ පපුවෙ අමාරුවකින් නැති වෙලා. අපි එයාට ඒ ගැන කිව්වේ නෑ. එයා දන්නේ තාත්තා හොස්පිට්ල් එකේ කියලා විතරයි..”

” යේ.. මුරුගා… ඒමද මාත්තයා.. හරි පව් නේ ?” 

” ඒකනේ වඩිවේල්. කොච්චර උනත් ගෑනු ළමයෙක්නේ ? වඩිවේල්ටත් දුවෙක් ඉන්නවනේ ?” 

වඩිවේල් නැවතත් හිස බිමට බර කරමින් කල්පනා කළේය. කල්පනාබරිතව සිටින වඩිවේල් දෙස යටැසින් බලා හිඳින මයන්ගේ සූක්ශම දෑස ඔහු නුදුටුවේය. 

” දැන් මේකට මොකද කරන්නේ මාත්තයා ?” 

” නාඳුනන මනුස්සයෙක් එක්ක එයාව එච්චර දුර යවන්නත් බෑ. මේ වෙලාවේ නොයවා ඉන්නත් බෑ.”

මයන් මඳක් කල්පනා කරන බවක් ඇඟවුයේය. 

” වඩිවේල් …!” 

” මාත්තයා ..” 

” මෙහෙම කරමු.  වඩිවේල් ඔය වෑන් එකේ කොළඹ ගිහින් එන්න. කොළඹට ගියා , එයාව ගෙදරින් දැම්මා. ආයේ ඒ පිම්ම අනිත් පැත්තට ආවා. එච්චරයිනේ ? “

” අනේ.. මාත්තයා.. මං කෝමද ? “

” ඇයි වඩිවේල්ට මොකද්ද තියන ප්‍රශ්නේ ?” 

” මං ගියාම කෝමද මාත්තයා මෙහෙ වැඩ බලා ගන්නේ ? “

” මෙහෙ අමුතුවෙන් බලාගන්න දෙයක් නෑනේ වඩිවේල් . අපි බබ්බු නෙමෙයිනේ ? පැය ගාණයිනේ. වඩිවේල් ගිහින් එන්න. ගෑනු ළමයෙක්නේ වඩිවේල්. කොහොමද තනියම යවන්නේ ? තේරුම් ගන්නකෝ පුලුවන්නං. වඩිවේල්ගේ දුව උනානං ඔහොම අඳුරන්නැති මනුස්සයෙක් එක්ක යවනවද ? “

වඩිවේල් තිගැස්සී මයන් දෙස බැලුවේය. නැවත වතාවක් ඔහු කල්පනාවට වැටුණේය. 

” සරි මාත්තයා.. මං ඒනං කෙල්ලට කියලා යන්නං මාත්තයලගෙ කෑම බීම ටික බලන්න කියලා. “

” අනේ.. ලොකු උදව්වක් වඩිවේල් මේ වෙලාවේ..”

” මං ගීන් අර වෑන් එක එක්ක එන්නං මාත්තයා..”

වඩිවේල් එසේ පවසමින් හෝටලයෙන් පල්ලම් බැස්සේය. මයන් වහා හැරී හෝටලය තුළට දිව්වේය. 

” අයේෂා.. මං වඩිවේල් කාරයව කැමති කරව ගත්තා. මිනිහා දැන් වෑන් එකක් අරන් එයි. ඔයාට පුලුවන් ඒකේ ගෙදර යන්න. “

” අනේ.. ලොකු උදව්වක් මයන්. “

අඩ පැයක් පමණ ගත වන විට අයේෂා හා වඩිවේල් රැගත් වෑන් රථය හෝටල් සංකීර්ණයෙන් පිටව ගියේය. කඳු පන්තිය දෙසින් ගිගුරුම් හඬක් නැඟුණු අතර මහා වැස්සක පෙර නිමිති පහළ වන්නට වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here