අංගාර – 84

0
937

චායා රෝහල් ගත කල බව චරක දෙමාපියන්ට කීවේ පසුදින උදෑසනය. අම්මා කලබලවි වහා චායා දකින්නට යන්නට සූදානම් වුවද, චරක ඕ නැවැත්වුයේය. සිදුවන්නේ කුමක්දැයි කියා සියලු දෙනා දැනුවත් කර තැබීම සුදුසු බව චරක තීරණය කලේ චායා දිගින් දිගටම සස්මිතගේ නම පවසමින් කෙඳිරි ගාන්නට පටන්ගෙන තිබූ නිසාය. 

වෛද්‍යවරයා පවා සස්මිත යනු කවරෙකුදැයි විමසුවේ, ඇය එතරමින්ම ඔහු ඉල්ලමින් කෙඳිරි ගාන්නට ගෙන තිබූ නිසාය. 

විහඟි සාලයේ කොනකටම වී උන්නේ, අම්මාගේ සහ තාත්තාගේ දෝෂාරෝපණයන් තමා මතටද වැටෙන බව දැන උන් නිසාය. අම්මා සහ තාත්තා චරක දෙස බලා උන්නේ ඔහු මෙතරම් බැරෑරුම් ලෙසින් පවසන්නට සූදානම් වන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. 

” ……………………. කොහොම හරි දැන් නංගී ඇත්ත දන්නවා….”

සස්මිත එලෙසින් කතාව නැවතුවේය. විහඟි විමතියෙන් බලා උන්නාය. ඔහු පැවසුවේ කතාවේ අඩකි. 

” එතකොට දැන් මෙහෙ මේ ආව මාස ගානට ද ඔය සම්බන්ධේ ඇති වෙලා තියෙන්නේ?..”

” ඌ කියන්නේ එහෙමයි … නංගි ඒ ගැන මුකුත් කියන්නේ නෑ .. ඒ කතා කොහොම වුනත් දැන් ඒක ඉවරයි අම්මේ… නංගි දැන් දන්නවා ඌ කසාද බැඳපු මිනිහෙක් කියන්න …”

” එහෙම ඉවර වෙන්නේ කොහොමද චරක .. තමුන්ට තමුන් කවුද කියලා අමතකද? තමුන් කැබිනට් ඇමති කෙනෙක් .. එහෙව් ඇමති කෙනෙක්ගේ ගාර්ඩ් එකත් ස්කිප් කරලා, මේ ගේ අස්සටම රිංගගෙන මේ කල දේ අපි සුලුවෙන් හිතනන්ද ඕනි චරක ?.. ආහ් ..”

තාත්තා එවන් කෝපයක් සහ දැඩි බවක් සමඟ නැගෙන බව චරක කොහොමටත් දැන උන්නේය. ඔහු උන්නේ ඒ සඳහා සූදානමිනි. 

” ඒක එහෙමම නෙවෙයිනේ තාත්තේ.. විජේසිරි අංකල් ඌව රෙකමන්ඩ් කරලා ගෙනාව නිසානේ එච්චර ක්ලෝස් තියාගත්තේ.. දැන් ඉතින් ඔව්වා ගේ දිග පළල හොයන්න විජේසිරි අංකල් නැහැනේ..”

” විජේසිරි එහෙම මිනිහෙක් නෙවෙයි චරක .. එකත් එක්කම මේ යකා, විජේසිරිටත් මොකක්ම හරි බෝලයක් බස්සලා..”

” ඔව් .. වෙන්න පුලුවන් … ඒක එහෙම නෙවෙයි කියන්නේ නෑ මම ..”

චරක සියල්ල ඒ මේ අත පටලවමින් , චායා කෙරෙහි සියල්ලන්ගේම අවධානය තිබිය යුතු බව අවධාරණය කලේ සීරුවෙන් ය. 

” ඔය ස්ටුඩියෝ කෙරුවාව ඕනිම නෑ ..”

අම්මා කෝපයෙන් එලෙස පවසද්දී,  අම්මාගේ කෝපය තමා මතින්ද වැටුනානම් , එය කිනම් ලෙසකින් වේදැයි සිතාගන්නට  නොහැකිව විහඟි ළය පිරිමැදගත්තාය. චරක විහඟි දෙස බැලුවේ හෝ නැත.

” එහෙම කලබල වෙලා විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයිනේ අම්මේ මේවා…  අනෙක නංගි දැන් ඒලෙවල් වයසේ කෙල්ලෙක් නෙවෙයිනේ.. පහුගිය කාලේ එයා කල කී දේවල් වල සීමාවල් අම්මා නොදන්නවත් නෙවෙයිනේ..”

” ඒ මොක කරා උනත්, තමන්ට නොගැලපෙන මිනිහෙක් එක්ක පෑහෙන්න ගිහිල්ලා අපිට පාරේ බැහැලා යන්න බැරි කලේ නැහැනේ.. එයත් ඔලුව කෙලින් තියන්  හිටියානේ.. ඔය කරලා තියෙන්නේ එහෙම දෙයක්ද ?..”

අම්මාගේ කෝපය මුසු හඬින් විහගි සිත සිතාම රිදවාගත්තාය.  තමා මේ සිදුවීමේ මුල සිට උන්නෙකු බව අම්මා දන්නවා නම්, චරක තමා වෙත දොස් පැවරූ සීමාව ඉක්මවමින් අම්මා තමාට  දොස් පවරන බව දැන් දැන් විහඟිට වැටහෙන්නේය.

” ඔව් අම්මේ ඔව්.. ඒත් එහෙම මුකුත් වුනේ නැහැනේ… “

” කවුද දන්නේ නොවේවිද කියලා .. ඒ කොල්ලා ඇවිල්ලා මෙයාව පන්නගෙන ගියොත් එහෙම මොකද කරන්නේ ?..”

” එහෙම වෙන්නේ නෑ අම්මේ  .. එහෙම වෙන ඉඩක් තියෙනවා නම්, එහෙම නොවෙන්න වගබලාගන්න තමයි මම මේ කියන්නේ…”

” වහාම මෙහෙ නාඩගම් නවත්තලා චායාව අක්කා ළඟට යැවුවා නම් ඉවරයි …. “

අම්මා යළි පවසද්දී, විහඟි කිසිවක් පවසාගන්නට නොහැකිව මෙන් අසුනේම ගුලි වූවාය

” අම්මේ… ඕකනේ බැරි… මෙවෙලේ හිත හදාගන්න නංගිට අපේ උදව් ඕනි … එයාව මේ අපි කවුරුත් නැති රටක තනි කරලා දාලා, අපි කොහොමද අම්මේ අත පිහිදගන්නේ.. එහෙම වුනාම නංගිට වුනත් දැනෙන්නේ තනිකමක්නේ…”

” මට තේරෙන්නේ නෑ  ලොකූ … ඕගොල්ලෝ බලලා සුදුසු දෙයක් කරන්න කියනෙක විතරයි මට කියන්න ඉතුරු බලාගෙන ගියාම …”

” අම්මේ .අපි ඔක්කොම එකතු වෙලා නංගිට උදව් කරමු ..”

අම්මා සහ තාත්තාගේ කෝපය පාලනය කිරීම චරක සිතූ  තරම් පහසු වූයේ නැත. එය එලෙසින්‍ යැයි කියා අම්මලාට නොදැනෙන්නට මෙය හසුරුවන්නට යෑම එතරම් සුදුසු නොවන බවද චරක තීරණය කර තිබුනේය.

එවෙලෙහි කුමන කෝපයක් පෙන්වූවද, රෝහල් සයනයේ උන් චායාට ඒ කෝපයේ අංශුමාත්‍රයක්වත් පෙන්වන්නට අම්මා උත්සුක නොවී උන්නාය. ඕ චායා සන්සුන් කරවාගෙන, හිස පිරිමදිමින් ඇයට ධෛර්‍යමත්ව සිටින්නට හැකිවෙන්නට පැතුවාය. 

චායා කිසිවෙකු සමඟ කතා බස් කලේ නැත. එහෙත් ඕ පියවි සිහියේ උන්නාය. සස්මිතගේ නම කියමින් ඉකිබිඳීම හෝ මිමිණීම කලේද නැත. 

 විහගිට රෝහලට එන්නට අවැසි වුවද, චරක සහ අම්මා ඇයව වැලැක්වූවෝය. එනිසා විහඟි උන්නේ නිවසට වීය. චායා  විහඟි එන්නේ නැතිදැයි විමසූ විට, චරක චායාව සවස නිවසට කැටුව යන බව කීවේය. 

චායා ඉන් පසුව කලේ දෑස් පියාගෙන හිඳීමය. ගෙවුණු රැයේ සිදුවූයේ කුමක්දයි පළමුව සිතුවාය. සස්මිත වෛවාහික පිරිමියෙකු බව විශ්වාස කිරීමට තමාට සිදුවූ බව යටි සිත තමා කොනිත්තා පවසද්දී ඕ මොහොතකට දෑස් විවර කලාය. අම්මාද, අයියාද තවත් කවුරුන්හෝද රෝහල් කාමරයේ පසෙක සිටිනු පෙනෙයි. ඕ යළි දෑස් වැසුවාය. 

ඒ සැනින් සිහි වූයේ සස්මිතගේ ඇස් ඉස්සරහ ප්‍රේමයෙන් දිලිසුණු කුඩා යුවතිය සහ දරුවාය. ඕ දෑතින්ම ඇඳ ඇතිරිල්ල ගුලි කරගත්තාය. සියල්ල සිදුවි අවසන් බව යටි සිත ඇයට යළි යළි සිහිපත් කලාය.

” ඔයා මාව උන්න ආගාධෙනුත් පහලට දාලා යන්න තීරනය කලා නම්, මම ඔයාව නවත්තන්නේ නැහැ සස්මිත .මගේ ආදරෙත් එක්කම දවසක මම මේ පොළොවේ පස් වෙයි, විශ්වයේ කොහේ හරි හැංගෙයි … ඒත්, ආයේ කවදාවත්, ඔයාට මාව දකින්න වෙන්නේ නැති වෙයි … ඒක තමයි ඔයාට ලැබෙන දඬුවම .. මේ හැමදේටම ..”

එදින රෝහලෙන් නික්මී නිවසට ඇතුලුවෙන තත්පරයේ චායා යටි හිතට එලෙස කීවාය. එය තමා කෙතරම් තිර භාවයකින් කීවාදැයි ඇයට විශ්වාස තිබුනේ නැත. එහෙත් ඕ එය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here