අංගාර – 85

0
1840
angara

 සස්මිත ගමනාන්තයක් දැන උන්නේ නැත. අතැතිව තිබුණේ ගත ලූ ඇඳුම, චරක එවා තිබූ ජංගම දුරකතනය් සහ මුදල් පසුම්බිය පමණි. බැංකු කාඩ්පතෙහි ඇති තරම් මුදල් ඇති බව සස්මිත දැන හිඳීම පමණක් සැනසීමකට තිබුණි. 

ඔහු කොටුව බස් නැවතුම්පළින් අනුරාධපුර  බලා යන   බසයකට නැග ගත්තේය. මැද අසුනක ජනේලය පැත්තට වන සේ හිඳගත්තේය. ජංගම දුරකතනය අතට ගෙන චායාගේ සහ විහඟිගේ අංක  අවහිර කර දැම්මේය.

 යළි විහඟිගේ අංකයේ අවහිරය ඉවත්කර කෙටි පණිවිඩයක්  යැව්වේය.

” මට සමාවෙයං බං .. පොරොන්දු, වගකීම් වල හිරවෙලා මම මේ ආත්මෙට.. චායාව බලාගනින් .. මගේ මැණිකට කියපං , මේ ආත්මේ කාගේ වුනත්, ඊළඟ ආත්මේ මගෙන් පිට යන්නෙපා කියලා…”

උගුරෙහි යමක් සිරව ඇතැයි සස්මිතට දැණුණි. ඔහු විහඟිගේ අංකයද අවහිර කර දැම්මේය. චරකගේ, කාර්‍යාලයේ උන් අයවලුන්ගේ අංකද පිළිවෙලින් අවහිර කලේය. 

චායා හා වන පින්තූර ගැලරිය දෙසට එබෙන්නට ඔහුට සවියක් හෝ වූයේ නැත. ඒ සියල්ල නිස්සාර බව වැටහේ. අවසානයේ සියලු සටන් අත් හැරීමට තමාට සිදුවිය. 

ක්ෂණයෙන් ඔහුට විජේසිරි මහතාගේ නිවසේ පිරිස සිහි විය.

ඔහු සතුවූ අංක සියල්ල ඇමතුවේය. එහෙත් ඒ එක් අංකයක්වත් ක්‍රියාත්මක මට්ටමේ වූයේ නැත. ඔහු විජේසිරි මහතාගේ දියණිය වෙත පණිවිඩයක් තැබුවේය.

” අක්කේ… හැමදේම ඉවර වුනා.. ආයේ මාව හොයන්න එපා.. මං සම්බන්ධව ප්‍රශ්න ඇති කරගන්නත් එපා… මාව හොයාගෙන ඔයාලා පස්සෙන් කවුරු ආවත්, මේ මැසේජ් එක පෙන්නන්න…  මං ඔයාලට ආගන්තුකයෙක් විතරයි දැන් …”

බස් රථය ක්‍රමයෙන් පිරී යමින් තිබුනි.සස්මිත  ජංගම වෙළෙන්දෙකුගෙන් වතුර බෝතලයක් සහ කඩල පැකැට්ටුවක් මිලදී ගත්තේය. චරක කැඳවාගෙන ආ යුවතිය අවසානයේ පැවසූ දෙය එක්වරම සිහි විය.

” ඔයා ඒ ගෑණු ළමයාව අතාරින්නේ අර ඇමතිතුමාට බයේනම්, අපරාදේ ඔයා එයාට ආදරේ කලේ.. දන්නවාද මේ ලෝකේ තියෙන ලොකුම අපරාදේ තමා , අතාරින්න බලාගෙන කෙනෙක්ගේ අතින් අල්ලගන්න එක … සැලැස්මක් නැතුව කෙනෙක්ගේ සිතුවිලි , හැඟීම් අවදි කරනෙක ……  

මම මේ ගමන ආවේ ලක්ෂ දහයකට .. මට තව විනාඩි දහයක් පහලොවක් යද්දී ඒකෙන් බාගයක් ලැබෙනවා… අමතිතුමා කිව්වා, ඉතුරු ටික කෑශ් එවන්නම් කියලා… .. මෙයාගේ තාත්තා ඉන්නේ අසනීපෙන් .. එයාගේ බෙහෙත් වලට සල්ලි ඕනි … එයාට මම ආදරේ කලේ අසනීප උනාම අතාරින්න නෙවෙයි .. එයා ඇක්සිඩන්ට් වෙලා ඇවිදින්න බෑ.. අපේ අම්මලා කියනවා, එයාව ඇතෑරලා එන්න කියලා … ඒත්, ආදරේ කලේ ඒකට නෙවෙයි .. මගේ ඩියුටිය මම කලා ..ඒත් මේ ටික නොකියා බැහැ ..”

සස්මිත දෙනෙත් පිසදා දැම්මේය

ඇතැම් විට, ඇතැම් අය ජීවිතයට ඇතුලු වන්නේ නිහඬවමය. එහෙත් ඔවුන්ගේ යෑම අනෙකාගේ හදවත බිඳ දමන්නේය. වසර දොළහක් පාසු කලේ බලාපොරොත්තු එක්කය.

 රිදෙන හැම වාරයක් ගානේ ඒ රිදුම් පිරිමැද ගත්තේ, අනාගතයේ සුබ සිහින එක්කය.  අවසාන නොවූ කතාවක පිටු එකින් එක පෙරලමින් , ඒ කතාවට ඇය එන දිනය තෙක් වූ මග බැලීම් එක්කය. ඒ සියල්ල අවසන් බව සස්මිත දැන් දනී. 

කෑ ගසා හඬන්නටද, ලෝකයම කුඩු පට්ටම් කරන්නටද සිතේ. එහෙත්, ඉවසා ගන්නට සිදුවේ. ඇය වෙනුවෙන් ඉවසා ගන්නට සිදුවේ.

තමා දන්නා ප්‍රේමය මෙයය. වගවීමය. වගකීම දැරීමය. පොරොන්දුව රැකීමය. තමා ජීවත් වන ලෝකය චායාට නුහුරු ය. එහෙත් ඇය අසීරුවෙන් හෝ හුරු වනවාට සැක නැත. ඒ අසීරුව පවා ඇය විඳිය යුතු නොවේය. 

 ඇගේ දෙමාපියන් සහ සහෝදරයා නිසාවෙන් ඇයට උරුම වන්නට නියමිත ජීවිතය තමා නිසා නැති විය නොහේය. අනෙක් අතට තමා සමාජය ඉදිරියේ  මත්ද්‍රව්‍ය අපරාධයකට සිරගතව උන්නෙකි. 

එලෙස උන්නෙකු එවන් වැරද්දක පැටලවීම කල නොහැක්කක් නොවේය. එවන් දිනෙක චායා අසරණ විය යුතු නොවේය. 

දෙමාපියන්ද,සැමියාද, දරුවාද අහිමිවූ පටාචාරාව ගැන සමාජයම දනී.

 එහෙත් දෙමාපියන්ද, සොයුරියද, පෙම්වතියද ඔවුන්ගේ යහපත වෙනුවෙන් කල කැපකිරීම් නිසා අහිමි කරගත් සස්මිතලා ගැන කිසිවෙකු දන්නේ නැත. 

බස් රිය ගමන් අරඹා තිබුනි. චායා තවම හඬා වැටෙනවා විය යුතුය. චරක තමාට බැණ වදිමින් ඇය අස්වසනවා විය හැක. විහඟි සිදුවූ සියල්ල චායාගෙන්  හෝ  චරකගෙන් දැනගත් පසු තමාට සාප කරනවාට සැක නැත. චායාගේ දෙමාපියන් මේ සියල්ල දැනගත් පසු ඔවුන් තමාට සේම විජේසිරි මහතාටද සාප කරමින් බැණැ වදිනවා විය යුතුය. 

අනුරාධපුරයට ගියාට පසු තමා කල යුත්තේ කුමක්දැයි සස්මිත දැන උන්නේ නැත. සිය දිවි නසා ගන්නට නොහැකිය. මියෙන්නට ජීවිතය අතැර දමා බලා සිටින්නට ඇත්නම් යෙහෙය. එහෙත් එය පහසු නැත. ජීවත් වීම සඳහා කල හැක්කක්ද නැත. බලාපොරොත්තුවක් නැත. තමාගේ කියා කිසිවෙක්ම නැත.

තේ පානය සඳහා අතර මඟ බසය නැවතුණි. සස්මිත තවත් වතුර බෝතලයක් මිලයට ගත්තේය. නිරාහාරව සිටීමෙන් තමා මිය යාවිදැයි ඔහුට සිතුනේ ඒ අතරවාරයේය. එහෙත්, ඒවා සිතුවාට කිරීම පහසු නැත. 

අනුරාධපුරයෙන් බැස ගන්නා විට සස්මිත තිරණයක් ගෙන උන්නේය. ජීවිතය අත් හැරීමට පෙර අම්මාද තාත්තාද අක්කා සහ ඇගේ පවුලද දැකිය යුතුය. මුණ ගැසිය යුතුය. 

ගුවන් ගමන් බලපත්‍රය ඇත්තේ චරකගේ නිවසේය. දින දෙක තුනක් ඉවසා ඔහුට ඇමතුමක් ලබාදී එය ගෙන්වාගත යුතුය. ඉන් පසුව හැකි ඉක්මනින් විදෙස් ගත විය යුතුය. එහිදී සිදුවන සියලුම දේ පිළිගැනීමට සූදානම් විය යුතුය. ඉන් හැර අන් යමක් මෙවෙලෙහි සැලසුම් කරගත නොහේය. 

අම්මා සහ අක්කා යළිත් තමාව ප්‍රතික්ශේප කරන්නේ නම්, චායාට එක් වතාවක ඇමතුමක් ගෙන ජීවිතය විසි කරන්නෙමියි සස්මිත සිතුවේය.

ඔහු උන්නේ කිසිදිනෙක නොදැනුන තරමේ වෙහෙසක් සමඟය. කිසිදිනෙක නොදැනුන තරමේ කලකිරීමක් එක්කය. තමා කිසිවෙකුට අවැසි නොවන, හපා විසි කර දමන හපයක් බවට පත්ව් ඇතැයි ඔහුට දැනෙන්නට ගෙන තිබුණි.

” අක්කේ … ඔයා මට කොච්චර ආදරේ කලාද ?. මං ඔයාට කොච්චර ආදරේ කලාද ?.. මගේ මුලු ජීවිතේම ඔයා වෙනුවෙන් උකස් කලේ … එහෙම කලා කියලා මට මුකුත්ම එපා .. අඩුම තරමේ ඉස්සර වගේ එකම එක වතාවක්වත් සුදු මල්ලී කියන්න බැරිද අක්කේ… ඒ තරම් මාව පිළිකුල් කරන්න පුලුවන්ද ?..

 අවුරුදු ගානක් තිස්සේ.. මම නොකල වරදවල් මගේ ඔලුවේ පටලවලා… සුදු බාප්පා මැරුවේ මම කියලා හිතලා.. ඒ කුඩු ඩීල් කතාව ඇත්ත කියලා හිතලා… මාව අතාරින්න පුලුවන් වුනේ කොහොමද මගේ අක්කේ ?…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here