” මට කතාව පටන් ගන්න ඕනි, මගේ සිංගප්පූරු ගමනට හේතු වුන කතාවෙන් …”
චරක එලෙස පවසද්දී. විහඟි සහ චායා එතරම් ගණනකට නොමැති වද, අම්මා සහ තාත්තා බියපත්වද බලා උන් හ. චරක උන්නේ සියලු දෙනාගේම හැසිරීම් පිළිබඳව සැලකිල්ලෙනි,
” අම්මේ…. දැන් විජේසිරි අංකල් නැති නිසා, ඔයාලා දෙන්නා මට කියන්න ඕනි … එදා මට ඇති වෙච්ච ප්‍රශ්නෙන් පස්සේ… මාව සිංගප්පුරු යවන එක ලේසි වුනේ… මං වෙනුවට වරද බාරගෙන ඇතුලට යන්න කොල්ලෙක් උන්න නිසාද කියලා… මං මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ, ඒ කොල්ලාගේ ජීවිතේ උකසට අරගෙනද කියලා…”
චරකගේ මව කෝපයෙන් කෑ ගැසුවාය.
” අවුරුදු දොළහකට, දහතුනකට කලින් වෙච්ච දේවල් අවුස්සලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ලොකූ… කිරි සප්පයෙක් ඇස් දෙක අරින්න බලාගෙන ඉන්න වෙලේ, මේ නිදන් ඉන්න ගිණි කඳු අවුස්සලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?.. කරුණාකරලා මේ කතාව මෙතනින් නවත්තලා දාන්න … මෙච්චර කල් ඉඳලා.. මේ හැමදේම හෙමි හෙමින් ගොඩ නඟාගත්තට පස්සෙ, ආයේ ඔව්වා අහන එක තේරුමක් නෑ .. ඔයා ඒ දවස් වල නිකම්ම නිකන් චරක වුනාට .. දැන් ඔයා කවුද කියලා අමතක කරන්නෙපා.. මෙව්වා මේ බිත්ති ඇතුලේවත් අපි ඇහෙන්න නොදුන්න කතා..”
” අන්න ඒකම තමයි අම්මේ වරද … එහෙම කතා කලා නම්, අඩුම මේ වෙද්දි, මම ඒ වැරදි අඩුපාඩු වෙනුවෙන් වන්දි ගෙවලා…”
” කට වහගන්නවා ලොකූ ..”
චරකගේ පියා උන්නේද කලබලයෙනි. චායා මත ඇති ප්‍රශ්නය මදිවාට, ඇය මේ චරකගේ ජීවිතයේ සිදුවූ අඳුරු කතන්දරයද පහසුවෙන් දරා නොගනු ඇත. මුලාවන් මුසාවන් තරමට ඇය ජීවිතයේ අප්‍රසන්නව මුහූණ දෙන අන් යමක් නොමැති තරම් ය.
” මම කතා කරලා ඉවර කරනවා තාත්තෙ.. එතකල්, මොනයම්ම හේතුවකටවත් මම කට වහන්නේ නැහැ …”
සියලු දෙනා එවෙලෙහි එතැන මැවෙමින් තිබුණ තත්වය පිළිබඳව වටහා ගන්නට අපහසුවාක් මෙන් එකිනෙකා දෙස බලමින්, එහෙත් කිසිත් නොපවසමින් උන්හ ඊළඟ පියවරෙහි වන්නේ කුමක්දැයි දැන උන්නේ චරක පමණි.
” මීට අවුරුදු දහතුනකට කලින්, හරිහැටි දැනගෙන උන්නේ නැති යාලුවෙක්ගේ ඩීල් එකකට පැටලුනා මම .. නොදැන මම ට්‍රාන්ස්පෝර්ට් කරලා තිබුණේ ඩ්‍රග් පාර්සල් එකක්.. කිලෝ දෙක තුනක් ..ප කොහොමහරි මාව රිවීල් වෙලා තිබුණා.. මම හැමදේම දාලා ගෙදර ආවා.. ඒ ආව ගමන් තාත්තාට ඒ ගැන කිව්වේ… මෙතන පඩිපෙල ලඟදි .. තාත්තේ ?..”
චරකගේ පියා චරක දෙස දැඩි අමනාපයක් පෙන්වමින් උන්නේය. ඔහුට චරක පවසන සියල්ල සිතුවම් පටයක් සේ සිහිවෙමින් තිබුණි. කෙතරම් උත්සාහ කලද, අමතක කල නොහැකිව තිබූ තරුණයාගේ කතාව චරක මෙලෙසින් පැවසීම ඔහුට දරාගන්නට හැකිව තිබුනේ නැත.
” ඊට පස්සේ, දවස් දෙකක් .. නෑ එකහමාරක් ඇතුලත මම රට ගියා … තාත්තාගෙන් අහපු හැම වතාවෙම.. ඒප්‍රශ්නේ විසඳුනා කිව්වා.. වතාවක් දෙවතාවක් කිව්වා, විජේසිරි අංකල් විසඳුවා කියලා..ඒත් . ඒ ගැන ආයේ කතා කරන්නවත් දුන්නේ නෑ…. අවුරුදු දෙකක් ගිහින්, මම එකපාරටම ආයේ එන්න ලෑස්ති වෙද්දිත් කිසිම ප්‍ර්ශ්නයක් නැතුව, ඔයාලා මට එන්න දුන්නා… ඒ කියන්නේ මාව ඒ ප්‍රශ්නෙන් සහසුද්දෙන්ම බේරලා තිබුණේ ඒ වෙද්දිත් ..”
” අනේ මහත්තයා.. මේ ළමයා මේ මරු කියවන්වා….”
” මොනවාද අයියේ මේ කියන්නේ?.. විහඟි උඹ මේ කතා දැනගෙන හිටියාද ?..”
චායා උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය. පලමුව සස්මිතය. දැන් අයියාය. ඔවුන් දෙදෙනාම මත් දැලේ පුරුක්ද ? තමා වසර ගනනාවක් අයියාගේ දේශපාලන ගමන් මගෙගි තීරණාත්මක් මංසන්ධියක් ලෙසින් මත් විරෝධී සංසදයක් පිහිටුවාගෙන කටයුතු කර ඇත්තේ, අයියා සහ සස්මිත වැනි තම ජීවිතයේ වඩා වැඩියෙන් පෙම් කල පිරිමින්ට එදිරිවද ?.. තමා එහෙව් අරමුණක් වෙනුවෙන් කටයුතු කරද්දී, අයියා තමාට සවිය දෙන බව ව්‍යාජව පෙන්වමින් මෙවන් තැන් හී ගොදුරු වී හිඳ ඇතිද ?.. සියල්ලටම වඩා, අයියා කල වරදකට .. අන් තරුණයෙක් … සංසදයේ කටයුතු සඳහා බන්ධනාගාර නිළධාරීන් හමුවූ අවස්තාවල ඔවුන් පැවසූ යමක් සැනින් චායාට සිහි විය.
” සමහර සල්ලි කාරයෝ, ලොකු අත්.. කවදාවත් උන් කරන ඩීල් වලට ඇතුලට එන්නේ නෑ මිස්.. උන් ඒ වෙනුවෙන් එවන්න ඩමි තියාගෙන ඉන්නවා.. ඒ කොල්ලන්ගේ ජීව්තම මේවාට දියවෙලා යනවා… ඇතුලට එන අහිංසකයෙක්ට ගැලවෙන්න ලේසි නැහැ … උන් සල්ලි වෙනුවෙන්, පවුලේ අනෙක් මිනිස්සුන්ගේ සැනසීම වෙනුවෙන් ජීවිතේ දිය කරනවා…”
චායා අයියා දෙස සහ විහඟි දෙස බලා උන්නේ දැඩි බැලමකින්. විහඟි චරක පවසන කිසිවක් තමා නොදන්නා බව පෙන්වන්නට උත්සාහ දරමින් උන්නේය. ඇයට මුවින් වචන පිටවූයේ නැත.
” අම්මේ … අම්ම දන්නවා මම මේ කියන හැම වචනයක්ම ඇත්ත කියලා ..”
චරක දැඩි හඬින් පවසද්දී, චායා දෑතින්ම මුව වසා ගත්තාය. සියල්ල එලෙසින් සිදුවී ඇතිද ?..
” දැන් මට දැනගන්න ඕනි එක දෙයයි … මං වෙනුවෙන් ඇතුලට ගියපු, තමගේ ජීවිතේ අතැරපු ඒ කොල්ලා කවුද කියලා..”
චරක පැනය දෙමාපියන් වෙත යොමු කර වෙලා ගත්තේ තමා ඊලඟට එළිදරව් කරන්නට යන දෙය සඳහ සූදානම් වන්නටය. ඉන් පසුව චායා වෙතින් තමාට එල්ල වන අප්‍රසන්න බැල්ම දරාගන්නටය. අම්මා සහ තාත්තා නොදන්නා පැනයක පිළිතුරු වෙනුවෙන් ඔවුන් දෙදෙනා ට තව තවත් වෙලා ලබා දෙමින්, චරක ජීවිතයේ තමා මුහුන දෙන අපහසුම පරීක්ෂණය වෙනුවෙන් සූදානම් වෙමින් උන්නේය.
” අම්මේ.. මොකක්ද මේ අයියා කියන්නේ?.. කවුද ඒ ?.. එයා තවම හිරේද ?.. අම්මේ…?”
” මං දන්නේ නෑ චායා .. මං දන්නේ නෑ.. මගෙන් අහන්න එපා ..”
” තාත්තේ …?..”
තාත්තා චායා දෙස සන්සුන් බැල්මක් හෙලුවේය. චායා එම බැල්මට යටවී ඉවසා උන්නාය.
” තාත්තේ ?..”
චායා යළි කතා කලාය.
” ඔවු .. එහෙම දෙයක් වුනා.. ඒ කාලේ මට ඒ වෙනුවෙන් කරන්න තිබූන දේ මම කලා… මම කිව්වාට, මං වෙනුවෙන් විජේසිරි තමයි ඒ වැඩේ කලේ … “
” එතකොට … එතකොට ඒ කෙනා කෝ දැන් ?..”
” විජේසිරි කිව්ව විදියට … ඒ ළමයා රිලීස් වෙලා තිබ්බා… විජේසිරි ඒ ළමයාගේ ජීවිතේ වෙනුවෙන් හැමදේම කරලා ….. හැමදේම කරලා තිබුණේ..”
චරක චායාටම ඉඩ දි බලා උන්නේය. ඇය මේ කතාව දිග්ගස්ස්සාගෙන යන තරමට තමාට පහසුය.
” එතකොට .. එතකොට … මෙහෙම දෙයක් වෙනුවෙන් බෙල්ල තිව්වේ ඇයි එයා ?.. අනේ කවුරු හරි මේ වෙන්නේ මොකක්ද කියන්න අප්පා.. මට නම් ඔලුවත් එක්ක විකාරයි .. මේ දේවල් මිනිස්සු දැනගත්තොත් එහෙම මොනවා වේඩිද අයියේ ..?>


