සස්මිත පැමිනෙන තෙක්, විහඟිගේ තත්වය දෙමාපියන්ට පැවසීම පමා කර, චරක විහඟිගේ කාමරය තුලට ඇතුලු වූයේය. ඒ වෙද්දී ඇය කාමරයට රැගෙන විත් තිබුණේ නැත. චායා දකින්නට යන්නේ, සස්මිත පැමිණියාට පසුවයැයි සිතමින්, චරක කාමරයේ වූ අසුනට වැටුණේය.
” මගේ රත්තරං පුතේ .. ඔයා තාත්තාගේ ජීවිතේ පැටලිලි භාගයක්ම ලිහාගෙන මේ ලෝකෙට ආවේ… ඔයාගේ නැන්දාගේ ජීවිතේ අපායක් වෙන්න තිබුණේ පුතේ…. දැන් ඔක්කොම හරියන්න හදන්නේ .. සස්මිත මාමාව .. දැකලා මං ඔයාව බලන්නේ පුතේ .. එහෙම නැතුව මේ ගින්න අරගෙන මට ඔයා ළඟට එන්න බැහැනේ..”
චරක සෙටියේ පිටුපසට හිස බර කරගෙන කල්පනාවේම උන්නේය. තවත් පැය භාගයක් ඉක්ම යන්නට පෙර සස්මිතට මෙහි ළඟා විය හැක. ඉන් පසුව පළමුව කල යුත්තේ ඔහු වැළඳගැනීමය. ඉන් පසුව අත් නොහැර සිටීමය. ඉන් පසුව ඔහුගේ දෑතින්ම අල්ලාගෙන සමාව අයැදීමය. වචන නොගැලපුනා වුවද, එලෙසින් අතින් අල්ලාගෙන සිටීමය. ඔහු සමාව ඉල්ලන්නේ මන්දැයි විමසුවහොත්, ඒ මන්දැයි පැවසීමය.
චරක ගැඹුරු සුසුමක් හෙලුවේය. ඔහු දෑස් විවර කරද්දීම, රෝහල් කාමරයේ දොරද විවෘත විය. චරක වහා අසුනෙන් නැගිට්ටේය. ට්‍රොලියක් කාමරය තුලට තල්ලු කරගෙන ආවේ රෝහල් සේවකයන් කිහිප දෙනෙක් විසිනි. චරක ඔවුන් වෙතට ඇවිද යද්දී. ඔවුන් මොහොතකට චරකට ඉඩ දී පසෙකට වූහ.
චරක වහා විහඟි වෙත නැඹුරු වූයේය. ඕ උන්නේ නින්දේ ලෙසිනි. ගෙල සිට ගත වැසෙන්නට ඇතිරිල්ලක් දමා තිබුණි. චරක ඇගේ නළලත ඉම්බේය. ඔහුට හැඬුණි. ඔහු එලෙසින්ම දෙතොල් ඇගේ නළලතේ තබාගෙන උන්නේය. ඔහුගේ එක් අතක් ඇගේ ගත වටා වැටී තිබුණි. චරක උන්නේ ලෝකයම අමතකව ගිය ලෙසිනි.
” සර් ..අපිට චුට්ටක් ඉඩ දෙනවාද ?.. මිස්ව බෙඩ් එකට මාරු කරන්න …”
හඬක් ඇසුණි. චරක වහා පසෙකට වූයේය. රෝහල් සේවකයන් එක්වි විහඟිව සයනයට මාරු කලෝය. ඒත් සමගම වෛද්‍යවරයා සහ හෙදියන් දෙදෙනෙකු ද රෝහල් කාමරය තුලට ඇතුලු වූහ. චරක, විහඟි දෙස සහ වෛද්‍යවරයා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. වෛද්‍යවරයා විහඟි සහ දරුවා පිළිබඳව වන තත්ව චරකට පැහැදිලි කලේය. සස්මිතගේ ඇමතුම පැමිණියේ වෛද්‍යවරයා හෙදියට අදාල උපදෙස් ලබා දෙමින් සිටියදීය.
” තර්ඩ් ෆ්ලෝර් … රූම් නම්බර් එයිටි වන් …”
සස්මිත එලෙසින් පවසා ඇමතුම ව්සන්ධි කලේය. සස්මිත හැකි උපරිම වේගයෙන් එනු ඇත. එහෙත් චායා දකින්නට පෙර ඔහු දැනගත යුතු කාරණා ඇත.
” බබා බලන්න පුලුවන් ඇමතිතුමා…”
වෛද්‍යවරයා කාමරයෙන් නික්මෙද්දී යලි චරක වෙත හැරී කීවේය.
” වයිෆ් ඇහැරුනම ..ඩොක්ටර් ..”
වෛද්‍යවරයා සිනාසී පිටව ගියේය. චරක විහඟිඋන් යහන අසල වූ කුඩා බංකුව තවත් යහන වෙත සමීප කරගෙන හිඳගත්තේය. ඇගේ අතක් ඇතිරිල්ලෙන් පිටතට ගෙන සිප ගත්තේය. යලි යලි සිප ගත්තේය.
” මගේ පණ … මගේ ජීවිතේ … මගේ ජඩකම් ඔක්කොම මෙච්චර අවුරුදු ගානක් තිස්සේ ඉවසලා , ඉවසලා, මට මෙච්චර වස්තුවක් ගෙනල්ලා දුන්නේ ඔයා මැණිකේ .. ඒ උඹ .. මට මැරෙන්න හිතෙන කාරණා ඔක්කොම හතර අතින් පෙනෙද්දී, ජීවත් වෙන්න කාරණා එකින් එක හෙමි හෙමින් ගෙනලා.. මාව අල්ලන් උන්නට උඹට පින් විහඟි …”
එක්වරම දොර විවෘත විණි. සස්මිත උන්නේ වැස්සේ තෙමීගෙනය. ඔහු අඩියට දෙකට විහඟි වැතිරී උන් යහන වෙත ආවේ දෙතොලින් හඬ නොනැඟෙන සේ චායා ලෙසින් මුමුනමිනි. චරක විහඟිගේ අත අත් හැරියාට. සස්මිත චරක අසලටම විත් උන්නේය.
” චා .. යා .. සර්…”
සස්මිත වෙවුලමින් උන්නේය.
” උඹ .. උඹ … “
චරක ඉතා තදින් සස්මිතව වැළ්ඳගත්තේය. ඔහු අයිස් මෙන් සීතලය. එහෙත් ඒ සීතලට යටින් ඇති උණුහුම ගැන චරකට විශ්වාසය. අවසානයේ….
” ස.. ර් .. මගේ .. කෙ.ල්..ල … මොකක් .. ද ස .. ර් .. වුනේ … මරලා.. දාන්න .. සර් .. මාව මරලා දාන්න …මං හැමදාම ආත්මාර්තකාමි ..මිනිහෙක් වුනා සර්.. මගේ කෙල්ලගේ ජීවිතේ සෙල්ලමක් කරගත්තා … අතෑරියා .. වතාවක් නෙවෙයි සර් .. දෙවතාවක් .. ආයේ ඇතෑරියොත්.. එයාව.. කවදාවත් .. දකින්න වෙන්නේ නෑ කියලා.. කිව්වා සර් .. එයා කිව්වා… එයා කිව්වා..මගේ රත්තරන් කිව්වා… මං .. මං .. මහ බල්ලෙක් සර් …”
සස්මිත අප්‍රාණිකව යන බව චරකට දැණුණි. ඔහු වහා ඔහු ඔසවා යාබදව තිබූ අනෙක් යහනට දැම්මේය. කමිසය ගලවා දැම්මේය. කලිසමද දෙපයින් ඇද දමා එතැන තිබූ ඇතිරිල්ලෙන් ඔතා දැම්මේය. සස්මිත උන්නේ විකාරයෙන් කියව්මිනි. චරක වහා රෝහල් අභ්‍යන්තර දුරකතනයෙන් ඇමතුමක් ගෙන වෛද්‍යවරයෙක් ඉල්ලා සිටියේය. සස්මිතගේ දිගු හිසකේ පිරිමැද්දේය.
” පොඩ්ඩක් හිටපං …”
සස්මිත දිගින් දිගටම චායා වෙනුවෙන් කියවමින් උන්නේය.
“අයි .. යෙ …”
විහඟිගේ හඬ ඇසුණි. චරක වහා ඕ වෙතට හැරුණේය. ඕ නැගිටගන්නට උත්සාහ කරන බව දැක, වහා ඕ නවත්වාගත්තේය.
” එපා මැණික .. එපා…”
” අයියේ …බබා.. එයා..නෑනේ…”
විහඟිද එක්වරම සිහියෙන් එපිටට යන්නට උත්සාහ කරමින් කීවාය. චරක උන්නේ සියල්ල කළමණාකරණය කරගන්නට උත්ස්සාහ කරමිනි.
” ඉන්න මැණික ඉන්න ..ඉන්න … එයා ඉන්නව….පුතෙ ක්… මැණික .. එයා ඉන්නවා….”
විහඟි චරකගේ මුහුණ දෙස බැලුවාය. ඔහු පවසන්නේ සත්‍යමදැයි විමසන්නට මෙන් බැලුවාය.
චරක ඕ සිප ගත්තාය. කෙටියෙන් සියල්ල කීවෙය. සස්මිතව සොයාගත් බව කීවේය. ඔහු යාබද යහනේ සිටින බව කීවේය. ඒත් සමගම වෛද්‍යවරයෙක් ඇතුලු විය. චරක විහඟි අත් නොහැරම කුමක් වීදැයි කීවේය.
” සර් අපි පේෂන්ව ඊ ටි යූ එකට ගන්නම් ..?”
හෙදියක් විමසුවාය. චරක වහාම ඒ වෙනුවෙන් එකඟ වූයේය. සස්මිතව දමා ගත් ට්‍රොලිය කාමරයෙන් පිටව් අගිය පසු කාමරය තුල වූයේ නිහැඬියාව පමණි.
” අයියේ …මොකක්ද අයියේ උනේ?…”
” මුකුත් නෑ මැණික.. ඔක්කොම හරි …”
‘ අම්මලා ?.. චායා …”
” නංගී සෙවන්ටි ෆෝර් වල …. අම්මලා එතන .. බබා ලැබුනා කියලා ඒ කවුරුත් දන්නේ නෑ .. අපි එහෙම වෙයි හිතුවේ නෑ ..”
” අනේ අයියේ ..”
” ඔය ඉතින් .. අඬන්න දෙයක් නෑ මගේ මැණික .. දැන් ඔක්කොම හරි ..”
” අර..ඔයා කිව්වේ.. සස්මිත ගැන කතාව..”
විහඟි ක්‍රමයෙන් සිහි එළවා ගනිමින් උන්නාය. චරක ඒ කිසිවක් නොසිතා සිටින මෙන් විහඟිව සිප ගනිමින් කීවේය, තමා ඇය හෝ දරුවා තනි කර කොහිවත් නොයන බවට දිවුරා කීවේය.
චායා, චරකගේ මව සහ පියා සමගින් එක්වරම කාමරය තුලට ඇතුලු වූයේ චරක, විහඟිගේ දෙතොල් ජල බිඳුවකින් තෙමමින් සිටියදීය. චායා චරක වෙත දිව ආවාය. දෙමාපියන් වහා විහඟි වෙතට වූහ. ඔවුන් වෛද්‍යවරයාගෙන් තත්වය දැන උන් හ.
” කෝ සස්මිත ?..”
ඕ චරකගේ කමිසයේ එල්ලුණාය. චරක කිසිවක් නොපවසාම ඕ සන්සුන් කරගන්නට උත්සාහ කලේය.
” කෝ සස්මිත … තමුසේ නේද එයාට බල කලේ.. කසාද බැඳලා කියලා.. මට බොරු කියන්න කියලා.. තමුසේ නේද එයාව කිඩ් නැප් කලේ ?.. තමුසේ නේද එයාව හංගගෙන හිටියේ … මගේ ඉස්සරහ බොරු මූණක් පෙන්නගෙන, ඒ කොල්ලාව මරලා දැම්මද කියනවා අයියා ?… තමුසේගේ ඇමතිකමෙන්ද ඒ ඔක්කොම අක්ලේ ?..”
” චා .. ය …යා ..”
විහඟිගේ දුර්වල හඬද ඇසුණි.
” උඹේ මිනිහානේ.. උඹේ සංසාරණීය ප්‍රේමෙනේ.. එහෙමනේ කියන්නේ .. නේ ?.. එතකොට මම… එතකොට එතකොට අර අහිංසක කොල්ලා …’
චායා මහ හඬින් හඬා වැටුණාය. චරක කලබල වූයේ නැත. සියල්ල සැකසෙමින් ඇත.


