අංගාර – 103

0
2277
angara

” උඹ එදා හිරේ ගියේ, මාව බේරන්න සස්මිත …”

විහඟි සහ චායා ද, අම්මාද උස් හඬින් හඬා වැටුණහ. තාත්තා උන්නේ ඊලඟ තත්පරය කෙලෙසින් වේවිදැයි සිතාගන්නට නොහැකිවය.

” දන්නවා සර් ..”       

” වට් ?..”
චායා සස්මිත දෙස බැලුවාය. විහඟිගේද හැඬුම් නැවතුණි. ඕ උන්නේ නින්දෙන් අත් මිදෙමිනි. චරකගේ දෙමාපියන්ද උන්නේ සස්මිත දෙස බලාගෙනමය. චරකට ඉන් එහා කුමක් පවසන්නටදැයි කියා හෝ වැටහුනේ නැත. එහෙත් වතාවක් , ” හරි . මම ඒකත් කරන්නම් ..” ලෙසින් සස්මිත පැවසූ අයුරු විදුලි වේගයෙන් සිහිපත් වූයේය. චායා උන්නේද කිසිවක් වටහා ගන්නට  නොහැකිවය. සස්මිත පුරන්නේ කිනම් පාරමිතාවක්ද ?..

” මොකක්ද ඔයා කියන්නේ සස්මිත ?.. දන්නවා කියන්නේ?..”

චායාගේ හඬ වෙවුලමින් තිබුණි. සස්මිත ඇගේ හිස පිරිමැද හිස සැලුවේය. ඉන් පසුව ඇයට එලෙසින් සිටින මෙන් සන් කර, චරක වෙත ඇවිද ගියේය. ඔහු අසලින් සිටගෙන අනෙක් අය පෙනෙන සේ ආපසු හැරුනේය. බිත්තියෙන් යම් වාරුවක් ගෙන යලි සිටගත් ඉරියවුව වෙනස් කලේය.

” සර් … මේ කතාව .. මේ කාමරේ ඇතුලෙන් ඉවර කරමු සර් …  විජේසිරි අංකල්, අපේ තාත්තා දන්න කෙනෙක් … වැඩ වලදි හමුවෙලා … ඒ කාලේ අපේ පවුලේ , අක්කාගේ ප්‍රශ්නේ එක්ක තිබුන ගැටලු ගැන අංකල් දැනගෙන හිටියේ .. දවසක් .. මාව මුන ගැහෙන්න ඕනි කියලා… එකපාරටම ඔය කතාව කිව්වා…කාගේ කවුද, මොකක්ද විස්තරයකට වඩා.. කිව්වේ කෙනෙක් වෙනුවට වරදක් බාරගෙන හිරේ යන්න වෙනවා කියලා… ඒ කාලේ අවුරුද්දක් දෙකක් වෙන්න පුලුවන් කිව්වා….

…බොරු කියන්න ඕනි නෑ සර් .. මං ගැස්සුණා… එච්චරට කැපකිරීමක් කරන්න පුලුවන්ද හිතුණා.. එතකොට චාය සුරංගනාවියක් ගානයි මගේ ජීවිතේ … එයාට මොනවා වේවිද හිතුනා… මට කිව්වා පැය දෙකකින් කතා කරන්නම් කියලා… මම ඒකට කැමති වෙනවා නම්, අක්කාගේ ජීව්තේ ගොඩ කියලා හිතාගන්න කිව්වා…

..මම ආයේ කැම්පස් එන්න ආවා.. පැය භාගයක් ගියේ නෑ.. අක්කා සිහි නැති වෙලා වැටිලා.. අඟුණකොලපැලැස්ස හොස්පිට්ල් එකෙන්, හම්බන්තොට යවලා කිව්වා.. ඔපරේශන් එක පරක්කු වෙනවා කියන්නේ.. අක්කා නෝර්මල් ජීවිතේට එන එක විශ්වාස නැති වෙනවා කියලා ඩොක්ටර්ස්ලා කියලා තිබ්බා… අම්මා අඬනවා කෝල් එකෙන් … පැය දෙක යන්න කලින් මම විජේසිරි අංකල්ට කෝල් කරලා මම එකඟයි කිව්ව…

.. අම්මලා ට කිව්වා හදිසියේම මට රට යන්න අවස්තාවක් ලැබුණා.. ඒ නිසා යනවා.. අක්කාගේ ඔපරේශන් එකට සල්ලි හදාගමු කියලා…

ඊට පස්සේ දවසේ මම මගේ කැම්පස් එකේ හොඳම යාලුවාට විතරක් කියලා.. මම විජේසිරි අංකල් කීව විදියට වැඩ කලා … විජේසිරි අංකල්, සර්ගේ තාත්තා ලවා අක්කාගේ ට්‍රීට්මන්ට්ස් සම්පූර්ණෙන්ම බාරගෙන තිබුණා… විජේසිරි අංකල් අපේ අම්මලට කියලා තිබූනා, සර්ගේ තාත්තලා එහෙම කරන්නේ, නැති වුන දරුවෙක්ට පින් පිණිස කියලා .. ඒක අපේ අම්මලා ඉස් මුදුනෙන්ම විශ්වාස කරලා තිබුනා..

… අවුරුදු දෙකක් කියලා හිතුවාට, අවුරුදු පහලොවක් මට නියම වුනා සර් .. මැරෙන්නම හිතුනා… ආයේ තේරුමක් නෑනේ හිතුනා… ඒ අතරේ අම්මලා අක්කගේ ට්‍රීට්මන්ට්ස් වලට මට එහෙ එන්න කියලා ආයේ ආයේ පණිවිඩ එවලා තිබුණා… විජේසිරි අංකල්ගේ පුතේ .. එයා රට උන්නේ . එයා තමයි මං වගේ රඟපෑවේ.. අක්කගේ ට්‍රීට්මන්ට්ස් වලට වඩා මගේ වැඩ වටිනවා එහෙම කිය කියා..   ඌ වැඩේ නපුරටම හරවලා තිබුණා.. අම්මා මට වෛර කරන්න ගත්තා…. තාත්තා නම් සැකෙන් උන්නේ ඇත්තටම මම එහෙම හැසිරෙනවාද කියලා.. අක්කා මට බැනලා සෑහෙන්න මැසේජ් එවලා තිබුණා…  අක්කත් තරහ උනා…”

“ඔයා කිව්වේ අර බාප්පා කෙනෙක්ද කොහෙද ඔයා අතින් මැරුණා ..එහෙම කතාවක් ..”

චායා එක්වරම පැන්නාය. සස්මිත මද සිනහවක් පෑවේය.

” ඒ ඉස්සර වෙච්ච කතාවක්.. මාව දාලා නිකන් කිව්වේ…”

චායා හඬ නොනැඟෙන සේ බැණ වදිමින් උන්නාය. සස්මිත ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත.

”  මාස තුන හතරක් ගියාම මම විජේසිරි අංකල් මාව බලන්න ආව දවසක කිව්වා චායා ගැන …. අංකල්ටත් හිතාගන්න බැරි වුනා.. අංකල් හරියට වොරි උනා, එයා කල දේ ගැන … චායාට හරි සෙනෙහෙයි එයා.. ඔයා මොකක්දෝ දුකක ඉන්නේ කියලා ලොකු සර් දුක් වෙනවා කියලත් කිව්වා…”

” ලොකු සර් කියන්නෝ නි නැහැ සස්මිත ..”

චායා යලි කඩ පැන්නාය.

” ………………… එදා ඉඳන් විජේසිර් අංකල් මට චායා ගැන අප්ඩේට් දුන්නා.. මං සමහරදාට චායාව අහගෙන උන්නා… අංකල් මට බට්න් ෆෝන් එකකුත් පන්නලා දුන්නා.. ඒක තිබ්බ නිසා සෑහෙන්නම වෙලාවල මම චායාගේ කට හඬ එහෙම ඇහුවා… හැබැයි.. කොයි වෙලේවත් කිව්වේ නැහැ… මම වරද පිලිගත්ත ඒ වරද කලේ චායාගේ අයිය කියලා…”

” කොහොමද උඹ ඒක දැනගත්තේ?..”

” රිලීස් වෙලා ආවහම .. මට කලුතරින් ඉඩමක් හම්බුනා.. මම අවුරුද්දක් පහුවෙනකල් ඒකේ වැවුවා… මට චායා ඉස්සරහට එන්න තරම් හය්‍යක් තිබුනෙත් නැහ…දවසක් විජේසිරි අංකල් කියාගෙන ආවා, සර්ගේ ඩ්‍රයිවර් ඇක්සිඩන්ට් වෙලාට.. අලුත් ඩ්‍රයිවර් කෙනෙක් හොයනවාය කියාලා…ඉතා ඉක්මනින් මාව රෙකෲට් වුනා..

එන්න ඒ ආව දවසේ තමය් දැනගත්තේ … දැනගත්තේ කිව්වාට, විජේසිරි අංකල් මට කිව්වා… ඒ ස්පෝර්ට්ස් මිනිස්ටර් කියලා කිව්වාම මම ඒක ශේප් එකේ දරාගත්ත්තා .. ඒත් ඒ චායාගේ අයියා කිව්වාම මගේ මුලු ජීවිතේම කඩාගෙන වැටුණා සර් .. මොකද , මම දැනගත්තා කවදාවත් මට චායාව දෙන්නේ නෑ මගේ අතීතේ හොයාගත්තා කියලා..  ඒ වගේම, චායා සර්ට  කොච්චරක් ආදරේ කලාද දැන දැනම ඒ අතීතේට සර් සම්බන්ධයි කියනෙක හෙළිදර්ව් කරන්න බෑ කියලත් මට තේරුණා… විජේසිරි අංකල් මගේ හිත හැදුවා… එයා  හැමදේම විසඳලා දෙන්න පොරොන්දු උනා… ඒ මනුස්සයා දෙවියෙක් … මං වෙනුවෙන් කල සමහර දේවල් එහෙ දරුවන්ටවත් කරලා නෑ සර් .. ඒත් අංකල් එක පාරටම ණැති වුනාම, මම පාලු සුසානෙක තනිවෙච්ච් ගාන වුනා.. යන එන පාරක්, කරන්න  දෙයක්, හරි හමන් හිතවතෙක් නැතිව අසරණ වුනා.. චායා උන්නා තමා .. ඒත් චායා උන්නේ මම කියපුමහා බොරු ගොඩක් එක්ක .. සහ, සර් කොයි හරි වෙලාවක මගේ පස්සේ වැටුනම මට බේරෙන්න විදියක් නැහැ කියලා මම දැණගෙන උන්නා….. “

සස්මිත එලෙසින් පවසා නැවතුනේය. කිසිවෙකුට කිසිවක් පවසා ගන්නට හැකි වූයේ  නැත.

” දෙයක් වුනා… මම ඒකට දඬුවම් වින්දා .. ආයේ ඒ කුණු අඳින්න ඕනි නැහැ සර් … සර්ට රිදෙන දෙයක් කරලා චායාට සැනසිමෙන් ඉන්න බැරි වෙයි … “

” උඹට හොඳ වන්දියක් අරගෙන, මෙහෙන් ගිහින්, නඟි එක්ක සැපෙන් ජීවත් වෙන්න පුලුවන් සස්මිත .. උඹේ නමට වැදුණු  හැම කැත පැල්ලමක්ම අයින් කරගෙන, උබේ පවුලේ අයටත් සැනසීම දීලා උඹට ඉන්න පුලුවන් .. හොඳට හිතලා තීරණයක් ගනින් …”

” ආයේ හිතන්න දෙයක් නැහැ සර් … මගේ අක්කා වෙනුවෙන් මංං එච්චර දෙයක් කලා… චායා කියන්නේ මගේ පණ..  ඔය සර්ගේ හිත රිදෙන්න කියෙව්වාට, චායා සර්ට කොච්චරක් ආදරේද මම දන්නවා.. සර් වෙනුවෙ නෙවෙයි සර්.. මයේ කෙල්ල වෙනුවෙන්, මං මේක මෙතනින් නවත්තන්න තීරණය කරලා ඉවරයි .. අත් දෙක එකතු කරලා වැඳලා ඉල්ලන්නේ එකම එක දෙයයි සර් .. මාව විශ්වාස කරලා… මට චායාව දෙන්න … අඬවන්නේ නැතුව බලාගන්නම් .පවුලක් නැති අනාතයෙක් වගේ මට ඉන්න වෙනවා සර්..මොකද මේ වුන දේවල් අම්මලාට කිව්වොත් ඒ මිනිස්සුන්ගේ පපුව පැලෙය් … දවසක ගිහින් ගැහුවත් කතා කරලා එනවා  කියලා හිතාගෙන ඉන්නවා.. ඒත් අක්කාව මැරෙන්න දාලා, රට ඉගෙනගන්න ගිය එකාට  ඒ අය කවදාවත් සමාව දෙන්නේ නැහැ සර්.. ..”

සස්මිතගේ හඬ බිඳී යද්දී චායා උන් තැනින් නැගිට්ටාය. එහෙත් අම්මා ඊට පෙර ඉස්සර විය. ඕ සස්මිතගේ දෙකොපුල් තම දෑතට ගත්තාය.

” කවුද පුතේ එහෙම කියන්නේ?… ලේ කිරි කරලා පොවන්න මට බැරි වෙයි .. ඒත් මේ අම්මා මැරෙනකල්, මට පුතා වැඩි නෑ .. මෙච්චර ලොකු හිතක් තියෙන ඔල්ලෙක්ට අම්මා වෙන එක පාරමිතාවක් සම්පූර්ණ කිරීමක් පුතේ ….  මට ඉන් එහා කියන්න දෙයක් නෑ…”

විහඟි යළි උස් හඬින් හැඬුවාය. චායා වහා විත් අම්මා සහ සස්මිටහ්ව වැළඳ ගත්තාය. අම්මා චායාගේ හිසද පිරිමැද්දාය.  චරක උන්නේ නෙත් මත වු තෙත එහෙමම වන්නට දෙමිනි.

” මේ ළමයා මේ ඉන්නේ හොස්පිට්ල් රොබ් එකෙන් .. ඇඳුමක් දාගෙන එන්න එක්ක යමු …. ලොකූ මෙහෙ ඉන්න ..අපි ගිහින් එන්නම් …”

තාත්තා  සිදුවීම වෙනතකට හැරෙව්වේය.

.

.

.

සස්මිත උන්නේ චායාගේ උකුල මත හිස තබාගෙනය. චායා ඔහුගේ හිස පිරිමදිමින් දෑස් පියාගෙන උන්නාය.

” දවස් දෙකක් ගියා මැණික … තවම මට මුකුත්ම කියන්නේ නැද්ද ඔයා …?… කතා කරන්නේ නැද්ද මා එක්ක …”

චායා පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට චරකගේ හඬ ඇසුණි. සස්මිත කෙලින්ව හිඳ ගත්තේය. චායා වෙනතක් බලා උන්නාය.

” විහඟිව බලන්න යන්න එනවාද ?..”

චරක විමසුවේ චායාගෙනි. සස්මිත ඇය දෙස බැළුවේය. එහෙත් ඕ උන්නේ එයට පිළිතුරු දෙන්නට සූදානම් නැතිවාක් මෙනි.

” දවස් දෙකක් නංගී .. අයියාව එපාද ?.. අයියා කරපු වැරදි වලට, නොසන්ඪාලකම් වලට සමාව ඉල්ලන්නේ නෑ .. එහෙම සමාව දෙන්නත් එපා… අයියා නිසා නංගිගේ  ජීවිතේ සම්පූර්ණෙන්ම විනාශ වුනා … අයියාට ඒ ඔක්කොම තේරෙනවා.. ඒත්, අයියාට ඒ කිසි දෙයක් හරිගස්සන්න බැහැ දැන් … අයියාව දකින එක, අයියා එක්ක ඉන්නෙක නංගිගේ හිතට කරදර නම්, බබාව ඩිස්චාර්ජ් කලාම මම  ඒ දෙන්නාව අරගෙන  යූ කේ  යන්නම් .. මේ ඔක්කොම අතෑරලා දාලා.. ගිහින් එහෙ තනියෙන් ඉන්නම් … “

චායාට හැඬුම් ආවාය, එහෙත් ඕ ඒ බව පෙන්වූයේ නැත. මුහුණ පසෙකටම කරගෙන උන්නාය. චරක සස්මිත දෙස බැලුවේය.

” මල්ලි.. හවසට පොඩ්ඩක් කතා කරන්න  ඕනි … මට මෙහෙම ජීවත් වෙන්න බෑ… මං යනවා මෙහෙන් ..”

චරක නැගිට්ටේ සැබැවින්ම, සියල්ල අතැර යෑම වෙනුවෙන් පලමුවෙන්ම කල යුත් දේ සිතමිනි. ඒ විහඟිව ඒ ගැන දැනුවත් කිරීමය. එහෙත් සංසාර බන්ධනය කුස වටා එතුණි. චායා මහ හඬින් හඬමින් උන්නාය.

” සොරි .. සොරි .. අයියේ ..”

ඇයට ඉන් එහා කිසීවක්ම පවසා ගන්නට හැකි වූයේ නැත. චරක ඕ කරකවා ඉදිරියට ගෙන වැලඳගත්තේය.

” මට සමාවෙනවා නංගී .. ඒත් මං පොරොන්දු වෙන්නම් ..ඉස්සරහට හැමදේම හරිගස්සනවා මම …”

සස්මිත දෙදෙනා දෙස බලා උන්නේ සිනහවක් සමගය.

.

.

.

“මැණික ..  එලියට ගිහින් එමුද …”

සස්මිත චායාගේ කාමරයට එබෙමින්, ඉන් පසුව කාමරය තුළට ඇතුලු වෙමින් විමසුවේය.

 
චායා ඉවතක් බැලුවාය.

” මට ඔහොම දුෂ්ඨකම් කලා වගේ නෙවි නෝනා  එකපාර ඩෝං ගාලා මගේ පපුව පැලිලා ගියොත් එහෙම … ආයේ ඉතින්.. සස්ම්තලා නෑ.. ඈ…”

එසේ පවසා නිම වෙන්නට පෙර චායා  උන්නේ සස්මිතට කිසිවක් පැවසීමට නොහැකි වන සේ, දෙතොලින් දෙතොල අල්ලාගෙනය. සස්මිතට සිදු වූයේ කුමක්දැයි සිතාගන්නටවත් වෙලාවක් වූය්‍රෙ නැත

” ආයේ ඔය වගේ කතා කිව්වොත් මරණවා..”

ඕ ඔහුගේ කොපුල්  මිරිකා දමමින්, දෑස් යක්ෂණියක සේ කරගනිමින් කීවාය. සස්මිත ඇහි බැම නළලටම ගෙන සිනහවක් පෑවේය.

” ඉක්මනට බඳින්න ඕනි……   ඊට කලින් ඔයාලගේ අම්මලාව බලන්න යන්න ඕනි…ඒ ගිහින්.. මම තව බොරුවක් කියලා… අම්මලාගේ හිතත් නොරිදෙන විදියට මේක විසඳගන්න ඕනි….. මම ඒක කරන්නම්.. මාව එක්කයන්න..”

“චායා..නෑ මැණික…”

“එපා කියන්නෙපා… ඔයා..ඒ සැනසීම විදින්නම ඕනි..”

“ඒක හරියන්නේ නැහැ… මැණිකෙ. මම කියනෙක අහන්න..”

“මං කියනවා….ඔයා ඒ දවස් වල ලොකුවටම අසනීප උනා… කැම්පස් එකේ සර් කෙනෙක්, ඔයාගේසියලු වියදම් දරන්න ඉදිරිපත් උනා එයාගේ නැතිඋන දරුවා වෙනුවෙන්.. ඒත් ඔයා ඒ ඉඩ අක්කට හදලා දිලා.. ඔයාගේ වියදම්.. ඔයාම බලාගන්න උත්සාහ කලා…ඉන් පස්සේ, මම ඔයා ගැන අපේ තාත්තාට කියලා ඔයාව බලාගත්තා කියලා… සනීප වෙනකල්ම ඔයා උන්නේ මම ලඟ. සනීප වෙනකල් ඔයා කැමති උනේ නෑ කියනවා අම්මලා මේ ගැන දැනගන්නවට.. එතකොට, බැන්නට් බනින්නේ මට…මේ කතාවේ මෙච්චර බොරු තියෙන එකේ.. තව එකම එකක්..ප්ලීස්…”

“නෑ චායා … කීයටවත් නෑ..”

” ඔයා එන්නේ නෑ නම් ඉන්න.. මම යනවා.. යන එක යනවා…”

.

.

.

සති දෙකක අවෑමෙන් විහඟි සහ දරුවා නිවෙසට කැටුව පැමිණියහ. එදිනම, චරක අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී, ක්‍රියාකාරි දේශපාලනය තුලින් ඉවත්වන බව පවසා මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි.

ඉන් දින දෙකකට පසු, චරක, චායා, සහ සස්මිත ඩුබායි බලා පිටත් වූහ.

.

.

.
ප්‍රේමය නම් පාරමිතාව ජීවිතය කර ගත් උන් අවසානයේ එකිනෙකාගේ සමීපයේ සැනසීම ලැබූහ.

.

.

.

නිමි … !!

අද කොමෙන්ටු වැස්සක් ඕනි…!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here