ධනුක දුම්වැටියක් දල්වා ගෙන මිදුලට බැස්සේ යෙහෙළියන් දෙදෙනා දිගින් දිගටම දොඩමළු වද්දීය. ඔවුන් කතා කරමින් සිටියේ පාසල් ජීවිතය පිළිබඳවය. ධනුකට ඒ මාතෘකාව නීරස එකක් වී තිබිණ. ක්‍රමානුකූලව නඩත්තු කළ ගෙවත්තද ඉතා පියකරු එකකි. තණකොළ මැදින් වූ සිමෙන්ති ගල් පේළිය දිගේ මදක් එහාට ඇවිද ගිය ඔහු ගෙමිදුලෙහි වූ ලී බංකුවෙන් අසුන් ගත්තේය. මහල් තුනකින් සමන්විත නිවසේ උඩුමහලේ නිදහස් අවකාශයක් වන්නට ඇතැයි ඔහු අනුමාන කළේ උස්ව පිහිටි වහළය නිසාය. එක් පසෙකින් නිවස තුළ වූ “මිනි බාර්” එක ධනුක අසුන් ගෙන උන් සිමෙන්ති බංකුවට හොඳින් පෙනේ. එහි රාක්කවල තබා ඇති විවිධාකාරයේ මිල අධික මත්පැන් බෝතල් දුටු ඔහුගේ සිතෙහි ඇති වූයේ මහත් ගිජුකමකි. තමා වැනි කලාකරුවන් හැමදාම මහ මඟ සිටින්නටත් රඹුක්වැල්ල වැනි ව්‍යාපාරිකයන් දියුණුවේ හිනිපෙත්තේම වැජඹෙන්නටත් හේතුව කුමක්දැයි ඔහු සිතුවේ සිය දෙතොල් අතරින් දුම්වලාවක් පිට කරමින්ය. ඒ වාසනාවමයැයි සිතන්නට ඔහු මැළි විය. තමාගේ මිතුරියගේ සැමියා චාරුක රඹුක්වැල්ලයැයි පැවසූ මොහොතේ පටන් ධනුකට වූයේ ඔහු හා මිතුරු වීමේ හදිසියකි. කල් තබාගත හැකි ආහාර සකසන හොඳම තැනකින් සකසාගෙන ආ ආහාර වෙනුවෙන් අතට දැනෙන මුදලක් වැය වූ බව සැබෑය. එහෙත් මේ අනාගත ආයෝජනයක් යැයි ධනුක විශ්වාස කළේය. සිය ජංගම දුරකථනය ඔත්සේ ඔහු චාරුක රඹුක් වැල්ලගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව නිරීක්ෂණය කරන්නට වූයේ එවේලෙහිය. මේ මිතුදම ශක්තිමත් වුවහොත් කලා ක්ෂේත්‍රය තුළ තමාට නොමැකෙන නමක් තබා ගැනීමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් ඒ සිතෙහි විය.
“මං හිතන්නේ අපේ කෙල්ලන්ගෙන් වාසනාවන්තම කෙල්ල උඹ වෙන්න ඇති. කවුද හිතුවේ බං අපේ කෙල්ලෙක් චාරුක රඹුක්වැල්ල වගේ කෙනෙක්ම මැරි කරයි කියලා. ඉතින් කොහොමද ඔය දෙන්නගෙ ලයිෆ් එක ගැන විස්තර කියන්නකෝ.”
සංකල්පනී ඇසුවේ තමාට එහා පස අසුන්ගෙන උන් යෙහෙළියගේ දෑත් වලින් අල්ලා ගෙනය.
“හොඳයි ඉතින්.. වරදක් නෑ. චාරුක කියන්නේ මං හිතුවටත් වඩා හොඳ කෙනෙක්. ඇත්තටම එයාගේ ළඟ විශ්වාස කරන්නවත් බැරි තරම් ආදරයක් තියෙනවා. ඉතින් මං සතුටින්..”
“එහෙනම් එච්චරයි. ධනුකයි මායිත් ලයිෆ් එක එන්ජෝයි කරනවා. ඇතිවෙච්ච දේවල්වත් නැති වෙච්ච දේවල් ගැනවත් අපි දෙන්න හිතන්නෙ නෑ. මං ජීවත් උනේ අපායක කියලා මට දැන් හිතෙනවා. රන්දික නරක මිනිහෙක් නෙමෙයි. ඒ උනාට ඉතින් ලයිෆ් එක සතුටින්, ආදරෙන් ගතකරන්න දන්න මනුස්සයෙකුත් නෙමෙයි අනේ මන්දා හරියට පතෝල වගේ. අපිට පොඩි වාහනයක් ගන්න බැරිකම නෙමෙයි. ඒත් මමත් කැමතියි ධනුකත් කැමතියි මේ බයික් එකට. හිතුණු ගමන් අපි මේකේ නැගලා කුරුල්ලයි කිරිල්ලියි වගේ පියාඹගෙන යනවා. උඹට කියන්න අපි දෙන්න ගිය සතියේ නුවරඑළියෙත් ගිහින් ආවා.”
“බයික් එකේ?”
“ඔව් ඒක මරු ගමනක්. තද හීතලේ ධනුකව බදාගෙන මීදුම කපාගෙන වගේ ඉස්සරහට යද්දී මාර ෆීලින් එකක් දැනෙන්නේ. අපි දෙන්නට හිතුණු තැනක නවත්තලා පොල් රොටියක් කාලා ප්ලේන් ටී එකක් බීලා වඩයක් කාලා ඒ ට්‍රිප් එකනම් මාර ෆන් අනේ. අන්න එහෙම සරළ අදහස් තමයි අපි දෙන්නටම තියෙන්නේ. සමහර දවසට අපි දෙන්නා ඔය කොහේ හරි ගිහිල්ලා කෑම්ප් එකක් ගහගෙන නතර වෙනවා. ඒකත් ඉතිං වෙනමම ලයිෆ් එකක් තමයි. මම වගේම ධනුකත් ආස නිවාඩුවක් හම්බවෙච්ච ගමන් ට්‍රැවල් කරන්න…ඒක නෙමෙයි චාරුකට ඉක්මනින්ම බබෙක් හදන්න ඕන උනාද?”
“ඉක්මනිනුත් නෙමෙයි. අපි මැරි කරලා අවුරුද්දක් විතර යද්දි තමයි අපි දෙන්න තීරණය කලේ දැන් බබෙක් හදනවා කියලා. චාරුක බබාලට ආසයි.”
“අපරාදේ තව ටිකක් ලයිෆ් එක එන්ජෝයි කරන්න තිබුණා. රටවල් වලටවත් ගියේ නැද්ද..”
“එහෙම නෑ අපි දෙන්නම හරි සතුටින්. එයා මම ගැනයි බබා ගැනයි හරියට හිතෙනවා. අපි හනිමූන් ට්‍රිප් එක ගියේ මාලේ වලට. එයාගේ අක්කි ඉන්නේ ඇමරිකාවල. අම්මයි තාත්තියිත් එහේනේ. අක්කිගේ බබාලා එක්ක එයාලා ඉන්නේ. එහෙත් ගියා.”
“මං හිතුවේ කවද හරි චාරුක මොඩල් කෙනෙක් මැරි කරයි කියලා. එයාගේ ඩේ කාර්ඩ්ස් වගයක් තවමත් මං ගාව තියෙනවා. මං ආපහු එන වෙලාවක ඔයාට ගෙනත් දෙන්නම්..ඔයාට ඉතින් ඒ පිස්සුව තිබුණේ නෑනේ.”
“ඇයි ඒ..එහෙම හිතුවේ”
“නෑ ඉතින් නිතරම ලස්සන කෙල්ලන් එක්ක වැඩ කරන්න ලැබෙනවා ඇතිනේ. දන්නැද්ද ඉතින් ඔය ෆීල්ඩ් එකේ ඉන්න අම්මණ්ඩිලත් හරි අමුතුයිනේ..”
“එයා කවද හරි මැරි කරනවා කියලා හිතුවෙත් ෆීල්ඩ් සම්බන්ධ නැති කෙනෙක්ලු.”
“ඒ මොකද ඒ ෆීල්ඩ් දෙකේ දේවල් ආරංචි වෙයි කියලා බයටද දන්නේ නෑ.”
“අනේ නෑ සංකල්පනා මං හිතන්නෙ නෑ එයාගේ ජීවිතේ මට හංගන්න තරම් දෙයක් තියෙනවා කියලා. එයා හරි හොඳ කෙනෙක්”
“ඒක හරි. මං විහිළුවක් කලේ හොඳද..”
“ඔව් මං දන්නවා…ඔයා ඉස්සරත් ඉතින් හරියට කතා කලා, හරියට විහිළු කලා අපි කැමති ඒවා අහගෙන ඉන්නනේ.”
යෙහෙළියන් දෙදෙනා සිනහසුනේ ඒ අතීත මතක සිහි කරමින්ය.
“මේ…අපි සෙල්ෆි එකක් අරගෙන දාමුද අනිත් කෙල්ලන්ට පේන්නත් එක්ක ගෘප් එකට.”
සංකල්පනී එසේ පැවසුයේ නුලාරා අසලට ළං වෙමින්ය. අවසන සේයා රූ කිහිපයක්ම ලබා ගත්තාට පසුව ඕ ඉන් දෙක තුනක්ම මිතුරියන් කතාබහ කරනා වට්ස්ඇප් ගෲය වෙත යොමුු කළාය.
“දැන් ඉරිසියාවේ පැලෙයි. කොහොම වුණත් ඉතින් ඔය අපේ සෙට් එක අතේ දුරින් තියාගන්න එක හොඳයි. ඔතන සමහරු ඉන්නවා බං මූනිච්ඡාවට කතා කළාට ඇත්තටම යටි හිතින් පැසවන. විශේෂයෙන් උඹ ගැනනම් උන්ට මාර ඉරිසියාවක් ඇති. අන්තිමට පවුල් ප්‍රශ්නත් ඇතිකර ගන්න වෙයි. පරිස්සමින් කතා බහ කරලා ඉන්න. තේරෙනවනේ..”
එවර සංකල්පනී පැවසූයේ මිතුරිය අන් කවුරුන් සමග හෝ ලෙංගතු වේයැයි බියකින්ය.
“මේ මං ආසයි උඹේ ගේ බලන්න. හරි ලස්සනට හැමදේම ඩිසයින් කරල තියෙනව කියල හිතෙනවා”
“මේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ චාරුකගේ අම්මට ඕන විදිහටලු. කොහොමත් එයා හරි පිළිවෙලට ජීවත් වෙච්ච කෙනෙක්. අපි උඩට යමු.”
“ධනුක එන්නකෝ….”
සංකල්පනී ගේ උයනෙහි අසුන්ගෙන උන් තම සැමියාට කතා කළේ මඳ හඬකින්ය. ඔවුන් මුලින්ම නැගුනේ තෙවන මහලටය. ධනුක සිතුවා සේම එහි වූයේ නිදහස් අවකාශයකි. සියයකට වුවත් එකවර රැඳී සිටීමට හැකි තරම් විසල් ඉඩ කඩක් එහි විය. තැනින් තැන තබා තිබූ රෝස පඳුරු මලින් බර වී තිබිණ. නිතර නිතර සාද පවත්වන්නට යොදා ගන්නවායැයි සිතිය හැකි සුවපහසු පුටු සහ මේස කිහිපයක් කෙළවරක එකට ගොඩ ගසා තිබිණ. ඉන්පසු තිදෙනා ගියේ ගියේ දෙවැනි මහලටය. කාමර හතරක් ඒවාටම අලලා සැකසුණු නාන කාමර සේම මදක් විසල් විසිත්ත කාමරයක් එහි විය. මුළු නිවසම වායු සමීකරණය කර තිබිණ. නිවස තුළ වූ ලී බඩු සමහර ඒවා පිටරටින් ගෙන් වූ ඒවා විය යුතුය. එතරම් අලංකාර ලී බඩු තමා මින් පෙර කොතැනකවත් දැක තිබුණු ඒවා නොවන සංකල්පනීට විශ්වාසය.
“වැඩට ගොඩක් අය ඉන්නවද….?”
ඇය ඇසුවේ නවීන පහසුකම් වලින් යුතු මුළුතැන් ගෙයට යද්දීය.
“නෑ කිචන් එකේ වැඩවලටට සෝමායි, ගාර්ඩන් එකේ වැඩවලට කඩේ යන්න වගේ වැඩ වලට පියදාසයි කියලා දෙන්නෙක් ඉන්නවා. පියදාසනම් මේ දවස්වල නිවාඩුවට ගමේ ගිහිල්ලා. ඊට අමතරව සිකියුරිටි තමයි.”
“උඹ මාර ලකී කෙල්ලේ…”
සංකල්පනී යළිත් පැවසූයේ විසිත්ත කාමරයට පැමිණෙමින් සිටියදීය.
චාරුක පැමිණියේ තවත් අඩ හෝරාවක් පමණ ගෙවී ගියාට පසුවය. ඒ අතරවාරයේ නුලාරා යෙහෙළියට හොර රහසේ තුන් වරක්ම ඔහුට ඇමතුම් ලබා දුන්නාය. ලංකාවටම කිහිපයක් පමණක් ඇති චාරුකගේ සුව පහසු වාහනය ගෙවත්තට ඇතුළු වෙද්දී ධනුකට තමාගේ යතුරුපැදිය දෙස බැලුනේ ඉබේටමය. වාහනයෙන් බැස ඉදිරියට පැමිණි චාරුක රඹුක්වැල්ල ඔහුව පිළි ගන්නට ආලින්දය තෙක් ඇවිද ගිය බිරිඳගේ නළලත සිප ගන්නා අයුරු සංකල්පනී දුටුවේ ආලින්දයත් විසිත්ත කාමරයත් වෙන් කරන්නට මෙන් සාදා තිබූ කැටයම් සහිත වීදුරු ද්වාරයෙන්ය.
“අනේ සොරි…මම පොඩ්ඩක් ලේට් උනා.”
ඔහු පිරිස අතරට පැමිණියේම තම පමාවට සමාව ඉල්ලමින්ය.
“චාරුක මේ ඉන්නේ සංකල්පනී මේ ධනුක..”
“හෙලෝ සංකල්පනී හෙලෝ ධනුක”
ඉන්පසු සිදුවූයේ අතට අත දී අමුත්තන් පිළිගැනීමය. ධනුක සේම සංකල්පනීත් චාරුක හා කතා කළේ බොහෝ අර පරිස්සමටය. මෙතෙක් වේලා නිදහසේ ඔවුන්ගෙන් ගලා ආ වදන් වෙනුවට ඒ මුවින් පිට වූයේ තෝරා බේරාගත් වදන් පමණි. අවසන සිව් දෙනාම කෑම මේසයට අසුන් ගත්තේ එකටමය. ඉන් පෙර “මිනිබාර්” වෙත යන්නට චාරුකගෙන් ධනුකට ආරාධනා ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ සංකල්පනීගේ රැවුමට බියවය. කොහොමටත් තමා මත් වූ විට ලිමිට් පැන කියවනබව ඔහු දැන සිටියේ වරින්වර සංකල්පනීත්, මිතුරනුත් පවසන කතා වලින්ය.
සංකල්පනී සේම ධනුකත් තමන්ගේ ජීවිත ඔවුන් ඉදිරියේ කතා කළේ මවාගත් ලෝකයක සිටය.
“ඔයාට හොස්පිට්ල් හරි ඇඩ්මිට් වෙන්න ඕන උනොත් මට කතා කරන්න නුලාරා. ඕනෙම වෙලාවක ඕනෙම දේකට. මිස්ටර් රඹුක්වැල්ල අපි වගේ නෙමෙයි ටිකක් බිසී චරිතයක්නේ. දැන් ඔයාලට අපිත් ඉන්නවා…කාලෙකට පස්සේ ඔයාව මෙහෙම මුණගැහුණු එක ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්.”
පිටත් වන්නට පෙර සංකල්පනී පැවසූයේ නුලාරාව සිප ගෙනය.
“එයාලා හරි හොඳයි නේද චාරුක..අනිත් එක ඒ දෙන්න මාර සතුටකින් ඉන්නේ. ඒ දෙන්න ගැන ලොකු අවබෝධයක් එයාලට තියෙනවා.”
තම බිරිඳගේ කර වටා සිය දකුණත යවාගෙන ඇයව තම වතට තුරුළු කරගෙන උන් චාරුක පිළිවදන් සැපයූයේ හිස වනමින්ය.
“අපි දවසක එයාලගේ ගෙදර ගිහිල්ලා එන්න යමු නේද…”
එවේලෙහි චාරුක හිස වනා ඔහුට පිළිතුරු දුන්නේ ‘හා’ යනුවෙන්ය. ඒ මුහුණු හොඳ නැත.
“කේන්තියෙන්ද ඉන්නේ..?”
“ටිකක්..”
“ඇයි..”
“අද මට සෝම කිව්වා හරියට මහන්සි වුණා කියලා…”
“ඒ උනාට මං සතුටින්නේ..”
නුලාරා පැවසූයේ මදක් ඉස්සී චාරුකගේ කොපුලක් සිප ගෙනය. නිවසට ආ වේලේ පටන් ඔහු සෝමාට කතා කරමින් වැඩ පැවරුවා මිස නුලාරාට කිසිවක් කරන්නට ඉඩක් නොදුන්නේය. එසේ නොහැකි තැන් වලදී ඒ සියල්ල ඔහු විසින්ම සිදු කළේය.
“මේ ඔයා විවේකයෙන් ඉන්න ඕනේ කාලේ බබා. මගේ පැටියටත් මහන්සි ඇති.”
එසේ පවසා ඇගේ දෙපා මුල දණ ගසාගත් චාරුක ඒ කුස සිප ගත්තේ ආදරයෙන්ය. ඒ ස්පර්ශය දැනුනා සේ කුස තුළ උන් දරුවා දඟලන්නට විය.
“එයාට ඔයාව දැනෙනවා බබා..”
නුලාරා එසේ පැවසූයේ සිය ඇඟිලි තුඩු ඔහුගේ හිස කේ අතර ඇවිද්ද වන ගමන්ය. සිය බිරිඳව දෝතට ඔසවාගත් චාරුක ඇයව නිදන කාමරයේ ඇඳ මතින් තැබුවේ අර පරිස්සමටය. මේ සෙනෙහස විටෙක ඇගේ දෑස් වලට කඳුළු උපද්දවන තරම්ය.
“සංකල්පනී හැම තිස්සෙම කිව්වා මං හරි ලකී කියලා. දන්නවද ඔයා අර හෙයා ඔයිල් ඇඩ් එකේ, ෂර්ට් ඇඩ් එකේ ඉන්න දවස්වල කෙල්ලන්ගේ ඩ්‍රීම් බෝයි වෙලා හිටියේ ඔයාලු.”
“ඔයාගෙත්…”
උඩු කමිසය උනා දැමූ චාරුක තම බිරිඳ අසලින්ම වැතිර ගත්තේ මුනින්තලාවය. ඔහුගේ දෙතොල් ලංව තිබුණේ ඇගේ කොපුළකටය.
“එහෙමමත් නෙමෙයි සමහර විට හිතේ එහෙම තියෙන්න ඇති. ඒකනේ මං ඔයා අහපු ගමන් හා කිව්වේ, මගේ හිතට ලොකු විශේෂත්වයක් දැනුනේ. ඒ උනාට මං ටී වී එකේ නළුවන්ටනම් ඉන්ටරෙස්ට් උන් නෑ හරිද..මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද….”
“මොකක්ද…”
“මේ ප්‍රශ්නේ මං කලිනුත් අහලා තියෙනවා. හැබැයි ඔයා ඒ වෙලාවෙ දුන්නේ හිතා මතාම හදාගත්ත උත්තරයක් කියලා මට දැන් හිතෙනවා.”
“ප්‍රශ්නෙ අහල ඉන්නකෝ. මං කවදාවත් ඔයාට බොරු කියලා නෑ බබා.”
“ඇත්තටම ඇයි ෆීල්ඩ් එකේ එච්චර ලස්සන කෙල්ලෝ ඉඳිද්දි එහෙම කෙනෙක් මැරි නොකලේ. ඔයා කිව්වේ එහෙම කෙනෙක් එක්ක ලව් එකක්වත් තිබුණේ නෑ කියලා.”
“ඒක ඇත්ත. මොකක්දෝ හේතුවකට මට එහෙම කරන්න හිතුනෙ නෑ. හැබැයි ඉතින් ඔයාව දැකපු පළවෙනි තත්පරේම මට හිතුනා මේ තමයි මං හොයපු කෙනා කියලා. ඒක සමහර විට අර කියනවා වගේ සංසාරගත හුරුපුරුද්දක් වෙන්න ඇති.”
චාරුක තම දෙතොල් ඇගේ කොපුළක් මත තැබුවේ එසේ පවසමින්ය. ඒ ආදරණීය ස්පර්ශයේ මිහිරියාව පරදා ඇගේ දෙසවන් වලට ඇසෙන්නට වූයේ සංකල්පනීගේ වදන්ය.
“ෆීල්ඩ් එකේ දේවල් ආරංචි වෙයි කියලද දන් නෑ”
නුලාරා දෑස් වසා ගත්තේ මුහුණ පුරා ඇවිද ගිය ඒ දෙතොල් අවසන තම දෙතොල් මත නතර වද්දීය. එහෙත් වෙනදා සේ ඒ හිස කේ ස්පර්ෂ කරන්නටවත්, නිරුවත් පිට දිගේ රටා මවන්නටවත් ඒ දෑඟිලි ඉක්මන් වූයේ නැත.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


