ආදරය සහ විශ්වාසය අතර තියෙන්නේ බොහොම තදබල බැඳීමක් උනත් ඒ විශ්වාසයම කෙනෙකුගේ මරණයට හේතු වෙනවා කියන්නේම අතිශය අභාග්‍ය සම්පන්න සිදුවීමක්.
දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ පෙම්වතියව විවාහ කර ගන්න සිහින දැකපු, ඒ වෙනුවෙන් කැපවුණු පෙම්වතෙකුට ඒ ආදරය නිසාම අකාලයේ අවසන් හුස්ම හෙළන්න සිද්ධ වුන පුවතක් පසුගිය දිනක ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
25 හැවිරිදි කේතන් අගර්වාල් කියන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙක් වන විශාල් අගර්වාල් ගේ පුත්‍රයා. විදෙස් රටක උපාධිය අවසන් කරලා නැවත ඉන්දියාවට ආපු කේතන් තමන්ගේ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා විදියට කටයුතු කළා.ඔහු ” සියා ගෝයල් ” සමග පෙබරවාරි මාසයේදී විවාහ ගිවිස ගන්නේ ඔවුන්ගේ විවාහ උත්සවය එළඹෙන නොවැම්බර් මාසයේදී අති උත්කර්ෂවත් අන්දමින් රාජස්ථානයේ උදයපූර් හීදි පවත්වන අරමුණින්.මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 17 ක් වැය කරලා ඉන්දියාවේ සුපිරි මාලිගාවක් වෙන් කරලා, අමුත්තන් වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කරලා තිබුණා.
පවුල් දෙකේම ආශිර්වාදය මැද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු මේ යුවළ සියාගේ උපන්දිනය දවසේ,එනම් ජූනි දහ අටවෙනිදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුනේ නගරය අසල පිහිටි ලොහ්ගාඩ් කොටුව අසලට යන්නේ එය සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධ ස්ථානයක් වන නිසායි. ලොහ්ගාඩ් කොටුව නරඹන්න ගිය කේතන් තම පෙම්වතියගේ ඡායාරූපයක් ගන්න ගිය අවස්ථාවේදී පය ලිස්සලා අඩි 350ක පමණ ප්‍රපාතයකින් පහළට වැටිලා මිය යනවා. පැය කිහිපයක මෙහෙයුමකින් පස්සේ කේතන්ගේ මළ සිරුර සොයාගන්න පොලිසිය මෙය හදිසි අනතුරක් ලෙස සටහන් කර ගන්නවා.ඡායාරූපයක් ගන්න ගිහින් සිද්ධ වුන මේ අවාසනාවන්ත අනතුරෙන් මරණයට පත්වුණ කේතන් නිසා මුළු රටක්ම කම්පනයට පත්වෙනවා.
මේ සිදුවීම කවුරුත් බලාපොරොත්තු නොවන සිදුවීමක් බවට පත්වෙන්නේ කේතන්ගේ මරණයෙන් දින කිහිපයකට පස්සේ.
කේතන් කියන්නේ නිරන්තරයෙන් කඳු තරණය කරන තරුණයෙක් නිසා මේ මරණය ගැන සැකයක් තියෙන බව ඔහුගේ සහෝදරිය තරයේම ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. කේතන් පය ලිස්සලා ගිහින් ප්‍රපාතයට ඇද වැටුණා කියන කතාව විශ්වාස කළ නොහැක්කක් බව ඇය දිගින් දිගටම කියන නිසාත් , මරණයෙන් දින හතරකට පස්සේ ඔවුන්ගේ නිවසට ආපු සියාගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලදී ඇය පරස්පර විරෝධී පිළිතුරු ලබාදීම නිසාත් පවුලේ අයගේ ඉල්ලීම මත කේතන්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ නැවත ක්‍රියාත්මක වුණා.
සියලු දෙනාවම පුදුමයට පත් කරන තොරතුරු හෙළිවෙන්න පටන් ගන්නේ අනතුරුවයි.
කේතන් සහ සියා කියන මේ යුවල මැයි 31 වැනිදා, ජූනි 14 වැනිදා වගේම ජූනි 18 කියන දින තුනේම මේ ලොහ්ගාඩ් කොටුව අසලට ඇවිත් තිබෙනවා. අධික රස්නයක් පවතින මේ ජූනි මාසයේ මුහුණ සහ හිස ආවරණය වන පරිදි සැරසුණු පුද්ගලයෙක් මේ සෑම අවස්ථාවකම කේතන්ගේ වාහනය ලුහුබැඳ තියෙනවා කියලා මේ පරීක්ෂණවලදී හෙළි වෙනවා.
අනතුරුව මේ පරීක්ෂණය සියා කෙරෙහි යොමුවෙනවා. සියාගේ දුරකථන ඇමතුම් පිළිබඳව පරීක්ෂා කිරීමේදී කේතන්ගේ වාහනය හඹා ආ පුද්ගලයා වසර තුනක සිට සියා සමග රහස් සබඳතාවයක් පවත්වා තිබූ චේතන් බව පොලිසියට දැනගන්න ලැබෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා ඔවුන් දෙදෙනා වාර දෙදාහකට වඩා දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවත් පැය 238කට වඩා ඔවුන් කතාබහ කර ඇති බවත් හෙළි වෙනවා.
කේතන්ගේ මරණය සිදු වූ දින උදෑසන දී මොවුන් දෙදෙනා කැෆේ එකකදී මුණ ගැසී අවසාන සැලසුම සකස් කරගෙන තිබුණු අතර ඔහු තම දුරකථනය තබා වෙනත් අයෙකුගේ දුරකථනයක් රැගෙන අපරාධයට පැමිණ තිබුණා.
සියා සහ චේතන් අතර වූ සම්බන්ධයට සියාගේ දෙමව්පියන් අකමැති වී තිබෙන්නේ චේතන්ගේ පියා කුඩා සිල්ලර කඩයක හිමිකරුවකු වීමයි.පවුලේ බලපෑම හේතුවෙන් කේතන් සමග විවාහ වීමට එකඟ වී තිබෙන සියා අනතුරුව චේතන් සමග එකතු වී තමා විවාහ ගිවිසගත් කේතන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණා.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව කේතන්ව ඝාතනය කිරීමට මීට පෙරද තුන් වතාවක් උත්සාහ කර ඇති බවයි.
සියා ලබා දුන් සංඥාවකින් අනතුරුව කේතන් පිටුපසින් පැමිණි චේතන් විසින් කේතන්ව ප්‍රපාතයට තල්ලු කර ඝාතනය කර තිබුණු අතර ඒ අවස්ථාවේදී සියා විසින් කේතන්ගේ පවුලේ අය අමතා ඡායාරූපයක් ගැනීමට යාමේදී කේතන් පය ලිස්සා ප්‍රපාතයට ඇද වැටුණු බව සඳහන් කර ඔහුගේ මරණය පිළිබඳව ශෝකි සටහන් සමාජ මාධ්‍යයට ද එකතු කර තිබුණා.
ඉන්දියාවම කම්පනයට පත් කරපු මේ ඝාතන නඩුව ආදරය කියන උත්තරීතර හැඟීම තවත් මොහොතක කෙනෙකුට මරණය පවා ළඟා කර දෙන්නට පුළුවන් අතිශය ආත්මාර්ථකාමී හැඟීමක් බවට පරිවර්තනය විය හැකි බවට සමාජයට පණිවිඩයක් එකතු කර දී තිබුණා.
සියා සහ කේතන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු කර තිබූ සෑම ආදරණීය වීඩියෝවකම ඔවුන් දෙදෙනා ඉතා ආදරයෙන් කල් ගෙවන බව දක්නට තිබුණත් සියාගේ සිනාමුසු මුහුණ පිටුපස තිබූ සූක්‍ෂම සහ කුරිරු සැලසුම මේ වන විටත් මුළු ලෝකයටම හෙළි වී අවසන්.
විවාහයට මාස ගණනාවක් ඉතිරිව තිබියදී විවාහ ගිවිසගෙන සිටි ඒ තරුණයාව ඝාතනය කර දමන්නට තරම් සියාගේ හදවත කෲර වී තිබුණත් කිසිවක් නොදත් කේතන් මුළු මහත් සමාජයටම විශාල කම්පනයක් ඉතිරි කරමින් අවසන් ගමන් ගියේ මෙය, අප දෑස් ඉදිරියේ තිබෙන ආදරය පවා විශ්වාස කළ නොහැකි කාලයක් බව පසක් කර දෙමින්.










