ධනුකගේ මුහුණෙහි වූ සතුට පිරි ඉරියව් එකක්වත් සංකල්පනී දුටුවේ නැත. ඇයට වූයේත් වෙනදාසේ ඔහුට මුහුණ දී කතා කරන්නට බැරි කමකි. සැබවින්ම ධනුක වූයේ ප්‍රීතියේ පිනුම් ගසමින්ය. සේරසිංහගෙන් තවත් හොඳ ගානක් කඩාගන්නට බැරි කමක් නැත. අංග සම්පූර්ණ සංගීත කණ්ඩායමක් සාදාගෙන එය ප්‍රසිද්ධ කර ගත යුත්තේත් රඹුක්වැල්ලලා ලවාය. එතනින් එහාට මේ කිසිවෙකුගෙන් තමාට ප්‍රයෝජනයක් නැතැයි ධනුක සිතුවේය. රාත්‍රී ආහාරයට කිසිවක් සකසන්නට එපායැයි සංකල්පනීට පැවසූ ධනුක මඳක් එහාට වන්නට වූ අවන්හලකින් බුරියානි රැගෙන ආවේය. ගතට අපහසුවක් නොවූවත් අපහසුවෙන් සිටින බව පෙන්වූ සංකල්පනී කෑමට ගත්තේ කටක් දෙකක් පමණි. බඩේ ගින්දර නිවා දමා තිබුනේ සිතේ ගින්දරය. කිසිවක් නොකියාම තමාගේ කොටසත් සමගම ධනුක ගිල දමන අයුරු ඈ බලා සිටියේ තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවක් සිත තුළ තබාගෙනය. ඔහු සතුටින්ය. ආ වේලේ පටන් හෙට ඇඳගෙන යා යුතු ඇඳුම් සපත්තු ගැන වද වූයේය.
“ඔයා එහෙමනම් හෙට නුලාරගෙ ගෙදර යන්න. දවස් දෙක තුනක් එහේ නතර වුණත් කමක් නෑ. මං එනකල් පාළුයිනේ.”
“එහෙම නතර වෙන්න ඕන නෑ. මං උදේ ගිහිල්ලා එයාව බලලා කතා කරලා එන්නම්. අනුන්ගේ තැන් අනුන්ගෙමනේ. කොච්චර උනත් මේ කාමරේ ඇතුලේ මට ඊට වඩා නිදහසක් තියෙනවා.”
එවර සංකල්පනී පැවසූයේ ඉවත බලාගෙනය. තමාගේ දෑස් වල වන කඳුළු ඔහුට පෙන්නන්නට ඇයට උවමනාවක් වූයේ නැත.
ධනුකගේ සිතෙහිවන සතුට ඔහුගේ දෑස් වලින් පවා පෙනේ. සංකල්පනී සිතුවේ ඒ සතුට හෙට සිදුවන දේවිකාගේ හමුව නිසා බවය.
කුඩා මුළුතැන් ගෙය අස්පස් කර, වේලාසනින් ඇඳට වැටෙන්නට ඇයට ඕනෑ විය. නින්දක් නොවුවත් දෑස් වල වූ කඳුළු වලට ඔහේ ගලායන්නට පහසුම තැන වූයේ අඳුරය. එනිසාම ඕ වෙනදාට වඩා වේලාසනින් මුළුතැන්ගේ අස්පස් කළාය. ධනුක යළිත් වරක් තමාගේ ඇඳුම් පිළිබඳව උවමනාවෙන් සොයා බැලුවේ එවේලෙහිය. මංගල උත්සවය අහවරව ගමට යද්දී ගෙන යා යුතු ඇඳුම් බෑගය සූදානම් කර තබා තිබුණේ ඇඳ කෙළවරකය. බෑගය මදක් එහාට වන්නට වූ පුටුවක් මත තැබූ සංකල්පනී ධනුක කොහේදැයි සොයා බැලුවේ සංගීත කණ්ඩායමේ වැඩවලටයැයි පවසමින් ඔහු වෙනමම තබාගෙන සිටින ජංගම දුරකථනය චාජරය හා සම්බන්ධ කර තිබූ නිසාය. සංකල්පනීට උවමනා වූයේ එයට එබී යමක් සොයන්නටය.
“වැඩේ ගොඩ. මිනිහම් මැරිලා ගියා නං අපි කරපු වැඩේට ඊට වඩා සාධාරණයක් වෙනවා සේරසිංහ මහත්තයා. කොහොමත් ඔය චාරුකගේ ගෑනිට ටිකක් පිස්සු.”
එහා පසින් පැවසූයේ මොනවාදැයි, දුරකථනය එහාඉම සිටින්නේ කවුරුන්දැයි සංකල්පනී දැන් සිටියේ නැත. එහෙත් මේ රඹුක්වැල්ලලා සම්බන්ධ කතාවක් නිසා ඕ උවමනාවෙන් සවන් දුන්නාය.
“අනිවාර්යයෙන් ඔය මිනිහා සනීප වෙලා ගෙදර ආවට පස්සේ එතන ගින්නක්. කොහොමත් ඉතින් තාත්තා කෙනෙක් ගන්නේ තමන්ගේ දුවගෙ පැත්තනෙ සේරසිංහ මහත්තයා. ආපු ගමන් ඔය මිනිහා තමන්ගේ දුවට වෙච්ච අසාධාරණය ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වෙනකොට අපි තව පාරක් කරකවල අතාරිමු. මං මෙහෙන් ගින්නට ඕන පිදුරු දාන්න වැඩක් සෙට් කරන්නම්. පොඩි රඹුක්වැල්ලට රිදෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ලොකු රඹුක්වැල්ලට රිදෙනවා කියන එක. ලොකු රඹුක්වැල්ල ගැන කියන්න මං දන්නෙ නෑ, හැබැයි චාරුක නං සීයට සීයක්ම අවංක මිනිහා.”
යළිත් ඔහු එහා පසින් පවසන යමකට සවන් දීගෙන උන්නේය.
“හෙට මට ගමේ වෙඩින් එහෙකුත් තියෙනවා සේරසිංහ මහත්තයා දන්නැද්ද ඉතින් ගියාට පස්සේ කොල්ලන්ට කන්න බොන්න මොනවා හරි අරන් දෙන්නත් ඕනේ. ආයේ ඉතිං ගිනි ගෙඩියක් දෙන්න මොළේ පාවිච්චි කරන්නත් එපැයි. වැඩි කාලයක් යන්නේ නෑ. මාස දෙක තුනෙන් සේරසිංහ මහත්තයාගේ වැඩේ සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් මං ඊළඟට ගහන්නේ මීට වඩා හොඳ ප්ලෑන් එකක්. සේරසිංහ මහත්තයාට උනත් දැන් තේරෙනවා ඇතිනේ අවුරුදු ගානක් තිස්සේ එක එකාට කන්න බොන්න දිදී තියන් හිටියට වැඩක් නෑ කියලා. මං සෙට් උනේ සේරසිංහ මහත්තයගේ වෙලාවට”
යළිත් ඔහු නිහඬ වූයේ එහා පසින් යමක් පැවසූ නිසාය.
“මේ වැඩේ ලෙසටම පත්තුවෙලා තියෙන්නේ. ගෑනි ළමයත් අරගෙන ගෙදරින් යන්න ගියා කියන එක චාරුනට උනත් අමතක කරන්න බෑනේ ලේසියෙන්. සර් කියන්නේ අද උදේ ඔෆිස් එකේ එකෙක්ගෙවත් මූණ හොඳ නෑ. අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නෙ ඔය ෂෝ එකට බලපානවා. අනේ හරි බොහොම ස්තූතියි සර් මම මේ දැන් එකවුන් නම්බර් එක එවනවා. එහෙම ලොකු ගානක් ඕන් නෑ මේ දවස් දෙක තුන ෂේප් කරගන්න ගාණක් තිබුනොත් ඇති.”
සංකල්පනී අඩියට දෙකට කාමරයට පැමිණියේත්, ඇඳෙහි වැතිරුණේත් ඔහු දුරකථන ඇමතුම නිමා කරාවියැයි සිතත්දීය. විශ්වාසය ඔහු ඒ කතා කරමින් සිටියේ චාරුකළා ගැනය. දෑස් පියාගෙන සංකල්පනී උත්සහ කලේ ඔහුගේ ඒ වදන් යළි යළිත් සිහි කරන්නටය. ඒවායේ පෙර අපර සන්ධි ගලපන්නටය.
“සංකල්පි……”
ධනුකගේ ආදරය පිරුණු හඬ ඇයට ඇසුණේ ඉන් විනාඩි කිහිපයකට පසුවය. ඒ වද්දීත් ලයිට් නිවා දැමූ කුටිය අඳුරු වී තිබිණ.
“තවම ඇඟට අමාරුයිද….”
“දැන්නං තිබුනට වඩා හොඳයි.”
සංකල්පනී එසේ පැවසූයේ කිසිවක් නොකියා බැරිකමටය.
“කෝ මේ පැත්තට හැරෙන්න ඔළුව ටිකක් අත ගාන්න”
“ඕනෙ නෑ ද ධනුක ඔයා හෙට උදේම යන්නත් ඕනනේ. නිදි මරලා ඒ වගේ තැනකට යන්න බෑනේ ඔයා නිදාගන්න.”
“අපේ ෆැමිලි එකේ ඊළඟ වෙඩින් එක මාමගෙ දුවගේ. ඒකට ඔයාව එක්කරගෙන යනවා කියලා මං අනිවාර්යෙන් පොරොන්දු වෙනවා. මේ වෙඩින් එකට උනත් මම යන්නේ නෑ. ඒ උනාට එහෙම නොගිහිල්ල හිටියහම ගමේ එවුන් එක එක කතන්දර කියනවා. උන් හදන කතන්දරවලට අපි රඟපාන්න ඕනෙ නෑනේ.”
“අනේ නෑ මගේ හිතේ කිසිම අහිතක් නෑ ඔයා මේ ගමන ගිහිල්ලා එන්න සතුටින්. අනිත් එක ඉතින් ඔයා නිතරම කියනවනේ තාත්ත නැති උනාට පස්සේ ඔය මිනිස්සු අම්මවයි ඔයාවයි බලා ගත්තා කියලා. එහෙම තැනක් මගඇරලා කොහොමද.”
සංකල්පනී එසේ පැවසූයේ උපරිමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට උත්සාහ දරමින්ය. තම හඬ යම් තරමකට හෝ බිඳී තිබුණා වන්නට ඇත. එහෙත් අසනීප තත්ත්වය නිසා ඔහුට එහි වගක් නොවූ බව විශ්වාසය.
“ඔයා බෙහෙත් බිව්වෙ නැද්ද…කටහඬත් එක්ක වෙනස් වීගෙන යනවා.”
“මං හිතන්නේ හෙම්බිරිස්සාව හැදෙන්න තමයි මගේ ඇඟට අමාරු උනේ. හෙබිරිසාව හැදිලා හරි මේ සෙම ගතිය පිටවෙලා යන එක හොඳයි. ඔෆිස් එකේ අයත් අවුල් වෙලාද ඉන්නේ මේ ප්‍රශ්නෙන්.”
“අමාය ගෑනිටනං ඩෝං ගිහිල්ලා තිබ්බා. තේජන සර්රුත් මං හිතන්නේ ඔය ප්‍රශ්නෙට කොහේ හරි ගියා. අමායටනේ ඊට පස්සේ වැඩ වැඩි වෙන්නේ. මම උදේ ඉඳලා නිවාඩුවක් දාගන්න ට්‍රයි කරනවා. හරි ගියේ නෑ.”
“කවුරු උනත් ඉතින් මේ කරල තියෙන්නේ මහ සහ ගහන අපරාධයක්. අපි හැමෝගෙම හිත හොඳටම දන්නවනේ චාරුක කියන්නේ එහෙම සෙල්ලක්කාර මනුස්සයෙක් නෙමෙයි කියලා. ඇත්තමයි මට කේන්ති යන්නේ නුලාරා එක්ක. ප්‍රශ්නයක් වෙච්ච ගමන් මිනිහව දාලා යනවානම් මේ ලෝකේ ඔක්කොම ගෑනු එහෙම කරන්න ඕනේ.”
සංකල්පනී එසේ පැවසූයේ හිතා මතාමය. තමා කලේත් ඒ වරදමයැයි ඇයට සිතුනේ ඊළඟ තත්පරයේය. දිගු සුසුමක් ඒ මුවින් පිට වූයේත් එවේලෙහිය.
“ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑ කියනවනේ. ඕවයේ ඇත්තක් නැති වෙන්නත් බෑ. මන්දස්මි වගේ කෙල්ලෙක් ළඟදී චාරුක වුණත් සිල් රකී ද සංකල්පි. අනිත් එක කාගෙන් බාධාවක්ද.?”
“එහෙම මිනිස්සුත් ඇති ඇති. හැබැයි චාරුක එහෙම මනුස්සයෙක් කියලා හිතන්න අමාරුයි.”
“ඔයා මොනවද මිනිස්සු ගැන දන්නේ. දැන් ඕව කතා කරන එකේ තේරුමක් නෑ. නුලාරට උනත් හිත හැදෙන්න කියලවත් බොරු කියන්න යන්න ඕන නෑ. වචන වලින් කියන්න බැරි වුණාට ඔයා නොදන්න ගොඩක් දේවල් මම දන්නවා. නුලාරා උනත් ටික කාලෙකට ගෙදර ගිහිල්ලා හිටියනං හරි. අර මනුස්සයාගේ හිතත් හැදෙයිනේ. නිදා ගමු..නිදා ගමු….”
ධනුක එසේ පැවසූයේ අනෙක් පස හැරෙමින්ය. විනාඩි කිහිපයක් ඉක්මවා යන්නට මත්තෙන් ඔහුගේ සුසුම් හඬ උස්ව ඇසෙන්නට විය. එහෙත් සංකල්පනී එළිවන තුරාවටම වූයේ අවදියෙන්ය.
**************
කාමරයටම වී ඔහේ බලාගත් අත බලාගෙන උන් නුලාරාට රෝහලට යාමට සූදානම් වන්නයැයි පණිවිඩය ගෙන ආවේ සෝමාය.
“තේජන මහත්තයා ඉස්පිරිතාලෙට ගියා. මහත්තයා මෙතන නවත්තලා අපේ සුදු මහත්තයා දැන් ගෙදරට එනවා කියලා කිව්වා. අපේ චූටි නෝනව එක් කරගෙන යන්න. එතන ගිහිල්ල කලබල කරන්න එපා චූටි නෝනා. හිතේ අපැහැදීමක් සාංකාවක් තියෙනවා නම් අපි ඒවා හෙමින් සැරේ කතා කරලා විසඳගමු. අන්න මං ගවුමකුත් මැද්දා. දැන් ලෑස්ති වෙන්නකෝ. අර මිස් එහා පැත්තෙ කාමරේ බබාව ලෑස්ති කරනවා.”
“සෝමා… හිත හදාගන්න හරි, ජීවත් වෙන්න හරි. මට ඇත්තම කියන්න.”
එවර නුලාරා ඇඳෙන් නැගී සිට පැවසූයේ සෝමාගේ දෑත් වලින් අල්ලා ගෙනය.
“ඒ මොකක්ද රත්තරනේ….”
“මට හිතෙනවා මේ ඇත්ත අපි හැමෝටම වඩා හොඳට සෝම දන්නවා ඇති කියලා. ඇත්තටම ඔයාගේ සුදු මහත්තයාගේ ජීවිතේ ඉන්නේ මං විතරද? ඉස්සරත් මේ දැනුත්…”
“අනේ ඔව් රත්තරනේ මං එහෙම හිතනවා. සුදු මහත්තයට කසාද බඳින්න, කසාද බඳින්න කියලා අපේ ලොකු නෝනා මේ ගෙදර පෙරළ පෙරළ කරදර කරපු කාලයක් තිබුණා. එහෙම කෙනෙක් හිටියනං අපේ චූටි නෝනා හම්බවෙනකන් බලන් ඉන්නේ නැහැනේ. චූටි නෝනා හම්බ වුණාට පස්සෙත් මහත්තයා ඒවා හංග හංග හිටියේ නෑ. චූටි නෝනට ආදරේ කරන විදිහ මං මේ ඇස් දෙකෙන් දැක්කා. අනේ මොන ඇස් වහක් කට වහක් වැදුනද කියල මං මේ හැම වෙලාවකම හිතනවා. හිතේ විශ්වාස තියාගන්න මගේ පුංචි නෝනා…”
සෝමාගේ දෑස් වල පිරී තිබුණේ කඳුළුය. ඇයව බදා වැළඳගෙන හඬා වැටෙන්නට ඕනෑ වුවත් එසේ නොකර නුලාරා නාන කාමරයට ගියාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)


