“මොකක්ද ප්‍රශ්නය එයා ඇයි එහෙම ගෙදර ඇවිත් තියෙන්නේ…?”
පැරකුම් දිගින් දිගටම සිතාරාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ කුලී රියට නැඟුනාට පසුවය.
“පොඩි හදිස්සියක් දුව දරුවත් එක්ක ගෙදර ඇවිල්ලා…”
එසේ පවසා සැමියාව උත්සව ශාලාවෙන් කැඳවාගෙන ආවාට සිතාරා කිසිවක් ඔහුට පැවසූයේ නැත. දැන් ඔහු සිටින්නේ නොසන්සුන් කමත්, කෝපයත් උපරිමයෙන්ම දරාගෙන බව විශ්වාසය.
“ඒ දෙන්න අතර ඇතිවෙච්ච පොඩි හිත් අමනාපකමක් නිසා දුව ඇවිත්. දැන් පුතත් මග එනවා. අනේ ප්ලීස් පැරකුම් ගෙදර ගිහිල්ලා කිසිම දෙයක් දුවගෙන් අහන්න යන්නවත් එයාගේ හිත රිදෙන විදිහට දෙයක් කියන්නවත් එපා. අපි මේ ප්‍රශ්නෙ විසඳගන්න ඒ දෙන්නට උදව් කරමු.”
“මොන නැහැදිච්ච කමක්ද ඒක. දෙන්න දෙමහල්ලෝ අතරේ ප්‍රශ්නයක් ඇතිවුණාට පස්සේ ඒක කතා කරල විසඳ ගන්නේ නැතුව මේ විදිහට ගෙදර එනවද? අනිත් එක එයා තනියමද අර කිරි දරුවෙකුත් අරගෙන මේ වගේ අවදානම් ගමනක් යන්න තරම් මොන හයියක්ද එයාට. අර මහ මිනිස්සු දැන ගත්තොත් හිතන්නේ අපි ළමයි හදලා තියන ක්‍රමය වැරදියි කියලා.”
“පැරකුම් මේ ප්‍රශ්නෙ මොකක් උනත් අපි එතැනදී මධ්‍යස්ථව බලමු. සමහර විට අපේ දුව වැරදි වෙන්නත් පුළුවන් සමහරවිට චාරුක පුතා වැරදි වෙන්නත් පුළුවන්. ඒ මොනව කොහොම වුණත් අපි මේ වෙලාවේ උත්සහ කරන්න ඕනේ දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ විසඳන්න. එයා දුවෙක්. හිත රිදිච්ච වෙලාවට හරි දුකක් දැණුන වෙලාවට හරි අම්මා තාත්තා ළඟට ඇරෙන්න එයාට යන්න එන්න වෙන තැනක් නෑ. කොහොම වුනත් එයා මේ වෙලාවේ අපි ළඟට ආවේ අපි හරිම දේ එයාට කියලා දෙයි කියලා විශ්වාස කරගෙන. අපි එහෙම නොකෙරුවොත් හෙටත් ප්‍රශ්නයක් උනොත් එයා යන්නේ වෙන කෙනෙක් ළඟට. අන්න ඒ ටික හොඳින් මතක තියාගෙන වැඩ කරන්න. ඔයාගේ කටින් පිට වෙන සමහර වචන සැර වැඩියි.”
“කෙහෙම්මලක් කියවන්නේ නැතුව මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියනවකෝ..”
පාරේ වූ වාහන තදබදය නිසා රියදුරුට තමාගේ කුලී රථයේ ගමන් කරන යුවළ පිළිබඳව හැඟීමක් වූයේ නැත. එහෙත් සිතාරා දියණියගේත් චාරුකගේත් ප්‍රශ්නය කෙටියෙන් තම සැමියාට පැවසූයේ ඇසෙන නොඇසෙන තරම් මද හඬකින්ය.
“පහුගිය කාලෙ පුරාම අපේ දරුවා දිහා බලාගෙන ඉඳලා මං තේරුම් ගත්තේ එකම එක දෙයයි පැරකුම්, එයා සමාජ අත්දැකීම් හරි අඩුවෙන් ලැබුණු ළමයෙක්. පොතකින් පතකින්, ටීවි එකකින්, ෆෝන් එකකින් ඉගෙන ගන්න බැරි ගොඩක් දේවල් මේ සමාජය ඇතුලේ තියෙනවා.ඒවා විෂය දැනුම නෙමෙයි. ඒවා ඉගෙන ගන්නනම් අපි ප්‍රශ්න එක්ක, මිනිස්සු එක්ක, හොඳ නරක එක්ක ගැටෙන්න ඕනෙ. අපි දරුවන්ව අතෑරලා එයාලගේ පස්සෙන් ඉන්න ඕනේ..නුලාරා ගොඩක් වෙලාවට දැක්කේ හොඳ විතරයි. චාරුක පුතා වරදක් කරනවද නැද්ද කියන එක ගැන මම සීයට සීයක්ම දන්නේ නෑ. හැබැයි අපේ දරුවට තේරෙන්නෙ නෑ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියලා. මං ඔයාට හැමදාම කියනවා වගේ මෙතනදිත් කියන්නේ තාත්තා කෙනෙකුට වඩා අම්මා කෙනෙක්ට දුවෙක් දැනෙනවා. එනිසා අපි හරි පරිස්සමට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙමු. “
එතැන් සිට නිවසට පැමිණෙන තුරුම පැරකුම් එකඳු වදනක්වත් කතා නොකල තරම්ය. ඒ කොපුල්වල මස් පිඬු නලියමින් තිබුණේ කෝපයකටද එසේත් නොමැතිනම් දුකකටද කියා හඳුනාගන්නට එවේලෙහි සිතාරා සමත් වූයේ නැත. දියණියගේ විවාහයෙන් වසර කහිපයක් ගෙවී තිබුණද අද විශ්‍රාමික බැංකු නිලධාරීන්ගේ සුහඳ හමුවේදී පවා මිතුරන් පවසා සිටියේ ‘උඹලට ඉතින් මොන ප්‍රශ්නද කෙල්ලව දීග දුන්නේ කෝටිපතියෙකුටනේ..’යනුවෙන්ය. කිහිප දෙනෙකුම පැරකුම්ගෙන් දියණිය පිළිබඳව විමසනුත් සිතාරා අසාගෙනය.
ඔවුන් දෙදෙනා නිවස ඉදිරිපසින් බසිද්දීත් නූලාරා උන්නේ කුඩා පුතණුවන් තුරුළු කරගෙන පෝටිපෝව යට වූ ඇඳි පුටුවෙන් අසුන් ගෙනය. කුලී රියෙන් බැස කලබලයෙන් දිව ගිය සිතාරා මුලින්ම කළේ නුලාරාගේ දෑත් වල වූ දරුවාව දෝතින් අල්ලා ගැනීමය.
“ඇතුලට යමු..” යැයි දියණියට පැවසුවත් අඩියක්වත් පෙරට තබන්නට සිතාරාට හැකියාවක් නොවූයේ කලබලයෙන් ත්‍රීරෝද රථයෙන් බැසගත් රියදුරු නිසාය.
“මිස්මේ මේ මේ..මේ…සර්….”
ආපසු හැරුණු සිතාරා දුටුවේ පැරකුම් එක් පසෙකට ඇලව යන අයුරුය. වහාම දරුවා දියණිය අතට දුන් සිතාරා ඔහු වෙත දිව ගියත් ත්‍රී රෝද රථයෙන් බැසගත් රියදුරුටවත්, සිතාරාටවත් පැරකුම් අල්ලා ගැනීමට හැකියාවක් වූයේ නැත. සිහින් කෙඳිරිල්ලක් පමණක් මුවින් නිකුත් කළ ඔහු නිහඬව ගියේ සිතාරාත් නුලාරාත් එක හඬකින් කෑ ගසද්දීය. නින්දෙන් අවදි වූ දරුවා යටිගිරියෙන් කෑ ගසමින් උන්නේ මේ කලබලයට බියපත්වය.
“නෝනා කොහොම හරි මහත්තයාව උස්සලා ත්‍රීවිල් එකට දාගන්න ඉස්පිරිතාලෙකට ගෙනියන්න වෙයි…”
රියදුරා එසේ පැවසූයේ දෙතුන් වරක්ම පැරකුම් පියවි තත්ත්වයට ගෙන එන්නට උත්සාහ කර ඵලක් නොවූ නිසාය. ඒ හා සමගම වේගයෙන් පැමිණි බී වයි ඩී වර්ගයේ මෝටර් රථය දෙපසට හැර දමා තිබූ ගේට්ටුවලින් ඇතුලට පැමිණියේය.
“අනේ දෙයියෝ බලලා වගේ පුතා ආවා…”
සිතාරාගේ මුවින් ඒ වදන් පිටවූයේ සිතා මතා සැලසුම් කර නොවේ.
අන් කවරදාකවත් නොවූ වේගයකින් කාර්යාලයේ සිට නුලාරාගේ නිවසට පැමිණෙමින් සිටි චාරුක මහ මඟ දී සිදුවන්නට ගිය අනතුරු දෙකක්ම වළක්වා ගත්තේ තමාගේ රිය පැදවීමේ හැකියාවට පින්සිදු වන්නටය. ඔහු බොහෝ වේලාවට රියදුරෙකුගේ සහාය ලබා නොගත්තේත් තමා ගැන විශ්වාසය තබමින්ය. චාරුක යනු මොන හදිසියකටවත් මේ අයුරින් මහ පාරේදී සංයමය බිඳ ගත් පිරිමියෙකු නොවේ.
පැමිණි වේගයෙන්ම නුලාරාගේ මිදුලෙහි වාහනය නතර කළත් චාරුක වික්ෂිප්තව තත්පර කිහිපයක් යනතුරු බලා සිටියේ මඳක් එහායින් වූ කලබලය දෙසය. නොනවත්වා හඬන කුඩා දරුවාත්, උස් හඬින් යමක් පවසමින් කෑ ගසන නුලාරාත් පමණක් නොව පහතට නැවී යමක් කරමින් උන් පිරිමියෙකුත් ඔහුගේ දෑස් රාමුවට හසු වූයේ එකම වරකය. වහ වහා මෝටර් රථයෙන් බැස දිවගිය චාරුකගේ දෑස් ගැටුණේ බිම වැටී උන් පැරකුම්ය.
“අම්මා ඇයි…ඇයි මේ…තාත්තා.. තාත්තා..”
“අනේ දන්නෑ පුතා. මම මේ දරුවා ගන්න ගියපු වෙලාව එක පාරටම ඇදගෙන වැටුනනේ”
“මහත්තයා සමහර විට හාට් ඇටෑක් එකක් ද දන්නෙ නෑ. අපි කොහොම වුණත් ඉක්මනට හොස්පිටල් එකට ගෙනිච්චොත් නේද හොඳ. පපුවත් අල්ල ගත්තා”
“ඔව..ප්ලීස් මට උදව් කරන්න තාත්තව මගේ වෙහිකල් එකට ගන්න.”
රියදුරුගේ උදව්වෙන් පැරකුම්ව ත්‍රී රෝද රථයට නංවාගත් චාරුක යළිත් ඉගිල ගියේ පැමිණි වේගයෙන්මය. ඒ හා සමගම සිය දුරකථනය සමග සම්බන්ධ වූ ඔහු තේජනට පුද්ගලික රෝහලක නමක් සඳහන් කර පැවසූයේ නිවසට ගොස් හෙදියද සමඟ හැකි ඉක්මනින් පැමිණෙන ලෙසය.
“අම්මා තාත්තට මුකුත් ප්‍රශ්නයක් තිබුණෙ නෑ නේද…?”
“අනේ නෑ දරුවෝ….”
සිතාරා එසේ පැවසූයේ හැඬුම් මුසු හඬින්මය.
“අම්මා බයවෙන්න එපා. අපි ඉක්මනින්ම හොස්පිට්ල් එකට යනවනේ..”
නුලාරා වාහනයේ ඉදිරිපස අසුනට වී සිටියේ කුඩා පුතුවත් තුරුළු කරගෙනය. දිගින් දිගටම හඬා වැටෙන දරුවාට කිරි ටිකක් දෙන්නට ඇයට සිහි වූයේත් සිතාරා පැවසුවාට පසුවය. නුලාරාගේ දකුණු පියයුරේ එල්ලී උන් දරුවා යළි නිහඬ වී සිටී. වෙනදාට වඩා වැඩි වේගයකින් වුවත් කල්පනාවෙන් රිය පදවමින් උන් චාරුක වරින් වර තම බිරිඳ දෙස බැලුවේ අනුකම්පා සහගත දෑස් වලින්ය. කිසිවක් නොකියා සිටියාට ඕ උන්නේ වෙව්ලමින්ය.
“බබා…අපි දෙන්න අතරේ තියෙන මේ ප්‍රශ්නෙ මොකක් වුණත් මේ වෙලාවේ අපි චුට්ටකට ඒක පැත්තකින් තියලා තාත්තා ගැන බලමු. ඔයාට තේරෙනවා නේද මං කියන දේ.”
චාරුක එසේ පවසද්දී නුලාරා හිස වැනුවේ ඔහුට එකඟවය.
පෞද්ගලික රෝහලට ඇතුළු කල රථයෙන් ට්‍රොලියකට නැංවූ පැරකුම් මුලින්ම ඇතුළු කලේ හදිසි අනතුරු අංශයටය. එතැනදී ප්‍රතිකාර කිහිපයකින් පසුව වෛද්‍යවරුන් ඔහුව ඉක්මනින්ම හෘද සැත්කමකට යොමුකල යුතු බව දැනුම් දුන්නේය. වාහනයේ එන අතරමගදී වරින් වර චාරුක තමා දැන උන් ප්‍රථමාධාර කිහිපයක්ම අත්හදා බැලුවේ සිතාරාගේ ද සහය ඇතිවය. ඉන් පියවි සිහියට පැමිණි පැරකුම් වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටියේය. චාරුකගේ උපදෙස් පරිදි සිතාරා දිගින් දිගටම ඔහු සමග කතා කරමින් පැමිණියේ යළිත් ඔහු ක්ලාන්ත වීමෙන් වළක්වා ගනු පිණිසය.
“බබා අපේ පුතා තවම පොඩි වැඩියි. මේ තැන එයාට ඔරොත්තු නොදෙන්න පුළුවන්. මං ඔයාට පොරොන්දු වෙනවා මැණික, මගේ තාත්තට වගේ ආදරෙන් ඔයාගේ තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා කියලා. ඒ නිසා ඔයා තේජන ආවට පස්සේ නර්ස් එක්ක ගෙදර යන්න.”
චාරුක නුලාරාට එසේ පැවසූයේ පැරකුම් ශල්‍යාගාරය වෙත ගෙන ගියාට පසුවය. තේජන සහ හෙදිය කලබලයෙන් පැමිණියේත් එවේලෙහිය.
“අනේ රත්තරන් පුතේ මේ වෙලාවේ හිතුවක්කාර වෙන්න එපා. අපි මොනවා හරි කරලා තාත්තගේ ජීවිතය බේරගන්න ඕනේ. ප්‍රශ්නෙ මොකක් උනත් අපි ඔක්කොම තවම හොඳින් ඉන්නවනේ. ඒක හින්දා අපි ඒ ප්‍රශ්නෙ විසඳගමු. චාරුක පුතා කියන දේ අහලා ඔයා දැන් අර දරුවයි, නර්සුයි එක්ක ගෙදර යන්න. මේ වෙලාවේ ඔයයි මේ පුංචි දරු පැටියයි දෙන්නා අපි හැමෝම වෙනුවෙන් පරිස්සම් වෙන්න ඕනේ පුතේ.”
සිතාරා පැවසූයේ හඬමින්මය.
“මේ වගේ තැන්වලදී බබාට විෂබීජ යන්න පුළුවන් මැඩම්. එහෙම ප්‍රශ්න වලින් සමහර වෙලාවට මේ වගේ පොඩි දරුවෝ ජීවිත කාලෙම දුක් විඳිනවා.”
හෙදිය එසේ පැවසූයේ නුලාරා යමක් පවසන්නට උත්සාහ කරද්දීය.
යමක් පැවසිය යුතු වුවත් මේ ඊට වේලාව නොවන බව විශ්වාසය. අවසන නුලාරා නැගී සිටියේ සියල්ලන්ගේම වදන් වලට එකඟවය.
“මට තාත්තා දාලා යන්න බෑ අම්මේ…”
“මං දන්නව රත්තරන් මැණික. තාත්තට හොඳ වෙලා එද්දි මේ දරු පැටියා අසනීප වුණොත් අපි කාටවත් ඒක දරා ගන්න බැරි වෙයි. ඔයා දැන් අම්මා කෙනෙක් මැණික. අම්මා කෙනෙක්ගේ හිත හයිය වෙන්න ඕනේ. මගේ තනියට මෙතන පුතා ඉන්නවා. තාත්තා වෙනුවෙන් හැමදේම ඩොක්ටර්ස්ලා කරනවා. විනාඩියෙන් විනාඩිය හරි ඔයාට කතා කරලා විස්තර කියන්නම් පුතේ.”
“මේ වෙලාවේ මෙතන ඉන්නකොට දරුවගේ ආරක්ෂාව ගැන හැමෝගෙම හිත්වල තියෙන්නෙ බයක්, බරක්නේ…අපි යමු මැඩම්. මේක බබා වගේම මැඩමුත් පරිස්සම් වෙන්න ඕන වෙලාවක්. මැඩම් බබාට කිරි දෙනවනේ”
එවර කිසිවක් නොකියා නැගී සිටි නුලාරා දරුවාව වඩා ගත් හෙදිය පසු පසින් ඇවිද ගියේ ‘මගේ තාත්තව බේරගන්න අම්මා..’ යනුවෙන් පවසමින්ය. පිළිවෙලින් තේජනත් ඉන්පසු හෙදියත්, නුලාරාත් රෝහල් කොරිඩෝවේ නොපෙනී ගියාට පසුව සිතාරා චාරුක දෙසට හැරුනේ දෑස් වල කඳුළු එහෙමම තබාගෙනය.
“එයා හරි අහිංසක ළමයෙක් අම්මා. මේ වෙන දේවල් එයාගේ හිතට බර වැඩියි.”
චාරුක සිතාරාව අසල වූ පුටුවක වාඩි කරමින් එසේ පැවසූයේ ඒ හිසත් අත ගා ගෙනමය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්…..)


