මලක් වී යළි පිපෙන්නම් – 59

0
1886

නිවසේ සිට රෝහලට පැමිණෙන විනාඩි පහළොවක තරම් දුර දෙදෙනාගෙන් එක් අයෙකුවත් එකඳු වදනක්වත් කතා නොකළ තරම්ය. රෝහල් රිය අංගනයේ නතර කළ වාහනයෙන් බැස වම් පසට ආ චාරුක නුලාරාට දොර ඇර දුන්නේත් නිහඬවය. 

“බබාව නර්ස් එක්ක වාහනේ තියමුද මචං…මාත් ඉන්නවනේ..”

එසේ පැවසූයේ රිය අංගනයට පැමිණි තේජනය. අවසන සෝමාත්, හෙදියත්, බබාත් සමග තේජන තනියට නවතා චාරුකත් නුලාරාත් ඉස්සර විය. ඔහු ඇගේ දකුණතින් අල්ලා ගත්තේ විදුලි සෝපානය ඉදිරිපස නතරව සිටියදීය. 

“මං කිසි දෙයක් කියන්නෙත් නෑ. කිසි දෙයක් අහන්නෙත් නෑ. තාත්තා සනීප වුණාට පස්සේ ඔයා කැමති තීරණයක් ගන්න. මේවා අපි කවුරුවත් කියලා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි බබා. ඔයාම අවබෝධ කරගන්න ඕන දේවල්. එහෙම නොවුනොත් මෙතනින් එහාට අපි දෙන්නා එක වහලක් යට, එක කාමරයක් ඇතුලේ ජීවත් වෙලා වැඩක් නෑ.”

චාරුක එසේ පැවසූයේ මදක් ගැඹුරු වූ හඬකින්ය. ඒ හඬ මින් පෙර අසා නොතිබූ බව විශ්වාසය. වෙනදා සේම අර පරිස්සමට ඇයව අල්ලාගෙන ඔහු විදුලි සෝපානයට ගොඩ වූයේය. රෝහල් කාමරය අසලට යනතුරු යළිත් දෙදෙනා අතර ඇතිව තිබුණේ නිහඬ බවකි. 

“තාත්තට දැන් කතා කරන්න පුළුවන්. තාත්තා එක්ක හොඳින් කතා කරන්න. එයා හරි නිහඬ චරිතයක් උනාට ඔයාට පුදුම විදිහට ආදරේ කරපු කෙනෙක්. එහෙම අය ළඟදී අපි ගැන හිතනවටත් වඩා ඒ අය ගැන හිතන්න පරිස්සම් වෙන්න ඕනේ. අම්ම කියපු විදිහට තාත්තා හැමදාම ඔයාට පෙන්නුවේ තරහයි, කේන්තියයි විතරයි. ඒත් දැන් ඔයාට තේරෙනවා නේද? ඔයා තාත්තගේ ජීවිතේ කොටසක් නෙමෙයි. මුළු ජීවිතේම.”

ඔහු එසේ කියද්දීත් නුලාරා  කළේ දෑස් වල කඳුළු පුරවාගෙන බලා සිටීමය. අවසන කිහිප වතාවක් ඇසිපිය සැලුවාට පසුව ඕ චාරුක පසු පසින් රෝහල් කාමරයට ඇතුළු වූවාය. 

පැරකුම් සිටියේ රෝහල් සයනයේ වැතිර දෑස් පියා ගෙනය. සිතාරා ඔහුගේ හිස අතගාමින් උන්නාය. එවේලෙහිත් ඒ දෑස් වල වූයේ නොවේළුණු කඳුළකි. කිසිවක්ම පවසන්නට එපායැයි චාරුක සිතාරාට පැවසූයේ දෑස් වලින්ය. එනිසාම ඕ  මදක් පසුපසට වී නුලාරාට ඉඩ දුන්නාය. 

“තාත්තේ…..”

පැරකුම් දෑස් ඇරියේ ඒ ස්පර්ශයත් කටහඬත් ඇසුණු සැනින්මය. ඔහුගේ දෑස් රාමුවට මුලින්ම හමු වූයේ තමා දෙස සිනහසෙමින් බලා සිටින චාරුකත් ඒ අසලම දෑස් වල කඳුළු පුරවාගෙන සිටින නුලාරාත්ය. 

“ඔහොම ඉන්න තාත්තේ චුට්ටක්වත් හෙලවෙන්න එපා…”

චාරුක එසේ පැවසුවාට පසුව පැරකුම් සිනහසී බැලුවේ නුලාරා දෙසය. සැබවින්ම ඔහුට සිදුවූයේ කුමක්දැයි මතකයෙහි වූයේ නැත. වෛද්‍යවරු පැවසූයේ තවත් විනාඩි කිහිපයක් පමා වූයේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් නොවන බවය. 

“දුව බය වෙලාද…..?”

යාන්තම් වචන කිහිපයක් ගැටගසමින් ඔහු පැවසූයේ සිහින් කෙඳිරිල්ලක්ද මුවින් පිට  කරමින්ය. 

“ඔව්  තාත්තේ එයා බයවෙලා හිටියේ හොඳටම. බොහොම අමාරුවෙන් තමයි ගෙදර යැව්වේ. බබාව මෙතන තියා ගන්නත් හොඳ නෑනෙ.”

“දුව එන්න එපා… බබාට විෂබීජ යන්න පුළුවන්. දැන් මට හොඳයි. අම්මයි මේ දරුවයි එකතුවෙලා මාව බේරගත්තා.”

“ඔයාට ගොඩක් කතා කරන්න හොඳ නෑ පැරකුම්.”

“කතා නොකර කොහොමද මේ දරුවා බය වෙලානේ…”

නුලාරා කඳුළු සිරකරගෙන සිටියේ මහත් වූ ආයාසයක් දරා ගෙනය. 

“මට හොඳටම හොඳයි….”

ඔහු යළිත් වරක් එසේ පැවසූයේ මැෂිමකට සම්බන්ධ කර තිබූ දෑඟිලි සොලවන්නට උත්සාහ දරමින්ය. නුලාරා මහත් ආයාසයකින් දරා සිටින බව දුටු චාරුකගේ සිතට ඇතිවූයේ දුකකි. එනිසාම ඔහු ඉක්මන් වූයේ ඇයව කැඳවාගෙන යන්නටය. 

“එහෙනම් තාත්තේ මං බබාව එක්කරගෙන යන්නම්. පුතා නර්ස් එක්ක වාහනේ තියලා ආවෙ. හෙට වෙද්දි තාත්තට හොඳටම සනීප වෙයි. මං හෙටත් බබාව එක් කරගෙන එන්නම්.”

අවසන එසේ පැවසූ ඔහු නුලාරාගේ දෙඋරහිස් වලින් අල්වාගෙන කාමරයෙන් පිටතට කැඳවාගෙන ආවේය. නුලාරා මදක් පහතට නැවී පැරකුම්ගේ නළලත සිප ගත්තේ සිතාරාත් කඳුළු පුරවාගෙන බලා සිටියදීය. රෝහල් කාමරයකට දැමුවාට ඉදිරි පැය විසි හතරත් වෛද්‍යවරු ඔහු ගැන සැලකිල්ලෙන්ය. පැරකුම්ට මුහුණ දීමට සිදුව තිබුණේ අවදානම් තත්ත්වයකටය. 

රෝහල් කාමරයෙන් පිටතට පැමිණි නුලාරා  සිය දෑත් වලින් මුහුණ වසාගෙන හඬන්නට පටන් ගත්තේ මදක් හඬ නැගෙන ලෙසය. තත්පර කිහිපයක් ඒ දෙස බලා උන්නා විනා ඇයව සනසන්නට, යමක් පවසන්නට, තුරුළුකර ගන්නට හෝ හිස අත ගාන්නට චාරුකට සිතුනේ නැත. යුවතියක තුළ නොවන ඉවසීමක් බිරිඳක තුළත් බිරිඳක තුළ නොවන ඉවසීමක් මවක තුළත් තිබිය යුතුයැයි චාරුක විශ්වාස කළේය. පසුගිය කාලයේම ඔහු පීඩා වින්දේ නුලාරාට යමක් පවසා තේරුම් කරන්නට නොහැකි වූ නිසාය. විනාඩි කිහිපයක් ඇයට ඒ අයුරින් හඬන්නට ඉඩ දුන් ඔහු කොරිඩෝවේ වූ පුටුවක අසුන් ගත්තේ වෙහෙසකර වූ සිතුවිලි සමඟින්ය. 

ඇය නිවසින් පිටව ගොස් තිබුණේ මාස දෙකක් වයස ඇති කුඩා දරුවා සමගය. දුහුවිල්ලක්වත් නොවැදෙන්නට ප්‍රවේසම් කළ බිරිඳත් දරුවාත් ඒ අයුරින් නාඳුනන කුලී රියදුරෙකු සමග තනිවම ගමන් කළා යැයි සිතද්දී චාරුක වෙව්ලා ගියේය. සාමාන්‍යයෙන් ඕනෑ දේටත් එපා දේටත් අහේතුකව කෝප නොගන්නා චාරුක මෙවේලෙහි සිටියේ පිට කර ගත නොහැකි කෝපයකින්ය. මිනිසුන් ප්‍රශ්න විසඳාගත යුත්තේ කතා කිරීමෙන්යැයි ඔහු විශ්වාස කළේය. ඔහු බොහෝ දේ උගත්තේ සමාජ අත්දැකීම් වලින්ය. සැකය යනු පවුල් ජීවිතයක් තුළට නො ආ යුතු විෂබීජයකි. එය පැතිර යන වේගයවත් පැතිර යන ප්‍රමාණයවත් සිතිය නොහැකි තරම්ය. නිදහස් සන්සුන් ආදරණීය ජීවිතයක් අපේක්ෂා කළ චාරුකට දැනෙන්නට වූයේ මහා  නොසන්සුන් කමකි. අවසන ඔහු නැගී සිටියේ නුලාරාගේ දකුණතින් අල්ලා ගෙනය. චාරුක අන් කවරදාවකවත් නොවූ අයුරේ ඉවසීමක් ගෙවී ගිය කාලය පුරා ප්‍රගුණ කරමින් උන්නේය. මේ ඉවසීමේ කෙළවර තමා පුපුරා යාවියැයි  බියක් ඔහුගේ සිතෙහි ඇති වූයේ අහේතුකව නොවේ.

ධනුක ඇඳ පැළඳගෙන සූදානම් වූයේ පාන්දර සිටමය. ඔහු මේ ගමන සඳහා කුලීරියක් ගෙන්වා ගන්නට කටයුතු කර තිබූ බව සංකල්පනී දැනගත්තේ උදෑසනය. ඒ වැගන් ආර් වර්ගයේ වාහනයක් ඇනෙක්සිය ඉදිරිපසට පැමිණ නතර වූවාට පසුවය. ඉන් බැස ආ තරුණයෙකු යතුරත්, අත්සන් තැබිය යුතු ලියවිල්ලකුත් ධනුක දෙසට දිගු කරන  අයුරු සංකල්පනී බලාගෙනය. 

මේසය මත තබා තිබූ ජංගම දුරකථන දෙක පරීක්ෂා කරන්නට සංකල්පනී උත්සාහ දැරුවේ ඔහු නාන කාමරයේ සිටිනා අතරේය. එහෙත් සැකයට තුඩු දෙන කිසිවක් සොයා ගන්නට ඇයට හැකියාව ලැබුණේ නැත. ඊයේ රෑ ඔහු කවුරුන් සමග හෝ කතා කරමින් සිටියේ නුලාරාත් චාරුකත් පිළිබඳව බව විශ්වාසය. මේ සියල්ල දැන් ඇයට පැටලුණු නූල් බෝලයක් සේය. වෙහෙසකර අයුරින් ඇද මත ඉදගත් සංකල්පනී දිගු සුසුමක් මුදා හැරියේ තමාගේ ජීවිතයට මේ සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිවය. අවසන ධනුක නාන කාමරයෙන් එළියට පැමිණියේ ගීතයක් සිවුරුවම් කරමින්ය. 

“එහෙනම් ඔයා උදේ නුලාරලගේ ගෙදර යනවා නේද…?”

“එයාට කෝල් එකක් දීලා සිටුවේෂන් එක බලාගෙන තමයි යන්න ඕනේ. මට වෙලාවකට හිතෙනවා ධනුක ඒ ගොල්ලන්ට කවුරුහරි හතුරෝ ඉන්නවද කියලා.”

සංකල්පනී එවර ඇසුවේ ධනුකගේ දෑස් දෙස කෙලින් බලාගෙනය.

“ඇයි එහෙම අහන්නේ?…”

ඔහු ඇයට පිටුපා ගත්තේ තිගැස්සුණු වේගයෙන්මය. එහෙත් බිත්තියේ සවිකර තිබූ කුඩා කන්ණාඩියෙන් සංකල්පනී ධනුකගේ මුහුණෙහි වන ඉරියව් හඳුනා ගත්තාය. එහි වූයේ කලබලකාරී ස්වරූපයකි. 

“නෑ ඉතින් ඒ ගොල්ලෝ හරි ලස්සනට ජීවත් වෙන පවුලක්නේ මොනවයින්ද අඩුපාඩු. අපේ හිතත් දන්නවනේ නුලාරා  සැක කලාට  චාරුක එහෙම කෙනෙක් නෙමෙයි කියලා.”

“ඔයා කොහොමද හරියටම චාරුක එහෙම කෙනෙක් නෙමෙයි කියලා කියන්නේ. එහෙම දෙන්න පුළුවන් සහතිකේ  මොකක්ද?”

ධනුකගේ ඒ වදන් උපහාසයට බර වී තිබිණ. තමාගේ වදන් වලින් ඔහු කෝප ගත් බව විශ්වාසය.  සංකල්පනීගේ  සිතට දැනෙමින් තිබුණේ කුරිරු සතුටකි. කලින් සැලසුම්  කර නොවූවත් ඔහුව රිදවන්නට මේ හොඳම වේලාව බව ඇයට  පසක් විය. 

“නෑ ඉතින් සමහර මිනිස්සු ගත කරන දෙබිඩි ජීවිත දිහා බලද්දි චාරුක ජෙනුයින් මනුස්සයෙක් කියලා මටනං හිතෙනවා. අද වෙනතුරු ඒ  මනුස්සයා ඔය කිසිම දෙයකින් කලබල වෙලා නෑනේ. එදා වගේම මං අදත් කියන්නේ නුලාරට තිබුනේ පැය අට වැඩ කරලා ගෙදර එන සාමාන්‍ය ජොබ් එකක් කරන සාමාන්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයෙක් කසාද බැඳගන්න. එහෙම වුනානම් එයාට තිබුණා එයා කියන විදිහට හිර කරලා ඒ මනුස්සයා ගේ ඇතුලේ තියාගන්න.”

“ඔයාට යාළුවා ගැනවත් නැති කැක්කුමක්නෙ චාරුක ගැන තියෙන්නේ.”

“හොඳ මිනිස්සුන්ට නරක දේවල් වෙන්න හොඳ නෑ ධනුක…”

එවර සංකල්පනී පැවසූයේ තමාගේ හඬ මදක් බර කරමින්ය. ජෙල් වර්ගයක් ගල්වා හිස කේ උඩට සිටින ලෙස සකසමින් උන් ධනුක පසුපස හැරුනේ හදිසියකින් සේය. 

“මට පේන්නෙ ඔයා යාළුවගේ හස්බන්ඩ්ට ලව් වගේ.”

“කට තිබුණු පළියට පව්කාර කතා කියන්න එපා. ඉස්කෝලෙ යන කාලේ ක්ලාස් යන කාලේ සෙල්ලමට ලව් කරපු බව හැබෑව. හැබැයි කසාද බැන්දට පස්සේ මට ඕන වෙලා තිබුනෙත් ලස්සනට ගත කරන පවුල් ජීවිතයක්. රන්දිකගෙන් මට ඒ ආදරේ කරුණාව රැකවරණය ලැබුණේ නෑ කියල හිතුණු  නිසා තමයි ධනුක මං ඔයාගේ වචන විශ්වාස කළේ. කෙල්ලෙක්වත් ගෑනියෙක්වත් කැමති හිතේ හංගන් ඉන්න ආදරේකට නෙමෙයි පෙන්නන ආදරයකට, දැනෙන ආදරයකට. අන්න ඒ නිසයි මං ඔයාගේ ලඟ නතර වුණේ.”

“අයියෝ… අයියෝ මේ උදේ පාන්දර කියවන්න තියාගන්න එපා. මං එච්චර හිතන්න දෙයක් කිව්වේ නෑ. විහිළුවක් කළා විතරයි. තියෙන දෙයක් කන්න බෙදලා ගන්නකෝ පරක්කු වෙනවා. මං නමය වෙද්දී එතන ඉන්න ඕනේ.”

එවර ධනුක පැවසූයේ හදිසියක් මවා පාමින්ය. දෑසේ කඳුළු එහෙමම තිබියදී නැගී සිටි ඕ කුඩා මුළුතැන් ගෙයට  ගොස් උදෑසන ආහාරය වෙනුවෙන් සකස් කළ සුදු හාලේ බතත් පොල් සම්බෝලයත් කරවල බැඳුමක් පිඟානකට බෙදුවාය. 

(හෙටත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here