සංකල්පනී උදෑසන අවදි වූයේ එක දිගට නාද වන ජංගම දුරකථනයේ හඬින්ය. ඇමතුම නුලාරාගෙන්ය. දිගු සුසුමක් හෙලා දුරකථනය නිහඬ කර දැමූ ඈ කොට්ටය ඇඳ ඉහත්තාවට හේත්තු කරගෙන ඊට වාරු වූවාය. වෙහෙසකර වූ දෑස් වලට නින්ද ළඟා වන්නට ඇත්තේ පාන්දර යාමයේ විය යුතුය. තම ජීවිතයට කුමක් වූවාදැයි සිතූ සෑම වතාවකම ඇය සාප කර ගත්තේ තමන්ටමය. ජීවිතය පිළිබඳව ගැඹුරින් නොසිතාගත් තීරණ ගැන අද සංකල්පනීගේ සිතෙහි ඇත්තේ පසුතැවීමකට සමාන වූ හැඟීමකි.
එසේ ගෙවී ගිය කාලය හෝරාවකට ආසන්න වන්නට ඇත. තවදුරටත් ධනුක හමුවේ රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගත යුතුය. දැන් ඇයට ධනුක පිළිබඳව ඇත්තේ කෝපයක් නොව පිළිකුලකට සමාන වූ හැඟීමකි. ඔහුට සියල්ල ලැබුණේ නුලාරා නිසාය. ඉඳ හිටක මංගල උත්සවයකින් හෝ කුඩා සංගීත සාජ්ජයකින් ලැබෙන මුදල සංගීත කණ්ඩායමේ සිව් දෙනා අතර බෙදී ගියාට පසුව දවසක් දෙකක් ගෙවා දමන්නටවත් හැකියාවක් නොවේ. එහෙත් අද ඔහු වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් අතටත්, හිතටත් දැනෙන මුදලක් වැටුප ලෙස ලැබුවේය. එදා සිටම තමා උන්නේ සිහිනයක වග විශ්වාසය. ධනුක සමග මදක් ඉඩ කඩ ඇති කුඩා නිවසක පදිංචියට යන්නට, රන්දිකගෙන් දික්කසාදය ලැබුණු සැනින් ඔහු හා විවාහ වන්නට පමණක් නොව කුඩා පුතෙකු හෝ දියණියක මේ ජීවිතයට එකතු කරගන්නටත් ඕ සිහින දකිමින් උන්නාය. තමා ජීවත්ව තිබෙන්නේම සිහිනයක වග ඇයට වැටහෙන්නේ දැන්ය.
ඕ ධනුකගේ අම්මාගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. පෙරදා සේම ඈ ඊට භාවිතා කළේ පසුගිය දිනක මිලදීගත් සිම්පතයි. වේලාව පෙරවරු නවයට ආසන්න වී තිබිණ. සිහින් කුසගින්නක් දැනෙන්නට වූයේ පෙරදා රාත්‍රියේත් හරියට ආහාරයක් නොගත් නිසාය.
ඔහු චාරුකට එරෙහිව කවුරුන් සමඟ හෝ කුමන්ත්‍රණය කරනවා යැයි සිතද්දී සංකල්පනී වෙව්ලා ගියාය. ඇය සිතුවේම ධනුක සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා දමන හොඳ මිනිසෙකු බවය. කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරන තව කෙනෙකුගේ දියුණුව බලා සිටින්නට නොහැකි අධාර්මික ජීවිතයක් ගත කරන පුද්ගලයකු නොවන බවය.
එහා පසින් ධනුකගේ මව ඇමතුම හා සම්බන්ධ වූයේ කිහිප වරක්ම දුරකථනය නාද වූවාට පසුවය.
“ආන්ටි මං අර කලින් දවසකුත් කතා කලේ ධනුකගේ ඉස්කෝලේ යාළුවෙක් කියලා. මේ දවස්වල ධනුක ගෙදර ඇවිල්ලද ඉන්නේ..”
“ආ…දුව අනේ ඔව්. ධනුක පුතාගේ තාත්තගේ, අයියගෙ දුවගෙ මගුල් ගෙදර ඊයේ. හෙට තමයි දෙවෙනි දවසේ උත්සවය. ඊයේ එහෙම්මම පුතා අපිත් එක්ක ගෙදර ආවා. දුව මට කියන්න එපා කියලා කියපු නිසා මම කතා කළ බවක් කිව්වෙත් නැහැ. දුව ධනුකට කතා කලාද?”
“පහුගිය දවස් ටිකේ මම චුට්ටක් බිසී උනා ආන්ටි. කතා කරන්නත් බැරුව ගියා. ඔය ගමේ යාළුවෙක් තමයි කතා කරලා කිව්වෙ ධනුක ගෙදර ඇවිත් ඉන්නවා කියලා. මේ හදිසියේ ඉතින් අපි හැමෝටම එකතු වෙන්නත් බැහැනේ. එහෙම උනොත් කතා කරලා ඉක්මනින්ම දවසක් දා ගන්න වෙනවා. මං ඒත් බැලුවේ අපේ කට්ටිය ඔක්කොම කොළඹ පැත්තේ ඉන්නවද කියලා?”
“නෑ මං හිතන්නේ අපේ පුතයි තව කීප දෙනෙකුයි විතරයි කොළඹ ඉන්නේ. ඔය කීප දෙනාගෙනුත් ගමට ගෙන්න ගන්න අමාරු මේ දරුවා විතරයි.”
“ඉතින් ආන්ටි එයා මැරි කරන්න ඉන්න කෙනත් ගමේ නං ඉන්නේ නිතරම ගමට එන්න එපැයි”
“අනේ ඒ දරුවත් එහෙම කරදර කරන්නේ නෑ. ඒ දරුවාට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ පුතා ගැන. ඒක හින්දා හැම තිස්සේම කියන්නේ ධනුකගේ වැඩ නිදහසේ කරගන්න ඉඩ දෙන්න නැද්දේ කියලා. ඔන්න දෙන්නත් එක්ක උදේම ටවුන් එකට ගියා. දැන් ඉතින් ඊයෙත් කට්ටියම කතා වුණේ ඊළඟට ඒ මඟුලට ලෑස්ති වෙන්න ඕනේ කියලා. අපේ අයියට ඕනේ ජයටම මඟුල් කන්න. එක කෙල්ලයිනේ ඉතින්”
“ඔව් සෑහෙන්න කාලයක් ඒ ගෑණු ළමයා බලාගෙනත් හිටියනෙ නේද?”
සංකල්පනී එවදන් ගලපා ගත්තේ මහත් වූ ආයාසයකින්ය. තවමත් ඕ මේ උත්සාහ දරන්නේ හිත හදාගන්නට හේතු සොයන්නටය.
“ඒක නේන්නං අවුරුදු දහයකට කිට්ටුයි. අපිත් නොදැන ඉස්කෝලෙ යන කාලෙමනේ දෙන්නගෙ ඇයි හොඳයිය පටන්ගෙන තියෙන්නේ. අද ඔය ගියෙත් දේවිකා දුවට රත්තරන් බඩුවක් අරන් දෙන්න ඕනේ කියලා. අපේ පුතත් හරි ආදරෙයි ඒ ළමයට. දාහකින්වත් හොයා ගන්න බැරි ළමයෙක්. ආඩම්බරකමක් ගෑවිලාවත් නෑ. ගුණ යහපත්කම උපරිමයි. ගේ දොර වැඩ වලටත් හරිම කඩිසරයි. බොහොම නිවුණු තැන්පත් ගෑණු දරුවෙක්. ඊයේ මගුල් ගෙදරදී උනත් හැම කෙනෙක්ම කිව්වේ ඒ වගේ ලේලියෙක් ලැබෙන්නෙ මගේ වාසනාවට කියලා. පිට කෙනෙක්යැ මගේ එකම සහෝදරයාගේ දරුවනේ. මටත් ඉතිං ඒ දරුවා මොකද මේ දරුවා මොකද. කොහොමත් හෙට මගුල් ගෙදරින් පස්සේ දවසක් දෙකක් ධනුක ළමයා ගමේ ඉන්නවා කිව්වා. අපි හිතන් ඉන්නේ ඒ දෙන්නගේ මගුල් ගෙදරට කාල වකවානුත් කතා කරගන්න.”
ධනුකගේ මව කියවා ගෙන ගියේ පෙර දා තරම්ම සතුටකින්ය.
“දේවිකා වගේ ගෑණු ළමයෙක් හම්බවෙච්ච එක හොඳයි ආන්ටි එහෙම නැති උනානම් ධනුක කොළඹ ඉන්න එක ගැනත් ඒ ළමයා සැක කරයි. අනික ඉතින් ධනුක ඉන්නෙත් ලස්සන ගෑණු ළමයි නිතරම දකින තැනකනේ.”
“ඒ ගැනනම් හාන්කවිසියකවත් සැකයක් නෑ දුවේ. මේ දෙන්නා මේ දෙන්නටම පතාගෙන ආපු දෙන්නෙක්. එක් කෙනෙක් අනිත් කෙනාගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්නෙ නෑ. මගේ පුතත් දේවිකා දුවට පණ ඇරලා.”
“වාසනාවන්….”
එසේ පවසද්දී තමාගේ සිතෙහි වූයේ දුකක්ද, කෝපයක්ද, එසේත් නැත්නම් අවඥයා සහගත බවක්ද යන්න හඳුනා ගැනීමට සංකල්පනී වෙහෙස නොවූවාය.
“එහෙනම් ආන්ටි ඉක්මනට කතා කරලා දවසක් දා ගන්නම්. කොහොමත් ඉතින් යන්න කලින් කට්ට්ය මුණ ගැහෙන්න ඕනේ.”
“මේ ළමයි දෙන්නත් කසාද බැඳලා පිටරටක පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියලා මට ඊයේ මඟුල් ගෙදරදි කාත් එක්කදෝ කියනව ඇහුනා. ඒත් මම හිතුවා දුවට කතා කරලා ඔය දුව ඉන්න රටේම පදිංචියට යන්න හිතාගෙනද දන්නෙ නෑ කියලා. ධනුක පුතාටත් ඉස්සර ඉඳලම එක එක විදිහේ හීනනේ තිබුණේ.”
“නෑ ආන්ටි දැන් එහෙම යන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවනේ. අපේ රටටම ආවොත් ඉතින් මට ඒ ගොල්ලන්ට උදව් කරන්නත් පුළුවන්. ආන්ට් එහෙමනම් ගිය සැරේ වගේම මං කතා කළ බවක් එයාලට කියන්න එපා.”
“ඔය දරුවෝ ඔය කට්ටිය එක් කරගෙන මෙහේ ආවත් කමක් නෑ. මහා ලොකු දෙයක් නෙමෙයි. මට තියෙන්නේ කෑම ටික උයල දෙන එකනේ. දේවිකා දුවත් ඔය වැඩේටෙ එකතු කරගත්තට පස්සේ සීයකට වුණත් කෑම ලෑස්ති කරන්න පුළුවන්.”
“අනේ ආන්ටි වචනෙත් ඇති. එහෙම කරදර කරන්න ඕන නෑ. ළඟ තියෙන පොඩි හොටෙල් එකක් බලන්නම්කෝ”
සංකල්පනී දුරකථන ඇමතුමට සමුදුන්නේ එසේ පැවසුවාට පසුවය. දිගු සුසුමක් මුදාහැර ඕ දුරකථනය පසෙකින් සැබුවේ නිදහසේ ගලා යන කඳුළුවලට ඉඩ දෙමින්ය. රන්දිකගේ නිවසේ සිට රැගෙන ආ ඇගේ රත්තරන් බඩු එකින් එක උකස් කලේත් විකුණා දැමුවේත් මේ ජීවිතයේ විවිධ ප්‍රශ්න පැන නගිද්දීය. එදවස දළු ධනුකට වූයේ කුඩා ඉස්කූටි වර්ගයේ යතුරු පැදියකි. රට පුරා රවුම් ගැසිය යතුයැයි පවසමින් මේ එෆ් එසෙඩ් වර්ගයේ යතුරු පැදිය මිලදී ගන්නට උගස් කළේ සංකල්පනීගේ මාලයයි. ඉන්පසු ඇනෙක්සියට අවුරුද්දක කුලී මුදල් ගෙවීම සඳහාත්, අවශ්‍ය බඩුමුට්ටු ගැනීම සඳහාත් පවුම් දෙකහමාරක් පමණ වූ වළලු දෙකත් පවුමකට වඩා වැඩි වූ අත් පළඳනාවත් විකුණා දැමුවේය. තමා ගත් අනුවණ තීරණ ගැන මිසක අහිමි වූ ඒ භෞතික වටිනාකම් කිසිවක් ගැන සංකල්පනීගේ සිතෙහි දුකක් වූයේ නැත.
දැන් සිදුවූ සියල්ල සිදුවී අවසන්ය. ධනුකගේ සැලැස්ම වී ඇත්තේ ඇයව විවාහ කරගෙන පිට රටකට යාමය. සමහරවිට ඔහු චාරුකලාට පවා හතුරුකම් කරමින් මුදල් සොයන්නට ඇත්තේ එනිසා විය යුතුය. සංකල්පනීට දැනුනේ අන් කිසිවක් නොව තමා ගැනම උපන් ආත්මානුකම්පාවකි. මුළු ලෝකයම තමා ඉදිරිපිට බිඳ වැටී අවසන්ය. මෙතනින් එහාට සොයා ගත යුත්තේ ජීවත්වීමට ක්‍රමයකි. තවදුරටත් මේ වහල යට රැඳී සිටීමට සිතක් ඇයට වූයේ නැත. අම්මා තාත්තා ජීවත් වන්නේත් සහෝදරයාගේ සෙවන යටතේය. පසුගියදා තමා ගත් සමහර තීරණ නිසා ඔවුන් දුකටත්, ලැජ්ජාවටත් පත් වූ බව සැබෑය. තවදුරටත් ඔවුන්ට වදයක් වන්නට සිතක් ඇයට වූයේ නැත.
සංකල්පනී රන්දිකගේ නිවසෙන් එද්දී රැගෙන ආ ගමන් බෑගයටම අතට අසුවන ඇඳුමක් දෙකක් දමාගත්තේ නැවතිල්ලක් නොමැතිව කොපුල් තෙත් කරමින් ගලා බසින කඳුළුවලට ඔහේ ගලායන්නට ඉඩ දෙමින්ය. ඔහු එනතුරුවත් රැඳී සිටීමට සිතක් ඇයට වූයේ නැත.
ජංගම දුරකථනයෙහි වූ සිම්පත මාරු කළ සැනින් ඇමතුමක් ලැබුණේ ධනුකගේ නම සඳහන් කරමින්ය.
සංකල්පනී වහ වහා දුරකථනය සවනතක තබා ගත්තාය.
“ඔයා මේ වෙද්දිත් දන්නව ඇතිනේ අපේ ලොකු තාත්තාගේ දුව කසාද බැන්ඳේ කවුද කියලා. වරදක් උනානං මට සමාවෙන්න. ඒ වෙලාවේ මං කලේ ඔයා වැටිලා ඉඳපු අමාරු තත්වයෙන් ඔයා බේර ගතපු එක. මං ඔයාට යන්න කියන්නේ නෑ. ඔයාට පුළුවන් මමත් එක්ක ඉන්න. හැබැයි මම කියන විදිහට ඉන්නවනම් විතරක්. ඇත්තටම කිව්වොත් මටත් ඔයා නැතුව බෑ.”
ධනුක එසේ පවසාගෙන ගියේ කටපාඩම් කරගෙන සේය.
“ඔයා අහගෙන නේද ඉන්නේ…සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න ඕන උනත් වෙනස් කරන්න බැරි. මේකත් එහෙම කතාවක් කියල ඔයා හිතන්නකෝ. මේක ඔයාව මුණ ගැහෙන්න කලින් දීපු පොරොන්දුවක්. එහෙම වුණොත් මට අම්මා, ගම මේ හැම දෙයක්ම අමතක කරන්න වෙනවා. මට එහෙම ජීවත් වෙන්න බෑ. අම්මා අමතක කරන්න කෙහොමටවත් බෑ. හැබැයි එහෙමයි කියලා ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ නැති වෙන්නෙත් නෑ. තීරණයක් ගන්න එක ඔයාට බාරයි.”
ධනුක එසේ පවසා දුරකථනය විසන්ධි කළේ සංකල්පනීට කිසිවක් පවසන්නට ඉඩක් ලබා නොදෙමින්ය. මේ පවසන්නේ තවදුරටත් ඔහුගේ ජීවිතයට හිමිකමක් නොමැතිව එල්ලී සිටින ලෙසය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


