මලක් වී යළි පිපෙන්නම් – 61

0
86

වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් පවත්වන්නට තීරණය කර තිබුණු ජාත්‍යන්තර සංගීත සහ නර්තන ප්‍රසංගය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සමඟ ගිවිසුම් ගතව, සජීවීව ලංකාව පුරා සිටින ප්‍රේක්ෂක හිතවතුන්ට දැක බලා ගැනීමේ හැකියාව ඇති බව පවසමින් ප්‍රථම වරට මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව යෙදී තිබුණේ සවසය. මේ පුවතින් පසුව මිනිසුන්ට චාරුකත් මන්දස්මිත් අමතක වන බව විශ්වාසය. මිනිසුන් එසේය. පරණ පුවත් මතක අලුත් පුවතක් අසන්නට ලැබෙනතුරු පමණි. චාරුක දින දෙක තුනකට මේ මාධ්‍ය හමුව කල් තබන්නයැයි පවසද්දීත් තේජන ඒ අදහසට එකඟ නොවූයේ එනිසාය. 

චාරුකට මේ සිදුවීමෙන් පසුව මන්දස්මිව මුණගැසුනේ සවසය. තරු පන්තියේ හෝටලයක පැවති මාධ්‍යය සාකච්ඡාවට යාමට පෙර ඇය කාර්යාලයට පැමිණියේ අමායාගේ ඇරයුමෙන්ය. 

චාරුක ඇයට මුහුණ දීමේ යම් අපහසුතාවයකින් පෙලුනත් මන්දස්මිට එය තවත් එක් ඕපාදූපයක් පමණක් විය. එනිසාවෙන්දෝ ඕ ආපසු ඒ ගැන කිසිවක්ම කතා නොකළාය. තමන්ට අදාළ රාජකාරිය හා ප්‍රසංගයේ සාර්ථකත්වය සඳහා තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ ඈ චාරුකගෙන් සමුගත්තේ දරුවා බලන්නට ඉක්මනින් පැමිණෙන බව සඳහන් කරමින්ය. 

“මම තනියෙන් එන්න හිටියනම් මෙලහට දහ පාරක් ඇවිල්ල චාරුක. අම්මටයි තාත්තටයි දෙන්නටම එන්න ඕනේ කියලා කියනවා. මේ  දවස්වල අපේ අක්ක චුට්ටක් අසනීපෙන්. ඒ නිසාම අම්මයි තාත්තයි දෙන්නා එයාලගේ බබාලව බලාගන්න උදව් කරනවා.”

ඕ ඒ පමාවට හේතු සඳහන් කළේ හුරු පුරුදු සිනහව ඒ අයුරින්ම මුව මත තබා ගෙනය. 

තේජන කාර්යාලයේ අමුත්තන් පිළිගැනීමේ අංශයෙහි වූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කරමින් සිටියේ ඉවසිල්ලේය. පැති කිහිපයකින් ආවරණය වී තිබූ නිසා එදා මන්දස්මි ඇගයීම පිණිස පැවැත්වූ විශේෂ උත්සවයේදී චාරුකත් ඇයත් දෙසට තම ජංගම දුරකථනයේ කැමරාව මානාගෙන සිටින පිරිස හඳුනාගන්නට තේජනට හැකි විය. ඔහු ඒ සේවක සේවිකාවන් කිහිප දෙනාගේම නම් පසෙක වූ සුදු පිටුවක සටහන් කළේද ඉවසිල්ලේය. 

“මොනවා හරි හොයාගන්න පුළුවන් වුනාද?”

අමායා ඔහුගේ කාර්යාල කාමරයට පැමිණියේම එසේ අසාගෙනය. 

“කොහොමත් අපි ඔෆිස් එකේ මොන ඉවෙන්ට් එකක් තිබුණත් ඒ ෆොටෝස් ගෘප් එකට දාන හින්දා මෙතන ලොකු පිරිසක් ෆෝන් වලින් ෆොටෝ අරගෙන නෑ. මේ ඉන්නේ ඒ කීප දෙනා.”

හත් අට දෙනෙක් වූ පිරිස අතරේ අන්තිමට වූයේ ධනුකගේ නමය. මෙවන් අවස්ථාවක් තම ජංගම දුරකථන වලින් රූගත කිරීම අරුමයක් නොවේ. එනිසාම මේ සේයා රූ වෙනත් පුද්ගලයෙකු අතට ගියේ කෙලෙසකදැයි සොයා බැලීම එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවන බව අමායා දැන සිටියාය. ටිකක් හරි පහසුවක් වූවානම් ඒ සේයා රූ එකක්වත් ආයතනයේ නිල ඡායාරූප ගොනුවේ නොවීමයි. 

“මොකද චාරුකලගේ ගෙදර තත්වය….”

“ඒ තත්වේ දැන්මම හොඳ අතට හැරෙයි කියලා හිතන්න අමාරුයි. මේ හැමදේම වෙනස් කරන්න ඕනේ නුලාරා. එහෙම නැතුව අපි මේ මොනව කළත් වැඩක් නෑ.”

“එක අතකින් නුලාරා පව්…”

“ඇයි එහෙම කියන්නේ…”

“ගෑනියෙක් විදිහට මට එයාව තේරුම් ගන්න පුළුවන් තේජන. එයා මේ ලෝකෙන් දැකල තියෙන්නෙ අංශුමාත්‍රයක් තරම් පොඩි කොටසක් විතරයි. මිනිහෙක් ගෑනියෙක් එකතු කරලා කට කතා හදන එක සාමාන්‍ය දෙයක් වුණාට ඒක අදාල කෙනාට  දරාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. එතන පොඩි ගින්නක් තිබුණනේ. ගෑනු හිතක් කැමති නෑ තමන්ගේ මුළු ලෝකෙම වෙච්ච, තමන්ගේ මුළු ජීවිතේම වෙච්ච හස්බන්ඩ් තවත් ගෑනු කෙනෙක් ළඟ හිටගෙන ඉන්නවවත් දකින්න. ආදරය ආත්මාර්ථකාමී කියලා අපි කියන්නේ ඒ නිසානෙ තේජන. මේ වගේ ෆීල්ඩ් එකක  වැඩ කරලා පල පුරුද්දක් තියෙන ඔයාට මට චාරුකට එහෙම නොවුනට නුලාරට ඒක එහෙම තමයි. වැඩ ඇරිලා ගෙදරට එන තමන්ගේ මහත්තයාගේ වොච් එකේ වෙන කෙනෙක්ගෙ කෙස් ගහක් පටලැවිලා තිබුණත්, ෂර්ට් එකේ යාන්තමට ලිප්ස්ටික් පැල්ලමක් තිබුණත්, ළඟට ඇවිල්ල තුරුල් වෙද්දි ලේඩිස් පර්ෆියුම් එකක සුවඳ දැනුනත් ගෑනු හිත් කලබල වෙන්නේ ඒ නිසා. ස්වභාවයෙන්ම ගෑනු හිත් මවල තියෙන්නේ ඒ විදිහට තේජන. නුලාරා කාලයත් එක්ක ගොඩක් දේවල් තේරුම් ගනියි. හැබැයි ඉතින් එතකල් චාරුකට ඉවසන්නත් වෙනව නුලාරට දරාගන්නත් වෙනවා.”

“අපිට ඉතිං ඔය ගැන අත්දැකීම් නෑනේ. කොහොම වුණත් චාරුක ඉන්නේ මාර කලකිරීමකින්. මං මිනිහාව දන්නවනේ. මට බය තියෙන්නේ ඔය කොතනකදි හරි මිනිහට නුලාරව එපා වුනොත් ආපහු දෙවෙනි අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මොකද චාරුක කියන්නේ තමන්ගේ අවංකකමේ තරමටම නුලාරා එයාව විශ්වාස කරනවා දකින්න කැමති කෙනෙක්.”

“මොනවා හරි වෙලා මේ දෙන්නා දෙපැත්තට වුනොත් ඒක හරි අපරාධයක් තේජන. කොහොම වුණත් මේ ඔෆිස් එකේ කෙනෙක්ගෙන් ඔය ෆොටෝස් එළියට ගියේ කොහොමද කියන එක අපි දැනගන්නම ඕනේ. මට චුට්ටක් පෙන්නන්න මම

මන්දස්මිට ෆලවර් බොකේ එක දෙන වෙලාවේ කවුද ෆොටෝස් ගන්නේ කියලා.”

තේජන මේසය  මත වූ ලැප්ටොප් පරිගණකය ඈ දෙසට හැර වූයේ අමායා එසේ පැවසුවාට පසුවය. විනාඩි කිහිපයක් ඒ දෙස බලා උන් ඈ ඇඟිලි තුඩු යතුරු පුවරුව මත එහාටත් මෙහාටත් යැව්වේ කලබලයකින් සේය.

අමායා දුරකථන තිරය දෙස බලා සිටියේ විමසිල්ලේය. ඒ අතරතුර දෙවරක් තුන්  වරක්ම ඈ තේජන විසින් නම් කිහිපයක් සඳහන් කළ හිස් සුදු පිටුව මතට එබුණාය. ඉන් අනතුරුව ඕ කලේ තේජන අමායාව සිප වැළඳගෙන සුභ පතන දර්ශනත් විමසිල්ලෙන් නැරඹීමය. අවසන තමාගේ සැකය නිවැරදි කර ගනිමින් ඈ එක් අයෙකු දෙස විමසිල්ලේ බලා සිටියාය. අමායා අනතුරුව  තේජන ඉදිරිපසින් නැගී සිටියේ ඒ රූප රාමු කිහිපයක් තමාගේ ඊමේල් පණිවිඩ ගොනුවට යැව්වාට පසුවය.

“කොහොම අමයා හොටෙල් එකට එන්නේ..”

තේජන එසේ ඇසුවේ ඇගේ මුහුණෙහි වූ ජයග්‍රාහී සිනහව  හඳුනා නොගෙනය. 

“තේජන චාරුකත් එක්ක එනවනේ. මගේ කාර් එක ඔෆිස් එකේ දාලා මම මන්දස්මිගේ කාර් එකේ එන්නම්.”

තේජන හිස වැනුවේ ඇයට එකඟ වෙමින්ය.

                               ************

සංකල්පනී දුටු හැටියේම නුලාරා ඇගේ වතට වාරු වූයේ හඬාගෙනමය. විනාඩි කිහිපයක් යෙහෙළියට හඬා වැටෙන්නට ඉඩ දුන් ඈ ඒ හිස කේ අතර සිය ඇඟිලි තුඩු ගෙන ගියේ පරිස්සමටය. 

“දැන් වෙච්ච හැම දෙයක්ම වෙලා ඉවරයි. ඇඬුවා දුක් උනා කියලා වැඩක් වෙන්නේ නෑ නුලාරා. අපි අදහන දෙවියන්ට පින් සිද්ද වෙන්න අංකල්ට කිසිම කරදරයක් වුණේ නෑ. ඔයාට නිවැරදි කරන්න බැරි නම් බැරි එකම තැන අංකල්ට කරදරයක් වුනානම් ඒක විතරයි. අනිත් හැම තැනක්ම ඔයාට හරිගස්සන්න පුළුවන් නුලාරා.”

“ඒ ගැන හිතද්දිත් මගේ ඇඟ හිරි වැටෙනවා. තාත්තා මට මෙච්චර ආදරෙයි කියලා මං කීයටවත් හිතුවේ නෑ.”

“එහෙම තමයි අම්මල තාත්තලා. එයාලට අපිව නොදැනෙනවා කියලා හිතුවට එයාලා ඉන්නේ ආදරේ හිත අස්සේ හංගගෙන. අපිට දවසක් එනවා, එයාලා අපිට කොච්චර ආදරෙයිද කියල දැනගන්න පුලුවන්. 

එසේ පවසද්දී සංකල්පනීගේ හඬ බිඳී යමින් තිබිණ. මහා මෙරක් තරම් වැටුපක් නොලැබුණාට තාත්තා සිය ජීවිතේ වැඩිම හරියක් ගත කළේ මැද පෙරදිග රටකය. කුඩා කුඩා කුලී නිවාස වලට මාරු වෙමින් ජීවිතය ගත කළ කාලයක් තමාට වූ බව ඇයට හොඳින් මතකය. එනිසාම අම්මාටත් තාත්තාටත් වූ එකම බලාපොරොත්තුව තමාට කියා හිසට වහලක් ගොඩනඟා ගැනීමය. තාත්තා එවන මුදල අර පරිස්සමට බැංකු පොතේ තැන්පත් කරගත් අම්මා රාත්‍රියත් දහවලත් එකසේ සලකමින් කුලියට ඇඳුම් මැසූ කාලයක් විය. ඕ තමාත් අයියාත් පෝෂණය කළේත්,  ඉගැන්නුවේත් ඒ මුදලින්ය. අවසන කොළඹට තදාසන්න ප්‍රදේශයකින් පර්චස් දහයක් සහිත කුඩා නිවසක් මිලදී ගන්නට අම්මාටත් තාත්තාටත් හැකියාව ලැබිණ. 

දෙදෙනා රටවල් දෙකකට වී තම ජීවිතයේ සතුට කැප කළේ තමාත් අයියාත් නිසායැයි සංකල්පනීට  සිතෙන්නේ දැන්ය. 

“ඔයා තාමත් හිතනවද චාරුකගෙයි  මන්දස්මිගෙයි  අතරේ වැරදි විදිහක සම්බන්ධයක් තියෙනවා කියලා.”

සංකල්පනී ඇසුවේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.

“එහෙම නොහිත ඉන්න හදන හැමවෙලාවකම මගේ හිත මට බල කරනවා එහෙම හිතන්න කියලා. මට ඒ හැම දෙයක්ම මතක් වෙනවා. මං දන්නෙ නෑ මං කරන්න ඕනේ මොනවද කියලා. මට මේ හැම දෙයක්ම දරා ගන්න අමාරුයි සංකල්පි. මිනිස්සු මේ විදිහට බොරුවට තවත් කෙනෙක්ට නින්දා අපහාස කරයිද? තමන්ට වැරදි විදිහේ කතාවක් හැදෙනවනම් මිනිස්සු ඒ තැන් වලින් අයින් වෙන්න දැනගන්න ඕනේ. තේජන මට කිව්වා චාරුක හිතනවලු මම ඔෆිස් එකට ගිහිල්ලා එයාලගේ වැඩ වලට සම්බන්ධ වුණොත් මම හිතපු දේවල් වලට මම මටම හිනාවෙයිලු. මං දන්නෙ නෑ සංකල්පි මට දැනෙන්නෙ මං කොහේදෝ අතරමං වෙලා වගේ හැඟීමක්.”

“එහෙම හිතන්න එපා. ඔයා පුළුවන් තරම් චාරුකට ළං වෙන්න චාරුකට ආදරේ කරන්න. මට හිතෙන්නෙ නෑ චාරුක දෙබිඩි ජීවිතයක් ගත කරන මනුස්සයෙක් කියලා. සමහර  තැන්වලදී මමත් ඔයාට එකඟ වෙලා කලේ වරදක් කියලා දැන් මට හිතෙනවා. චාරුක කොච්චර හොඳ මනුස්සයෙක් වුණත් එයාට අපි නොදන්න හතුරෝ ඉන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ වුවමනාවල් ඉෂ්ඨ කරගන්න දැනුවත්ව හරි නොදැනුවත්ව හරි උඩ ගෙඩි දීල අන්තිමට ඔයා සදහටම ඔයාගේ ජීවිතයට ආපු හොඳම මනුස්සයා නැති කරගන්න එපා. ප්ලීස්…මේ ලෝකේ හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා කියලා හිතන්න පුරුදු වෙන්න.”

සංකල්පනී  කියවාගෙන ගියේ ආවේගයකින් සේය. නුලාරා අසා සිටියේ දෑස් විසල් කරගෙනය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here