මලක් වී යළි පිපෙන්නම් – 62

0
1106

චාරුක දහවලේ රෝහලට ගියේ තේජන සමඟින්ය. ඒ අතරේම ඔහු නුලාරාව සවස කැඳවාගෙන එන බවට පැරකුම්ට පොරොන්දු විය. 

“තාත්තට හදිසියේම මතක් වුනා දුව  ගෙදර ඇවිල්ලා ඉඳපු බව. එයා මගෙන් කීප පාරක්ම ඒ ගැන ප්‍රශ්න කළා. මං කිව්වා දන්නැද්ද පැරකුම් අපි කෙල්ල ටිකක් හිතුවක්කාරයි නේ  චාරුක පුතත් එක්ක චුට්ටක් අමනාප වෙලා ගෙදර ආවා කියලා. ඒත් එක්කම චාරුක පුතත් ආවා එහෙම නැති වුණා නම් ඔයාව මෙච්චර ඉක්මනට හොස්පිට්ල් ගේන්න අපිට පුළුවන් වෙන්නෙ නෑ කියලා. ඊට එහාට නම් කිසි දෙයක් ඇහුවෙ නෑ. පුතාගෙන් මොනවා හරි ඇහුවොත් කියන්න ඔෆිස් එකට එන්න අහලා ඔයා අකමැති වුණු නිසා තරහා වෙලා කියලා.” 

පැරකුම් තද නින්දක සිටි නිසා සිතාරා තම බෑණනුවන්ට පැවසූයේ මද හඬකින්ය. පැරකුම් අසනීප වූ බව මවටත් පියාටත් දැනුම් දුන්නේ චාරුකය.

“මං දුවටත් කතා කරන්න කීප වතාවක්ම උත්සාහ කළා. දුවගේ ෆෝන් එකනම් ඕෆ්වෙලා. ගෙදරට කතා කරපු දෙතුන් වතාවෙම සෝම කිව්වේ දුව නිදි කියලා. මම සිතාරට නම් වරින් වර කතා කරලා හොයලා බැලුවා.”

නයනා එසේ පැවසූයේ උදෑසනය.

“බබා නිදාගෙනම නෙමෙයි ඉන්න ඇත්තේ. හදිසියේම තාත්තා අසනීප වෙච්ච හින්දා එයා ටිකක් ෂොක් වෙලා වගේ ඉන්නේ. කමක් නෑ අම්මා මේ වෙලාවේ එයා එක්ක  කතා නොකරපු එක හොඳයි.”

චාරුක එසේ පැවසූයේ සාමාන්‍ය ස්වරූපයෙන්ය. මේ ප්‍රශ්නය විසඳා ගන්නට නුලාරා සමගින් කතා කළ යුතු වුවත් මෙවේලෙහි එසේ කිරීමට තරම් සිතක් චාරුකට වූයේ නැත. තමාට වැරදී තිබුණේ මේ ජීවිතයේ ගත් වැදගත්ම තීරණයය. දහස් වරක් හිතා බලා ගත් තීරණයය. 

සවස පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු යළි කාර්යාලයට නොගිය චාරුක රිය  නතර කළේ අතරමග හමු වූ අවන්හලක් අසලය. නිදහස් නිස්කලංක තැනක් වූ ඒ අවන්හලෙහි සවස ලොකු පිරිසක් වූයේද නැත. තමා ප්‍රිය කළ වර්ගයේ කෝපි කෝප්පයක් ඇණවුම්  කල චාරුක කෙළවරෙහිම වූ  මේසයක් අසලට ගොස් අසුන් ගත්තේය. ඔහුට ඕනෑ වූයේ තම ජීවිතයේ ගෙවී ගිය යට ගියාව පිළිබඳව සිහි කරන්නට. නුලාරාගේ සිතෙහි මේ සැකය ඇතිවූ දා පටන් ගෙවී ගිය දින ගණන මතකයේ නොවුවත් ඒ තමා මේ ජීවිතය තුළ මහත් වූ පීඩාවකින් ගෙවා තැබූ කාලයක් බව විශ්වාසය. ඕ තරහ ගත්තේ අහේතුකවය. සමහර දිනක වදනක් දෙකක්වත් කතා නොකළ තරම්ය. සමහර දිනක ඇසුණු ඇනුම් පද සිත් රිදවන වදන්  මහත් ආයාසයක් දරාගෙන ඉවසා සිටියා මතකය. තමාට හොර රහසේ කාර්යාලයට ඇදගෙන ගිය ඇඳුම් පවා ඈ පරීක්ෂා කරන අයුරු චාරුක බලා සිටියේය. තම දුරකථන වල රහස් අංකය පවා ඔහු වරෙක ඉවත් කළේ ඇගේ සැකය සන්සිදු වන්නට සිතාගෙනය. වරෙක ඇගේ ඒ  හැසිරීම තමාගේ ආත්ම ගරුත්වයට  කළ මහත් අපහාසයක් ලෙස චාරුකට දැනෙන්නට විය. එකම නිවසක, එකම කාමරයක නාඳුනන්නන් සේ වාසය කරද්දී සිතට දැනුණු වේදනාව මේ යැයි කියා පවසන්නට ඔහු දැන සිටියේ නැත. 

වසර කිහිපයකට පසු දෙමව්පියන් පැමිණි මොහොතේදී පවා ඇගේ ඒ හැසිරීම චාරුකගේ සිත් රිද වූවේය. සංකල්පනී, ධනුක, තේජන පවා ඒ ගැන දැන ගනිද්දී චාරුකට වූයේ වසර ගණනක් පුරා රැක ගත් ආත්ම ගරුත්වයට මරු පහරක් එල්ල කලාවන් හැඟීමකි. තමාගේ අතෙහි එල්ලී, සිය පපුව බදා ගනිමින් ඔහේ කියවමින් සිනහවෙන්ම පමණක් කාලය ගත කළ යුවතිය ඒ අයුරින් සිටියදී නිවසට පැමිණීම පවා එපා වූ දින ගණන් තමාට තිබූ බව චාරුක සිහි කළේ වේදනාවෙන්ය. මේ යැයි කියා අඩුපාඩුවක් නොවන්නට තාත්තා යමක් උපයා තිබිණ. චාරුක ඒවා වැඩි දියුණු කළේ තවත් පරම්පරා කිහිපයකට ජීවත් වන්නට මුදල් උපයමින්ය. එදා සිටම ඔහු කැමති වූයේ සතුට සැනසීම පිරි ජීවිතයකටය. දරුවන් තුන් හතර දෙනෙකු සාදාගෙන පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්නටය. තමාගේම නිවසට යාම අපායකට පා තැබීමක් වැනියැයි දැනෙන පිරිමින් ගොන්නට එකතු වීමට ඔහු කොහොමටවත් නොසිතුවේය.

                                 ************* 

ධනුක දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නුලාරාගේ නිවසේ සිටියදීමය. යම් තරමක් දුරට හෝ ඇයව සන්සුන් කර ගැනීමට සංකල්පනීට  හැකියාව තිබිණ. රෝහලට යාමට අවශ්‍ය යැයි කිහිප වරක්ම පැවසූ නිසා සෝමා චාරුකව ඇමතුවේ දහවලේය. 

“”එයාට තේරෙන්න ඕනේ මට තාත්තව බලන්න ඕනේ කියලා…”

අවසන නුලාරා පැවසූයේ හැඬුම් මුසු හඬකින්ය. 

“ඔයාව හවසට එක්කරගෙන යනවා කියලා පොරොන්දු උනානේ. ඔයා දැන් අම්මා කෙනෙක් කියන එක ඉස්සර වෙලාම  ඔළුවට ගන්න නුලාරා. මාස තුනක්වත් වයස නැති දරුවෙක්වත් අරගෙන හරි, දාලා හරි එහේ මෙහෙ දුවන එක අම්මා කෙනෙක්ට ලේසි නෑ. ඔයාගේ අතිනුත් මේ වෙලාවේ වෙන්න ඕන යුතුකම් චාරුක වචනයක්වත් නොකියා ඉෂ්ට කරන්නේ ඒ නිසා වෙන්න ඇති. හැමදේකම වැරැද්දක් විතරක් දැක්කොත් ජීවත් වෙන්න බෑ. දැන්වත් වෙනස් වෙන්න උත්සාහ කරමු.”

සංකල්පනී එසේ පැවසූයේ ඇගේ හිස අතගාමින්ය. ධනුක සමග කතා කරන්නට ඕ ජංගම දුරකථනයත් රැගෙන ගේ උයනේ බංකුවට ගියේ හිතා මතාමය. 

“මොකද තත්ත්වේ….”

එහා පසින් ඇසුණේ සංගීත රාවයකි. 

“තත්වෙ කියල ඇහුවේ මගේ අසනීප ගැනද..”

“නෑ… නෑ…නුලාරගේ….”

සංකල්පනීට දැනුනේ දුකකි. එහෙත් දැන් ධනුකගෙන් ඉන් එහාගිය මනුස්සකමක් ආපේක්ෂා කල නොහැකි බව විශ්වාසය.

“ප්‍රශ්නයක් නෑ. එයා හොඳින් ඉන්නවා. අංකල්ටත් දැන් සනීපයි. 

“ඔයාට චාරුක බොසාව හම්බ වුණාද?”

“නෑ. මං එන්න කලින් චාරුක ඔෆිස් එකට ගිහින් තිබුණා. ඔයා අද බිව්වෙ නැද්ද?”

ඇය එසේ ඇසුවේ කතාව වෙනතකට හැර විය යුතු වූ නිසාත්, බලාපොරොත්තු වූ වෙනස ඒ හඬෙහි නොවුණු නිසාත්ය. 

“දැන් තමයි පෝරුවේ චාරිත්‍ර ඉවර වුණේ. මම මේ අපේ ගමේ අයිය කෙනෙකුත් එක්ක එළියට වෙලා කතා කර කර හිටියා. තාම ඇතුලට ගියේ නෑ. මට ඔය පෝරුවේ චාරිත්‍ර දිහා බලාගෙන හිටං ඉන්න බෑ.”

“කොහොමත් ඔයාට බීලා වාහනේ ගෙනියන්නත් බෑනේ.”

“නෑ…නෑ මාත් එක්ක කතා කර කර හිටපු මේ අයියා බොන්නෙ නෑ. එයා වාහනේ ගෙනියයි. ඔයා එහෙනම් පරිස්සමට ඉන්න. මේ ඔයාට ෂුවර්ද රඹුක්වැල්ලලගේ ගෙදර කිසි ප්‍රශ්නයක් නෑ කියලා.”

“නුලාරා  මුලින් ටිකක් කලබල වෙලා. ඒ උනාට චාරුක එයාට  තේරුම් කරලා දීලා තියෙනවා මේවා මේ මිනිස්සුන්ට මඩ ගහන, දෙකයි පනහේ කිසි හැදියාවක් නැති මිනිස්සුන්ගේ වැඩක් කියලා. එහෙම දෙයක් තේරුම් ගන්න බැරි තරම් නුලාරා මෝඩයෙක් නෙමෙයිනේ ධනුක. නිරපරාදේ  මිනිස්සුන්ට මේ වගේ චෝදනා කරන එවුන්ට යන්න වෙනම අපායවල් හදන්න ඕන.  ඔය මිනිස්සු හිතනවනං උන්  දිනලා කියලා ඒ ටික කාලෙකට විතරයි. මේ  කරපු පව් පල දෙන්න පටන් ගත්තට පස්සේ ඒව ගෙඩි පිටින් පල දෙන්නන ගන්නවා.”

සංකල්පනී  කියවා ගෙන ගියේ ආවේගයෙන්ය. ධනුකට දුරකථනය විසන්ධි කරන්නට වූයේ පුදුමාකාර හදිසියකි. අවසන ඔහු සමු  නොගෙනම එහා පසින් දුරකථනය විසන්ධි කර තිබිණ. ඈ  ඇනෙක්සියට ගියේ චාරුක නිවසට පැමිණියාට පසුවය. 

නුලාරාට  සූදානම් වන්නයැයි පණිවිඩය ගෙන ගියේ සෝමාය. බබාව සූදානම් කරන්නට හෙදියට උදව් කළ සංකල්පනී ආලින්දයට පැමිණියේ චාරුක කල්පනා කරමින් සිටිනු  දුටු නිසාය.

“තෑන්ක්ස් සංකල්පනී අද දවසෙම ඇවිල්ලා බබා එක්ක හිටියට. මේ වෙලාවේ එක ලොකු උදව්වක්.”

“එහෙම කියන්න එපා චාරුක. ඊයේ මට එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මේ ප්‍රශ්න ඉක්මනටම විසඳෙයි.”

“එහෙම වෙනවනම් හොඳයි…”

“චාරුක මං මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. ඔයාට කවුරු හරි හතුරෝ ඉන්නවද මං කියන්නේ බිස්නස් එකේ හරි පෞද්ගලික ජීවිතේ හරි.”

“මම හිතන්නෙ නෑ. එහෙම මට දැනිලත් නෑ. හැබැයි නෑ කියන්නත් බෑ. මට කාත් එක්කවත් තරඟයක් තිබුණේ නෑ සංකල්පනී.” 

“එහෙම නොවුනත් මනුස්සයෙක්ගෙ දියුණුව, සතුට දිහා බලන් ඉන්න බැරි මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඇති. චාරුක ඒ අයට වරදක් කරන්නම ඕන නෑ. කොහොම උනත් මේ දවස් ටිකේ ටිකක් පරිස්සම් වෙන්න.”

ඇය පවසන කිසිවක් තමාගේ ජීවිතයට අදාළ නොවුණද,  චාරුක හිස වැනුවේ ඇයට එකඟව ය. ඒ ඔහුගේ හැටිය. ඔහු හොඳ සවන් දෙන්නෙකු සේම මිනිස් හැඟීම්, අවවාද වලට ගරු කළ අයෙකි. 

සංකල්පනී කුඩා ඇනෙක්සියට  පැමිණියේ කුලීරියක් ගෙන්වා ගත් පසුවය. සෝමා රාත්‍රී ආහාරය සඳහා කෑම වර්ග කිහිපයක්ම ඔතා දී තිබුනේ ධනුක නිවසේ නොමැති බව පැවසූ නිසාය.

“ගිහිල්ලා ඉතින් තනි කෙනෙකුට උයාගන්න කම්මැලියිනේ සංකල්පනී මිස්. ඔන්න ඔහේ මේක ගෙනියන්න. මේ දවස් දෙකේ මමත් හරියකට දෙයක් හැදුවේ නෑ මිස්.”

කුඩා බඳුන් තුළ ඉඳිආප්ප කිහිපයකුත්,  කිරි මාළු හොදිත්, පොල් සම්බෝලත්, පාන්පෙති දෙක තුනකුත් විය. අතුරුපසට ⁣කෙසෙල් ගෙඩි කිහිපයකුත්, අඹ ගෙඩියකුත් වෙනමම ඔතා තිබිණ. ඉඳිආප්ප දෙක තුනක් පමණක් ආහාරයට ගත් ඈ අන් සියල්ලම ශීතකරණය තුළට දැමුවාය. උදෑසන කතා කළාට පසුව ධනුකගෙන් ඇමතුමක් වූයේ නැත. දිගු සුසුමක් මුදා හැර  ඕ ඇද ඉහත්තාවෙහි වූ විදුලි පහන නිවා දැමුවේ නින්දක අවශ්‍යතාවයක් වූ නිසා නොවේ. කොහොමටත් සුව නින්දක් ලැබූ දිනක් සංකල්පනීගේ මතකයේ නොවූ තරම්ය. 

‘ක්ලික්..’ යනුවෙන් ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියේ එවේලෙහිය. නාඳුනන  අංකයකින් පැමිණි වට්ස්ඇප්  පණිවිඩයෙහි වූයේ සේයා රූ කිහිපයකි. ඒවා විවර කළ සංකල්පනීගේ දෑස් වැසී ගියේ කඳුළු වලින්ය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here