මලක්වී යළි පිපෙන්නම් – 68

0
388

සෝමා ගෙන විත් තැබූ බීම වීදුරුව එහෙමම තිබියදී නුලාරා නැගී සිටියේ ඒ ගැන වගක්වත් නැතිවය. මඳක් එහාට වන්නට වූ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඇමතුම චාරුකගේ මවගෙන්ය. නුලාරා දුරකථනය කන තබා ගත්තේ තත්පර කිහිපයක් ප්‍රමාදවය. පසුගිය දිනවල ඈ චාරුක පමණක් නොව ඔවුන් ද මගහැරියාය. 

“කොහොමද දුව…”

ඒ වදන්වල පෙර වූ ආදරය මිස අන් කිසිවක් වූයේ නැත. 

“හොඳයි අම්මා.”

“තාත්තට දැන් හොඳටම සනීපයි නේද. කීප වතාවක්ම මං ඔයාට කතා කරන්න උත්සාහ කරලා කරල ඊට පස්සේ පුතාටත් කිව්වා ඔයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. පුතා කිව්වා ඔයා ටිකක් දුකෙන් ඉන්නේ ඒ නිසා කතා කරල කරදර කරන්න එපා කියලා.”

“මට කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි උනා අම්මා.”

නුලාරා එසේ පැවසූයේ සැබෑවටමය. ඇය පසුගිය දිනවල සිටියේ කුමක් කරන්නේදැයි, කුමක් වනවාදැයි නොදැනය. 

“මම දුවගෙ අම්මට කතා කලහම හෙට විතර වගේ ඩිස්චාර්ජ් කරයි කියලා කිව්වා. අද මං මේ දුවට කතා කළේ විශේෂ පණිවිඩයක් කියන්න.” 

“ඒ මොකක්ද අම්මා.”

“අපි අම්මටයි තාත්තටයි ටික දවසකට අපේ ගෙදර ඇවිල්ල නවතින්න කියලා කියමුද. ඉඩකඩ ඕන තරම් තියෙනවනේ. දැන් දුවටත් අපහසුවක් නැති හින්දා ඔයාලට බබා අරගෙන උඩ තට්ටුවට යන්න පුළුවන්නේ අම්මලාට පල්ලෙහා දීලා.”

“ඒකනං කමක් නැහැ අම්මේ ඒත් අපේ තාත්තා එහෙම එයි  කියලා හිතන්න අමාරුයි. දුවත් ඒ යෝජනාව කරන්න මං පුතාටත් කියන්නම්. ඒ වගේම ඔයාගේ අම්මටත් මං කියන්නම්. ලෙඩක් අසනීපයක් තියෙන කෙනෙක් ඉන්නකොට හැම තිස්සෙම අනිත් අය සූදානමින් ඉන්න ඕනේ පුතේ. රෑකට  අපහසුවක් වුණොත් අම්මටත් කර කියාගන්න දෙයක් නැතුව යනවනේ. මං පුතත් එක්ක මේ ගැන කතා කළා. පුතා එහේ තනි නොතනියට නවත්තන්න වැඩ කරන කෙනෙකුත් හොයා ගත්තා කියලා කිව්වා. සමහර මිනිස්සු කැමතියි තමන්ගේ තැනම ජීවත් වෙන්න, ඒ නිදහස විඳින්න. තාත්තා එන්න අකමැති උනොත් අපි ඊළඟ පියවර එහෙම හරි කරමු. දුව මේ  කරදර හිතට බරක් කරගන්න එපා. අපේ චූටි පැටියත් එක්ක සතුටින් ඉන්න.”

ඈ දුරකථන ඇමතුමට සමුදුන්නේ තවත් බොහෝ දේ පැවසුවාට පසුවය. නුලාරා නිහඩව ඒ සියල්ල අසා සිටියාය. 

“මේ ගෙදර හරියට පන්සලක් වගේ නුලාරා. ගොඩක් සල්ලිකාරයෝ ගාව තියෙන ප්‍රශ්න මේ ගෙදර තිබුණෙ නෑ. හිතට දුකක් කලකිරීමක් ආපු සමහර අවස්ථාවල මමත් දුවගෙන එන්නෙ මෙහෙට. අපේ ඕනම ප්‍රශ්නෙකට නයනා ආන්ටි ගාව උත්තර  තිබුණා. වැඩිපුර කතා නොකළට අපිට අවශ්‍ය අවස්ථාවලදී අංකල් අපි එක්ක හිටියා. හිත් රිදීම් ප්‍රශ්න මේ ගෙදර නොතිබුණු තරම්. සමහර වෙලාවට බිස්නස් ප්‍රශ්නයක් වුණත් අංකල් වත් චාරුකවත් ඒක ගෙදරට අරගෙන ආවේ නෑ. ඒ වගේම කවදාවත් මේ ගෙදර මිනිස්සු හිත් රිදවන සම්බන්ධකම් ඇතිකර ගත්තෙත් නෑ.”

ඇයට ඒ මොහොතේ සිහි වූයේත් තේජනගේ වදන්ය. දිගු සුසුමක් මුදා හරිමින් ඉදිරියට ඇවිද ගිය නුලාරා දරුවාත් හෙදියත් උන් කාමරයට එබුණාය. ඔහු ළදරු ඇඳෙහි සුවපහසු ලෙස නිදාගෙන සිටි අතර හෙදිය වූයේ මදක් එහාට වන්නට සුවපහසු අසුනකට වී නිදි කිරමින්ය. නුලාරා උඩුමහලට නැගුණේ ඉන් පසුවය. චාරුක පසුගිය දින දෙක තුනෙහිම තමාගේ නවාතැන කරගත්තේ ඔවුන් දෙදෙනා මුලින්ම භාවිතා කළ උඩුමහලේ විසල් කාමරයයි. 

ඒ යුගල යහනාව මතින් ඉඳගත් නුලාරා ඔහු නිදා උන් පස මදක් පොඩි වී ගිය ඇද ඇතිරිල්ල අත ගෑවේ දෑස් වල කඳුළක් තබාගෙනය. චාරුක පහත මාලයේ වූ කාමරයට ගියේ තමා ගැබිනියක බව දැන ගත්තාට පසුවය. එදවසත් ඔහු වද වූයේ තමාගේ සුවපහසුව ගැනය. මේ යුගල යහනාව මත ආදරය උතුරා ගිය දවස් ඕනෑ තරම් විය. අද මේ දෙපසකට වී සිටින්නේ සුසුමකින්වත් වෙන් වන්නට දැන උන් යුවළක් නොවේ. 

නළු නිළියන්ට, මොඩ්ල්ස්ලට, ජනප්‍රිය චරිතවලට හැදෙන ගොසිප් වල හැටියට ඒ හස්බන්ඩ්ලා වයිෆ්ලා අත ඇරලා යන්න ගියානම් එක වතාවක් නෙමෙයි දහස් වතාවක් ඒක කරන්න වෙලා නුලාරා. අමාය උනත් මෙතනදි කියන්නේ අපිට චාරුක වැඩ කරන හැම ගෑණු චරිතයක්ම අයින් කරන්න බෑ, නුලාරා තේරුම් ගන්න ඕනේ කියලා”

යළිත් ඇයට සිහි වූයේ තේජනගේ වදන්ය.

තමා තවමත් මේ ජීවිතය තුළ අත්දකමින්, අත්හදා බැලීම් කරමින් ජීවිතය ඉගෙන ගන්නා ගැහැණියක පමණක්යයි නුලාරාට පළමු වතාවට සිතෙන්නට විය. කසාද ජීවිතයක් දෙස තවදුරටත් ලඳ බොළඳ යුවතියක ලෙස නොබලන්නට ඕ සිත හදා ගත්තායය.

“තේරුමක් නැති විදිහට හැම වෙලාවෙම ඔයා චාරුක එක්ක එල්ලෙන්න ගියොත්. මේ විදිහට තහංචි දාලා එයාව අපහසුතාවයට පත්කරන්න ගියොත් හරි ඉක්මනට චාරුකට ඔයාව එපා වෙයි. ඒ වගේ බිසී ලයිෆ් එකක් ගත කරන මිනිස්සු තමන්ගේ ජීවිතේ මානසික නිදහස හරියට හොයනවා.” 

සංකල්පනී එසේ පැවසූයේ ඊයේ පෙරේදාය. 

චාරුක පෙරද  රාත්‍රියේ ඇඳ උන් සුදු පැහැ සැහැල්ලු කොට කලිසමත් ස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකත්  වූයේ මදක් එහාට වන්නට වූ ඇඳුම් වැටේය. එය නැහැයට තබා සිප ගත් නුලාරා දෑස් වලින් ඔහේ ගලා යන කඳුළුවලට ඉඩදී තත්පර කිහිපයක් බලා සිටියාය. ඔහු වෙතින් නිතර හමන මිල අධික සුවඳ විලවුන් වර්ගයේ සුවඳ කාමරය පුරා විසිර තිබිණ. ඔහුව අහිමි කර ගැනීමේ ලෝභකමකින් ඒ සිත දැවෙන්නට වූයේ එතැන් සිටය. 

“චාරුක කියන්නේ හරියට මානසික නිදහස හොයපු මිනිහෙක්. සල්ලි කොච්චර තිබ්බත් ක්ලබ් වල ගිහිල්ලා වෙන වෙන තැන් වලින් සතුට හොයාගෙන ගිහිල්ලා නාස්ති වෙච්ච මිනිහෙක් නෙමෙයි නංගි ඔය. ඔයා එළියට බැහැලා චාරුක ගැන හොයලා බලන්න. සමහර විට ඒ මානසික නිදහස උපරිමයෙන් හොයපු නිසා වෙන්න ඇති ඌ ෆීල්ඩ් එකෙන් පිට කෙල්ලෙක් කසාද බඳින්න හිතුවේ. මං දන්නෑ ඔයා මං මේ කියන දේවල් මොන විදිහට තේරුම් ගනීද කියලා. මිනිහෙක්ට මානසික නිදහස නැත්නම් වෙන මොනව තිබුනත් වැඩක් නෑ. මිනිහෙක් තමන්ගේ ගෙදරට එද්දි අපායකට යනවා වගේ හැඟීමක් දැනුනොත් එතනින් එහාට ඒ ඉඳපු මිනිහව බලාපොරොත්තු වෙන්න බෑ නුලාරා.”

යළිත් තේජනගේ වදන් ඒ දෙසවන්තුල දෝංකාර නංවන්නට විය. ඕ කිසිවෙකු නොවූ කාමරයට වී කෑ ගසා හැඬුවාය. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට තමාට ශක්තිය ලැබේවායි පැතුවාය. චාරුක  තමා සමඟ එකඳු වදනක්වත් කතා නොකර දින දෙක තුනක්ම ගෙවී ගොස් තිබිණ. ඒ දින දෙක තුන නුලාරාට දැනුනේ කල්ප දෙක තුනක් සේය. ජීවිත කාලයටම ඔහුව අහිමි කරගෙන ජීවත් වන්නට ඇය නොදැන සිටියේ ඒ නිසාය. 

                                       *************

එකඳු වදනක්වත් කතා කර ගන්නට ශක්තියක් නොමැති සේ සංකල්පනී  රන්දික දෙස බලා සිටියේ දෑස් වල වූ කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. ඔහු තවමත් ඇගේ කොපුල් අල්ලාගෙන ඒ දෑස් වලට එබුණු ගමන්ය. 

“තවදුරටත් ඔයාට ධනුකගේ ජීවිතේ  ඉඩක් නෑ කියලා දැන දැන මට ඔයාව මේ විදිහට දාලා යන්න බෑ සංකල්පනී. අපිට අපි අතින් වෙච්ච වැරදි හදාගන්න බැරිද. ඔයා හිතනවනං මගේ අතින් වෙච්ච ඒ වැරදි…?”

ඔහු එසේ ඇසුවේ ආයාචනයක ස්වරූපයෙන්ය. සංකල්පනී හිස වැනුවේ බැහැයි කියන්නටය. ඔහුගේ දෑත ඒ කොපුල් වලින්  ගිලි්‍හී වැටුනේ නිරායාසයෙන්ය. යළිත් රන්දික ඇවිදවිත් කාමරයෙහි වූ ප්ලාස්ටික් පුටුවට බර වූයේ බලාපොරොත්තු කඩ වූ සිත් ඇතිවය. 

ඒ කියන්නේ ඔයා තවදුරටත් විශ්වාස කරනවද ඔයා හොයපු සතුට සැනසීම තියෙන්නේ ධනුක  ළඟ කියලා. කොහොමද සංකල්පනී එහෙම හිතන්නේ. තමන්ට ගෞරවයක්, ආරක්ෂාවක්, රැකවරණයක් නැති තැනක සැනසීමක් කොහෙන්ද?”

සංකල්පනී හිස වැනුවේ නැතැයි කියන්නටය. 

“එයාල මේ ජීවිතේ ඉස්සරහට යයි. දරුවො හදයි වයසින් පරිණත වෙද්දි එයාලා ඒ දරුවොත් එක්ක ජීවත් වෙයි. ඔයා හැමදාටම තනිවෙයි.”

රන්දික යළිත් පැවසූයේ තත්පර කිහිපයක් නිහඬව බලා සිටියාට පසුවය. නොනවත්වාම ඇගේ දෑස් වලින් වැටෙන කඳුළු ඔහුව උපරිමයෙන් රිදවා තිබිණ. 

“අපි ගෙදර යමු. අපේ ගෙදර..මගේ අතින් උනේ වැරැද්දක්නං මට සමාවෙන්න. කසාද ජීවිතය ගැන තියා කෙල්ලෙක් ගැනවත්  අත්දැකීම් තිබුණු මනුස්සයෙක් නෙමෙයි මම. හම්බ කරන්න දුක් වින්දා මිසක්කා මම මගේ ගැන හිතුවේ නෑ. තාත්තා මැරුණට පස්සේ නංගිවයි, මාවයි හදාගන්න අපේ අම්මා හරියට දුක් වින්දා. පැය ගානක් ලිප ළඟ වාඩිවෙලා ආප්ප තැම්බුවා. ලැවරිය හැදුවා. හවසට වඩේ හැදුවා. දවල් දවසේ පුළුවන් විදිහකට  එළවළුවකට, මැල්ලුමකට ඕන දේවල් හිටව ගත්තා. අන්තිමට යන්තම් තේරෙන කාලේ වෙද්දි නංගිටත් ඒවට හවුල් වෙන්න සිද්ධ වුණා. වෙන ගෑනු ළමයි උදේ හයට නැගිටලා හතට ඉස්කෝලේ යද්දි නංගි හතරට නැගිටලා අම්මට උදව් උනා. වෙන ළමයි ඕ ලෙවල් වලට පන්ති යද්දි මම ගෙදරට වෙලා  පුදුම විදිහට පාඩම් කළා. මට ඕන වුණේ ඒ දෙන්නට සැපවත් ජීවිතයක් හදලා දෙන්න. ඒක නිසා අඩු තරමින් කෙල්ලෙක් මගේ ජීවිතයට සම්බන්ධ කරගන්න, ආදරේ කරන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ. දවසින් දවස මං ඒ දෙන්නගේ ජීවිතේ ලස්සන කළා. ලස්සන ගෙයක් හැදුවා. නංගිට හොඳට ඉගැන්නුවා. ඒ දෙන්නට කාටවත් අත නොපා තමන් කැමති ඕනෙම දෙයක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් මුදලක් ඒ දෙන්නට එව්වා. අම්ම ‘කසාදයක් බඳින්න ඕන නේද පුතේ…’ කියලා  අහද්දී මං ‘හා’ කිව්වේ දැන් මං මගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරලා ඉවරයි කියලා හිතට සෑහීමක් දැණුන නිසා. එහෙම මං බලන්න ගියපු පළවෙනි ගෑණු ළමයා ඔයා.” 

රන්දික එසේ පැවසූයේ මුව මත සිනහවක් තබාගෙනය. ඒ සිනහව ආයාසයෙන් මුවගට නගා ගත්ත එකක් බව විශ්වාසය. මේ කතාව මින් පෙරත් ඈ අසා තිබුණා මතකය. එහෙත් මෙවේලෙහි සංකල්පනී ඔහුට සවන් දීගෙන සිටියේ කලින් නොඇසූ කතාවක් අසන ගණනටය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here