සමරසිංහ පවුලේ දින ඉන්පසු ගෙවුණේ වෙනදා මෙන් නොවේ.
කුමක් හෝ අන්ධකාරයකින් වැසීය. වෙනදා සිනහවෙන්ද, කතාවෙන්ද, විවිධ රස මසවුලෙන්ද පිරී ගිය ගෙදර ඉන් අනතුරුව පිරී තිබුණේ අම්මාගේ අනන්ත අප්‍රමාණ දෝශාරෝපණද, හැඬීම්ද, තාත්තාගේ කටෙන් ඉන් කිසිම දිනක පිට නොවුණ අන්දමේ විශ්වාසය ඉල්ලා කෙරෙන ඇදහිලිද, කතන්දරද මධ්‍යයේය.
“තමුසෙ තමුසෙ තමුසෙ මට කියන්නෙ ඕයි අපේ අක්කා ඇස් දෙකටම දැක්කයින් පස්සෙත් තමුසෙ කියන දේ විශ්වාස කරන්න කියලද?” කියා අම්මා කුස්සියේ හැලි වලං සද්ද බද්ද කරමින් අහද්දී තාත්තා රේඩියෝවේ සද්දය තව පොඩ්ඩක් වැඩි කරේ අහල පහල ගෙවල්වල මිනිස්සුන්ට මේ කන් කරච්චල්ද රණ්ඩු සරුවල්ද ඇහෙන එක වලක්වන්න බව දන්නවා වුණාට ගේ ඇතුලෙම ඉන්නා තමන්දේ දරුවන් දෙදෙනාගේ කන්වලට මේ සියලු වචන වැටෙන එක ඇහෙන එක නවත්තාගන්න විදියක් නැති බව තාත්තාට අමතක වුණේ කොහොමදැයි කියා කල්පනා නොකර ඉන්න හැටියක් නෙත්මලීට තිබුණේ නැත.
“අක්කා දැක්ක දේ ඔච්චර විශ්වාස කරන ඔයාට මං කියන දේ පොඩ්ඩක් අහන්න වෙලාව දෙන්න බැරි ඇයි කියන්නකො? ඇයි දෙයියනේ මෙතන මටත් කියන්න කතාවක් තියෙනවා කියලා පොඩ්ඩක් හිතන්න බැරිද?” කියා තාත්තා බොහෝ වේදනාකාරී බැගෑපත් ස්වරයකින් ඉල්ලා සිටිද්දී හිත රිදුණ බව ඇත්තකි. එහෙත් ගෑනු හිතක් නිසාදෝ හිත තිබුණේම කවදාවත් නැතුව අම්මාගේ පැත්තට නැඹුරු වීය. තාත්තා කියන දේ අහන්නේම නැතුව තාත්තාව වැරදි කාරයෙක් කරමිනි.
“ඔව් මොකක් හරි ටොං පචයක් හදාගෙන එන්න ඇතිනෙ මාව තව පාරක් රවට්ටන්න. ඇයි අක්කා මහ දවල් ඇස් දෙකෙන්ම දැක්ක කියන එක මට බොරුයි කියන්න කියලද තමුසෙ ඔය ලෑස්ති වෙන්නෙ?”
“මං එහෙම කියන්නෙ නෑ චන්ද්‍රා. අක්කා දැක්ක දේ එයාට පේන්න ඇති. මම නෑ කියන්නෙ නෑ. ඒත් ඒ දැක්ක දේ එයා හිතාගත්ත දේමයි ඇත්ත කියලා කියන්න බෑනෙ නේද? ඇයි ඔයාට ඒ ගැන පොඩ්ඩක් හිතන්න බැරි”
“දැන් තමුසෙ මට කියන්නෙ අක්කා ඇස් දෙකට දැක්ක දේ බොරු කියලාද එහෙම නැත්තං අපෙ අක්කා මෙතන මගෙ පවුල් ජීවිතේ කඩන්න බොරුවක් හදාගෙන ඇවිත් කියනවා කියලද?”
“මං කවුරුත් බොරු කියනවා කියන්නෙ නෑ. මං කියන්නෙ ඔයා මං කියන දේත් එක පාරක් අහලා බලන්න කියලා විතරයි.”
“ තව මොනවා අහන්නද අතුල? තමුසෙ එක එක බැල්ලියො එක්ක තේ බොන්න රෙස්ටුරන්ට් ගානෙ ගිහින් හිටියා කියලා එයා ඇස් දෙකෙන්ම දැකලා තියෙද්දි තව මොනවා අහන්නද.”
“චන්ද්‍රා…”
“මොකද?”
“ප්ලීස් ඔහොම කතා කරන්න එපා. අමතක කරන්න එපා ඕනම කතාවකට දෙපැත්තක් තියෙන විත්තිය, කතාවක එක පැත්තක් විතරක් අහලා තීරණ ගන්න එපා කියන එක මම ඔයාට අනන්ත වාරයක් කියලා තියෙනවා මීට කලිනුත්.”
“කතාවෙ එක පැත්ත මොකද්ද දෙපැත්ත මොකද්ද කියලා මට අමුතුවෙන් කියල දෙන්න එන්න ඕන නෑ අතුල, කතාවෙ හැම පැත්තම මට හොඳටම තේරෙනවා. ඔච්චර වේදනාවෙන් කතා කරන්නෙ හරි දුක ඇති නේද මම අර බැල්ලිට”
“මං ඒක කිව්වෙ ඒ හින්දා නෙවෙයි.” කියා තාත්තා කිව්වේ වචන වඩා බර කරමින් බව ඈත සිට ඒ කතාව අසමින් උන් නෙත්මලීට පවා තේරුණාය.
“එහෙනං?”
සමරසිංහට ඊළඟ වචනය පිට කරගන්නට නොහැකිව මොහොතක් නිහඬව සිටියේය.
“මං… මං දන්නවා මේක ඔයාට කොච්චර අමාරුද කියලා.”
“මට අමාරුයි?”
චන්ද්‍රාගේ හඬ එකවරම පහත් විය.
“මට අමාරුයි කියලා තමුසෙට දැන්ද මතක් වුණේ? අවුරුදු විසි ගාණක් එක මිනිහෙක් එක්ක ජීවත් වෙලා, ඒ මිනිහා ගැන මම දන්නවා කියලා මං හිතාගෙන හිටියා. මගේම ගෙදර, මගේම ඇස් ඉස්සරහ මේ තරම් දෙයක් වෙලා තියෙනවා කියලා මට දැනගන්න වුනේ වෙන මිනිස්සුන්ගෙන්. තමුසෙට දැන්ද මගෙ අමාරුකං ගැන මතක් වුණේ.”
“මං ඔයාට බොරු කියන්න හිතාගෙන…”
“එහෙනම් මොකද මෙච්චර දවසක් කිව්වෙ නැත්තෙ? බොරුවක් නෙවෙයි නම් කරේ, ඔය කියන විදියට හංගන්න ඕන දෙයක් නම් නෙවෙයි කරේ එළිපිට කරන්න තිබ්බ නෙ? මොකද හංග හංග කරේ?”
චන්ද්‍රා එසේ අසද්දිත් අතුල සමරසිංහ උන්නෙ නිහඬවීය.
“ඒවට උත්තර නෑ නේද මහ ලොකු නාකි මනමාලයට?” කියා අම්මා ආයෙ වතාවක් රේඩියෝවේ සද්දය පරදා හයියෙන් කෑගහනවා නෙත්මලීට ඇහුණාය.
“කෑගහන්න එපා චන්ද්‍රා පිට මිනිස්සුන්ට ඇහෙනවා. ඊටත් එහා දරුවන්ට ඇහෙනවා”
“ඇහිච්ච දෙන්. උන් දැනගන්න එපාය මහ එකාගෙ හැටි. දරුවො ඉන්නවා තමයි. ඒක තමුසෙට මතක් වෙන්න තිබ්බෙ මීට කලින්. තමුසෙට දරුවො ඉන්න විත්තිය මතක් වෙන්න තිබ්බෙ එක එක පට්ටන්දර බැල්ලියො එක්ක රෙස්ටුරන්ට් ගානෙ රිංගන්න යන්න කලින්. ඒව තමුසෙට වල් වනචර වැඩ කරද්දි මතක් උනේ නැතුවැති නේද? දැන් මෙතන නිකන් මහ ලොකු තාත්තගෙ චරිතෙ රඟපාන්න හදන්නෙ”
“චන්ද්‍රා”
“මට ආයෙ මොනවත් කියන්න එපා”
“පොඩ්ඩක් අහන්න”
“නෑ මට තමුසෙගෙ එක වචනයක්වත් අහන්න ඕන නෑ.”
“මං කියන දේ අහන්නෙ නැතුව කොහොමද…”
“තමුසෙ කියන දේවල් මට දැන් ඇහෙන්නෙ බොරුවක් වගේ අතුල “මොකද මං දන්නෙ නෑ තමුසෙ කියන ඒවයින් මොන එක ඇත්තද, මොන එක බොරුද කියලා. තමුසෙ මගෙ හිතේ තමුසෙ ගැන තිබ්බ විස්වාසෙ විනාස කරලා ඉවරයි. ගෑනියෙක්ට මීට වඩා රැවටෙන්න තව තැනක් නෑනෙ. මං ඔහොම පිට පිරිමියෙක් එක්ක රෙස්ටුරන්ට් ගානෙ තේ බොන්න ගිහින් ඉන්නව දැකල කවුරුහරි මෙතන ඇවිත් ගිනි තිබ්බ නම් තමුසෙ හැසිරෙන්නෙ කොයි වගේද කියලා කල්පනා කරනවකො? එදාට ඔය කතාවෙ දෙපැත්තම අහවිද? නෑනෙ නේද?” කියා අම්මා කතාව නිමා කරද්දි පාඩම් පොත වසා දැමූ නෙත්මලී ඇඳට විත් වැටුණද නින්ද තිබුණේ බොහෝ දුර ඈතකය.
ලොකු අම්මාගේ විස වචන හමුවේ ඇවිළුණු ගින්න නිවී යන්නට ඉඩක් තිබුණේම නැත.
දින සති බවට පෙරළෙද්දීත් සමරසිංහ නිවසේ සාලයත්, කුස්සියත් අතර පැතිර තිබුණේ හුස්ම ගන්නට පවා අපහසු අඳුරු මූසල කමකි.
වෙනදාට අලුයම පහට විතර ඇසෙන අම්මාගේ පිරිත් ශබ්දය වෙනුවට දැන් උදෑසනම අවදි වන්නේ හැළි වළං පොළොවේ ගසන සද්දයත්, නොනවත්වාම කෙරෙන දෝෂාරෝපණයන්ය.
තාත්තා වෙනදාට වඩා බොහෝ නිහඬ වුණ බව වඩාත් හොඳින් තේරුණේ නෙත්මලීටය. එහෙත් ඒ නිහඬ බව ඇතුළේ තිබුණේ විඳදරාගැනීමට නොහැකි තරමේ වේදනාවක් බව දැන උන්නේ අතුල පමණකි.
නිරත්තරයෙන් හේතුවක් ඇතුව හෝ නැතුව පැන නගින අම්මාගේ දරඳඩු, කර්කශ වචන හමුවේ තාත්තා කිහිප වතාවක්ම “චන්ද්‍රා… මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ… ඕක ඔය කියන විදියේ දෙයක් නෙවෙයි…” කියා වැඳ වැටෙන තරමටම කියන්නට හැදුවද, අම්මා උන්නේ තමන්ගේ කනට වැටෙන කිසිම දෙයක් පිළිගන්නා මානසිකත්වයක නොවේ.
නෙත්මලී සෑම මොහොතකම තමන්ගේ කාමරයේ දොර වසාගෙන පොත් අතර අතරමං වීමට උත්සාහ කළාය. එහෙත් විභාගයට තව ඇත්තේ ඉතා කෙටි කාලයකි. වෙනදාට අකුරක් අකුරක් ගානේ හිතට තදින් කාවදින පාඩම් කරුණු, දැන් ඇගේ මනස අස්සෙන් රූටා යන්නේ කිසිදු අර්ථයක් ඉතිරි නොකරමින්ය. තාත්තාගේ ඇස්වල තිබූ අසරණකම දකිද්දී හිතේ ඇතිවන දයානුකම්පාවත්, අම්මාගේ හැඬුම ඇහෙද්දී තාත්තා කෙරෙහි ඇතිවන තරහවත් අතර හිත දෝලනය වෙද්දී පාඩම් පොත තිබුණේ අතෙන්ද හිතෙන්ද මග හැරී යමිනි.
නෙත්මාල් පවා වෙනදා මෙන් ගෙදර රැඳී සිටියේ නැත.
ඔහු හැකි සෑම වෙලාවකම යහළුවන් සමග එළියට වී කාලය ගත කරන්නට පුරුදු වූයේ ගෙදර ඇති මේ අසහනකාරී වාතාවරණයෙන් මිදීමටය.
අවසානයේ ගෙදර සාලයේ ඉතිරි වූයේ එකිනෙකාට මුහුණ දී ගත නොහැකිව, තමන්ගේම සිත් ඇතුළෙන් ගොඩනඟාගත් චෝදනා නමැති තාප්ප අස්සේ හිරවුණු වැඩිහිටියන් දෙදෙනෙකු සහ ඒ මැද අසරණ වූ කුඩා දැරියක පමණකි.


